Monday, December 13, 2010

Exclusive Night

ඉපදෙන හැම මිනිසෙක්ම මැරෙන බව දැනගෙන වැඩ කළයුතුයි


ඉපදෙන සෑම මිනිසෙකුම මරණයට පත්වන බව දැන වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටක හොඳ සෞඛ්‍ය සේවාවක් යනු නිරෝගී ජනතාවක් සිටීම බව ද ඔහු සඳහන් කළේය.

අද(13) නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවති ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහ‍න යටතේ සෞඛ්‍ය සේවාවේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
adaderana.lk

අධීක්ෂණ මන්ත්‍රීවරුන් තිදෙනෙක්


විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස සජින් වාස් ගුණවර්ධන මහතා පත් කර තිබේ. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ආර්. දුමින්ද සිල්වා සහ උදිත ලොකුබණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
adaderana.lk

මත්කුඩු පාර්සල් 39ක් සමග එක් අයෙක් පානදුරදී කොටුවෙයි


මත්කුඩු පාර්සල් 39ක් සමග පුද්ගලයෙකු වාද්දුව පොලිසිය විසින් අද(13) පෙරවරුවේ පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා යුද හමුදාවේ සේවය කර ආබාධිත තත්ත්වයට පත් වූවෙක් බව පොලිසිය සඳහන් ‍කරනු ලැබීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.adaderana.lk

වේලා සටහන්කරුවන් කප්පම් ගන්නවා -කප්පම් දීමත් වරදක්


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පත්කර සි‍ටින බස් රථ වේලා සටහන්කරුවන් බස් රථ වලින් කප්පම් ලබාගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා චෝදනා කර සිටියි.

එම වේලා සටහන්කරුවන් දිනකට රුපියල් පහළොස් දහසකට අධික මුදලක් මෙලෙස කප්පම් වශයෙන් එකතු කරගන්නා බව ඔහු පවසයි.

මීට වර්ෂ 15 ක සිට පවත්වාගෙන එන පරිදි මෙසේ කප්පම් ක්‍රමවේදය පවත්වාගෙන යන බව ඒ පිළිබඳ පැහැදිලි කරන අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි.

නමුත් බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට මේ පිළිබඳව දැනුම්දුන් පසු එම ක්‍රමවේදය නවතා ඇති බව ඔහු සඳහන් කළ නමුත් බස්නාහිර පළාත් සභාවටත්, රජයටත් මෙම ක්‍රියාවලිය නැවතීමේ හැකියාවක් නොමැති බවට ද හෙතෙම චෝදනා කරයි.

තමාට අදාළ සංගම් වලින් මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව මෙම‍ චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී බස්නාහිර පලාත් සභා ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා පැවසුවේය.

කිසිදු කප්පම් මුදලක් අයනොකරන ලෙසට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ඔහු අවධාරණය කළේය. එසේම කිසිදු කප්පම් මුදලක් ලබානොදෙන ලෙසට බස් හිමියන් දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළ කප්පම් මුදල් ලබාදීම ද වරදක් බව ද, ඒ පිළිබඳව පැමිණිලි කළ යුතු බව ද ඔහු පෙන්වාදෙයි.
adaderana.lk

ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා






ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරීමට ගත් තීරණයක් පමණක් බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ලෝකයේ කිසිදු රටක ජාතික ගීය වෙනත් භාෂාවකට පරිවර්තනය කොට රට තුළ ගායනා නොකරන බව අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.

ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත්,එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ගීය"ජාතික"වන්නේද ඒ තුළ සියලු ජාතීන් නියෝජනය වන බැවින් හා එකම භාෂාවකින් ගායනා කළද සියලුම ජාතීන් එය පිළිගත යුතු බැවින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

1978 ව්‍යවස්ථාව තුළින් ජාතික ගීයේ ද්‍රවිඩ භාෂා පර්වර්තනයක් සකසා එය පසුව අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුළත් කිරීම විහිළුවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk

වරකාපොළ කොල්ලකරුවන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි


වරකාපොළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළ කොල්ලකරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරු රැසක් හෙළිවී තිබේ.

