Monday, December 13, 2010

වේලා සටහන්කරුවන් කප්පම් ගන්නවා -කප්පම් දීමත් වරදක්


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පත්කර සි‍ටින බස් රථ වේලා සටහන්කරුවන් බස් රථ වලින් කප්පම් ලබාගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා චෝදනා කර සිටියි.

එම වේලා සටහන්කරුවන් දිනකට රුපියල් පහළොස් දහසකට අධික මුදලක් මෙලෙස කප්පම් වශයෙන් එකතු කරගන්නා බව ඔහු පවසයි.

මීට වර්ෂ 15 ක සිට පවත්වාගෙන එන පරිදි මෙසේ කප්පම් ක්‍රමවේදය පවත්වාගෙන යන බව ඒ පිළිබඳ පැහැදිලි කරන අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි.

නමුත් බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට මේ පිළිබඳව දැනුම්දුන් පසු එම ක්‍රමවේදය නවතා ඇති බව ඔහු සඳහන් කළ නමුත් බස්නාහිර පළාත් සභාවටත්, රජයටත් මෙම ක්‍රියාවලිය නැවතීමේ හැකියාවක් නොමැති බවට ද හෙතෙම චෝදනා කරයි.

තමාට අදාළ සංගම් වලින් මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව මෙම‍ චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී බස්නාහිර පලාත් සභා ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා පැවසුවේය.

කිසිදු කප්පම් මුදලක් අයනොකරන ලෙසට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ඔහු අවධාරණය කළේය. එසේම කිසිදු කප්පම් මුදලක් ලබානොදෙන ලෙසට බස් හිමියන් දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළ කප්පම් මුදල් ලබාදීම ද වරදක් බව ද, ඒ පිළිබඳව පැමිණිලි කළ යුතු බව ද ඔහු පෙන්වාදෙයි.
adaderana.lk

0 comments:

Post a Comment