Monday, June 28, 2010

ද්‍රවිඩ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් විය යුතුයි -කරුණානිධි


ද්‍රවිඩ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් බවට පත්කළ යුතු යැයි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කර ඇත.

දින 05ක් පුරා පැවති ලෝක ද්‍රවිඩ සංස්කෘතික සමුළුවේ අවසන් දිනය වූ ඊයේ (27) දිනයෙහි කරුණානිධි මහතා මෙම කරුණු පිළිබඳව සඳහන් කර ඇත. මදුරාසියේ මහාධිකරණ කටයුතු වල නිල භාෂාව බවට ද ද්‍රවිඩ භාෂාව පත්කළ යුතු බව මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මේ වන විට කිව නොහැකි පීඩනයකට‍ පත්ව සිටින බව ද ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්. කරුණානිධි මහතා පවසයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් රජය මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ලෝක සම්භාව්‍ය දෙමළ සමුළුවේ අවසන් දේශනය සිදුකරමින් කරුණානිධි ප්‍රකාශ කර ඇත.

එසේම ඇතැම් පිරිසට තවමත් අවතැන් කඳවුරුවල රැදී සිටීමට සිදුව ඇති බව පෙන්වාදෙන තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයා යළි පදිංචි කළ පිරිසට පවා නිසි පහසුකම් සපයා නොමැති බවට චෝදනා කරයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ යුතු බව කරුණානිධි වැඩිදුරටත් සඳහන් කර ඇත. adaderana

ෆොන්සේකා ලබන 12 තෙක් හමුදා භාරයට


හයිකෝප් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ‍හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන 12 වැනිදා දක්වා හමුදා භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ජෙනරාල් ෆොන්සේකා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රඳවා තැබිය යුතු බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර සිටියේය.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී ජෙනරාල් ‍ෆොන්සේකා මහතා මීට පෙර දින නඩු විභාගයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවීමට නියෝග කිරීම හේතුවෙන් ඥාතීන්ට දෛනිකව ඔහුට ආහාර සැපයීමේ බාධා එල්ල වී ඇති බව ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය. එසේම ෆොන්සේකා මහතා අධිකරණ‍ය වෙත රැගෙන ඒමේදී බන්ධනාගාර රථයක රැගෙන එන බැවින් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේය.

ජෙනරාල් ෆොන්සේකා මහතාට ආහාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. එසේම අධිකරණය වෙත රැගෙන ඒමේදී යුද හමුදා ආරක්ෂක රථයක රැගෙන එන ලෙස ද අධිකරණය නියම කර සිටියේය. විදේශගතව සිටින ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාදීමට අවසර දෙන මෙන් නීතීඥවරුන් සිදුකළ ඉල්ලීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එම පහසුකම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යුද හමුදා නීති නිලධාරීයාට දැනුම් දුන්නේය. adaderana

මළ සිරුරක් මුහුදට විසිකළ සැකකරුවන් ගැන පරීක්ෂණ


තොඩුවාව පල්ලියපාඩුව ප්‍රදේශයේ මුහුදට මළසිරුරක් විසිකර යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මුන්දලම‍ පොලිසිය පවසයි. ඊයේ පස්වරුවේ කැබ් රථයකින් පැමිණ තොඩුවාව මුහුදට මළසිරුරක් විසිකර දමා පලා යන අවස්ථාවේදී පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැබ් රථය තුළ තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිසිය භාර‍යට ගෙන ඇත.

කැබ් රථයේ සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පොලිසියට පවසා ඇතැයි වාර්තා විය. දැනට සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ අදාළ පුද්ගලයා කිසියම් ස්ථානයකදී හෝ කැබ් රථය තුළදී ඝාතනය කර ‍මුහුදු වෙරළට විසිකර දමන්නට ඇති බවය. adaderana

කැළණියේ සියලු අනවසර ඉදිකිරීම් මේ සතියේ සිට ඉවතට


කැළණිය ප්‍රදේශයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් අදින් ඇරඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. එවැනි අනවසර ඉදිකිරීම් ඇත්නම් තමන් වෙත කඩිනමින් දන්වා සිටින ලෙස ඔහු සඳහන් කරයි.

කැළණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයට එක්වෙමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මින් පසු කැළණිය විශ්ව විද්‍යාලය වසා දැමීමට ඉඩ නොතබන බව ද එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේය.
adaerana

එක්සත් ජාතීන් හරහා ලංකාවට අතපෙවීමේ උත්සාහයක්


යුදමය වකවානුව තුළ ශ්‍රි ලංකාවට අතපෙවීමට ඇතැම් රටවල් දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යළි ඒ සඳහා ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍යයක් වාර්තා කර තිබේ. ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වෙබ් අඩවියක් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුව හරහා ශ්‍රි ලංකාවේ ජාතික ඒකාබද්ධතාවයට බලපෑම් එල්ල විය හැකි බව එහි දක්වා ඇත. ජාත්‍යන්තරය තුළ ක්‍රියාකාරී රටක් වශයෙන් සැලකෙන ශ්‍රි ලංකාව දීර්ඝ ඉතිහාසයක සිට මානව අයිතීන් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයට පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය. එ‍හෙත් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට අතපෙවීමට හේතු කිහිපයක් බලපා ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රි ලංකාවේ පිහිටීම සහ චීනය පෙරට වඩා ශ්‍රි ලංකා‍ව තුළ කටයුතු ව්‍යාප්ත කිරීම එම හේතු අතර වේ. එසේම අමෙරිකා එක්සත් ජනපදයට දකුණු ආසියානු කලාපය තුළ අහිමි වෙමින් ඇති බලය යළි ලබා ගැනීම ද මෙවැනි බලපෑම් වලට හේතු විය හැකි බව අදාළ වාර්තාවේ දක්වා ඇත.

ශ්‍රි ලංකාවේ කළ සංචාරයේදී කළ ප්‍රකාශ සහ ඉන්පසු තත්ත්වයන් සළකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා බලවත් රටවල වුවමනාවන් ඉටුකරන බව පෙනී යන්නේ යැයිද එහි සඳහන්ව ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සෑම රටකටම සමාන අයිතිවාසිකම් හිමිවන අතර කිසිදු රටක ස්වෛරීභාවය සම්බන්ධයෙන් එම සංවිධානයට මැදිහත් විය නොහැකි බව ද අදාළ ඉන්දීය වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. adaerana

ඉතිරි කාලයට අයවැය හෙට


මේ වසරේ ඉතිරි කාලය සඳහා වු රජයේ ආදායම් සහ වියදම් ඇතුළත් අයවැය ලේඛනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැය ලේඛනය අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ඇත. පක්ෂ නායක රැස්වීමේ තීරණයකට අනුව පළමුවරට පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු හෙට සිට ආරම්භ කෙරෙයි. ඒ අනුව හෙට පස්වරු‍ දෙකට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය අනිද්දා ආරම්භ කෙරෙන අතර එය දින හතරක් පැවැත්වෙන බව වාර්තා වේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය අවසානයේ දී සිදුකරන ඡන්ද විමසීම ලබන තුන්වැනිදා පස්වරුවේ පැවැත්වෙන අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ජූලි මස පස් වැනිදා සිට නව වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව අයවැය අවසන් ඡන්ද විමසීම ජූලි මස නවවැනි සිකුරාදා පස්වරු 6ට සිදුකෙරෙනු ඇත.adaderana

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයෙන් යෝජනා


විධායක ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම සඳහා සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ යෝජනා මාලාවක් සකස් කර තිබේ. විපක්ෂ දේශපාලන පක්ෂ 7ක නායකයන් විසින් සකස් කළ මෙම යෝජනා ඇතුළත් වාර්තාව හෙට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සහ එම පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් මෙම යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්ය. අදාළ කොන්දේසි ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. adaderana

