Monday, April 19, 2010

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ත්‍රස්ත විමර්ශන අංශයට අවසර ලබා දී තිබේ.
පොලිසිය පවසන පරිදි රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් සහ"ද නේෂන්"පුවත්පතේ නියෝජ්‍ය කතෘ කීත් නොයාර් යන මහත්වරුන්ට පහරදීමේ සිද්ධීන් වලට ද මෙම සැකකරුවන්ගේ සබඳතා ඇති බව හෙ‍ළි වී ඇත.
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන් වේ.
ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බව පෙන්වා දීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒ සඳහා අවසර ලබා දී තිබේ. adaderana

ප්‍රභාගේ අවතාරය ඉන්දියාවේ හොල්මන් කරයි


එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කර එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ ද තවමත් ඉන්දියාව පුරා ප්‍රභාකරන්ගේ අවතාරය සැරිසරන බව පෙනේ.
පසුගිය සිකුරාදා දින මලයාසියාවේ සිට ප්‍රභාකරන්ගේ මව වන පාර්වතී වේලුපිල්ලේ මහත්මිය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ බලධාරීන් විසින් ඇයට ඉන්දියාවට ඇතුළුවීම තහනම් කරනු ලැබීය. අංශබාග රෝග තත්ත්වයෙන් පෙළෙන පාර්වතී ඉන්දියාවට පැමිණ තිබුණේ මාස 06කට වලංගු වන වෛද්‍ය වීසා ගමන් බලපත්‍රයක් ද සහිතවය. නමුත් ඇයට ඉන්දියාවට ගොඩබැසීම පවා තහනම් වූ අතර ඇය පැමිණි මලයාසියාවට අයත් ගුවන් යානයේම ආපසු ඇයට මලයාසියාව වෙත යාමට සිදුවිය.
ශ්‍රී ලංකා රජය එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය පත්කළ පසුව ද තමිල්නාඩු රජය 79 හැවිරිදි අසනීප තත්ත්වයේ පසුවන මහලු කාන්තාවක සම්බන්ධයෙන් මෙතරම් බියට පත්වන්නේ මන්දැයි සිංගප්පූරුව, මලයාසියාව හා ශ්‍රී ලංකාවේ බොහෝ වාරයක් සංචාරය කර ඇති 45 හැවිරිදි ව්‍යාපාරිකයකු වන සුමති නාරායනන් පවසයි. තමිල්නාඩුවේ ඩී. එම්. කේ රජයෙහි හිටපු සාමාජික පක්ෂයක් මෙන්ම නැවතත් කරුණානිධි වෙත සහය දැක්වීම සඳහා කැමැත්ත පළ කරන පී. එම්. කේ පක්ෂය ද පාර්වතී මහත්මියට රටට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත. එමෙන්ම විඩුදලෙයි සිරතහල් කච්චි පක්ෂය ද ඊට දැඩි විරෝධය පළ කර ඇත.
ද්‍රවිඩ ජාතික ව්‍යාපාරයේ නායක පී. නදුමාරන් සහ වයිකෝ යන මහත්වරුන් ද ගුවන් තොටුපලේදී පාර්වතී මහත්මිය හමුවීමට උත්සාහ කළ ද ආරක්ෂක හේතූන් මත මෙම දේශපාලඥයින් දෙදෙනාට ඇය හමුවී‍මට අවස්ථාව හිමි වී නොමැත. ද්‍රවිඩ නොවන වෙනත් දේශපාලන පක්ෂ කිහිපයක් ද පාර්වතී මහත්මිය පිටුවහල් කිරීම සම්බන්ධව විරෝධය දක්වා ඇත. මෙම මාසයේ ජනවාරි මාසයේ සිට පාර්වතී මහත්මිය ඇයගේ ඥාතියකු වන එම්. කේ. ශිවාජිලිංගම් මහතාගේ රැකවරණය යටතේ වාසය කර ඇත. ඔහු විසින් පාර්වතී මහත්මිය කැනඩාවේ වෙසෙන ඇයගේ දියණිය වන විනෝදනී රාජේන්ද්‍රන් වෙත යැවීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා වීසා සකස්වන තුරු ඇයව මෙසේ ප්‍රතිකාර සඳහා ඉන්දියාව වෙත එවීමට ශිවාජිලිංගම් තීරණය කර තිබුණි. adaderana

