Thursday, February 18, 2010

ඝාතන සැකකරුවන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට


පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දස දෙනෙකුට තුවාල සිදුකරන ලදැයි ‍චෝදනා එල්ල වූ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පුත්තලම දිසා අධිකරණය නියෝග කළේය.
සුගිය ජනවාරි 16 වැනිදා පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ රැළියකට යමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ.
අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරුවරයා නි‍යෝග කළේය. එහෙත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඔවුන් ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 24 වැනිදා පවත්වන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

ශ්‍රී ලාංකිකයෙකු ක්‍රෙඩිට් වංචාවකදී හසුවෙයි


ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කළ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියානු පොලීසියේ මධ්‍යම අපරාධ අංශය විසින් පසුගිය බදාදා දින අත්අඩංගුවට ගෙන තිබේ.
සංජීව් කාන්ත් නම් මෙම ශ්‍රී ලාංකිකයා එම ක්‍රෙඩිට් පත් භාවිත කර ලැප්ටොප් යන්ත්‍රයක් හා පරිගණක උපාංග කිහිපයක් මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථාවක ලද හෝඩුවාවක් අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මධ්‍යම අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් සංජීව් කාන්ත්ව අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ ඔහු සතුව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් තුනක් තිබී ඇත.
අලපක්කම්හි පිහිටි සංජීව් කාන්ත්ගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඩෙබිට් කාඩ්පත් 107ක් හා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 07ක් පමණ හමුවී ඇත. විවිධ රටවල පුද්ගලයින්ගේ නම් ඇතුළත් ක්‍රෙඩිට් කාඩ් මේ අතර තිබී ඇති බව ද අනාවරණය වී තිබේ. adaderana

හෙරොයින් සමග අත්අඩංගුවට


හෙරොයින් කිලෝග්‍රෑම් 28 ක් සමග පුද්ගලයෙකු කල්පිටිය පොලිසි‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත මුන්දලම, කිරියන්කල්ලිය, අක්කරවෙල්ලිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නවීන පන්නයේ බෑගයක් තුළ මෙම හෙරොයින් තොගය අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව ද කල්පිටිය පොලිසිය සඳහන් කරයි.
මෙතෙක් මෙරටින් ‍සොයා‍ගනු ලැබූ විශාලතම හෙරොයින් තොගය මෙය වන බව පොලිසිය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර හෙරොයින් ග්‍රෑම්ස් 938 ක් සමග දෝහාකටාර් සිට පැමිණි විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුව‍ට ගත් අදාළ සැකකරු පාකිස්තාන ජාතිකයෙකු බව පොලිසිය පවසයි. adaderana

සිසුන් ඇතුළත් කරගැනීමේ බලය විදුහල්පතිට


පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ බලය සම්පූර්ණයෙන්ම විදුහල්පතිවරයා වෙත පවරන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් යටතේ මෙය ක්‍රියාත්මක වන බව ඒ මහත‍ා පෙන්වා දෙයි. හොරණ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වලට පරිගණක තාක්ෂණය ලබාදීමේ වැඩපිළිවෙළ හඳුන්වා දීම වෙනුවෙන් හන්ඳුපැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. adaderana

සබරගමු මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර


සබරගමු පළාතේ මාධ්‍යවේදීන්හට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීමට පළාත් සභාව පියවර ගෙන තිබේ.
නිදහස් ගමන් බලපත්‍ර ප්‍රදානය කිරීම සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් ඊයේ සිදු කෙරුණි. මෙහිදී මාධ්‍යවේදීන් 75 දෙනෙකු වෙනුවෙන් නිදහස් ගමන් බලපත්‍ර ප්‍රදානය කෙරුනු බව සඳහන් වේ. සබරගමුව මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියට අයත් ඕනෑම බස්රථයක ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කිරීමේ හැකියාව ඒ අනුව උදාවනු ඇත.