ආරක්ෂක අංශ වෙඩි පහරින් මියගිය කොල්ල කල්ලි නායකයා වශයෙන් කටයුතු කර ඇති විශ්ව දේවයලාගේ සුමනරත්න නැමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඌව පළාතේ පදිංචිකරුවන් බවට හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය වසරේ බදුල්ලේ දුම්වැටි අලෙවි ආයතනයකට කඩා වැදී රුපියල් අනූ අට ලක්ෂ නව දහස් පන්සිය අනූ හතරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ කොල්ල කල්ලි නායකයා අධිකරණය මගින් වැරදිකරුවෙකු වු අයෙකු බවට ද හෙළි වී තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වෙඩි පහරින් මියගිය තවත් සැකකරුවෙකු වන බදුල්ල තැන්නපංගුව ප්‍රදේශයේ පදිංචි මුණසිංහ දේවයලාගේ සංජීව පුෂ්පකුමාර නැමැත්තා යුධ හමුදා කොමාන්ඩෝ බලකා‍යේ සිට පැනගිය සෙබලෙකු බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරනු ලැබීය.

1999 වසරේ සිදුවු කැටවල බැංකු මංකොල්ලය ඇතුළු අපරාධ රැසක විත්තිකරුවෙකු ලෙසට මොහුට එරෙහිව නඩු පවරා ඇතත් ‍මොහු සුනාමියෙන් මියගිය අයෙකු බවට පවසා ඔහුගේ බිරිඳ විසින් බදුල්ල මහාධිකරණයට මරණ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු වාර්තාවෙන් මොහුගේ නම කටුගා දමා තිබේ.

මේ අතර සිද්ධියෙන් මියගිය මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ පදිංචි දේවේන්ද්‍රයලාගේ කරුණාසේන නැමැති සැකකරුවා ද පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවය කර වැඩ තහනමට ලක්වු අයෙකු බවට ද තොරතුරු හෙළි වී ඇත.

මොහු පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් බඩල්කුඹුර පොලිසියේ සේවය කරමින් සිටියදී ටි - 56 වර්ගයේ ගිනි අවියක් සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙසේ වැඩතහනමට ලක් වු අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
adaderana.lk

මම යුතුකම් ඉටුකළා-26 දා ලක්ෂ 10 ක් කොළඹට ගේනවා


තමන් තමන්ගේ යුතුකම් ඉටු කළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයට නව පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කරදීම තුළින් මෙසේ යුතුකම් ඉටුකළ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ජනවාරි මස 26 වන දින"ඒකාධිපති වියරුව පරදවමු"යන මැයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පවත්වන්නට කටයුතු යොදා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එම උද්ඝෝෂණයට ලක්ෂ 10 ක ජනතාවක් කොළඹට කැඳවන්නට අපේක්ෂා කරන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ගිය වසරේ ජනවාරි මස 26 වන දින වත්මන් ජනාධිපතිවරයා සිය ඒකාධිපති ගමන ආරම්භ කිරීම සනිටුහන් කරමින් මෙම දැවැන්ත උද්ඝෝෂණය පවත්වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

මුවන්පැලැස්සේ අප්පුහාමිටත් පක්ෂයේ ඉහළටම යන්න පුළුවන්


පක්ෂ ව්‍යවස්ථාවේ 8(01) වගන්තිය වෙනස් කිරීම පක්ෂ සම්මේලනයේදී නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් සිදුවූ විශාලම විප්ලවය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව පුද්ගලයින්ට සදාකල්හිම තනතුරු වල වැජඹීමේ අවස්ථාව ඉවත්ව ගිය බවත්, ඕනම කෙනෙකුට පක්ෂයේ පහළම තලයේ සිට ඉහළම තලය දකවා ගමන් කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මරදන්කඩවල බණ්ඩාර මැණිකේටත්, මුවන්පැලැස්සේ අප්පුහාමිටත් පක්ෂයේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානය දක්වා ගමන් කළ හැකි බව ඒ මහතා අවධාරණය කළේය.

