Tuesday, July 27, 2010

ගිනි තබාගත් සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක් කරනවා


එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිරුරට ගිනි තබා‍ගෙන ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන බව හෙතෙම අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය.

ඊයේ පස්වරුවේ මෙම එ.ජා.ප පාක්ෂිකයා සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අත‍ර කළු‍බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියේය.adaderana

අසරණයා ගිනි තබා ගත්තේ පක්ෂයෙන් කළ පෙළඹවීම නිසයි


අසරණ පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂ‍යේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත් වූයේ පක්ෂයේම කිහිප දෙනෙකු විසින් කරනු ලැබූ පෙළඹවීම නිසා බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම අශිෂ්ට ක්‍රියාදාමයෙන් එක්සත් ජාතික පක්ෂය මොන තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇත්දැයි පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියේ"දෙරණ 360"වැඩ සටහනට සහභාගී වෙමිනි.

මෙම අසරණ පුද්ගලයා ගිනි තබා ගැනීම සඳහා පෙළඹවූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්,එය පොලීසියේ යුතුකම හා වගකීම වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ පස්වරුවේ මෙම එ.ජා.ප පාක්ෂිකයා සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අත‍ර කළු‍බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ සමගියෙන් වැඩ කළ යුතු බවත්, පක්ෂය බෙදීමට විරුද්ධ බවත්, එකමුතුකමෙන් යුතුව පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස මෙම මියගිය පුද්ගලයා ගිනි තබාගැනීමට පෙර ප්‍රකාශ කර ඇති බව ආරක්ෂක නිලධාරීන් සඳහන් කළ බව මේ සම්බන්ධයෙන්"අද දෙරණ"එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේය. adaderana

සේරුනුවර පාළු නිවසකින් ටී 56 ක් හමුවෙයි


සේරුනුවර පොලිස් වසමේ පූනගර්, ඊතලන්පත්තු ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයා ගෙන තිබේ. මෙය බයිනෙත්තුවක සවි කර තිබිය දී ඊයේ සේරුනුවර පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සේරුනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර කටුනායක පොලිසිය විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් අනාවරණය වූ තොරතුරු වලට අනුව කටුනායක ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙම ජීව අතේබෝම්බය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. adaerana

සේනක ද සිල්වා පලා ගිය සෙබළුන්ට වැටුප් ගෙවීමට හවුල් වෙලා


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් වශයෙන් කටයුතු කළ කපිතාන් සේනක ද සිල්වා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී යුද හමුදාවෙන් පලා ගිය හමුදා සෙබළුන්ට වැටුප් ගෙවීමේ ක්‍රියාවලියට හවුල් වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් ‍දී තිබේ.

අදාළ හමුදා කපිතාන්වරයාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව අනාවරණය කර තිබේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දේශනකාර්යාල භාරව මෙම සැකකාර කපිතාන්වරයා කටයුතු කර ඇති බව රහස් පොලිසිය පවසයි.

එහි දී ඔහු සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කටයුතු වලට යොදවා සිටි යුද හමුදාවෙන් පලා ගිය සෙබළුන්ට වැටුප් ගෙවීමේ කටයුතු වලට හවුල් වී ඇති බව රහස් පොලිසිය පෙන්වා දෙයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා සැකකාර කපිතාන්වරයා ලබන 2 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබේ. adaderana

ඉන්දීය උසස් නිලධාරියෙක් ශ්‍රී ලංකාවට


ඉන්දීය රජයේ උසස් නිලධාරියෙකු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං තීරණය කර තිබේ. ඒ සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ශ්‍රී යොදවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සිදුවන නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මොහු ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තීරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට පවසා තිබේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතා පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

තැපෑලේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තිත


තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වෘත්තීය සමිති මෙම තීරණය ගෙන ඇති බව තැපැල් හා වි‍දුලි සංදේශ අමාත්‍යාංශය පවසයි. සේවකයන් සිව් දෙනෙකුගේ මූල්‍ය වංචා සඳහා තැපැල් පාලන අධිකාරිය ඉදිරිපත් කරන ‍ලද චෝදනා පත්‍ර වලට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා එකඟ වීමත් සමඟ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කර තිබේ. සති දෙකක් ඇතුළත එම පරීක්ෂණ අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.adaderana

ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් 50 ට නිදහස


ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් පනස් දෙදෙනෙකු නිදහස් කර තිබේ. ධීවරයින් සමග ධීවර යාත්‍රා 18 ක් ද නිදහස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිටත් කර හැරීමේ නියෝග ලබා දුන් විගස එම ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සඳහන් කරයි.