සේවා ස්ථානය දේවස්ථානයක් විය යුතුයි


සේවා ස්ථානය දේවස්ථානයක් සේ සලකා කටයුතු කරන්නැයි සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පළාත් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද(19)පළාත් රාජ්‍ය සේවාවේ ආරම්භක වැඩ දිනයට එක්වූ පළාත් සභා සංකීර්ණයේ සේවය කරන දහසක් පමණ වූ සේවක පිරිස අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරණයේදී ද පාර්ලිමේන්තු මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂ මහතාට රට වාසීන් ලබා දුන් විශිෂ්ට ජනවරමින් පසු එළඹි පළමු වැඩ කරන දිනය වන අද අධිෂ්ඨානයේ දිනයක් බවට පත් කර ගත යුතු බවද මහ ඇමතිවරයා කියා සිටියේය.
වසර දෙකක් තුළ මැතිවරණ දහයකට මුහුණ දෙමින් පසුව එළඹි මෙම සමාරම්භක වැඩ කරන දිනයේදී ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා ජනපති දරන වෑයමට සබරගමුව පළාත් සභාවේ උපරිම දායකත්වය ලබාදිය යුතු බවද මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

රනිල් - මහින්ද හමුවක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද පෙ.ව 9.30 ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම නව පාර්ලිමේන්තුවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන් වේ. adaderana

හයිකෝප් ගැන නීතිපතිගෙන් උපදෙස්


හයිකෝප් මුල්‍ය වංචා සිද්ධියේ පරීක්ෂණ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම් දුන්නේය. මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ ගණනාවකින් පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්ය.
මෙම ප්‍රකාශ සහ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. නීතිපති උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. adaderana

දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අපහසුතාවට


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාද වීම් හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
සතියක පමණ කාලයක සිට අනුරාධපුරයේ සහ වව්නියාව අතර දුම්රිය ගමනාගමනය මෙලෙස ප්‍රමාද වන බව අද දෙරණ වාර්තාකරු පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ අංශ කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද මගීන් චෝදනා කරයි. ඊයේ දිනය තුළද අනුරාධපුර හා වව්නියාව අතර මාර්ගයේ දුම්රිය එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන් දුම්රිය පැය ගණනාවක් ප්‍රමාද වී ඇති බව සඳහන්ය. adaderana

මුල් තැන දිනූවන්ට ජනපතිගෙන් සුබ පැතුම්


2009 අ. පො. ස සාමාන්‍ය පෙළ විභා‍ගයෙන් මුල් ස්ථාන දිනාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථයෙන් සුබ පැතුම් එක්කර තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේම ප්‍රථම ස්ථානයට පත්වූයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශාමලී ගුණවර්ධන ශිෂ්‍යාව සමත් විය. දෙවන ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චරිත් විමලරත්න ශිෂ්‍යයා හිමිකර ගත්තේය. ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ දිනිති රණවීර ශිෂ්‍යාව තෙවන ස්ථානය ලබාගත්තේය. adaderana

ලාංකික සිසුන්ට ජපානයෙන් නව ශිෂ්‍යත්ව ක්‍රමයක්


ජපානයේ ශ්‍රි ලාංකීය සිසුන් සඳහා නව ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කිරීමට ජපානය පියවර ගෙන තිබේ.
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්ව ලබා දෙන බව සඳහන්ය. විශේෂ විභාගයකින් පසුව තෝරා ගන්නා පිරිසක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අතර ජපාන තානාපති කාර්යාලය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය.
එමගින් තෝරා ගන්නා සිසුන් ජපානයේ විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය සඳහා යොමු‍ කිරීමට අපේක්ෂා කරයි. මෙම වසරේ සිසුන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.adaderana