අද(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණු දැක්වීය. 8(01) වගන්තිය වෙනස මත සම්මුතියකින් හෝ රහස් ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රිකව පක්ෂයේ ප්‍රධාන තනතුරු 5 සඳහා ඕනම පුද්ගලයෙකුට පත්වීමේ හැකියාව ඇති බව ද හෙතෙම එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එමෙන්ම මෙම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ මහා අරගලය ජයගත හැකිවූයේ පක්ෂයේ සියලුදෙනා ඉල්ලීම්, ආයාචනා, සීනිබෝල තනතුරු වලට වහල් නොවූ නිසා බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ඊයේ සම්මත කරගත් ව්‍යවස්ථාව ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද ඡන්දය භාවිත කළ හැකි ලෙස නැවත ඉදිරියේදී වෙනස්වන බව ද ඔහු සඳහන් කළේය.

ෆොන්සේකා හා ඔහුගේ ලේකම්ට එරෙහි නඩුවට දින නියමවෙයි


යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ලබාදීම සම්බන්ධව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කරනු ලැබීය.

අදාළ නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී සිර දඬුවම් විඳින සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ, මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම නඩුව ජනවාරි මස 12 වන දින විභාග කිරීම සඳහා දින නියම කරනු ලැබීය.

මෙහිදී දෙවන විත්තිකරු වන සේනක ද සිල්වාට ඇප නියමකරන මෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඇප ඉල්ලීම සම්බන්ධව තරයේ විරුද්ධ වන බව එවිට රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇප ඉල්ලීම ලබන ජනවාරි 12 වන දින විභාග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 10 දෙනෙකු සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ගෙවීම තුළින් විත්තිකරුවන් රජයට එරෙහිව කුමන්ත්‍රණයක නිරත වී ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
adaderana.lk

Sunday, December 12, 2010

සිරිකොත පිටුපස ගේට්ටුවෙන් රනිල් සමුළුවට එයි


සිරිකොත පිටුපස ගේට්ටුවෙන් රනිල් සමුළුවට එයි

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ පෙ.ව. 9.30 ට පමණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එ.ජා.ප. සමුළුව සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණියේ සිරිකොත පිටුපස ගේට්ටුවෙනි.

පක්‍ෂයේ සාමාජිකයින් වැඩි පිරිසක් සිරිකොත මුලස්ථානයට ඇතුළුවුයේ ගේට්ටුවෙන් පනිමිනි.

මෙම පක්ෂ සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව වාර්තා වේ.

පක්ෂයට ජය කැන්දීම මගේ අපේක්ෂාවයි


සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම තම අපේක්ෂාව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පරාජිත මානසිකත්වයෙන් මිදී ජයග්‍රහණය උදෙසා පක්ෂය රැගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බව ඔහු කියා සිටියි.

පක්ෂ නායකත්වයේ සියලුම ක්‍රියාවන්ට එකඟත්වය පළ කරමින් ජයග්‍රහණය කරා ළඟා විය නොහැකි බව හෙතෙම පෙන්වාදෙයි.

පක්ෂ නායකත්වයේ අඩු ලුහුඩුකම් විවේචනය කර නිවැරදි මාර්ගයට යොමු කිරීම මගින් පක්ෂය ද ජයග්‍රහණය කරා යොමුකළ හැකි බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

බලයට කෙටි මං-පැන්නොත් ගොඩ මං


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය ආරම්භ කිරීමට පෙර අද(12) පාක්ෂ ක්‍රියාකාරිකයෝ මහත් උනන්දුවෙන් පක්ෂ මූලස්ථානයට එක්රැස් වී සිටියහ.අනන්‍යතාවය පරීක්ෂා කරන පෝළිම දිග වැඩි නිසාම කෙටි මගකින් ඇතුළට රිංගා ගන්නට මෙම ක්‍රියාකාරිකයා උත්සාහ කළා විය හැකිය.

අලියා අලුත් කරන ලියැවිල්ල ගොඩයයි


අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අද පෙ.ව 9.30 ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ විය

කැලණිය දැන් ආශ්චර්යයි


දම්වැලක පුරුක් මෙන් රාජ්‍ය සේවකයා සහ දේශපාලනඥයා එක්ව රට ගොඩනැඟීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව මහජන සම්බන්ධතා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියි.

