Friday, August 6, 2010

ධනුනගේ මවට අද චෝදනා පත්‍ර බාරදෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7කට අධික මුදලක් පෞද්ගලික බැංකු සේප්පුවක නීතිවිරෝධී ලෙස තැන්පත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මියට අද චෝදනා පත්‍ර බාරදීමට නියමිතය. කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාර‍දීමට නියමිතව තිබේ.

ඒ අනුව අද අධිකණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අශෝකා තිලකරත්න මහත්මිය වෙත පසුගිය දා නොතීසි නිකුත් කරනු ලැබීය. අදාළ මුදල් නීතිවිරෝධී ලෙස තැන්පත් කරතැබීම‍ හේතුවෙන් විනිමය පාලන පනත උල්ලංඝණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. adaderana.lk

මංගල ඇතුළු පිරිස අද එජාපයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වීම අද සිදුවේ. පසුගිය දා රැස්වූ මහජන පාර්ශවයේ විධායක සභාව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය විසුරුවා හැරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයට එක්වන මංගල සමරවීර මහතා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ද පත්කිරිමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. adaderana.lk

ඉවසීමේ සීමාව ඉක්මවුවොත් නිලතල බලතල බලන්නේ නෑ


සමෘද්ධි නිලධාරින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියහොත් නිලතල බලතල ගැන නොතකා ක්‍රියා කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විහාරස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබේදැයි සොයාබැලීම සඳහා ද ඉදිරියේ දී නිරීක්ෂණ චාරිකාවල නිරත වන බව ද මර්වින් සිල්වා මහතා එහිදී පැවසීය. adaderana.lk

මන්නාරමේ තෙල් කැණීම් අදියර තුනකින්


මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුකරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. එහි පළමු අදියරේ තෙල් කැණීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

2008 වසරේ දී රජය සහ පෞද්ගලික සමාගමක් අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව වසර 3ක් තුළදී පළමු අදියරේ කටයුතු නිමකිරීමට නියමිතය. මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 172කි. adaderana.lk

ජනප්‍රිය පාසල් සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා


ජනප්‍රිය පාසල් පිළිබඳ සංකල්පය ලබන වසරේ දී සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රටක ජනප්‍රිය පාසල් කිහිපයක් ‍පමණක් තිබිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.adadeerana.lk

Tuesday, July 27, 2010

අගෝස්තු 10 වන තෙක් ආණ්ඩුවට කල්දෙනවා


අගෝස්තු 10 වෙනිදා දක්වා ආණ්ඩුවට කල් දෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. තම‍න්ගේ වැටුප් වැඩි කිරීම සිදු කරනු නොලැබුවහොත් අගෝස්තු 10 වෙනිදායින් පසුව පරිපාලනමය තනතුරු වලින් ඉල්ලා අස්වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති සම්පත් අමරසිංහ මහතා සඳහන් කරයි.

අද කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය. 2008-01-31 වන දින රජය විසින් වැටුප් වැඩි කිරීමක් කරන බවට පොරොන්දු වුවද මේ වන තෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බව හෙතෙම පෙන්වාදුන්නේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට 25%-50% අතර වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බවද එසේ නොවුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaerana

අපටත් මුහුඳු සීමාව වැඩියෙන් ඕනෑ


ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරය පුළුල් කරගැනීම සඳහා එක්සත් ජාතීන්ට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති නව අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයේ පරිමාවට මාලදිවයිනේ මෙන්ම ඉන්දියාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයන්ගෙන් කොටස් ද ඇතුළත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

මාලදිවයින නිදහස් දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සිය අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරය දැනට ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයෙන් කොටසක්ද ආවරණය වන පරිදි පුළුල් කර ගැනීමට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අද දෙරණට කියා සිටියේය.

කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මාලදිවයින සාකච්ඡාවට පැමිණෙන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බව ද ධීවර අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මේ අතර මුහුදු සීමා සම්බන්ධ කරුණු එක්සත් ජාතීන් විසින් සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ 2020 වසරේ බැවින් එය ඊට පෙර සාකච්ඡාවට ගැනීම සඳහා ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව ද ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaerana

රියන්සි ජීවිතය පිදුවේ පක්ෂය වෙනුවෙන්


මියගිය රියන්සි අල්ගම මහතා සිය ජීවිතය පරිත්‍යාග කළේ පක්ෂයේ සමගිය වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. එවන් අවස්ථා ඉතාමත් විරල බවත්, ඔහුගේ මරණය වෙනුවෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. රියන්සි අල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිත බව ද කරූ ජයසූරිය මහතා සඳහන් කළේය. අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මියගිය අල්ගම මහතා ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිටම එක්සත් ජාතික පාක්ෂිකයක් ලෙස කටයුතු කර ඇති බවත්, පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකළ බවත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම වර්තමාන පක්ෂ අර්බුදය සමථයකට පත්කිරීම වෙනුවෙන්ද ඔහු කැපවී කටයුතු කළ බව පෙන්වාදුන්නේය.

මියගිය රියන්සි අල්ගම මහතා පක්ෂය තුළ කිසිදු කඳවුරක‍ට අයත්ව නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්නායක මහතා පෙන්වාදෙයි. එමෙන්ම ඔහුගේ මරණය සම්බන්ධව ඇතැම් මාධ්‍ය වැරදි අර්ථකථනයක් ලබා දී ඇති බවත්, ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ඉල්ලා සිටින බවත් ඒ මහතා අවධාරණය කරයි. adaderana

කොටස් වෙළඳපොළ අගය 48%කින් ඉහළ යයි


කොටස් වෙළඳපොළ අගය මෙම වසරේ 48%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම සමාග‍ම් ලාභ මිලදී ගැනීම ඒකක 5000 ඉක්මවා ඇති බව ද සඳහන්ය. adaderana

පර්යේෂණ කළත් ඵලදායි නෑ


බුද්ධියට විලංගු දාන්නවත්, ලේ සාගරයක ගිල්ලවන්නටවත් කිසිවෙකුටත් හැකියාවක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විද්‍යාඥයන් පර්යේෂණ කළද ඒවා රටේ ආර්ථිකයට ඵලදායි ලෙස යොදා ගන්නට හැකි වී නැතැයිද ඒ සඳහා රජයට ද වගකීමක් පවතින බව පිළිගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

නිදහසේ සුවඳ වඩා හොඳින් දැනෙන්නේ මේ රටේ විද්‍යාඥයන්ට බව ද ජනාධිපතිවරයා කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීමේ විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. ලෝකයා ප්‍රඥාවක් නැති මිනිසුන් ලෙස ශ්‍රී ලාංකිකයාට සලකන බවත්,ලෝකයාට යමක් උගන්වන්නට වන වගකීම මෙරට විද්‍යාඥයන්ට පැවරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා 800 ට අධික පිරිසක් අද දිනයේ ජනාධිපතිවරයාගේ සම්මානයට පාත්‍රවිය.adaderana

මහේලගෙන් තවත් ලෝක වාර්තාවක්


ටෙස්ට් ශතක වැඩිම ප්‍රමාණයක් එකම ක්‍රීඩා පිටියක රැස්කළ පළමු ක්‍රීඩකයා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කීමට මහේල ජයවර්ධන සමත්ව තිබේ. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද දිනයේ මෙම වාර්තාව පිහිටුවීමට මහේල ජයවර්ධන සමත්ව ඇත. ඒ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීම තුළිනි.