Sunday, April 18, 2010

නාවලපිටියේ ප්‍රචණ්ඩත්වය උග්‍රයි


නාවලපිටිය ප්‍රදේශය ප්‍රජාතන්ත්‍රවාදය නොමැති ප්‍රචණ්ඩත්වයෙන් බහුල ප්‍රදේශයක් බවට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ වන විට එම ප්‍රදේශයේ ඡන්ද දායකයකුට නිදහසේ ඡන්දය ප්‍රකාශ කළ නොහැති වාතාවරණයක් උද්ගත වී ඇති බව ඔහු කියා සිටියි.
නිදහසේ දේශපාලනය කිරීමට ඇති අයිතිය අහෝසි කර ඇති ප්‍රදේශයක් බවට නාවලපිටිය පත් කර ඇති බව දයාසිරි‍ ජයසේකර මහතා පෙන්වා‍ දෙයි.
මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ මනාප පොරයේ ප්‍රතිඵලයක් ලෙස බව ද හෙතෙම කියා සිටියි.
නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.adaderana

නාවලපිටියේ ආරක්ෂාවට 2000 ක්


නාවලපිටිය සහ ත්‍රිකුණාමලයේ කුඹුරුපිටිය ප්‍රදේශවල මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සියලු පියවර‍ ගෙන ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පවසයි..
අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණය පැවැත්වීමට නියමිත ප්‍රදේශවල සියලු මැතිවරණ ප්‍රචාරක පුවරු හා කටවුට් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියි.
නාවලපිටිය සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 2000ක පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
නාවලපිටිය ප්‍රදේශයට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් හා යුධ හමුදා සාමාජිකයින් පිරිසක් ද අනුයුක්ත කොට ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

මීළඟ ඉලක්කය සංවර්ධනයයි


පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන්ගේ මීළඟ ඉලක්කය විය යුත්තේ රටේ සංවර්ධන ක්‍රියාවලිය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවට තේරී පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සඳහා අද පෙරවරුවේ පැවති වැඩමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රටේ ජනතාවගේ හදවත් තුළ ඇති සංවර්ධන අපේක්ෂා මල්ඵල ගැන්වීමට තේරී පත්වු සියලු මන්ත්‍රීවරුන් කැපවිය යුතු බව ද ඔහු කියා සිටියේය..
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය , ස්ථාවර නියෝග සහ අනෙකුත් කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. adaderana

ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නෑ


රටේ සංවර්ධන යුගයක් ඇති කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මයන්ත දිසානායක මහතා පවසයි. වත්මන් ආණ්ඩුවට නිශ්චිත සංවර්ධන වැඩපිළිවෙළක් නොමැති බවත්, මේ වන විට රට තුළ සංවර්ධනයට අවශ්‍ය ප්‍රමාණවත් මුදල් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.
විදේශ විනිමය ලබා ගැනීමට හෝ විදේශ අයෝජන ගෙන්වා ගැනීමට පැහැදිලි සැලැස්මක්ද ආණ්ඩුවට නොමැති බව මයන්ත දිසානායක මහතා කියා සිටියි.
නුදුරු අනාගතයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා රට නිවැරදි සංවර්ධන මාවතකට යොමු කරන බව නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේය. adaderana

2010 දී පවුල් 20,000 ට නිවාස


මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් 2010 වසරේ දී පවුල් 20,000 කට නිවාස පහසුකම් ලබාදීමට බල‍ාපොරොත්තු වන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය සිව්වසර තුළ පවුල් 91,000 කට නිවාස පහසුකම් සපයා ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී එල්.එස්. පලංසූරිය මහතා සඳහන් කරයි.
මේ සඳහා රුපියල් මිලියන 4,127 ක් වැයකොට ඇති බව ත්,මීට අමතරව ගම නැගුම නිවාස වැඩසටහනට අනුකූලව ද නව නිවාස රැසක් ඉදි කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියා සිටියි.
මේ අතර තමාගේම නිවසක් ඉදිකරගැනීමේ ශක්තියක් නොමැති ආර්ථික දුෂ්කරතාවයන් පවතින පවුල් සඳහා නිවාස පහසුකම් සපයා දීමේ අරමුණින් මේ වසරේ සිට"සෙවණ ආධාර නිවාස"වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
එහිදී එක් නිවසකට රුපියල් 50,000 ක උපරිමයක් යටතේ මූල්‍යාධාර ලබාදෙන බව සාමාන්‍යාධිකාරී එල්.එස්. පලන්සූරිය මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව 2010 වසර තුළ දී නගමු පුරවර වැඩසටහනට සමගාමීව මහල් නිවාස 1,500 ක් පිළිසකර කිරීමට ද බලාපොරොත්තු වන බව ද පලන්සූරිය මහතා වැඩිදු‍රටත් සඳහන් කළේය. adaderana