කණ්ඩායම් නායකයින් නම් කිරිම සිකුරාදා


එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් ලබන සිකුරාදා නම් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
25, 26 යන දිනවලදී සියලුම දිස්ත්‍රික්කවල නාමයෝජනා භාරදීම සිදුකරන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ වන විටත් රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය සහ මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ada

නිවාඩු ගැනීම් වහාම අත්හිටුවයි


ඉහළ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ලබා ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තීරණය කර තිබේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව ‍තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දිසාභාර පොලිස් නිලධාරීන්, දිස්ත්‍රික් සහ කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.
අප්‍රේල් 8 වැනිද‍ා දක්වා මෙම නිවාඩු අවලංගු කිරීම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. පොලිස් පරීක්ෂකවරුන් සහ අනෙකුත් පොලිස් කොස්තාපල්වරුන් නිවාඩු ලබාගැනීමේ දී දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවසර ලබා‍ ගත යුතු බවට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරී පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බවද පොලිස්පතිවරයා පවසයි. විශේෂයෙන්ම මනාප ගණන් කිරීමේ කාර්යයේ දී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වඩාත් හොදින් තහවුරු කරන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Wednesday, February 17, 2010

කුමන්ත්‍රණ චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය රඳවාගෙන සිටි 14 දෙනා නිදහස්

ජෙනරාල් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධව සිටිමින් රජය පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා මත ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන සිටි පුද්ගලයන් 14 දෙනකු නිදහස් කරන්නැයි කොළඹ අංක 01 මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (17) නියෝග කළාය. මෙසේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන සිටියේ විශ්‍රාමික යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් 14 දෙනෙකි. ඔවුන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සහාය දීම පිළිබඳව සාක‍ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන බවයි.lankaenews

කරුණා ජාතික ලැයිස්තුවෙන් ඉවතට


ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කළ නොහැකි බව ශ්‍රීලනිප නායකත්වය විසින් දැනුම්දී තිබේ. මුරලිදරන් මහතා පාර්ලිමේන්තුවට පත්වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ උපසභාපතිවරයෙකි. දෙමළ ජනතාව කැමැති නායකයා කවුරුන් දැයි තෝරා ගැනීමට දෙමළ ජනතාවට ඉඩදිය යුතු බැවින් මහා මැතිවරණයට ඉදිරිපත්ව තරඟ කොට ජයග්‍රහණය ලබා ගන්නයි ජනාධිපතිවරයා මුරලිදරන් මහතාට දැනුම් දුන් බව දැනගන්නට ඇත. මේ අනුව මුරලිදරන් මහතා ලබන මහා මැතිවරණයේදී එජනිස අපේක‍ෂකයකු ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරනු ඇත. නැගෙනහිර පළාත් සභා ඇමැති හිස්බුල්ලාගේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ගනේෂමූර්ති, අමීර් අලි සහ අලි සහීර් මව්ලානා මහත්වරුන් සන්ධානයේ අපේක‍ෂකයින් ලෙස මඩකලපු දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නියමිතය. මේ අතර නැගෙනහිර පළාතේ මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට වෙනම තරඟ කිරීමට තීරණය කොට ඇත.lanakaenews