කැලණිය ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් හට උපහාර පිරිනැමීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කැලණිය පුරවරය මේ වන විට ආශ්චර්යමත් නගරයක් බවට පත් කිරීමට තමාට හැකි වී ඇති බවයි.

අලි සමුළුව ඇරඹෙයි


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය මීට ස්වල්ප මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සං‍ශෝධනය සම්මත කර ගැනීම මෙම පක්ෂ සම්මේලනයේ මූලික අරමුණ වී තිබේ.

එහෙත් මෙම පක්ෂ සම්මේලනයෙන් පක්ෂයේ කිසිදු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට එක් වූ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා පවසා තිබිණි.. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ වූ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කරයි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සමුළුවේ වැඩ කටයුතු ආරම්භ වී ඇති අතර සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් විශාල පිරිසක් මේ වන විටත් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

හෙද නිලධාරී වර්ජනයට මහනුවරත් එක්වෙයි


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා අද දිනයේ මහනුවර රෝහලේ හෙද නිලධාරීන් ද එක්වන බව එම සංගමයේ සභාපති සමන් රත්‍නප්‍රිය මහතා පවසයි.

සිය ගැටලුවට බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් දිවයින පුරා රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාවලියක් දියත් කරන බව හෙතෙම අවධාරණය කරයි.

හම්බන්තොට රෝහලේ හෙද නිලධාරීන් 10 දෙනෙකුද,කළුබෝවිල රෝහලේ හෙද නිලධාරීන් 24 දෙනෙකුද ඉතා අමානුෂික ලෙස දුර බැහැර ප්‍රදේශ වලට මාරු කර යැවීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ඔහු සිහිපත් කළේය.

ජාතික රෝහල,හම්බන්තොට,කළුබෝවිල,මාතර,කරාපිටිය යන රෝහල් වල මෙම වර්ජනය අඛණ්ඩ උපවාසයක් ලෙස ක්‍රියාත්මක කරන බවත්,සිද්ධියට හේතු වූ හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු වහාම අත්හිටුවා සෞඛ්‍ය සේවාව යථා තත්ත්වයට පත් කරන ලෙස හෙතෙම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඉස්කෝලෙට කට්ටි පැනපු ළමුන් යළි කැඳවීම සාර්ථකයි


පාසල් නොයන ළමුන් පාසල් යැවීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැඩසටහන මේ වන විට ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

ඒ අනුව වැල්ලවත්ත , ගල්කිස්ස , මොරටුව යන පොලිස් බල ප්‍රදේශ වල පාසල් නොගිය ළමුන් 34 දෙනෙකු පාසල් යැවීම සඳහා කටයුතු කර තිබේ.

දෙහිවල පොලිස් බල ප්‍රදේශයේ පාසල් නොයන සිසුන් ද ඉදිරි සතිය තුළ පාසල් යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අධිකරණ නියෝග මත ආරම්භ කළ මෙම වැඩස‍ටහන ඉදිරියේ දී කොළඹ නගරයේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශ‍ වල ද ක්‍රියාත්මක කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පෙන්වාදෙයි.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Saturday, December 11, 2010

SIRIKOTHA

ඇතුළුවීම අවසර ලත් අයට පමණයි. .


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු එම පක්ෂ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු සහභාගි වූ මාධ්‍ය හමුවක් අද(11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. එහිදී විපක්ෂ නායකවරයා රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ අයුරු ඉහතින් දැක්වේ. හෙට(12) පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට සහභාගි විය හැක්කේ අවසරය ඇති පුද්ගලයින්ට පමණක් බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 211 ක් උසස් පෙළ සමත්


පුනරුත්ථාපනය වෙමින් සිටින එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි 211 දෙනෙකු සමත් වී ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා එල්. ටී. ටී. ඊ රැඳවියන් 360 දෙනෙකු පෙනී සිටි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉන් බහුතරයක් මෙවර උසස් පෙළ විභාගය සමත්වීම වි‍ශේෂත්වයක් බව සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙවර උසස්පෙළ විභාගය සමත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාලය සඳහා ද තවත් 40 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලබනු ඇති බව ඔහු විශ්වාසය පළ කර සිටියි.
adaerana.lk