පසුගිය 2009 වසරේ සිට ‍තංගල්ල, ත්‍රිකුණාමලය, දෙවිනුවර සහ මීගමුව යන ධීවර වරායල් වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් මේ අතර වේ. තවත් මෙරට ධීවරයින් 113 දෙනෙකු ඉන්දීය අත්අඩංගු‍ෙව් සිටින අතර ධීවර යාත්‍රා 32 ක් ද ඔවුන් භාරයේ තිබෙන බව අමාත්‍යාංශය පවසයි. එම ධීවරයින් සහ යාත්‍රා ඉතා ඉක්මනින් නිදහස් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

Saturday, July 24, 2010

මටත් බලාපොරොත්තු තියෙනවා


තමන් තනතුරු බලාගෙන ක්‍රියා නොකරන නමුත් ඕනම පුද්ගලයෙකුට පවත්නා යම් යම් බලාපොරොත්තු තමන්ටත් තියෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරි කැබිනට් සංශෝධනයේදී අගමැති ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවක් ඇත්දැයි අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා සිය දෙවෙනි ධූර කාලයේ දිවුරුම් දෙන බවත්,ඒත් සමගම නව කැබිනට් මණ්ඩලයක් පත්වන්නට නියමිත බවත් දැනට තමන් දන්නේ එපමණක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩ නැඟීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින්නේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

මහනුවර අලුත් රථ වාහන සැලසුම අකුලාගනී


අද පෙරවරුවේ ක්‍රියාත්මක කරන ලද මහනුවර නගරයෙහි නව රථ වාහන සැලැස්ම තාවකාලික ඉවත් කිරිමට තීරණය කර තිබේ. මීට හේතු වී ඇත්තේ නව සැලැස්ම තුළින් කලින් පැවතියාටත් වඩා වාහන තදබදයක් නගරය තුළ ඇති වීමයි.

මධ්‍යම පළත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් නව රථ වාහන සැලැස්ම ඉවත් කිරීමට තීරණය කළ බවයි. මෙම නව රථ වාහන සැලැස්ම හඳුන්වා දෙනු ලැබීම තුළින් ඇති වූ ගැටලු හඳුනා ගැනීමට හැකි වූ බවත් එම ගැටලු සඳහා විසඳුම් ලබා දී නැවත මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. adaderana

රුහුණු සරසවි සිද්ධිය ගැන ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි


රුහුණු සරසවියේ හටගත් සිද්ධිය සහ එහි ශිෂ්‍යයෙකු මිය යාම යන කරුණු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වලට නියෝග කර තිබේ.

සමස්ත සිද්ධිය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට , විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිසමට සහ රුහුණු සරසවි බලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉකුත් ජූනි මාසයේ රුහුණු සරසවියේ හටගත් සිද්ධියක දී පහර කෑමට ලක් වූ බව කියන සුසන්ත අරුණ ශිෂ්‍යයා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා රාත්‍රියේ මිය ගියේය.

මෙම මරණය සම්බන්ධයෙන් විවිධ මත පළ වීම හේතුවෙන් සමස්ත සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. adaderana

ලොව පළමු අගමැතිනිය අමතකවීම පිළකුල් සහගතයි


ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් වූ දිනය ශ්‍රී ලංකා රජයට මුළුමනින්ම අමතක වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි.

ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත්වී ජූලි මස 21 වන දිනට වසර 50 ක් සම්පූර්ණ වූ බවත්,ශ්‍රී ලංකා රජය එය සැමරිය යුතුව තිබුණු බවත් ඇය බී.බී.සී ලෝක සේවයට පවසා තිබේ. වත්මන් රජය බණ්ඩාරනායක පවුලට ප්‍රසිද්ධියේ එදිරිවාදිකම් කරන බවද ඇය සඳහන් කර ඇත.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කරමින් "රටේ සාමාන්‍ය ජනයාට විනා රජයට හෝ ඇයගේ පක්ෂයට ඇගෙන් රටට පක්ෂයට වූ සේවය අමතක වී යාම පිළිකුල් සහගතයි.නින්දිතයි"චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සඳහන් කර ඇත. "ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සලකුණු කරන්නට ඇය සමත්වුණා.ඇය නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය ගනු ලැබුවා..විදෙස් රටවල් සමග ගනුදෙනු බොහොමයක් ඇති කර ගැනීමට ඇය කටයුතු කළා." චන්ද්‍රිකා මැතිනිය සිහිපත් කර ඇත.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇත්දැයි ප්‍රශ්න කිරීමේදී ඇය ඊට පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළ බවද බී.බී.සී සේවය සඳහන් කරයි.adaderana

යතිවරයෙක් බුදුන් විකුණලා


පෞරාණික වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සහ කළ හිමිනමක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උස අඩි එකයි අඟල් 3ක් සහ බර කිලෝග්‍රෑම් 12 හමාරක් පමණ වන මෙම බුද්ධ ප්‍රතිමාව රුපියල් තුන් ලක්ෂ 50,000 කට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව, කුරුඳුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බව සඳහන්වේ.

සැකකාර හිමිනම අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

ඉන්ධන ජාවාරමක් මාට්ටු


කාලයක සිට සිදුකරගෙන යනු ලැබූ ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිසිය සමත්ව තිබේ.

දඹුල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමක දී මේ සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බව සඳහන්වේ.

ප්‍රධාන ඉන්ධන ගබඩාවල සිට පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන යන බවුසර් අතරමග නවතා ඒවායේ මුද්‍රා තැබීම් ඉවත් කොට මෙම ඉන්ධන ජාවාරම කෙරී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉන්ධන බවුසරයක රියදුරු, සහායකයා සහ ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ව්‍යාජ මුද්‍රා තබන මෙවලම් , වෙනත් බවුසර්වලින් ලබාගත් ප්‍රෙට්රල් සහ ඩීසල් බැරල් තොගයක් මෙන්ම ඉන්ධන බවුසරයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්වේ.adaderana

සරසවි සිසුගේ මරණය සී.අයි.ඩී යට බාරදුන්නා


රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත අරුණ ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.

සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙ‍නකුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙකක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලිස්පතිවරයා කියා සිටියි.

කෙසේවෙතත් මියගිය සුසන්ත අරුණ ශිෂ්‍යාගේ මව ඊයේ ප්‍රකාශ කර තිබුණේ පොලීසියෙන් පහරදී තිබුණද පොලිස් ප්‍රහාර වලින් තම පුතුට මහත් බලපෑමක් එල්ල නොවූ බව හා තවත් ශිෂ්‍යයෙකු කළ පහරදීමකින් මෙම මරණය සිදුවූ බවයි.

එසේ වුව ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ සරසවි ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තේ පොලීසිය බවයි.

කෙසේ වෙතත් තමන්ට පොලීසිය විසින් පහරදුන් බවට සුසන්ත අරුණ සිසුවා මිය යන්නට මත්තෙන් දියතලාව රෝහල් පොලිසියට කට උත්තරයක් ලබා දී ඇති බවද සඳහන් වේ.adaderana

නීති විරෝධීව සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමාවක්


නීතිවිරෝධී ලෙස ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමාකාලයක් ලබාදී තිබේ. දැනට ක්‍රියාත්මක වන පොදු සමාකාලය ලබන ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අදාළ කාල සීමාව තුළ ලෙබනනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කිසිදු මුදලක් අයකර නොගන්නා බවත්, ඔවුන්ට ‍එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා බව ද ලෙබනන රජය නිවේදනය කර ඇත. මේ වන විට ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ලෙබනනයේ රැකියාවල නිරතව සිටින බව ද සඳහන් වේ. adaerana

ස්වයං රැකියා ලාභීන්ටත් විශ්‍රාම වැටුප්


රාජ්‍ය ‍විශ්‍රාම වැටුපක් අහිමි සියලුම දෙනාට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ස්වයංරැකියාවන්හි නිරත වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නැංවීමට යෝජිතය.