අන්තර් ජාලයට වැට බැඳීම මැතිවරණය අවසන් වනතුරු කල් තැබේ


අන්තර් ජාලයට සම්බාධක පැනවීමට යන බැව් මාධ්‍ය මගින් හෙළිවීමත් සමග මහ මැතිවරණය අවසන් වන තෙක් ඒ සඳහා සෘජු නීති ගෙන ඒම තාවකාලිකව නවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි නියාමන කොමිසන් සභාවට උපදෙස්දී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවුවද, මේ කි්‍රයාදාමයේ මූලික පියවරක් ලෙස මේ වසරේ සිට පුවත් වෙබ් අඩවි සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී සිය වෙබ් අඩවියට දෙලක‍ෂයකට වැඩි පිරිසක් ඇතුළුවී ඇතැයි යනුවෙන් ඔප්පු කළ යුතු බවට දැඩි නීතියක් ගෙනඒමට පියවරගෙන ඇතැයි පැවසේ. මීට පෙරද අන්තර් ජාල වේබ් අඩවි සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීමේදී මෙවැනි කොන්දේසියක් තිබූ අතර, එය එතරම් තදින් බලාත්මක කර නොතිබිනි. එහිදී එම පිවිසීමේ ගණන ලක‍ෂයකට සීමාවූ විය. මේවන විට මේ කොන්දේසියට යටත් නෙවන ලෙස පුවත් වෙබ් අඩවි සඳහා මාධ්‍ය හැඳුනුම්පත් නිකුත්කර ඇත්නම් ඒවා යළිත් ලබා ගන්නා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි ද පැවසේ. zගූගල්Z එන්ජිම හරහා සිදුකරනු ලබන ගණුදෙනු රජයේ බුද්ධි අංශ වලට හසුකර ගැනීමට නොහැකි බැවින් ඉදිරි කාලයේදී zගූගල්Z වෙබ් එන්ජිම සඳහා පිවිසිීමේ යම් බාධා ඇති කිරීමට සැලැසුම්කර ඇතැයි ද වාර්තා වේ. මෙම ක්‍රියමාර්ග සඳහා චීන තාක‍ෂණික විශේෂඥයින්ගේ සහයෝගය ලැබී තිඛෙන බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. lankawebnews

කොම්පියුටර් ජිල්මාට් හොයාගන්න අමාරුයි


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දූෂිත බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමට කොම්පියුටර් ජිල්මාට් ඇතුළත් නොකළේ ඒ පිළිබඳ කරුණු සොයා ගැනීමට අපහසු වූ නිසා බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කළ කරුණු දැක්වීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ පෙත්සමට ‍පරිගණක අක්‍රමිකතා සිදු වූ බව ට නඟන චෝදනාවට අදාලව සාක්ෂි ගොනු කරනු ලැබුවේදැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහෙත් ජනාධිපතිවරණයට අදාලව වෙනත් අක්‍රමිකතා සිදුවූ බවට ප්‍රමාණවත් සාක්ෂි පෙත්සමට ගොනු කර ඇතැයිද ඔහු පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් එකී ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.
පසුගිය ජනවාරි මස 26 වන දින පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලැබූවද පොදු විපක්ෂයේ නියෝජිතයින් මෙම ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිණි.derana

බලේ තියෙන කොට මොළේ නෑ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව පැහැර ගත් බව ජ.වි.පෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
තමන්ගේ ඇස් ඉදිරිපිට එය සිදුවූ බවත්,එය කිසිවෙකුටත් රහසක් විය නොහැකි බවත් ජ.වි.පෙ නායකයා කියා සිටියේය.
මෙම අසාධාරණ තීන්දුවට එරෙහිව අත්සන් දස ලක්ෂයක් නොව කෝටියක් වුව එකතු කළ හැකි බවද,ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ අරගලය දිගින් දිගටම ගෙන යන බවද හෙතෙම කියා සිටියේ අද ජයවර්ධන කේන්ද්‍රයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයකින් යුතු මහජන පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
ආණ්ඩු පක්ෂයේ නායකයන්ට බලය තියෙන කොට මොළය නැති බවත් ඒ නිසාම මේ වන විට රට අරාජික තත්ත්වයට පත්කොට ආණ්ඩුව හත්පොලේ ගා ගෙන ඇති බවත් ජ.වි.පෙ නායකයා කියා සිටියේය.derana

සනත් මහ පුටුවකට තරඟ කරයි


ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා එළඹෙන මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින බව හිටපු ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද ‍කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කරන ලදී. සනත් ජයසූරිය පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරනු පිණිස මැතිවරණ වේදිකාවට ගොඩ වූ අයෙකි.
රටේ ත්‍රස්තවාදය නිමා කරමින් බයක් සැකක් නැතිව ලොව විවිධ රටවලින් ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමට නිදහස් පසුබිමක් ඇති කළ ජනාධිපතිවරයාට කෘත ගුණ සැලකීමට තමන් මැතිවරණ වේදිකාවට ගොඩ වූ බව ඔහු එදා කියා සිටියේය. derana