මව්පියන් හා දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන තිබෙනවා


මව්පියන් සහ දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වර්තමානයේ පාසල් දරුවන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට‍ හුරුකිරීම තුළින් මෙය සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

අද(11) ජනකලා කේන්ද්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

අතීතයේ දී පාසල් දරුවන්ට‍ සෞන්දර්ය රසවින්දනය සඳහා උපරිම නිදහසක් තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
adaderana.lk

අන්තර්ජාතික නෞකා දැක්මක් අද ගාලු ‍මුවදොරදී


නාවික හමුදාවට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති ප්‍රදර්ශනයට සමගාමීව අන්තර්ජාතික නෞකා දැක්මක් අද(11) සවස ගාලු ‍මුවදොර මුහුදු තීරයේ දි පැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි.

මේ යටතේ දිවයිනට පැමිණ තිබෙන අන්තර්ජාතික යුද නෞකා 8 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රා සහ අනෙකුත් යුද නෞකා ප්‍රදර්ශනය කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

මේ සමඟ මහ ජනතාවට එම නෞකා මෙන්ම නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ, ක්ෂණික විහිදුම් යාත්‍රා බල ගණයේ සහ විශේෂ යාත්‍රා බල ගණයේ අධිවේගී යාත්‍රා හැසිරවීමත් මෙහිදී දැකගැනීමට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්මේලනය අත්හිටුවන පෙත්සම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්


එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය වළක්වාලීමේ වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකිරීම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එමෙන්ම ඊයේ(10) අධිකරණයේදී එම පෙත්සම නිෂ්ප්‍රභ කරගැනීමට අවස්ථාව සැලසීමේ ප්‍රධානතම හේතුව වූයේ පෙර සූදානම් වී සිටීම බව ද හෙතෙම පෙන්වාදෙයි.

අද(11) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු දැක්වීය. අදාළ පෙත්සම පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදුකර නොතිබූ බව ද අත්තනායක මහතා එහිදී කියා සිටියේය.

කිසිදු බාධාවකින් තොරව හෙට(12) දිනය තුළ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වෙන බවත්, එහි ප්‍රධානම පරමාර්ථය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කරන ලද නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කරගැනීම බවත් මහ ලේකම්වරයා පෙන්වාදුන්නේය.

හෙට සිට පක්ෂය යහපත් ඉදිරි පියවරක් තබන බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම හෙට පැවැත්වෙන සම්මේලනයට සහභාගි විය හැක්කේ නීත්‍යානුකූලව අවසරය ලද පුද්ගලයින්ට පමණක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.adaderana.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යෝග පාඩමක්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ යෝග අභ්‍යාස වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනගේ ඉහළ මානසික ආතති මට්ටම අවම කිරීම මෙම යෝග අභ්‍යාස වැඩසටහනෙහි අරමුණ වී ඇති බව ද සඳහන්ය.

මෙම යෝග අභ්‍යාස තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විනය, යහපත් හැසිරීම සහ ආතතිකාරී අවස්ථාවකදී තමන් පාලනය කරගැනීම වැනි කරුණු පිළිබඳව ඉගැන්වෙන බව මෙම යෝග අභ්‍යාස වැඩසටහනෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන චමින් වර්ණකුල මහතා පවසයි.
adaderana.lk

Thursday, December 9, 2010

පළමු පුද්ගලික විශ්ව විද්‍යාලය අප්‍රේල් මාසයේ


රජයේ නියාමනය යටතේ මෙරට ස්ථාපිත කෙරෙන ප්‍රථම පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

මේ වන විට රටවල් 26 ක් පමණ සමග මෙරට විශ්ව විද්‍යාල ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද එයින් රටවල් 15 ක පමණ ඒ සඳහා කෙරෙන මැදිහත්වීමක් පිළිබඳ සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කෙරෙන විශ්ව ව්ද්‍යාලය බොහෝවිට ඕස්ට්‍රේලියාව හෝ ඉන්දියාවේ සහයෝගය මත ආරම්භ කෙරෙනු ඇති බව දිසානායක අමාත්‍යවරයා අද දෙරණ වාර්තාකරු සමග කළ කතා බහකදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
adaderana.lk