අවුරුදු 18 ත් 59 ත් අතර වයසේ පසුවන අදාළ වෘත්තිකයන්ට මෙම විශ්‍රාම වැටුප් හිමිකම් දායකත්වය ලැබිය හැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි. එහෙත් ධීවර කර්මාන්තවල නිරත වෘත්තිකයන්ට මෙම දායකත්වය ලැබිය නොහැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන්කරයි.

රූපලාවන්‍ය ශිල්පීන්, ත්‍රිරෝද රථ රියදුරන්, පෞද්ගලික බස්රියදුරන්, හස්ත කර්මාන්ත ශිල්පීන්, කුඩා කර්මාන්ත හිමියන්, තොග හා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයින් ආදී වෘත්තිකයින්ට මෙහි දායකත්වය ලැබිය හැකි බව සඳහන් වේ. adaderana

ශ්‍රී ලංකාවට එරෙහි සීමන් තවදුරටත් රිමාන්ඩ්


ශ්‍රී ලංකා රජයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක නිරත වී ජාතික ආරක්ෂාව පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට පත් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නාන් තමිලර් ඉයක්කම් සංවිධානයේ නිර්මාතෘ සීමාන් අගෝස්තු මස 06 වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

වේලු රිමාන්ඩ් භාරයේ තබා සිටි සීමන් නඩු විභාගය සඳහා අද දහවල් චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ශාන්තිනී විසින් මොහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර ඇති බව GTN පුවත් සේවය උපුටා දක්වයි.

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තබන්නේනම් ඉන්දියාවේ ශ්‍රී ලාංකික කිසිවෙකුටත් වාසය කිරීමට ඉඩ නොතැබිය යුතුයි යන්න සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කළ මොහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 12 වන දින අත්අඩංගුවට පත්විය.

එසේ වුවද චෙන්නායි අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාව ආවරණය කිරීම සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන් අමතා සීමන් කියා සිටියේ"තමිල්නාඩු ධීවරයින්ට අරක්ෂාව නෑ.ජාතික ආරක්ෂාව යටතේ මාව රඳවාගෙන තබාගැනීම සාධාරණද.."? යන්නයි.

"ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට වෙඩි තියනවා.ඒකට විරුද්ධ වුණාම මට උරුම හිරගෙයද..?අද වෙනතුරුත් මාව තනි කූඩුවක හිර කරලා.." සීමන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

හොරෙන් ගස් කැපූ කළමනාකාරවරයාගේ වැඩ තහනම්


රාජ්‍ය දැව සංස්ථාවේ අම්පාර ප්‍රාදේශීය කළමනාකරුවෙකුගේ වැඩ තහනම් කර තිබේ. අම්පාර මහඔය , රඹුක්කන්ඔය ප්‍රදේශයේ සිදුවු දැව ජාවාරමකට සම්බන්ධ බවට අදාළ ප්‍රාදේශීය කළමනාකරුවාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති එස්.අමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව සඳහන් කළ සභාපතිවරයා එම සිද්ධියට සම්බන්ධ බවට සැ‍ක‍ කෙරෙන තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ‍මීට පෙර පියවර ගත් බව ද කියා සිටියේය. සංස්ථා සභාපතිවරයා ලෙස තමාට හිමි බලතල යටතේ මෙම පියවර ගත් බව අමරසිංහ මහතා සඳහන් කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරීන් විසින් මෙම දැව ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි. adaderana