ෆොන්සේකා වෙනුවෙන් ඇමරිකාවේත් උද්ඝෝෂණ


ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා නිව්යෝර්ක් වල පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින බවට චෝදනා කරමින් ඇමරිකාවේ වෙසෙන ශ්‍රීලාංකිකයින් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. derana

සමුළුවට බෝම්බ ගහන බවට තර්ජනය කරලා


ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් කැඳවන ලද මහා සංඝ සමුළුව ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීමෙන් කල් දමන්නට සිදුවූයේ ආණ්ඩුවේ තර්ජන නිසා බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
රජයට හිතවත් බෞද්ධ හිමිනමක් ඇතුළු රජයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සඟ සමුළුව කැඳවුවහොත් මහ මළුව අබියස බෝම්බ පුපුරවන බවටත්,පන්සල් වලට පවා පහර දෙන තත්ත්වයක් නිර්මාණය කරන බවටත් තර්ජනය කර තිබීම හේතුවෙන් සඟ සමුළුව කල් දැමීමට සිදුවූ බව හෙතෙම කියා සිටියි.
තමන්ට තර්ජන එල්ලවීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති බැවින් සමුළුව කල් දමන්නට සිදු වු බව මහ නායක හිමිවරුන් පවා පිළිගෙන ඇති බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සංඝභේදය ඇති කරන්නට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල කිරීම තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්,මහ නායක හිමිවරුන් සඟ සමුළුව කැඳවූයේ දේශපාලන අරමුණු වලින් තොරව බවද වැඩිදුරටත් කියා සිටියේය.

ඡන්දෙට පෙර ෆොන්සේකා නොගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට පෙරාතුව අත්අඩංගුවට නොගත්තේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය නිසා බව ඉන්දියාවේ ශ්‍රීලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා පවසයි.
මාධ්‍යවේදී වික්‍රම් බාල් සමග ඉන්දීය මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් හෙතෙම මේ බව පවසා ඇත.
ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරනු ලැබීනම් මේ අයුරින් නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැතිවා නොවේදැයි වික්‍රම් බාල් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රීලංකා තානාපතිවරයා කියා සිටියේ බල‍ය අක්‍රීය වූ පසු නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය.derana

දනුනගේ මව ඇප පිට මුදාහැරෙයි


දනුන තිලකරත්න ගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඇප මත මුදා හැරීමට අද ගල්කිස්ස අධිකරණය විසින් නියෝග කර තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඊයේ අපරාධ පරීක්ෂණ පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව රඳවා තබා ගන්නා ලදී.
අනුව අද ඇය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලදී. කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පුද්ගලික බැංකුවක තැන්පත් කර ඇති ඇමරිකානු ඩොලර් 525,000 කට අධික මුදල් ඇතුළු මුදල් ආපසු ගැනීම අත්හිටුවීමේ නියෝගයක්ද සහිතව අශෝකා තිලකරත්න මහත්මිය ඇප පිට මුදා හැර ඇත.
‍අශෝකා තිලකරත්න මහත්මියගේ විදෙස් ගමන බලපත්‍රය අධිකරණ බාරයට ගෙන ඇති අතර සෑම සති අන්තයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද දන්වා ඇත. derana

ආරක්ෂාව වෙනුවෙන් යූ.ඇන්.පීය අධිකරණයට යයි


විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නඩු පැවරීමට සුදානම් වේ.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසන පරිදි විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම බරපතල තත්ත්වයකි.
මීට පෙර පැවති මැතිවරණ අවස්ථා වලදී සිදුවුයේ මැතිවරණයෙන් අනතුරුව යළි පාර්ලිමේන්තුවට තේරී පත් නොවු හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම බව කරුණාතිලක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව අද දිනයේ නඩු පවරන බව කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසුවේය.derana