බ්‍රිතාන්‍යයෙන් කෝටි 2 ක ආධාරයක්


උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සහ අවතැන් වූවන්ගේ සුභසාධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් රුපියල් කෝටි 2 ක ආධාර මුදලක් පිරිනමා තිබේ..
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආචාර්ය පීටර් හෙන්ස් මහතා පවසන පරිදි මීට පෙ‍ර අවස්ථා කිහිපයකදී ද රුපියල් කෝටි 25 කට ආසන්න ආධාර මුදල් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත.
මුදල් ආධාරවලට අමතරව අවතැන්වූවන්ගේ ජීවිත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සේවාවන් ද බ්‍රිතාන්‍ය රජය විසින් ලබාගෙන තිබේ.
එම සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් පීටර් හෙන්ස් මහතා පවසයි.adaderana

සා/පෙ පළමු තැන දේවි බාලිකාවෙන්


2009 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට දේවි බාලිකා විද්‍යාලයේ සචිත්‍රා ශ්‍යාමලී ගුණවර්ධන ශිෂ්‍යාව සමත් ව තිබේ.
දෙවන ස්ථානය අම්බලන්ගෙ‍ාඩ ධර්මාශෝක විද්‍යාලයේ චරිත් විමලරත්න ශිෂ්‍යයා විසින් හිමිකරගෙන ඇති බව විභාග ‍දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ දිනිති රණවීර ශිෂ්‍යාව පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දිවයි‍ෙනන් තුන්වන ස්ථානය හිමිකරගැනීමට සමත් විය. adaderana

ජාතික ලැයිස්තු සම්ප්‍රදාය ගැන එජාපය කියයි


සම්ප්‍රදායක් ලෙස ජනමතයෙන් තේරී පත් නොවූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීමක් මේ දින වල තමාට අසන්නට ලැබී ඇති බවයි. එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සාකච්ඡා කර නොමැති බව ද සභාපතිවරයා අද දෙරණට ප්‍රකාශ කළේය. adaderana

වයිකෝ උද්ඝෝෂණයකට සැරසේ


එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලබා නොදීමට එරෙහිව උද්ඝෝෂණයක නිරත වීමට එම්.ඩී.එම්.කේ පක්ෂය තීරණය කරයි. එම පක්ෂයේ නායක වයිකෝ පවසන්නේ අප්‍රේල් 22 වැනි දින මෙම උද්ඝෝෂණය හා උපවාසය පවත්වන බවයි. පසුගිය සිකුරාදා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වන පාර්වතී ප්‍රතිකාර සඳහා මලයාසියාවේ සිට ඉන්දියාවට පැමිණියේය. එහෙත් ඉන්දීය ආරක්ෂක අංශ ඇයට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලබා නොදුන් අතර වහාම ඇයව මලයාසියාවට පිටත් කර හැරීමට පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසන්නේ ඇයට ඉන්දියාවට ඇතුළුවීමට අවසර ලබානොදීම නීතිවිරෝධී බවයි. ඒ හේතුවෙන් දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක කේ.නැදුමාරන් සමග එක්ව ඉන්දීය රජයට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වන බව ද එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

මුස්ලිම් කොංග්‍රසය සාකච්ඡාවට සූදානම්


ස්ථීර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. දෙමළ සහ මුස්ලිම් ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් සඳහා සැමවිටම තම පක්ෂය එක් වන බව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා අද දෙරණට ප්‍රකාශ කළේය. adaderana

රත්නපුරට සුළං


රත්නපුර, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක් හරහා තද සුළං තත්ත්වයක් ඇති වී තිබේ. රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ප්‍රියංකර අ‍ෙබ්රත්න මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම තද සුළං තත්ත්වය ඇති වූ බවයි. සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 10 ක් පමණ හානියට පත් ව ඇති බව ඒ මහතා සඳහන් කළේය. adaderana