Sunday, June 27, 2010

සදහම් රැගෙන පෑයූ පොසොන් සඳ


අනුබුදු මිහිඳු නාහිමියන් ලක්දිවට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම සිහිපත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෙනසුරාදා දින සන්ධ්‍යාවෙහි විශේෂ බැති ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය. ඒ ‍දියවන්නා ඔයෙහි පැරණි නෞකාවක ආකෘතියක් ලෙස සැකසුණු විශේෂ යාත්‍රාවක සිටය. දීප්තිමත් විදුලි පහන් වලින් හැඩගන්වන ලද එම චමත්කාරජනක යාත්‍රාවේ සිට නාවික හමුදාව විසින් පවත්වන ලද පොසොන් බැති ගී ප්‍රසංගය මෙසේ කැමරා ඇසට හසුව තිබිණි. adaderana

ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉන්දියාවටත් යම් කාර්යයක් පැවරෙනවා


ජාත්‍යන්තරයෙන් ශ්‍රි ලංකාවට එල්ල වන ඇතැම් බලපෑම් හමුවේ ඉන්දියාවට ද යම් කාර්ය භාරයක් පැවරී ඇති බව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා පවසයි. මෙරට ජීවත් වන සෑම ජාතියකටම ස්වාධීනව ජීවත් වීමේ අයිතිය රජය විසින් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රි ශිවරාජ් සිං චව්හාන් මහතා අග්‍රාමාත්‍ය නිල නිවසේදී හමුවු අවස්ථාවේ අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාවේ වේගවත් සංවර්ධනය පිළිබඳ ඉන්දියාව අතිශය සතුටට පත් වන බව එහිදි අදහස් දැක්වු ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ඉන්දියාව ක්‍රියා කරන බව ද ශිවරාජ් සිං චව්හාන් මහතා අවධාරණය කළේය. මේ අතර ඉන්දියාවේ ඉදිකෙරෙන බෞද්ධ විශ්ව විද්‍යාලය සඳහා භූමියක් ලබාදීමට සහ ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. adaderana

ශිවරාජ් සිං ජනපති හමුවේ


දිවයිනට පැමිණ සිටින ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශිවරාජ් සිං චවුහාන් මහතා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම හමුව පැවැත්විණි. මේ දිනවල දිවයිනේ සංචාරයක නිරත වන චවුහාන් මහතා මෙරට ‍ඓතිහාසික වැදගත්කමින් යුත් ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත විය.

සාමකාමී පරිසරයක් තුළ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බව ඔහු ජනාධිපතිවරයා‍ වෙත දන්වා ඇත. ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය මෙවැනි සංචාර වලින් තවදුරටත් ශක්තිමත් වන බව එහිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. adaderana

2500 වැටුප් වැඩිවීම් ඉල්ලා පෙත්සමක්


රාජ්‍ය සේවකයින්ට පොරොන්දු වූ රුපියල් 2500 වැටුප් වැඩිවීම වහා ලබාදෙන ලෙස බල කරමින් රාජ්‍ය සේවක පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි. රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ‍බවට පසුගිය ජනාධිපතිවරණයට පෙර රජය ප්‍රසිද්ධ පොරොන්දුවක් ලබා දුන් බව එම සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේය.

නමුත් මේ වන තෙක් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඔහු චෝදනා කරයි. මෙවර ඉදිරිපත් කිරීමට සැලසෙන අයවැය තුළින් ද මෙම 2500 වැටුප් වැඩි වීම ලබා දෙන බවට කිසිදු සහතිකයක් රජය ලබා දී නොමැති බව සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය. මේ හේතුවෙන් මරදාන දුම්රිය පොළ ඉදිරිපිට දී වෘත්තිය සමිති රැසකගේ සහභාගීත්වයෙන් රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරීම හෙට දිනයේ සිදු කරන බව ඔහු අවධාරණය කළේය. adaderana

පළාත් පාලනයට තනිවම තරඟ වදිනවා -මනෝ ගනේෂන්


ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂය තනිවම ඉදිරිපත් වීමේ පොදු එකඟතාවයකට පැමිණ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවසයි. ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා"ඉනිමග"සලකුණ යටතේ ඉදිරිපත් වීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් පක්ෂය තුළ සාකච්ඡා සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය යටතේ තව දුරටත් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම නිෂ්ඵල ක්‍රියාවක් බව මනෝගනේෂන් මහතා අවධාරණය කළේය. ඒ හේතුවෙන් මෙවැනි පොදු එකඟතාවයකට පැමිණීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය. adaderana

ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් වලට විරුද්ධයි -ටිල්වින්


ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මානව විරෝධී ක්‍රියාවන්ට දැඩි විරෝධය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. යුද්ධය අවසන්ව මාස 13 ක පමණ කාලයක් ගතවුව ද තවමත් මානව හිමිකම් රැකීමට ආණ්ඩුව අසමත්ව ඇති බවත්, එය බරපතල ගැටලුවක් බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදෙයි. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවට සහයදීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි බවත්, එසේ වුවහොත් එය ප්‍රජාත්‍රන්තවාදය කඩකිරීමක් වන බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූවේ අද දෙරණ වාර්තාකරු චතුරංග කරුණානායක සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය. එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් වලට ද තම පක්ෂය එරෙහි වන බව ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේ වුවද ඔහු පවසන්නේ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම වලට ද විරෝධය දක්වන බවය. ආණ්ඩුව සිදුකරන වැරදි ක්‍රියාවන් ආරක්ෂා කිරීමේ වුවමනාවක් තම පක්ෂයට නොමැති බව ද ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. adaderana

අනවසර සංක්‍රමණිකයින් ගැන තීරණය සති දෙකකින්


ඔස්ට්‍රේලියාවට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශ කරන බව ඔස්ට්‍රේලියාවේ නව අගමැතිනි ජූලියා ගිලාර්ඩ් මහත්මිය පවසයි. ශ්‍රී ලාංකික සහ ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළු වීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය කෙවින් රුඩ් පසුගිය දා නියෝග කර තිබුණි.

හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ජනතා අප්‍රසාදය පළ වීමට මෙය හේතුවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ලබන ජූලි 8 වනදා සිදු කිරීමට නියමිතය. එදිනට පෙර තමාගේ තීරණය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය පවසයි. ඊයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජූලියා ගිලාර්ඩ් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය. adaderana

ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට සහය


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහය ලබා දීමට සූදානම් බව දිවයිනට පැමිණ සිටින ඉන්දීය මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්ත රා‍ජ්‍යයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිවරාජ් සිං මහතා පවසයි. ‍ඓතිහාසික වශයෙන් වැදගත් වූ වැලිමඩ, දිවුරුම්වෙල විහාරයේ ඉදි කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයට මුල් ගල් තැබීමේ උත්සවයට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙරටේ මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ ඉදිකෙරෙන බෞද්ධ විශ්ව විද්‍යාලයට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන බව එහි දී ශ්‍රී සිවරාජ් සිං මහතා තවදුරටත් පැවසුවේය. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ඈත අතීතයේ පටන් අධ්‍යත්මික ශක්තියෙන් පිරි රටවල් දෙකක් බවත් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ජනතාව නියෝජනය කරමින් මෙරටට පැමිණීමට ලැබීම පිළිබඳ තමා සතුටු වන බවත් ඔහු සඳහන් කළේය. දෙරට අතර සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා තවදුරටත් සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී සිවරාජ් සිං මහතා පවසයි. adaerana

ලංකාවේ අනාගතයට මානව හිමිකම් අත්‍යවශ්‍යයි


ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා මානව හිමිකම් අත්‍යවශ්‍ය අංගයක් බව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පී. ජේ ක්‍රෝව්ලි පවසයි. මහින්ද රාජපක්ෂ රජය එල්. ටී. ටී. ඊ ය පරාජය කර ඇති මොහොතේ කඩිනමින් ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා වී ඇති බව ක්‍රෝව්ලි මහතා පවසයි.

අමෙරිකාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා පත්කළ කමිටුවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බැලීමට අවසර ලබා දීම වැදගත් වන බව ද ක්‍රෝව්ලි මහතා මෙහි දී ප්‍රකාශ කළේය. adaderana

2012 දී ඉසුරු පාසල් 325 තෙක් ඉහළට


වසර 2012 වන විට ඉසුරු පාසල් සංඛ්‍යාව 325 දක්වා ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික පාසල් වලට ඇතුළත් වීම සඳහා පවතින ඉහළ ඉල්ලුමට පිළියමක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම ඉසුරු පාසල් ස්ථාපිත කරනු ලැබීය.

මෙම පාසල් ද්වීතීක අධ්‍යාපනය සඳහා ජාතික පාසල් මට්ටමට වැඩිදියුණු කිරීමට නියමිතය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉසුරු පාසල් වශයෙන් පාසල් 150 ක් හඳුනාගෙන ඇත. adaderana

දැදුරුඔය පාලම අසල රිය අනතුරින් 6ක් මියයයි


කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය පාලම අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 ‍දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අද අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූවන් කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. adaderana

නිර්මාල් වර්මා අද ලංකාවට


ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් නිර්මාල් වර්මා මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඔහු ජූලි 2 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය. නිර්මාල් වර්මා මහතා මෙරටට පැමිණෙන්නේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ ආරාධනයකට අනුවය.

මෙම සංචාරය තුළ දී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය දී. මූ ජයරත්න මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිර්මාල් වර්මා මහතා මෙම සංචාරයේ දී උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කරනු ඇත. adaderana

අයඩින් ඌනතාව තුරන් කිරීමට විශේෂ වැඩසටහන්


අයඩින් ඌනතාවය මෙරටින් තුරන් කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය අයඩින් ප්‍රමාණය නිසි පරිදි ලැබෙන්නේ ද යන්න පිළිබඳව මෙහි දී සොයා බැලීමට නියමිතය.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව නිවෙස් වල භාවිතා කරන ලුණු වල ඇති අයඩින් ප්‍රමාණය පරීක්ෂා කිරීම සිදු කෙරෙනු ඇත. නියමිත පරිදි අයඩින් මිශ්‍ර කර නොමැති ලුණු භාවිතය වැළැක්වීම සහ එවැනි ලුණු නිෂ්පාදනය කරන ආයතන හඳුනා ගැනීම මෙමඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. adaderana

ත්‍රස්තවාදයට එරෙහිවීමට ද .ආසියාවේ එකඟතාව


ත්‍රස්තවාදයට එරෙහිව එක්ව ක්‍රියා කිරීමට දකුණු ආසියානු කලාපීය රටවල් එකඟතාව පළ කර තිබේ. දකුණු ආසියානු කලාපීය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය‍වරුන්ගේ සමුළුවේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්ය. මෙම සමුළුව ඊයේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සදහා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහභාගී වී සිටියේය.
දකුණු ආසියනු රටවල් එක්සත් ව ත්‍රස්තවාදයට නැඟී සිටිය යුතු බව මෙහි දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී.චිදම්බරම් මහතා ප්‍රකාශ කළේය. දකුණු ආසියානු කලාපයට මේ වන විට බරපතල ත්‍රස්තවාදී ගැටලුවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. එම නිසා සාර්ක් කලාපීය සියලු රටවල් මෙම අභියෝගයට එක්ව මුහුණ දීමේ වැදගත්කම චිදම්බරම් මෙහි දී පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදයට එරෙහිව සාර්ක් කලාපීය සියලු රටවල අමාත්‍යවරුන් මෙහි දී එක්ව කටයුතු කිරීමට ප්‍රතිඥා ලබා දී ඇති බව සඳහන්ය. adaderana

මූන්දලම සුසාන භූමියක මෝටාර් උණ්ඩ 2ක්


මූන්දලම, කුඩිරිප්පුව ප්‍රදේශයේ සුසාන භූමියක සගවා තිබූ මෝටාර් උණ්ඩ දෙකක් සොයා ගෙන තිබේ. මුන්දලම පොලිසිය විසින් ඊයේ පස්වරුවේ මෙම මෝටාර් උණ්ඩ සොයා ගෙන ඇති බව සඳහන්ය. අඟල් 8 ක් පමණ උසැති මෙම උණ්ඩ ෂොපින් බෑගයක් තුළ බහා තල් ගසක අතු දෙකක් අතර සඟවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සුසාන භූ‍මියේ පිරිසිදු කිරීම සඳහා ගිය පිරිසක් මෙම උණ්ඩ දැක ඇති අතර පසුව එය පිළිබඳව ‍මුන්දලම පොලිසියට දැනුම් දී තිබේ. කවුරුන් විසින් මෙම මෝටාර් උණ්ඩ සඟවා තැබුවේ ද යන්න අනාවරණය වී නැත. මුන්දලම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

