Saturday, December 11, 2010

සම්මේලනය අත්හිටුවන පෙත්සම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්


එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය වළක්වාලීමේ වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකිරීම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එමෙන්ම ඊයේ(10) අධිකරණයේදී එම පෙත්සම නිෂ්ප්‍රභ කරගැනීමට අවස්ථාව සැලසීමේ ප්‍රධානතම හේතුව වූයේ පෙර සූදානම් වී සිටීම බව ද හෙතෙම පෙන්වාදෙයි.

අද(11) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු දැක්වීය. අදාළ පෙත්සම පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදුකර නොතිබූ බව ද අත්තනායක මහතා එහිදී කියා සිටියේය.

කිසිදු බාධාවකින් තොරව හෙට(12) දිනය තුළ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වෙන බවත්, එහි ප්‍රධානම පරමාර්ථය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කරන ලද නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කරගැනීම බවත් මහ ලේකම්වරයා පෙන්වාදුන්නේය.

හෙට සිට පක්ෂය යහපත් ඉදිරි පියවරක් තබන බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම හෙට පැවැත්වෙන සම්මේලනයට සහභාගි විය හැක්කේ නීත්‍යානුකූලව අවසරය ලද පුද්ගලයින්ට පමණක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.adaderana.lk

0 comments:

Post a Comment