මීට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩොනල්ඩ් බ්‍රෑඩ්මන් හා මහේල ජයවර්ධන ශතක 09 බැගින් ලබා එකම පිටියක් තුළ වැඩිම ශතක සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයන් ලෙස වාර්තාවක් පිහිටුවා තිබිණි. adaerana

ශ්‍රී ලංකාවට අයත් මුහුඳු සීමාවෙන් කොටසක් මාලදිවයින ඉල්ලයි


මාලදිවයින සිය දිවයින වටා පිහිටි අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරය(Continental shelf )පුළුල් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි අද ට(27)යෙදෙන මාලදිවයින් නිදහස් දිනය වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මාලදිවයින විසින් සලකුණු කොට දක්වා ඇති ප්‍රදේශයට ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප මුහුඳු තීරයෙන්ද කොටසක් අයිති වන බැවින් මෙම ඉල්ලීමට එක්සත් ජාතීන් විසින් එකඟත්වය පළ කරන ලැබුවහොත් ශ්‍රී ලංකාවට මේ වන විට අයිති නොගැඹුරු මුහුඳු තීරයෙන් කොටසක් අහිමි වනු ඇත.

මාලදිවයින් වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය අනන්‍ය ආර්ථික කලාප මුහුඳු සීමාව පුළුල් කර ගත යුතු බවට සැලසුම් සකස් කොට ඇති අතර වසරක් පාසා මෙම නව සැලසුම් එක්සත් ජාතීන්ට යොමු කොට අනුමැතිය ලබා ගත යුතුවේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සිය අනන්‍ය ආර්ථික කලාප මුහුඳු සීමාව සලකුණු කොට එක්සත් ජාතීන්ට දන්වා අනුමැතිය ලබා ඇත්තේ 2009 වසරේ මැයි මාසයේදීය.

ඒ අනුව මාලදිවයිනේ නව මෙම ඉල්ලීමත් සමග ශ්‍රී ලංකාවට දැනට අනුමැතිය ලැබී ඇති අනන්‍ය ආර්ථික කලාපය අභියෝගයට ලක් වී තිබේ. "ශ්‍රී ලංකාවට අයත්ව තිබූ අනන්‍ය ආර්ථික මුහුදු කලාපයෙන් අහිමිවනු ඇත්තේ ඉතාම කුඩා කොටසක් නිසා සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසඳාගත හැකියි" මාලදිවයින් විදෙස් කටයුතු අමාත්‍යවරවරයා විශ්වාසය කළ කර තිබේ. adaderana

දැනුම අඩුකම මෙතරම් අපරාධයක් යැයි දැනසිටියේ නෑ


දේශපාලනය පිළිබඳව තමන් සතුව අවම දැනුමක් පවතින බවත්, ඒ සම්බන්ධව තවත් බොහෝ දේ ඉගෙනීමට තිබෙන බවත් තමන් පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි. නමුත් දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා දැනුම පමණක් නොව හොඳ හදවතක්ද අවශ්‍ය බව ජනතාව වටහාගත යුතු බව ඇය සඳහන් කරයි. අද දෙරණ සමග පැවති සාකච්ඡාවකදී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මෙම අදහස් පළකළාය.

දේශපාලන නොදැනුවත්කම පිළිබඳව ජනතාවගෙන් සමාව අයදින බවත්, නමුත් ඇතැම් දේශපාලනඥයින් මෙන් මිනී මැරුම්, ජනතාවගෙන් සොරකම් කිරීම, මත් ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට තමන් සම්බන්ධ වී නොමැති බව ජනතාව වෙත මතක් කරන බවද ඇය අවධාරණය කරයි. තවත් මාස 06 ක කාලයක් තුළ තම දේශපාලන දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය සඳහන් කළාය.

