Tuesday, June 15, 2010

මේ නිවාගන්නේ ආණ්ඩුවේ බඩගින්නයි


ජනතාවගේ බඩගින්න නිවාදැමීම සඳහා කටයුතු නොකොට තමන්ගේ දේශපාලන බඩගින්න නිවා ගැනීම සඳහා ආණ්ඩුව සූදානම් බවත්,එකී සූදානමට තමන් විරුද්ධ වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජය මේ මොහොතේ සූදානම් වන්නේ තමන්ගේ පටු දේශපාලන වාසි මුදුන්පමුණුවා ගැනීම සඳහා පමණක් බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මේ වනතුරුත් ජනතාවට හෙළිදරව් කර නැති බවත්,පාර්ලිමේන්තුවේ වුවත් මේ ගැන විධිමත් කතිකාවක් ඇති කර නැති බවටත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ නීතිපතිවරයාගේ අනුදැනුම සහිතව වුවද නීතිපතිවරයා හෝ දැනුවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයිද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

නව අධ්‍යාපන ප්‍රතිපත්ති ගුණගරුක පරපුරක් බිහි කිරීම වෙනුවෙනි -ජනපති


නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණ ලොව ජය ගන්නා මෙන්ම දේශයට හා ජාතියට ආදරය කරන ගුණගරුක පරපුරක් බිහි කිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය වන අයුරින් නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අලුතින් ආරම්භ කරන අධ්‍යාපන ආයතනවල ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ මේ අදහස් පළ කළේය. විශ්ව විද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම, පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම මෙමඟින් යෝජනා කර ඇත. adaderana

රත්‍රන් - මුදල් ආපසු දෙන්නැයි උතුරේ ජනයා ඉල්ලනවා


රජය විසින් ලබාගත් රත්‍රන් සහ මුදල් මෙතෙක් ලබා දි නැතැයි සඳහන් කරමින් ඒවා යළි ලබාගැනීමට සහයෝගය ලබාදෙන ලෙස කිලිනොච්චියේ ජනයා තමන්ගෙන් ඉල්ලා සිටි බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

උතුරේ එල්.ටී.ටී.ඊ පාලනය පැවති කාලයේ ඔවුන්ගේ බලකිරීම මත ඊලාම් බැංකුවල තැන්පත් කළ මුදල් සහ රත්‍රන්, එල්.ටී.ටී.ඊයේ පරාජයත් සමග රජයට පවරා ගැනීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනයා මේ වන තුරුත් තමන්ගේ වස්තුව තමන්ට යළි ලබාදීමට උත්සාහයක් හෝ ගෙන නැති බව පෙන්වා දුන් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ දිනයේ ජ.වි.පෙ මන්ත්‍රීවරුන් පිරිසක් යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනයා බැහැදැකීමට ගිය අවස්ථාවේදී කිලිනොච්චියේදී ජනයා විසින් මෙම ඉල්ලීම කළ බව අද දෙරණට ප්‍රකාශයක් කරමින් අනුර කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක,බිමල් රත්නායක,රාමලිංගම් චන්ද්‍රසේකර්,මරුන්ගන් මෝහන් යන මහත්වරුන් මෙම සංචාරයට එක්වූ බව සඳහන් වේ. adaderana

වෛද්‍යවරිය බැණවැදුණාට රාජකාරියට තිත තබයි


කරවනැල්ල මූලික රෝහලේ හෙද හෙදියන් අද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින බව වාර්තා වේ. මීට හේතු වී ඇත්තේ රෝහලෙහි ළමා වාට්ටු ඒකකයට අලුතින් පැමිණි වි‍ශේෂඥ වෛද්‍යවරිය හෙ‍ද හෙදියන්ට බැණ වැදුණු නිසා බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් රත්නපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියකින් දන්වා ඇති බව ද හෙද කාර්යය මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ කණ්ඩායමක් එම රෝහල වෙත ගොස් ඇතත් මේ වන තෙක් ගැටලුව සඳහා පිළිතුරක් නොලැබුණු බව රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

‍සිය ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන තෙක් රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින බව ද ඔවුන් කියා සිටියි. කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයාවරයාගෙන් කරුණු විමසීමට දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය. adaderana

කලින් සල්ලි නැතිව බී.ටී.අයි ලැබෙයි


පූර්ව මුදල් ගෙවීමකින් තොරව ඩෙංගු මර්දන බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලබාදීමට කියුබානු රජය එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය වන නිර්සියා කැස්ට්‍රෝ ගෙවාරා මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන් වේ.