දරුවකු පැහැරගන්න හැදූ තිදෙනෙකුට නෙදර්ලන්තයෙන් දඬුවම්


ශ්‍රීලාංකික දරුවෙකු පැහැරගැනීමට තැත් කිරීමට එරෙහිව නෙදර්ලන්ත අධිකරණයක් මගින් තිදෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ.
ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර දරුවා රටින් පිට කිරීමට උත්සාහ දැරීම නිසා ස්වෝල් නගරයේ අධිකරණයක් මගින් මෙම දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව මෙම කාර්යයේ ප්‍රධාන සැකකාරියට දින 189 ක්,සැකකරුට දින 134 ක් සහ මොවුන්ට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර දුන් බව කියන සහායකට දින 6 ක කාලයක් ලෙස සිරදඬුවම් හිමි වී තිබේ.
මෙම සැකකරුවන් මීට පෙර අවස්ථාවකදීද මෙවැනිම චෝදනා වලට ලක්වූවන් බව නෙදර්ලන්ත අධිකරණය මගින් පෙන්වා දී ඇත.

බසයක් පෙරළීමෙන් පහකට තුවාලයි


ගල්ගමුව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. අද අලුයම ගල්ගමුව අරසන් වැව ප්‍රදේශයේදී මෙම බස් රථය පෙරළී යාමෙන් අනතුර සිදුවී ඇති බව ගල්ගමුව පොලිසිය පවසයි.
මීගල්ලෑව සිට කුරුණෑගල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබුවන් ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි..

රිය අනතුරින් දෙදෙනෙක් මරුට


නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්‍රි 10.30 ට පමණ කොළඹ සිට නුවර දෙසට ධාවනය වු බවුසරයක් සහා එම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාඅනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Tuesday, February 16, 2010

ලංකා කර්තෘට ඇප දෙන්නැයි කියා ඉඩිමහින් යලිත් ඇන ගනී



ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා බව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අද උදෑසන ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජනාධිපතිවරයා මෙම නියෝගය කළ බවද එහි සදහන්වේ.
කෙසේ වෙතත් අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව රහස් පොලීසිය විසින් රදවාගෙන සිටි සිරිමල්වත්ත මහතාගෙන් පසුගිය පෙබරවාරි 05 වනදා වන විට ප්‍රශ්න කිරීම් අවසන්වී ඇති අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 08 ඔහු තවදුරටත් රදවා තබා ගැනීමට අදාලව චෝදනා ගොනුකළ හැකිද යන්න නීතිපතිවරයාගෙන් විමසා තිබේ. එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බැවින් රැදවුම් නියෝග යටතේ ඔහු තවදුරටත් රදවා තබාගත නොහැකි බව නීතිපතිවරයා දැනුම්දීමෙන් අනතුරුව සිරිමල්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.
ඒ අනුව සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට අපොහොසත්වී ඇති බැවින් කිසිදු ඇප කොන්දේසියකින් තොරව ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත පළවේ.truth