දේශපාලනය තුළ සුළු වරදක් වුවත් විශාල වරදක් ලෙස ගැනෙන බව ද ස්වර්ණමාලි මහත්මිය පෙන්වාදෙයි. ඇයට පවතින දැවැන්තම අභියෝගය මාධ්‍යය සමග ගනුදෙනු කිරීම බව ද එම මහත්මිය අවධාරණය කරයි. පසුගිය කාලය තුළ ඇය දෙරණ 360 වැඩ සටහනට සහභාගිවීමෙන් පසු දින 03 ක් යනතුරු කිසිවකු වෙත මුහුණදීමේ අපහසුතාව නිසා සැමගෙන් වෙන්ව සිටි බවද ඇය ප්‍රකාශ කළාය. නමුත් නිවැරදි කාලය තුළ නැවතත් එම වැඩ සටහනට සම්බන්ධවීමට බලාපොරොත්තු වන බව ද ස්වර්ණමාලි මහත්මිය අවධාරණය කළාය. adaderana

සුදු වෑන් වලට එරෙහිව වව්නියාවේ කඩ සාප්පු වසාදමයි


සිය ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමේ සිදුවීමකට විරෝධය පාමින් වව්නියාව නගරයේ සියලු කඩ සාප්පු අද දින වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

වව්නියාව ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් මෙසේ අද දිනය කඩ සාප්පු වසා දමන්නට තීරණය කළ බව අප කළ විමසීමකදී ව්‍යාපාරිකයෙක් කියා සිටියේය.

පසුගිය දිනෙක වව්නියාව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සුදු පාට වෑන් රථයකින් පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමෙන් පසු මුදාහැර තිබේ.

යුද්ධයෙන් පසුව වුව නිදහසේ වෙළෙඳාමක් කරගෙන යාමට නොහැකි තරමට වව්නියාවේ කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව වව්නියාව ව්‍යාපාරිකයන්ගේ සංගමය පෙන්වාදෙයි. adaderana

දවසකට 700 ක් යළි පදිංචි කරවනවා


උතුරේ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා මේ වන විට රජය මිලියන 860 ක් පමණ වැය කර ඇති බව ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ සඳහා ඉන්දියාවේ සහය ද ලැබෙන බවත් ඇතැම් රටවලින් ආධාර ලැබීමේදී ප්‍රමාදවිය හැකි බැවින් රජයට ඒ සඳහා සෘජුව කඩිනමින් මැදිහත් වන්නට සිදුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද කොළඹ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

යුද්ධයෙන් උතුරේ 2,67 393 ක් අවතැන්ව ඇති බවත්,එයින් මේ වන විට 2,30,000 ක් පමණ යළි පදිංචි කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. බිම් බෝම්බ ඉවත්කිරීම කඩිනමින් සිදුකරන බවත් බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් නොකොට යළි පදිංචි කරවීම පිළිබඳ අවදානම බාරගත නොහැකි බැවින් මෙම කටයුතු ඉතා වගකීමෙන් සිදුකෙරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට බිම්බෝම්බ 2,75,000 ක් පමණ ඉවත් කර ඇති බවත්,දිනකට 700 ක පමණ පිරිසක් බිම් බෝම්බ ඉවත් කළ ප්‍රදේශ වල යළි පදිංචි කරවන බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් තවමත් 35,333 ක පමණ පිරිසක් යළි පදිංචි කරවනු පිණිස තවමත් රැඳවුම් කඳවුරුවල වාසය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

සංගක්කාර ද්විත්ව ශතකයක් ලබයි


කුමාර සංගක්කාර මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවට එරෙහිව ලකුණු 200 ක් රැස් කිරීමට සමත් විය. එය සංගක්කාර සිය ක්‍රිකට් දිවිය තුළ ලබාගත් සත්වන ද්විත්ව ශතකය බව ද සඳහන්ය. ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදය. පළමු දිනය වන ඊයේ දිනය නිමා වන විට කඩුළු 2 ක් දැවී ලකුණු 312 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ටී. එම් ඩිල්ෂාන් ලකුණු 54 ට දැවී ගියේය.

පළමු ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගත් තරංග පරණවිතාණ මෙම තරගයේ දී ද ශතකයක් ලබා ගැනීම විශේෂත්වයකි. දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දුන් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ලකුණු 130 ක් සහ මහේල ජයවර්ධන ලකුණු 13 ක් ලබා සිටියහ. පන්දු යැවීමේ ප්‍රගීයෙන් ඕජා සහ ඉෂාන්ත් ශර්මා කඩුළු 1 බැගින් ලබා ගැනීමට සමත් විය. adaderana

ගිනි තබාගත් සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක් කරනවා


එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිරුරට ගිනි තබා‍ගෙන ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන බව හෙතෙම අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය.