ඩෙංගු වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි


ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ යටතේ දිස්ත්‍රික්ක තුළ ඩෙංගු මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මසකට වරක් පුළුල් සමාලෝචනයක් සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඩෙංගු මර්දනය පිළිබඳ වගකීම් පැවරීමේ විශේෂ සමුළුවක් අද කොළඹ දී පැවැත්වුණි. ඩෙංගු රෝගය මේ වන විට දිස්ත්‍රික් 15ක ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එසේ වුව ද ඩෙංගු රෝගීන් සමස්තයක් වශයෙන් රටපුරාම වාර්තා වන බවය. adaderana

මගේ පුතා මැරුණේ පොලීසියෙන් ගුටිකාල නෙවෙයි


තමන්ගේ පුතාට පොලීසිය එළව එළවා පහරදුන්නත් එය එතරම් බලපෑමක් විය නොහැකි බවත්,‍එයින් වේදනාවක් ගෙන නොදුන් වග ඔහු කියා සිටි බවත් පහරකෑමට ලක්ව මිය ගිය සරසවි සිසුවාගේ මෑණියන් වන වයලට් මනතුංග මහත්මිය පවසයි.

තමන්ට වඩාත් රිදුණේ තමන්ගේම ශිෂ්‍යයෙකු විසින්ම දුන් පහරදීමකින් බවට ඔහු සඳහන් කළ බවත්,ඒ පිළිබඳ සිසුන් නිවරදි තොරතුරු දන්නා නමුත් මේ වන විට බිය නිසා නොකියන බවත් ඇය කියා සිටියේ අද නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතා ඉදිරියේ ප්‍රකාශයක් කරමිනි.

මියගිය ශිෂ්‍යයා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සුසන්ත අරුණබණ්ඩාර නැමති අයෙකි..

තම සිසුවකු මරා දැමීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මාතර නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඒ සඳහා රුහුණු සරසවියේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ ද සහය ලැබුණු බව වාර්තා විය. adaderana

රට රැකියා පෙන්නා ලක්ෂ නවයකට විදලා


විදේශ රැකියා ල‍බාදෙන බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 9 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය‍ වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ..

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වන ශරීර ඇප මත සහ රුපියල් 20,000 බැඟින් වන මුදල් ඇප මත මුදා හැර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය. adaderana

Sunday, July 18, 2010

කුණු දැමූ 200 ක් ඇප පිට නිදහස්


මහ මග කුණු දමායන්නන්ට එරෙහිව පාරිසරික පොලිස් ඒකකය සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. නීති විරෝධී ලෙස කුණු දැමීමේ චෝදනාවට මේ වන විට 200 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 140 ක පමණ පිරිසක් මෙම විශේෂ පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන බවත්,එය සෘජුව ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් වාර්තා වේ. 140 දෙනෙකුගෙන් යුතු මෙම ඒකකයේ පොලිස් නිලධාරීන් 12 දෙනා බැගින් කොළඹ හා ඒ අවට පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇති බවද සඳහන් වේ. adaderana

ඇඳුමක් වෙනුවෙන් රටේ ස්වාධීනත්වය පාවාදෙන්නේ නෑ


ඇඟලුම් කම්හලක මසන ඇඳුමක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ස්වෛරීභාවය හෝ ස්වාධීනත්වය පාවා නොදෙන බව තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. විවිධ හේතු දක්වමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම අත්හිටුවීම මගින් මෙරට ගමන වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කිරීමෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව අසරණ කිරීම බොහෝ රටවල අභිලාශය වී ඇති බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. නාවලපිටිය ප්‍රදේශයේ නව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. adaderana

නැව් වලින් තෙල් පොම්ප කිරීම පැය 24 පුරා


නෞකාවල සිට තෙල් පොම්ප කිරීමේ කටයුතු දවසේ පැය 24 පුරා සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමගින් මසකට තෙල් සංස්ථාවට රුපියල් මිලියන 12ක ඉතිරියක් ලැබෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය. පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ පමණක් නෞකා මගින් තෙල් පොම්ප කිරීමේ කටයුතු ‍මීට පෙර සිදුවු අතර මින් ඉදිරියට එය පැය 24 පුරාම සිදුකිරීමට නියමිතව ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම තෙල් පොම්ප කිරීමේ කටයුතු සිදුවන බව ‍සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නෞකාවලින් බොරතෙල් පොම්ප කිරීම සපුගස්කන්ද දක්වා ද පිරිපහදු තෙල් පොම්ප කිරීම කොළොන්නාව දක්වා ද ඒ අනුව සිදුකෙරෙනු ඇත. adaderana