කොමිෂන් සභා ගැන පක්ෂ සමග සාකච්ඡා


ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
මීළඟ මැතිවරණයට පෙර ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම අත්‍යාවශ්‍ය බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි. ඒ සඳහා රජය මූලිකත්වය ගෙන කටයුතු කළ ‍යුතු බව ද හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි. adaderana

අනුරාධපුර බැතිමතුන්ට අද ත් නොමිලේ දුම්රිය සේවා


බැතිමතුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා ආරම්භ කළ විශේෂ දුම්රිය සේවය අද දිනයේ ද ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව ‍ෙපාසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සිට ක්‍රියාත්මක වූ අනෙකුත් විශේෂ දුම්රිය ගමන් වාර ද ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර සහ මිහින්තලය දුම්රිය ස්ථාන අතර පිහිටි විශ්‍රාම ශාලා මගින් මගීන්ට ‍නොමිලේ නවාතැන් පහසුකම් සලසා ඇති බව ද විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්


තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය ස්කෑන් කොට අන්තර්ජාලයට මුදාහැරීමට එරෙහිව සුපිරි බොලිවුඩ් නිළි ‍ඓශ්වර්යා රායි විසින් සයිබර් අපරාධ මර්දන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

තමන් නොදැන කිසිවෙකු හෝ විසින් මෙම අකටයුත්ත සිදුකර ඇති බවත්,ඒ කවුරුන්දැයි සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය පොලීසියෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරියෙකු ඇගෙන් කටඋත්තරයක් ලබාගනිමින් ගමන්බල පත්‍රය ඇය විසින් ලබාදෙන ලද්දේ කාටදැයි විමසා ඇත.

"රූගතකිරීම් සඳහා පිටත්වන විට චිත්‍රපට අධ්‍යක්ෂවරයා ට විදෙස් ගමන් බලපත්‍රය ලබාදීමට කටයුතු කරනවා..ඒ හැරුණුවිට කාටවත්දීලා නෑ..තියෙන්නේ මගේ ළඟමයි.."ඇය පොලීසියට පවසා ඇත.

අභිෂේක් හා විවාහ වන විට ඇය අභිෂේක්ට වඩා වසරක් පමණක් වැඩිමහල් යුවතියක බව පිළිගත් නමුදු ඇගේ උපන්දිනය නිවරදි ලෙස මාධ්‍යයට හෙළිදරව් නොකැන ලදී.

එසේ වුව ඇගේ විදෙස් ගමන්බල පත්‍රය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඇය අභිෂේක්ට වඩා වසර 3 ක් වැඩිහිටි බව ප්‍රේක්ෂකයන්ට පිළිගන්නට සිදුවී තිබේ. අභිෂේක් බච්චන්ගේ වයස මේ වන විට 34 ක් වන අතර ඓශ්වර්යාගේ විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් වන පරිදි ඇගේ උපන්දිනය 1973-11-01 වන දාය. ඒ අනුව ඇයට මේ වන විට වයස අවුරුදු 37 ක් වන අතර සැබවින්ම ඇගේ ස්වාමියාට වඩා වයස අවුරුදු 3 ක් වැඩිමල්ය. ‍ කෙසේ වෙතත් මේ වන විට ඇගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන සයිබර් අපරාධ මර්දන පොලීසියේ සැකයට හේතුවී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ය විවාහ ජීවිතයට ඇතුළත්වීමෙන් දිගු කලකට පසු ඓශ්වර්යා රංගනයෙන් දායක වී ඇත්තේ මනිරත්නම්ගේ"රාවන්" චිත්‍රපටයටය. adaderana