ජෙනරාල් රඳවා සිටින නිවසේ ජනෙල් ලෑලිවලින් වසා සීල් කරලා -බිරිඳ අනෝමා


මගේ සැමියා මානසිකව වැටී ඇතැයි බොහෝ අය සිතා සිටියත් ඔහු ගේ මානසික තත්ත‍වය ඉතා ඉහළ මට්ටමකින් පවතින බව ජෙනරාල් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද (16) සඳහන් කළාය.
ඇය මේ සඳහන කළේ පිටකෝට්ටේ zzසිරිකොතZZ මන්දිරය ඉදිරිපිට ජෙනරාල් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කරන සත්‍යග්‍රහයට සහභාගි වෙමිනි.
එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය.
මගේ සැමියා රඳවා සිටින්නේ සමහර අය කියන සුඛෝපභෝගී තැනක නොවෙයි. නාවික හමුදා මූලස්ථානයේ විවාහක නිලධාරීන් සඳහා වෙන්කර ඇති නිවාසයක. එAක සාමාන්‍ය කාමර 2 කින් යුත් තට්ටු නිවාසයක් (ෆ්ලැට් එකක්). ඔවුන් එAකෙ ජනෙල් පවා ලෑලි ගහල සීල් කරලයි තියෙන්නේ. එය වාතාශ්‍රය ලැබීමට බාධාවක්. ඒ නිසා වෛද්‍යවරු නිර්දේශ කරලා තිඛෙනවා වායුසමීකරණ යන්ත්‍රයක් හෝ සැපයිය යුතුයි කියලා. ඔවුන් එය ලබා දෙන බවට පොරොන්දු වුණා. මා ඔහුගේ දිවා හා රාත්‍රී ආහාරය සපයනවා.
අපව මානසිකව වට්ටන්න තමයි මේ අය උත්සාහ ගන්නේ. එA නිසයි ඔවුන් අපව මේ ඉතා අසාධාරණ ලෙස හැමදේටම පටලවන්න හදන්නේ. ජෙනරාල්වරයා ඉතා හොඳ මානසික මට්ටමකින් ඉන්නවා වගේම හොඳ සෞඛ්‍ය තත්ත‍වයකින් පසු වෙනවා.
සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙන අතර ජෙනරාල්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා අද සවස උද්ඝෝෂණයක්ද පවත්වන බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.lankaenews

ධර්මශී්‍ර ඉවත් කිරීමට zහෙලදිවZ වසාදමයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රතිරූපය පිම්බීමට පවත්වාගෙන යන ලද zහෙළදිවZ පුවත්පත හදිසියේ වසා දැමා ඇත්තේ එහි ප්‍රධාන කර්තෘ ධර්ම ශී්‍ර කාරියවසම් ඉවත් කිරීට බැව් වාර්තා වේ. ඉකුත් ජනාධිපතිවරණයේදී විමල් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා නිලියක් සමග අයථා සම්බන්ධයක් ඇතැයි සඳහන් පුවතක් පළකරන ලෙස ධර්මශී්‍ර වෙත බලපෑම්කර ඇතත් ඔහු ඒ පිළිබඳව කසිදු සාක‍ෂියක් නොමැති බැවින් එවැන්නක් පළකර තමාට උසාවිගානේ රස්තියාදුවීමට නොහැකි බව පැවසීමේ කොන්තරයක් මෙම පුවත්පත වසා දැමීමට හේතුවී ඇතැයි පැවසේ. කිසිදු හේතුවක් නොමැතිව zහෙළදිවZ හිටපු ප්‍රධාන කර්තෘ ධර්මශී්‍ර ඉන් ඉවත් කළ නොහැකි බැවින් හා මෙම පුවත් පත ආරම්භ කිරීමට එක්කරගන්නා ලද බොහෝදෙනකු කර්තෘවරයාට හිතවත් අය බැවින් පුවත්පත කෙටි කලක් වසාදමා නැවත ආරම්භ කිරීමේ සැලැසුම මත මෙය වසා දමා ඇතැයි ද වාර්තා වේ. zහෙළදිවZ පුවත්පත විමල් වීරවංශගේ ඉතාම කිට්ටු මිත්‍රයෙකු වන ජපන් සමන් නැමැති අයකුට අයත්වූවකි. ඔහු ජපානයේදී සොරාගනු ලබන මෝටර් රථ මෙරටට පැටවීමේ කාර්යයේ නිරතවන්නෙකු බව ද පැවසේ. සයුරී ප්‍රකාශන ආයතනය මගින් මෙම පුවත්පත මුද්‍රණය කර ඛෙදා හරිනු ලැබිණි. zහෙළදිවZ වසා දැමීමට ආසන්න කලයේදී එය මුද්‍රණයකර ඇත්තේ දිවයින මුද්‍රණාලයේ බවද මේ අතර, වාර්තා වේ. ඒ කාලයේදී එහි ප්‍රධාන කර්තෘවරයා විසින් අවසන් වශයෙන් පරික‍ෂා කිරීමෙන් පසුව ද ඊට වෙනත් ලිපි ඇතුලත්වී ඇතැයි ද වාර්තා වේ. කෙසේවුවද ජනාධිපතිවරණයට පෙර මේ පුවත්පත zඩූ ඕ ඩයිZ හෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටින බව අප කීවෙමු. මාර්තු මුල් සතියේදී මෙය නැවත ආරම්භ කිරීමට යන බවද මේ අතර, වාර්තා වේ. lanka news web