ඊයේ පස්වරුවේ මෙම එ.ජා.ප පාක්ෂිකයා සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අත‍ර කළු‍බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියේය.adaderana

අසරණයා ගිනි තබා ගත්තේ පක්ෂයෙන් කළ පෙළඹවීම නිසයි


අසරණ පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂ‍යේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත් වූයේ පක්ෂයේම කිහිප දෙනෙකු විසින් කරනු ලැබූ පෙළඹවීම නිසා බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම අශිෂ්ට ක්‍රියාදාමයෙන් එක්සත් ජාතික පක්ෂය මොන තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇත්දැයි පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියේ"දෙරණ 360"වැඩ සටහනට සහභාගී වෙමිනි.

මෙම අසරණ පුද්ගලයා ගිනි තබා ගැනීම සඳහා පෙළඹවූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්,එය පොලීසියේ යුතුකම හා වගකීම වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ පස්වරුවේ මෙම එ.ජා.ප පාක්ෂිකයා සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අත‍ර කළු‍බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ සමගියෙන් වැඩ කළ යුතු බවත්, පක්ෂය බෙදීමට විරුද්ධ බවත්, එකමුතුකමෙන් යුතුව පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස මෙම මියගිය පුද්ගලයා ගිනි තබාගැනීමට පෙර ප්‍රකාශ කර ඇති බව ආරක්ෂක නිලධාරීන් සඳහන් කළ බව මේ සම්බන්ධයෙන්"අද දෙරණ"එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේය. adaderana

සේරුනුවර පාළු නිවසකින් ටී 56 ක් හමුවෙයි


සේරුනුවර පොලිස් වසමේ පූනගර්, ඊතලන්පත්තු ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයා ගෙන තිබේ. මෙය බයිනෙත්තුවක සවි කර තිබිය දී ඊයේ සේරුනුවර පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සේරුනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර කටුනායක පොලිසිය විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් අනාවරණය වූ තොරතුරු වලට අනුව කටුනායක ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙම ජීව අතේබෝම්බය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. adaerana

සේනක ද සිල්වා පලා ගිය සෙබළුන්ට වැටුප් ගෙවීමට හවුල් වෙලා


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් වශයෙන් කටයුතු කළ කපිතාන් සේනක ද සිල්වා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී යුද හමුදාවෙන් පලා ගිය හමුදා සෙබළුන්ට වැටුප් ගෙවීමේ ක්‍රියාවලියට හවුල් වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් ‍දී තිබේ.

අදාළ හමුදා කපිතාන්වරයාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව අනාවරණය කර තිබේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දේශනකාර්යාල භාරව මෙම සැකකාර කපිතාන්වරයා කටයුතු කර ඇති බව රහස් පොලිසිය පවසයි.

එහි දී ඔහු සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කටයුතු වලට යොදවා සිටි යුද හමුදාවෙන් පලා ගිය සෙබළුන්ට වැටුප් ගෙවීමේ කටයුතු වලට හවුල් වී ඇති බව රහස් පොලිසිය පෙන්වා දෙයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා සැකකාර කපිතාන්වරයා ලබන 2 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබේ. adaderana

ඉන්දීය උසස් නිලධාරියෙක් ශ්‍රී ලංකාවට


ඉන්දීය රජයේ උසස් නිලධාරියෙකු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං තීරණය කර තිබේ. ඒ සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ශ්‍රී යොදවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සිදුවන නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මොහු ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තීරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට පවසා තිබේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතා පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

තැපෑලේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තිත


තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වෘත්තීය සමිති මෙම තීරණය ගෙන ඇති බව තැපැල් හා වි‍දුලි සංදේශ අමාත්‍යාංශය පවසයි. සේවකයන් සිව් දෙනෙකුගේ මූල්‍ය වංචා සඳහා තැපැල් පාලන අධිකාරිය ඉදිරිපත් කරන ‍ලද චෝදනා පත්‍ර වලට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා එකඟ වීමත් සමඟ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කර තිබේ. සති දෙකක් ඇතුළත එම පරීක්ෂණ අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.adaderana

ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් 50 ට නිදහස


ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් පනස් දෙදෙනෙකු නිදහස් කර තිබේ. ධීවරයින් සමග ධීවර යාත්‍රා 18 ක් ද නිදහස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිටත් කර හැරීමේ නියෝග ලබා දුන් විගස එම ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සඳහන් කරයි.

පසුගිය 2009 වසරේ සිට ‍තංගල්ල, ත්‍රිකුණාමලය, දෙවිනුවර සහ මීගමුව යන ධීවර වරායල් වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් මේ අතර වේ. තවත් මෙරට ධීවරයින් 113 දෙනෙකු ඉන්දීය අත්අඩංගු‍ෙව් සිටින අතර ධීවර යාත්‍රා 32 ක් ද ඔවුන් භාරයේ තිබෙන බව අමාත්‍යාංශය පවසයි. එම ධීවරයින් සහ යාත්‍රා ඉතා ඉක්මනින් නිදහස් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

Saturday, July 24, 2010

මටත් බලාපොරොත්තු තියෙනවා


තමන් තනතුරු බලාගෙන ක්‍රියා නොකරන නමුත් ඕනම පුද්ගලයෙකුට පවත්නා යම් යම් බලාපොරොත්තු තමන්ටත් තියෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරි කැබිනට් සංශෝධනයේදී අගමැති ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවක් ඇත්දැයි අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා සිය දෙවෙනි ධූර කාලයේ දිවුරුම් දෙන බවත්,ඒත් සමගම නව කැබිනට් මණ්ඩලයක් පත්වන්නට නියමිත බවත් දැනට තමන් දන්නේ එපමණක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩ නැඟීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින්නේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

මහනුවර අලුත් රථ වාහන සැලසුම අකුලාගනී


අද පෙරවරුවේ ක්‍රියාත්මක කරන ලද මහනුවර නගරයෙහි නව රථ වාහන සැලැස්ම තාවකාලික ඉවත් කිරිමට තීරණය කර තිබේ. මීට හේතු වී ඇත්තේ නව සැලැස්ම තුළින් කලින් පැවතියාටත් වඩා වාහන තදබදයක් නගරය තුළ ඇති වීමයි.

මධ්‍යම පළත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් නව රථ වාහන සැලැස්ම ඉවත් කිරීමට තීරණය කළ බවයි. මෙම නව රථ වාහන සැලැස්ම හඳුන්වා දෙනු ලැබීම තුළින් ඇති වූ ගැටලු හඳුනා ගැනීමට හැකි වූ බවත් එම ගැටලු සඳහා විසඳුම් ලබා දී නැවත මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. adaderana

රුහුණු සරසවි සිද්ධිය ගැන ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි


රුහුණු සරසවියේ හටගත් සිද්ධිය සහ එහි ශිෂ්‍යයෙකු මිය යාම යන කරුණු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වලට නියෝග කර තිබේ.

සමස්ත සිද්ධිය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට , විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිසමට සහ රුහුණු සරසවි බලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉකුත් ජූනි මාසයේ රුහුණු සරසවියේ හටගත් සිද්ධියක දී පහර කෑමට ලක් වූ බව කියන සුසන්ත අරුණ ශිෂ්‍යයා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා රාත්‍රියේ මිය ගියේය.

මෙම මරණය සම්බන්ධයෙන් විවිධ මත පළ වීම හේතුවෙන් සමස්ත සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. adaderana

ලොව පළමු අගමැතිනිය අමතකවීම පිළකුල් සහගතයි


ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් වූ දිනය ශ්‍රී ලංකා රජයට මුළුමනින්ම අමතක වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි.

ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත්වී ජූලි මස 21 වන දිනට වසර 50 ක් සම්පූර්ණ වූ බවත්,ශ්‍රී ලංකා රජය එය සැමරිය යුතුව තිබුණු බවත් ඇය බී.බී.සී ලෝක සේවයට පවසා තිබේ. වත්මන් රජය බණ්ඩාරනායක පවුලට ප්‍රසිද්ධියේ එදිරිවාදිකම් කරන බවද ඇය සඳහන් කර ඇත.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කරමින් "රටේ සාමාන්‍ය ජනයාට විනා රජයට හෝ ඇයගේ පක්ෂයට ඇගෙන් රටට පක්ෂයට වූ සේවය අමතක වී යාම පිළිකුල් සහගතයි.නින්දිතයි"චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සඳහන් කර ඇත. "ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සලකුණු කරන්නට ඇය සමත්වුණා.ඇය නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය ගනු ලැබුවා..විදෙස් රටවල් සමග ගනුදෙනු බොහොමයක් ඇති කර ගැනීමට ඇය කටයුතු කළා." චන්ද්‍රිකා මැතිනිය සිහිපත් කර ඇත.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇත්දැයි ප්‍රශ්න කිරීමේදී ඇය ඊට පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළ බවද බී.බී.සී සේවය සඳහන් කරයි.adaderana

යතිවරයෙක් බුදුන් විකුණලා


පෞරාණික වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සහ කළ හිමිනමක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උස අඩි එකයි අඟල් 3ක් සහ බර කිලෝග්‍රෑම් 12 හමාරක් පමණ වන මෙම බුද්ධ ප්‍රතිමාව රුපියල් තුන් ලක්ෂ 50,000 කට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව, කුරුඳුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බව සඳහන්වේ.

සැකකාර හිමිනම අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

ඉන්ධන ජාවාරමක් මාට්ටු


කාලයක සිට සිදුකරගෙන යනු ලැබූ ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිසිය සමත්ව තිබේ.

දඹුල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමක දී මේ සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බව සඳහන්වේ.

ප්‍රධාන ඉන්ධන ගබඩාවල සිට පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන යන බවුසර් අතරමග නවතා ඒවායේ මුද්‍රා තැබීම් ඉවත් කොට මෙම ඉන්ධන ජාවාරම කෙරී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉන්ධන බවුසරයක රියදුරු, සහායකයා සහ ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ව්‍යාජ මුද්‍රා තබන මෙවලම් , වෙනත් බවුසර්වලින් ලබාගත් ප්‍රෙට්රල් සහ ඩීසල් බැරල් තොගයක් මෙන්ම ඉන්ධන බවුසරයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්වේ.adaderana

සරසවි සිසුගේ මරණය සී.අයි.ඩී යට බාරදුන්නා


රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත අරුණ ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.

සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙ‍නකුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙකක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලිස්පතිවරයා කියා සිටියි.

කෙසේවෙතත් මියගිය සුසන්ත අරුණ ශිෂ්‍යාගේ මව ඊයේ ප්‍රකාශ කර තිබුණේ පොලීසියෙන් පහරදී තිබුණද පොලිස් ප්‍රහාර වලින් තම පුතුට මහත් බලපෑමක් එල්ල නොවූ බව හා තවත් ශිෂ්‍යයෙකු කළ පහරදීමකින් මෙම මරණය සිදුවූ බවයි.

එසේ වුව ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ සරසවි ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තේ පොලීසිය බවයි.

කෙසේ වෙතත් තමන්ට පොලීසිය විසින් පහරදුන් බවට සුසන්ත අරුණ සිසුවා මිය යන්නට මත්තෙන් දියතලාව රෝහල් පොලිසියට කට උත්තරයක් ලබා දී ඇති බවද සඳහන් වේ.adaderana