Friday, June 25, 2010

සීගිරියේ සියලු ඉදිකිරීම් නවතන්නැයි නියෝග


සීගිරිය පුරාවිද්‍යා භූමියෙහි දැනට සිදුකෙරෙන සියලු ඉදිකිරීම් වහා නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. සීගිරිය පුරාවිද්‍යා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම්වලට එරෙහිව ගම්වාසීන් පිරිසක් දැක්වූ විරෝධතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඊට එරෙහිව ගම්වාසීන් ‍තිදෙ‍‍නෙක් පසුගියදා උපවාසයක ද නිරත විය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුළු පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.adaderana

විද්වත් කමිටුව ලංකාව පිළිගත යුතුයි -අමෙරිකාව


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකා රජය පිළිගත යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. මෙම කමිටුවේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත සුසෑන් රයිස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දශක ගණනාවක් පැවති යුද ගැටුම්වලින් පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අමෙරිකාව සහය දක්වන බවත් ඒ අනුව එක්සත් ජාතීන්ගේ ම‍හලේකම්වරයා මෙවැනි විශේෂඥ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකාවට වැදගත් වන බවත් අමෙරිකාව පෙන්වාදෙයි. ඒ අනුව අදාළ කමිටුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකාවේ වගකීම බව සුසෑන් රයිස් මහත්මියගේ අදහස වී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසම ලොව සෙසු රටවල ක්‍රියාත්මක ඒ හා සමාන කමිටු සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බව සුසෑන් රයිස් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. aderana

මොන බලපෑම් ආවත් සංශෝධනය සිදුවෙනවා -මර්වින්


කුමන බලපෑම් පැමිණිය ද ව්‍යවස්ථා සංශෝධනය සිදුවන බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. පාර්ලි‍මේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ජනාධිපති ධුර කාලය සංශෝධනය කිරීම ඇතුළු කරුණු ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් බව මර්වින් සිල්වා මහතා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විවිධ බලපෑම් එල්ල කළ ද අනිවාර්යයයෙන් ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බව මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

බැතිමතුන් ලක්ෂ ගණනින් අනුරාධපුරයට


පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය ආශ්‍රිත පූජාභූමි වෙත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටිති. බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පැවසුවේය. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් පූජාභූමියේ ඓතිහාසික ස්මාරකවලට හානි සිදුනොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ලියාපදිංචි බත් දන්සල් 37ක් නගරයේ ක්‍රියාත්මක බව අනුරාධපුර මහනගර සභාව පවසයි. ඊට අමතරව සිසිල්පැන්, කුරුම්බා, තේපැන් ආදී දන්සල් රැසක් ද ක්‍රියාත්මකය. පෞද්ගලික මට්ටමින් පවත්වන දන්සල් 150කට ආසන්න ප්‍රමාණයක් ද අනුරාධපුර නගර‍ය ආශ්‍රිතව සංවිධානය කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

මේ අතර වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කිසියම් හදිසි අනතුරකට මුහුණ දුනහොත් දැනුම් දීම සඳහා හදිසි දුරකතන අංකයක් අනුරාධපුර මහරෝහල ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව දුරකතන අංක 110 ඇමතීමෙන් ඒ බව දැනුම් දිය හැකි බව අනුරාධපුර මහරෝහල සඳහන් කරයි. adaderana

අනුරාධපුරයට පොලිතින් ගේන්න එපා


පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමි‍ණීමේ දී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. බැතිමතුන් ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බව එම අධිකාරිය පෙන්වාදෙයි.

කෙසේවෙතත් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් කසළ බහාලීම සඳහා කසල බඳුන් 120 ක් ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අසල ස්ථාපනය කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා අනුරාධපුර මහ නගර සභාව සහ පළාත් පාලන ආයතන අනුග්‍රහයක් දක්වන බව එම අධිකාරිය පවසයි. ඊට අමතරව කැළිකසල කලමනාකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අනුරාධපුර ප්‍රදේශයේ අද දිනයේත් හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. adaderana