විපක්ෂ නායකයා රනිල්


විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ විපක්ෂයේ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂයේ නායකයාට බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය. ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් පවත්වන ලෙසට නව සිහළ උරුමය පක්ෂයේ සරත් මනමේන්ද්‍ර මහතා ඊයේ ඉල්ලීමක් කළේය. එවන් රහස් ඡන්දයක් අවශ්‍ය නොවන අතර විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ තීරණයට අනුව විපක්ෂ නායකවරයා තෝරාගන්නා බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

යුද්ධයේ වියදම බිලියන 600කට වැඩියි


යුද්ධය සඳහා පසුගිය වසර 4 ක කාලය තුළ රජය රුපියල් බිලියන 600 කට අධික මුදලක් වැය කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2006 සිට 2009 දක්වා කාලය තුළ පමණක් යුද වියදම රුපියල් බිලියන 605 ක් බව මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි. ගුවනායානා, නැව්, යුද ටැංකි ඇතුළු යුද උපකරණ මෙන්ම ආරක්ෂක සෙබළුන්ගේ නිල ඇඳුම්, ආහාර සහ වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් වැය කොට තිබේ.
මේ අතර අමෙරිකාව විසින් ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය මර්දනය සඳහා පසුගිය වසර 4 ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 910 ක් වැය කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකාව වියදම් කළ මුදලින් 0.5% ක් වැනි ඉතා සුළු මුදලක් ශ්‍රී ලංකාව යුද්ධය සඳහා වැය කර ඇති බව විචාරකයින් අවධාරණය කරයි. adaderana

ළමයින් ගැන පැමිණිලි ඉහළ ගිහින්


ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ශීඝ්‍ර‍ ලෙස ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල වශයෙන් තම කාර්යාංශයට ලැබුණු බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. ඊට අමතරව ළමයින්ට සිදුවන විවිධ අපයෝජන සම්බන්ධයෙන් ද පැමිණිලි වාර්තා වන බව ඔහු පෙන්වා දුන්නේය.
දෙමව්පියන් අතර ඇතිවන ආරවුල්, ළමා භාරකාරත්වය සම්බන්ධ පැමිණිලි වැඩිවීමට හේතුවී ඇති බව සඳහන්ය. එම පැමිණිලි පිළිබදව සලකා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana

Friday, April 16, 2010

තුනෙන් දෙකට කිට්ටුයි: අඩු 7 හදා ගන්න බිලීබෑම ජයටම: නාමල් පබාට කතා කරයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 15, ප.ව. 2.15) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට ආසන්නව ඇති පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන්ට අඩුව පවතින මන්ත්‍රී සංඛ්‍යාව විපක‍ෂයෙන් බිලී බා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට අරඹා තිබේ.
මෙම බිලී පිත්ත යොමු කොට ඇත්තේ ජනප්‍රිය විපක‍ෂ මන්ත්‍රීවරියක් නම් උපේක‍ෂා ස්වර්ණමාලී හෙවත් පබා වේ. ගම්පහ දිස්ත්‍රික්යෙන් තරඟ කළ ජනප්‍රිය නිළියක වන ඇයට ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක‍ෂ මහතා විසින් පාලක සන්ධානයට එක්වන ලෙස ආරාධනා කර ඇතැයිද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
මෙලෙසම එජාපෙන් තරඟ කොට ජය ලබා ගත් දිගම්බරම් මහතාටද පාලක එජනිස විසින් ආරාධනා කර ඇත.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 117 ක් ලැබී ඇති අතර මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයන්හි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු එජනිස ලබා ගන්නා ආසන සංඛ්‍යාව තවත් 9 කින් වැඩි වේයැයි සැලකුවහොත් එම ගණන 126 කි. ජාතික ලැයිස්තුවෙන් ලැඛෙන කෝටා එක අනුව එජනිසට මන්ත්‍රීධූර 17ක් ලැබේ යැයි ගණන් බැලූවහොත් එය මන්ත්‍රීධූර 143 ක් දක්වා ඉහල යනු ඇත.
පාර්ලිමේන්තුවේ ආසන 225 න් තුනෙන් දෙකක් ලබා ගැනීමට නම් ආසන 150 ක් ලබා ගත් යුතු අතර පාලක එජනිසට මේ අනුව අඩුවන්නේ ආසන 7 කි. එය විපක‍ෂයෙන් බිලී බා ගැනීම මේ දිනවල මෙසේ ජයටම සිදුවන බවත් එයම දඩ මීමා කරගෙන විපක‍ෂ දේශපාලන කණ්ඩායම් නොයෙක් ඉල්ලීම් හිටපු විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවත් වාර්තා වේ. lankaenews