තරංග කුළුදුල් ශතකය රැස් කරයි


මීට සුළු මොහොතකට පෙර තරංග පරණවිතාන සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ. ඒ මේ වනවිට ගාල්ලේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. adaderana

අවිගත් පිරිසක් අම්පාර නිවාස කිහිපයකට ගිනි තබලා


අම්පාර, පානම ශාස්ත්‍රවේලී ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් ගිනි තබා විනාශ කර තිබේ. ඊයේ රාත්‍රී නාඳුනන අවිගත් පිරිසක් ‍පැමිණ මෙම නිවෙස් වලට ගිනි තබා ඇති බව පොතුවිල් පොලිසිය සඳහන් කළේය. ගි‍න්නෙන් නිවාස 7ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

පැමිණි පිරිස් සිදුකළ පහරදීම් හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana

අපරාධ රැසකට සැකපිට දෙදෙනෙක්ට මාංචු


සොරකම් කිරීම්, මං‍කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කුලියාපිටිය සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සොරකම් කරන ලද ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථන, මුදල් හා රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොස්වත්ත පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව සදහන්ය. adaderana

සීමාන් හිරගෙට


ශ්‍රී ලංකාවට එරෙහිව ජනතාව කුපිත කරවන සුළු ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයාට වසරක සිර දඬුවමක් ලබා දී තිබේ. සීමාන් නම් මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා එරට දෙමළ පක්ෂයක නිර්මාතෘවරයකු බව ද සඳහන්ය. පසුගිය 12 වනදා චෙන්නායි නුවර පැවති උද්ඝෝෂණයක දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ සිදු කළ බවට චෙන්නායි පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සීමාන්ට ඉන්දීය ආරක්ෂණ පනත යටතේ නඩු පැවරූ අතර ඒ අනුව ඊයේ දිනයේ දී ඔහුට වසරක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබේ. සීමාන්ගේ නීතීඥයින් විසින් ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

උඩුදුම්බර ඩිපෝවේ රියදුරෙක් උපවාසයක


හසලක, උඩුදුම්බර ඩිපෝවට අයත් භූමියේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන ලෙස ඉල්ලා එම ඩිපෝවේ රියදුරෙකු උපවාසයක් ආරම්භ කර තිබේ. ඊයේ උදෑසන සිට උඩුදුම්බර ඩිපෝ කාර්යාලයේ වහලය මතට නැග ඔහු මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය 14 වන දා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහි දී එම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. එහෙත් නැවත එම භූමියේ අනවසර ඉදිකිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ‍එයට විරෝධය පළ කරමින් හසලක උඩුදුම්බර ඩිපෝවේ සේවය කරන රියදුරෙකු වන ඩී. කේ නිමල් වීරබාහූ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබේ. adaderana

කියුබාවේ බී.ටී.අයි ලීටර දස දහසක් ලංකාවට


ඩෙංගු මර්දනය සදහා කියුබාවෙන් ආනයනය කරනු ලබන බී.ටී.අයි බැක්ටීරියාව ලීටර දස දහසක් එළඹෙන මාසයේ මෙරටට ගෙන්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සදහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව සඳහන්ය.

එළඹෙන අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම බැක්ටීරියාව මධ්‍යම පළාතේ හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 3 ක පළමුව ඉසීමට කටයුතු යොදා තිබේ.

මේ අතර මෙරට නිෂ්පාදිත බී.ටී.අයි බැක්ටීරියාව ඉදිරි සතිය ඇතුළත වෙළඳපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මීට අමතරව ඊයේ දිනයේ සිට ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබා දී තිබේ. adaderana