යුක්රේන -ශ්‍රී ලංකා ගුවන් ගමනට අනුමැතිය හිමිවෙයි


ශීත ඍතුවේ දී යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා ඇරඹීමට හැකිවන ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම ගිවිසුම මගින් දෙරට අතර නිශ්චිත මාර්ග ඔස්සේ සතියකට ගුවන් ගමන් 7 බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2011 වසර වන විට ග්‍රීෂ්ම ඍතුව සඳහා ද ගුවන් ගමන් වැඩිකිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
adaderana.lk

ජනපති යුද අපරාධකරුවෙක් කරන්න ආණ්ඩුවෙන්ම කුමන්ත්‍රණයක්..?


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙකු ලෙස නම් කරවීමට ආණ්ඩුව තුළම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

මේ අයුරින් වටේ සිටින අයගේ උපදෙස් ලබාගත හොත් වැඩි කල් නොගොස් ජනාධිපතිවරයාට ජාත්‍යන්තර අධිකරණයක් හමුවට කැඳවීමක් ලැබෙනු ඇති බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේය.

එහෙව් තත්ත්වයක් ඇති වෙන්නට ඉඩකඩ ලබා නොදීම හා එයින් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද යුතුකම වන බව සමරවීර මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට නම්,ජනාධිපතිවරයාට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් ගැලවීමට නම් ජාත්‍යන්තර වශයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට ඉඩ දිය යුතු බවද,ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවද සමරවීර මහතා සඳහන් කළේය.

එසේ නැතිව ආණ්ඩුවේ සිටින ළිං මැඬියන්ගේ උපදෙස් මත දිගින් දිගටම ක්‍රියා කරනු ලැබුවොත් ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු ලෙස නම් වීම සක්කරයාටවත් වළක්වන්නට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
adaderana.lk

නිකවැරටිය බෝක්කුවක් අසල බිළිදෙකු දමායාම -කතක් අත්අඩංගුවට

නිකවැරටිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල දිනක් වයසැති බිළිදෙකු දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව විසි පස් හැවිරිදි අවිවාහක කාන්තාවක් බව නිකවැරටිය පොලිසිය සඳහන් කළේය.

දිනක් පමණ වයසැති මෙම බිළි‍ඳා නිකවැරටිය හල්මිල්ලෑව විද්‍යාලය අසල බෝක්කුව මත දමා ගොස් සිටියදී ඊයේ(08) පෙරවරුවේ හමුවී තිබුණි.

අදාළ බිළිඳා දුටු ප්‍රදේශවාසියෙකු මේ බව නිකවැරටිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් එම දරුවා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා විය. අදාළ බිළිඳා දැනට නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්ය.
adaderana.lk

ජීවන තත්ත්වය නොසලකා අධ්‍යාපනය ගැන කතා කිරීම කනගාටුදායකයි


මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය ගැන නොසලකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන කතා කිරීම කනගාටුවට කරුණක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ‍

නිදසුනක් ලෙස පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් සඳහා වසර 5 ට රුපියල් ලක්ෂ 90 ක් පමණ මුදලක් වැය වන මුත්,මෙරට ජනගහණයෙන් 41% ක දෛනික ආදායම ඇමරිකන් ඩොලර් 2 ටත් අඩු බව ද මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

උසස් අධ්‍යාපනයට දස වසරක ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් මතුව ඇති බවද දිසානායක මහතා සඳහන් කර තිබේ. මෙතෙක් සිදුවූයේ ජාත්‍යන්තර වශයෙන් බුද්ධිගලනයක් වුවද පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරිම හරහා රට තුළම අභ්‍යන්තර බුද්ධි ගලනයක් සිදුවන බව ද දිසානායක මහතා කියා සිටියේය.

අඩු වැටුපට ජාතික විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන් වැඩි පඩියට පුද්ගලික විශ්ව විද්‍යාල වල සේවයට යාම නොවැළැක්විය හැකි බවද,ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා ගුරු හිඟයක් පවතිද්දී මෙම ගැටලුව වඩා අර්බුදයක් විය හැකි බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
adaderana.lk