මංගලට ඕනෑ විදියට එජාපය පාලනය කරන්න දෙන්න බෑ -රංජිත් මද්දුම බණ්ඩාර


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 16, පෙ.ව.11.50) මංගල සමරවීර මහතාගේ මහජන පාර්ශවයට ඕනෑ කරන විදියට එජාප කටයුතු කරගෙන යෑමට ඉඩ දීමට නොහැකි යයිද තමා පක‍ෂයෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසූ නායකයන්ට පක‍ෂයෙන් යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ යයිද මොනරාගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ එකම එජාප මන්ත්‍රීවරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව තම නිවසට එක් රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
එජාප නායකත්වය මෙම දිස්ත්‍රික්කයට පැමිණ මට ඡන්දය නොදෙන ලෙස පාක‍ෂිකයන්ට කියා සිටියත් වෙල්ලස්ස ජනතාව වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාදෙමින් මා නැවතත් පාර්ලිමේන්තුවට පත් කර යවා තිඛෙන්නේ මා කිසිදිනක පක‍ෂය හැර නොයන බව ඔවුන්ට විශ්වාස නිසාය. පක‍ෂයේ නායකයන්ගේ සාවද්‍ය ප්‍රකාශවලට වඩා ඔවුන්ට මගේ ක්‍රියාකලාපය විශ්වාසය.
පක‍ෂය වෙනුවෙන් මගේ පියා ජීවිතය පූජා කළ බව නායකත්වයට අමතක වුවද වෙල්ලස්සේ ජනතාවට අමතක නැත. මගේ පියා දිවි පුදා රැක ගත් පක‍ෂය මා කිසි දිනක හැර යන්නේ නැත. අභූත චෝදනා නගමින් මා පාර්ලිමේන්තුවට තේරීපත් වීම වැළැක්වීමටත් මා පක‍ෂයෙන් නෙරපීමටත් පිඹුරුපත් සකස් කළ නායකයන්ට පක‍ෂයෙන් ඉවත් වන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.
මොනරාගල දිස්ත්‍රික්කයට එජාපෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ නමක් වෙනස්කොට වෙනත් නමක් යොදා ඇතැයි මට චෝදනා කළ පක‍ෂ නායකත්වය පක‍ෂයේ මගේ තනතුරු පවා අත්හිටුවන්නට ක්‍රියා කළේය. එසේ කළේ මංගල සමරවීර මහතාගේ මහජන පාර්ශවයේ ඕනෑකමටය. මගේ ජයග්‍රහණයෙන් පෙන්වා දී තිඛෙන්නේ මහජන පාර්ශවයට ඕනෑ ආකාරයට පක‍ෂය කටයුතු කරනවාට පාක‍ෂිකයන් විරුද්ධ බවය. එබැවින් zමZ පාර්ශවයට ඕනෑ හැටියට එජාපය ගෙන යෑමට ඉඩදිය නොහැකිය.
පක‍ෂය රැකගෙන පක‍ෂයේ ජයග්‍රහණය සඳහා ඉදිරියේදීත් කැපවන බවට මන්ත්‍රීවරයා මෙහිදී ජනතාවට අවධාරණයෙන්ම කියා සිටියේය. lankaenews

