Monday, June 28, 2010

එක්සත් ජාතීන් හරහා ලංකාවට අතපෙවීමේ උත්සාහයක්


යුදමය වකවානුව තුළ ශ්‍රි ලංකාවට අතපෙවීමට ඇතැම් රටවල් දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යළි ඒ සඳහා ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍යයක් වාර්තා කර තිබේ. ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වෙබ් අඩවියක් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුව හරහා ශ්‍රි ලංකාවේ ජාතික ඒකාබද්ධතාවයට බලපෑම් එල්ල විය හැකි බව එහි දක්වා ඇත. ජාත්‍යන්තරය තුළ ක්‍රියාකාරී රටක් වශයෙන් සැලකෙන ශ්‍රි ලංකාව දීර්ඝ ඉතිහාසයක සිට මානව අයිතීන් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයට පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය. එ‍හෙත් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට අතපෙවීමට හේතු කිහිපයක් බලපා ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රි ලංකාවේ පිහිටීම සහ චීනය පෙරට වඩා ශ්‍රි ලංකා‍ව තුළ කටයුතු ව්‍යාප්ත කිරීම එම හේතු අතර වේ. එසේම අමෙරිකා එක්සත් ජනපදයට දකුණු ආසියානු කලාපය තුළ අහිමි වෙමින් ඇති බලය යළි ලබා ගැනීම ද මෙවැනි බලපෑම් වලට හේතු විය හැකි බව අදාළ වාර්තාවේ දක්වා ඇත.

ශ්‍රි ලංකාවේ කළ සංචාරයේදී කළ ප්‍රකාශ සහ ඉන්පසු තත්ත්වයන් සළකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා බලවත් රටවල වුවමනාවන් ඉටුකරන බව පෙනී යන්නේ යැයිද එහි සඳහන්ව ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සෑම රටකටම සමාන අයිතිවාසිකම් හිමිවන අතර කිසිදු රටක ස්වෛරීභාවය සම්බන්ධයෙන් එම සංවිධානයට මැදිහත් විය නොහැකි බව ද අදාළ ඉන්දීය වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. adaerana

0 comments:

Post a Comment