දුමින්දගේ zනැටිලිZ හා zටේ්‍රසිZ නාමල් ඩැහැගෙන ගිහින්

දුමින්ද සිල්වාගේ පෙම්වතියන් දෙදෙනෙකු ඔහුට රහසින් නාමල් රාජපක‍ෂ සමග සමීප සබඳතාවයක් ගොඩනගාගැනීම සම්බන්ධයෙන් දුමින්ද හා නාමල් අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයක් ඇතිකරගැනීම සඳහා දෙපාර්ශ්වයේ හිතවතුන් කිහිප දෙනෙකු පසුගිය දා වැල්ලවත්ත zකරිලීෆ්Z භෝජනාගාරයේ පවත්වාඇති සාකච්ඡාව බහින් බස් වීමකින් අවසන් වී තිබේ. එසේ වුවද පෙම්වතියන් දෙදෙනා අහිමි වුවත්, මහ මැතිවරණය පැවැත්වෙන මොහොතේ නාමල් සමග ගැටුමකට යාමට දුමින්ද බලාපොරොත්තු නොවන බව ඔහුගේ සමීප හිතවතෙකු අප කළ විමසීමේදී ප්‍රකාශ කළේය.lanka news web

සෝමා කුමාරිගේ අභාවයෙන් හිස්වූ නිකවැරටිය ආසනය ජොන්ස්ටන්ට

හිටපු මන්ත්‍රීනී සෝමා කුමාරි තෙන්නකෝන්ගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වී තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සංවිධායක ධූරය, එක්සත් ජාතික පක‍ෂයෙන් ආණ්ඩුවට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන‍දු වෙත පවරා තිබේ. එම ආසනයට ජොන්ස්ටන් පත්කිරීමට එරෙහිවූ එස්.බී. නාවින්න ඇමතිවරයාට මෙම මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන නායකත්වය ලබාදෙමින් එම විරෝධය යටපත් කර දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඉදිරි මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායමේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කර ඇත්තේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය අනුර පි්‍රයදර්ශණ යාපාය. සෝමාකුමාරි තෙන්නකොන්ගේ අභාවයෙන් පසුව නිකවැරටිය ආසනයේ සංවිධායක ධූරය ලබාගැනීමට ජාතික ආක‍ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක‍ෂ ජෙනරාල් ලක‍ෂමන් හුළුගල්ලේද උත්සාහ කළේය. කෙසේ වුවද ජොන්ස්ටන් ප්‍රනාන‍දු නිකවැරටිය ආසනයට පත්කිරීමේන් පසු එක්සත් ජාතික පෙරමුණ විසින් එම ආසනයේ සංවිධායකවරිය ලෙස, හිටපු පළාත් සභා මන්ත්‍රීනි හා ශ්‍රී ල.නි.ප. මහජන පාර්ශ්වයේ ෙජ්්‍යෂ්ඨ උපසභාපති උපුලාංගනී මාලගමුව පත්කර තිබේ. lanka news web

ජනාධිපතිවරණයේ නොතිබුණු සල්ලි දැන් කොහෙන්ද? බැසිල්, දුමින්ද සිල්වා ගේ වත්කම් සොයයි