මගේ නියෝජිතයන්ට ඡන්ද ගණින කොම්පියුටර් කාමරයට යන්න දුන්නේ නෑ: ජනප්‍රිය නිළි ගීතා


(ලංකා ඊ නිව්ස් -2010.අප්‍රේල්.14, ප.ව.1.20) තමාගේ මනාප ඡන්ද අඩු කිරීමටත් ඡන්ද ව්‍යාපාරයේදී තමා ලක් වූ කෙනෙහිලි කම් වලටත් වගකිව යුත්තේ තමාගේම පක‍ෂයේ අය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ සුප්‍රකට නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ පැවසූවේ අද(14) උදෑසන zලංකා ඊ නිව්ස්Z හා කළ සාකච්ඡාවකදී ය. අපේක‍ෂා භංගත්වයට පත් ස්වරයකින් වුවද තීක‍ෂණ ලෙසත් ධෛර්යය සම්පන්න ලෙසත් අදහස් දැක්වූ ඕ වැඩිදුරටත් කියා සිටියේ තමන් ජර්මනියේ මහා පරිමාන ඇඟලූම් කර්මාන්ත කරුවන් සමග ඛෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේත් පූර්ණ වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේත් ජනතාව වෙනුවෙන් ඇරඹීමට සැලසුම් කළ ව්‍යාපෘතීන් සියල්ල මඳ පසුබෑමක් ඇති වුනද පුද්ගලිකව හෝ ආරම්භ කරන බවයි.
තමාට ලැබුණු මනාප ඡන්ද අඩුකිරීමකට ලක්වූ බව පවසන කුමාරසිංහ මහත්මිය කිවේ තමාට ඡන්ද ගණන් කරන නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව නොලැබණු බවත් එය පවරා ගත් දිස්ත්‍රික්නායක පියසේන දිසානායක මහතා තමා නම් වශයෙන් දුන් පුද්ගලයින් පවා එම ස්ථානයෙන් ඉවත් කළ බවත්ය.
zකොටින්ම කියනවා නම් ඡන්ද ගණන් කරන කොම්පියුටර් කාමරයට යන්න පෞද්ගලික ලේකම් සමග තුන් දෙනෙකුට අවසර දෙනවා. නමුත් මගේ අයට යන්න ඉඩ දුන්නේ නෑ.Z ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
zමම දිස්ත්‍රික්කය පුරා ඡන්ද රැස්වීම් 620 ක කථා කළා. ගෙදරට ගෙනල්ලත් කථා කළා. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලක‍ෂ 300 කට වැඩිය වියදම් කළා. අඩුම ගණනේ මට මනාප 50,000 ක් හෝ තිබිය යුතුයි. ප්‍රතිඵලයේ තිබුනේ ඡන්ද 32.000 යි. මේක මට සිද්ධ වෙච්ච අසාධාරනයක්.Z කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කීවාය.
zමම අවංකවමයි මැතිවරණයට ආවේ. ජනාධිපතිවරයාම තමයි මාව ඛෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායිකාව ලෙස පත් කෙළේ. නමුත් වෙනත් අයෙක් (ඇය නම සඳහන් කළද පසුව ඉල්ලා සිටියේ නම සඳහන් නොකරන ලෙසයි) පසුව පත්කළා. ඔහු සංවිධායක යැයි පවසමින් ආසනය පුරා ගියා.Z
කොහොම වුනත් මේ හැම දේකටම මුල අපේ පක‍ෂයේම අය යැයි ගීතා කුමාරසිංහ මහත්මිය අවසාන වශයෙන් කීවාය. lankaenews

ගුවන් ගමන් සංශෝධනය කෙරේ


යුරෝපයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක් අද දි‍නයේ නියමිත වේලාවට පෙර පැමිණ තිබේ.
ෆ්‍රෑන්ක්ෆර්ට් සිට අද දහවල් 2.55 ට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 510 ගුවන් යානය අද පෙරවරු 11.45 ට පැමිණීමට නියමිතව තිබෙන බව ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය. මීට හේතු වී ඇත්තේ අයිස්ලන්තයේ ගිනිකන්දකින් නිකුත් වන දුම්වලා හේතුවෙන් යුරෝපය හරහා පියාසර කරන ගුවන්ගමන් කාල සටහන් තරමක් සංශෝධනය වී තිබීමය. එසේම ලන්ඩන් සිට කටුනායක බලා අද දිනයේ පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 506 ගුවන්යානය අවලංගු කර ඇති බව ද ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ලන්ඩන්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ රෝමය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් ගමන් 3ක් ද අවලංගු කර ඇති බව වාර්තා වේ. ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් යුරෝපය හරහා පියාසර කිරීමට නියමිතව ඇත්නම් ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ දුරකතන අංක 0197 335555 ඔස්සේ අමතා පැමිණීමට පෙර තොරතුරු ලබාගන්නා ලෙසය. adaderana

