Friday, June 25, 2010

බැතිමතුන් ලක්ෂ ගණනින් අනුරාධපුරයට


පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය ආශ්‍රිත පූජාභූමි වෙත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටිති. බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පැවසුවේය. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් පූජාභූමියේ ඓතිහාසික ස්මාරකවලට හානි සිදුනොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ලියාපදිංචි බත් දන්සල් 37ක් නගරයේ ක්‍රියාත්මක බව අනුරාධපුර මහනගර සභාව පවසයි. ඊට අමතරව සිසිල්පැන්, කුරුම්බා, තේපැන් ආදී දන්සල් රැසක් ද ක්‍රියාත්මකය. පෞද්ගලික මට්ටමින් පවත්වන දන්සල් 150කට ආසන්න ප්‍රමාණයක් ද අනුරාධපුර නගර‍ය ආශ්‍රිතව සංවිධානය කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

මේ අතර වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කිසියම් හදිසි අනතුරකට මුහුණ දුනහොත් දැනුම් දීම සඳහා හදිසි දුරකතන අංකයක් අනුරාධපුර මහරෝහල ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව දුරකතන අංක 110 ඇමතීමෙන් ඒ බව දැනුම් දිය හැකි බව අනුරාධපුර මහරෝහල සඳහන් කරයි. adaderana

0 comments:

Post a Comment