තමාට එතරම් වත්කමක් නැතැයි කියමින් ජනාධිපතිවරණ සමයේදී, කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනාධිපතිවරයාගේ පොස්ටර් ඇලවීම ප්‍රතිෙක‍ෂ්ප කර සිටි දුමින්ද සිල්වාට, මහමැතිවරණය සඳහා මෙතරම් පොස්ටර් ඇලවීමට හදිසියේම මුදල් ලැබී ඇත්තේ කෙසේදැයි සොයාබැලිය යුතු බව ජනාධිපති ෙජ්්‍යෂ්ඨ උපදේශක බැසිල් රාජපක‍ෂ, මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිනී කාන්ති කොඩිකාරයට ප්‍රකාශ කර තිබේ. සන්ධානයේ කිසිවෙකුට හෝ පෝස්ටර් ඇලවීමට ඉඩක් නොතබා දුමින්ද සිල්වාගේ කණ්ඩායම් කොළඹ නගරය පුරා පොස්ටර් අලවන බවත්, මහරගම ප්‍රදේශය අලවා තිබූ තමාගේ පෝස්ටර් උඩින් දුමින්දගේ පෝස්ටර් අලවා ඇති බවත්, කාන්ති කොඩිකාර විසින් බැසිල් රාජපක‍ෂ වෙත පැමිණිලි කර අවස්ථාවේදී ඔහු මෙම කාරණය සඳහන් කර තිබේ. ජනාධිපතිවරණ සමයේදී කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීමේ වගකීම බැසිල් රාජපක‍ෂ විසින් දුමින්ද සිල්වා වෙත පවරනු ලැබූ අවස්ථාවේදී, එම පෝස්ටර් ඇලවීම සඳහා පාප්ප සාදා දෙන ලෙසත් ප්‍රවාහන ගාස්තු හා සේවකයින්ගේ කෑමබීම ලබාදෙන ලෙසත්, දුමින්ද සිල්වා ඉල්ලා තිබේ. lanka news web

ෆොන්සේකාට එරෙහිව ඒක පාර්ශ්වික සාක්ෂි විමසීමක්..?


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණයේ සාක්ෂි විමසීම ඒක පාර්ශ්වික ලෙස සිදු කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති වග ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පරීක්ෂණ පවත්වාගෙන යාමේදී කරුණු විමසීම් වලදී යුද හමුදා පොලීසියට සහය නොදීම නිසා ඉදිරියේදී ඔහු නොමැතිව පරීක්ෂණ කටයුතු කරගෙන යාමට යුද හමුදා පොලීසිය තීරණය කර ඇතැයි කියැවේ.
ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට නාවික හමුදා මූලස්ථානයට අයත් මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින අතර ඔහුගේ බිරිඳට දිනකට දෙවරක් ආහාරපාන රැගෙන ඔහු හමුවීමට අවසර ලබා දී තිබේ.
ඊට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන්ටද ඔහු හමුවීමට අවසර ලබා දී ඇතත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවා ඔහු හමුවී ඇත්තේ එක්වරක් පමණක් බව කියැවේ. adaderana

දනුන ගේ මවගෙන් සී.අයි.ඩීයට ප්‍රකාශයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාගේ මෑණියන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව කියැවේ.
දනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මිය අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින වග පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්ද නැතිනම් ඇය විසින්ම ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේද යන්න පිළිබඳ තමා නොදන්නා බවද කීය.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතා මවගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි. ඉක්බිතිව ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ. මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් තමාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලදීම ප්‍රකාශ කර තිබුණු බව කියැවේ.

ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක ධූර අහෝසියි


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් මින් ඉදිරියට දිස්ත්‍රීක් සංවිධායකවරුන් ලෙස සැලකීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කරයි.
මෙතෙක් කාලයක් මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරු සියල්ල මින් ඉදිරියට දිස්ත්‍රීක් සංවිධායක තනතුරු ලෙස සලකා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ ප්‍රධාන ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.
නව දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපිත කිරීමටත්,සදාචාරාත්මක දේශපාලන රටාවක් නිර්මාණය කිරීමටත්,මනාප ක්‍රමය යටතේ පාක්ෂිකයින් අතර අර්බුද ඇතිවීම වළක්වා ගැනීමත් මෙම ක්‍රියා මාර්ගයේ අරමුණ වූ බව නිවේදනයේ දැක්වේ.
මෙම තීරණය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය සංවිධාන,ශාඛා සංවිධාන,වෙත මෙන්ම දැනුම් දිය යුතු සෙසු ස්ථාන වලට දැනුම් දිය යුතු බව ට ජනාධිපතිවරයා විසින් පක්ෂ ලේකම්වරයාට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.