ෆොන්සේකාට බ්‍රොන්කයිටීස් -අනෝමා


සරත් ෆොන්සේකා මහතාට ‍බ්‍රොන්කයිටීස්(Bronchitis) රෝගයේ මූලික අවස්ථාව වැළඳී ඇති බවට ඔහුව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
ෆොන්සේකා මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මැතිවරණ සමයේදී දීර්ඝ වශයෙන් කතා කළ ද දැන් ඒ පිළිබඳව කතා නොකරන බවට ඇතැමුන් චෝදනා කරන බවත් ෆොන්සේකා මහත්මිය පෙන්වා දෙයි. ඇය මෙම අදහස් දැක්වූයේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. සරත් ෆොන්සේකා මහතාගේ එක්ස් රේ පිටපතක් ගැනීමට ද වෛද්‍යවරයා නියම කර ඇති බවත්, එමෙන්ම බෙහෙත් වර්ග 06ක් ඔහු වෙත ලබා දී ඇති බවත් ඇය පවසයි. නමුත් තම ස්වාමි පුරුෂයාට වෛද්‍ය ප්‍රතිකාර වලට වඩා සුවය ලැබීම සඳහා අවශ්‍ය වන්නේ පිරිසිදු වාතාශ්‍රය ලැබෙන ස්ථානයක ජීවත්වීම බව ඇය අවධාරණය කරයි.adaderana

ප්‍රදේශ කිහිපයක සංචාරක කලාප


නිලාවැලි, ආරුගම්බේ සහ පාසිකුඩා යන ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කලාප ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ජාතිය ‍ෙගාඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අ‍ායෝජනය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 7,000 කි.
2012 වර්ෂයේ දී ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් එම ප්‍රදේශ වෙත වැඩි වශයෙන් ආකර්ශණය කරගැනීමට අමාත්‍ය‍ාංශය අපේක්ෂා කරන බව වාර්තා වේ.adaderana

එල්. ටී. ටී. ඊ ලාංඡනයෙන් බ්‍රිතාන්‍ය මැතිවරණයට


බ්‍රිතාන්‍යයේ ජීවත්වන 69 හැවිරිදි විශ්‍රාමික පුද්ගලයෙකු එල්. ටී. ටී. ඊ සංවිධානයේ ලාංඡනය යටතේ බ්‍රිතාන්‍යයේ ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඔහු මෙසේ මැතිවරණයට තරග වදින්නේ විමුක්ති කොටි ජනතා පෙරමුණ ලෙස නව පක්ෂයක් පිහිටුවාගනිමිනි.
නඩරාජා බාලසුබ්‍රමනියම් නැමති මෙම පුද්ගලයා මීට පෙර ද එල්. ටී. ටී. ඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇත. මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුගේ මෙම පක්ෂය මාර්තු මස 19 වන දින ලියාපදිංචි පක්ෂ නාම ලේඛනයෙන් ඉවත් කර ඇත. ඒ එම පක්ෂය පිළිබඳව විමර්ශන කටයුතු පවත්වන තුරුය. නමුත් පසුව පක්ෂය සඳහා අවසර ලබා දී ඇත.adaderana

තාවකාලික හැඳුනුම්පත් නැවතත් ලබාදෙයි


යළි ඡන්ද විමසීම සිදුකෙරෙන නාවලපිටිය මැතිවරණ කොට්ඨාශය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි තාවකාලික හැඳුනුම්පත්ලාභී ඡන්ද දායකයන්ට යළි එම හැඳුනුම්පත් ලබාදීමට පියවර ගෙන තිබේ. පසුගිය 8 වනදා පැවති මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් එම හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
එහෙත් යළි ඡන්ද විමසීම සිදුකෙරෙන ප්‍රදේශවල ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාවය තහවුරු කිරීමට මෙම හැඳුනුම්පත් ලබාදෙන බව සඳහන්ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් ද මැතිවරණයේදී භාවිත කළ බව ලේකම් කාර්යාලය පැවසීය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය මගින් නිර්දේශිත පිළිගත් අනන්‍යතා සහතිකයක් නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබානොදෙන බව ද එම කාර්යාලය සඳහන් කළේය. adaderana