බී.ටී.අයි බැක්ටීරියාව ‍මෙරටට ගෙන්වීමේ දී එහි වටිනාකමින් සියයට 50ක මුදලක් බැක්ටීරියාව ගෙන්වා ගැනීමට පෙර ගෙවිය යුතු බව කියුබානු රජය විසින් මීට‍ පෙර දැනුම් දී තිබුණි. එහෙත් අද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාක්ච්ඡාවේ දී පූර්ව ගෙවීමකින් තොරව බී.ටී.අයි බැක්ටීරියාව ලබාදීමට කියුබානු තානාපතිනිය එකඟතාව පළ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉතාමත් ඉක්මනින් බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ගෙන්වීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කියුබානු තානාපති කාර්යා‍ලයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිත බව ද සඳහන් වේ. adaderana

නීතිය හරස් නොවුණොත් ෆොන්සේකාට ගැටලුවක් නෑ


නීතිමය ප්‍රතිපාදන සලසා ගන්නේනම් හා නීතියෙන් බාධාවක් නැතිනම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට සහභාගී වීමට විදෙස්ගත විය හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණද ෆොන්සේකා මහතා තාමත් ඇප දී නොමැති සැකකරුවෙක් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට අවස්ථාව හිමිවන අතර එයින් ‍ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගේ නම ද යෝජනා වී ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී ඇත.

ජෙනරාල් ෆොන්සේකා සමග මෙම සමුළුවට සහභාගී වීමට එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ නම ද විපක්ෂයෙන් යෝජනා වී ඇති අතර ආණ්ඩු පක්ෂයෙන් සහභාගී වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැත.

56 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුව මෙවර පැවැත්වෙනු ඇත්තේ කෙන්යාවේදීය.adaderana

දේශීය කෘෂිකර්මයේ පෙරළියක් ඇති කළ යුතුයි -මහින්ද යාපා


අපි වවමු -රට නගමු වැඩසටහනට පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන් නායකත්වය ලබාදිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. දැනට දිසාපතිවරුන් යටතේ ඇති එම වගකීම දේශපාලන නායකත්වය විසින් ලබාගත යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

රේඛීය අමාත්‍යාංශය මෙන්ම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කළ යුතු බව කෘෂිකර්ම ක්ෂේත්‍රය නගා සිටුවීම තනිව ‍සිදුකළ නොහැක්කක් බව පෙන්වාදෙන අබේවර්ධන මහතා සඳහන් කළේය. යැපුම් කෘෂිකර්මාන්තය වෙනු‍වට වාණිජ කෘෂිකර්මාන්තය දක්වා දේශීය කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කළ යුතු බව ද පළාත් කෘෂිකර්ම අමාත්‍ය සමුළුවට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

දෙමළ භාෂාව වෙනුවෙන් මදුරෙයි අධිකරණය ඉදිරිපිට විරෝධතා


දෙමළ භාෂාව නිල භාෂාවක් ලෙස භාවිතා කරන ලෙස ඉල්ලා මදුරෙයි අධිකරණය ඉදිරිපිට ද්‍රවිඩ ජාතික නීතිඥයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටාදක්වයි.

අධිකරණය ඉදිරිපිට කොඩි කණුවේ ඉන්දියානු කොඩිය ප්‍රදර්ශනය කරන තැන කළු කොඩියක් ඔසවා ඇතැයිද මහත්මා ගාන්ධිගේ පිළිරුවේ බස්තමේ කළු රෙදිපටි ගැට ගසා ඇතැයිද සඳහන් වේ.

කෙසේ වුවද අධිකරණ තීන්දුවක් මත මේ වන විට කළු කොඩි සහ කළු රෙදිපටි ඉවත් කර ඇතත් මදුරෙයි අධිකරණයේ නිල භාෂාවක් ලෙස දෙමළ භාෂාව ප්‍රකාශයට පත් කරන ලෙස සිය විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව විරෝධතාකරුවන් පවසා ඇත.

දෙමළ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සීමන් මහතාද මෙම විරෝධතා ව්‍යාපාරයට සහය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වා ඇත. adaderana

බලෙන් අධිකරණයට ගෙන යා නොහැකි යැයි දේවානන්ද කියයි


අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් හමුවට තමන් බලහත්කාරයෙන් ගෙනයාමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව අමාත්‍ය ‍ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. 1986 - 87 කාල සීමාවේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දු ලංකා ගිවිසුම යටතේ ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය තමන්ට සමාවක් ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍යයක් වෙත අමාත්‍යවරයා ‍ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ අධික‍රණයක් හමුවට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව දේවානන්දා මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඔහු අත්අඩංගුවට නොගැනීමට හේතු දක්වන ලෙස මදුරාසි මහාධිකරණය එරට රජය වෙත දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් මදුරාසි මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව ඊයේ සලකා බැලූ අවස්ථාවේ අදාළ දැනුම් දීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දේවානන්ද අමාත්‍යවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් චෙන්නායිහි පොලිස් කොමසාරිවරයා ලිඛිතව නවදිල්ලි පොලිස් කොමසාරිස්වරයා වෙත සිදුකළ දැනුම් දීම ද අධිකරණයේ අවධානයට යොමුව ඇති බව සඳහන්යadaderana

උතුරේ තරුණ ප්‍රජාවට විධිමත් රැකියා පුහුණුවක්


උතුරේ තරුණ තරුණියන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ ධම්මික හේවාපතිරණ මහතා සඳහන් කළේය.

මේ යට‍ෙත් කිලිනොච්චි‍ය දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මේ වන විටත් ඉදිකර ඇත. නිවැරදි වෘත්තීය පුහුණුවක් මගින් රැකියා අවස්ථා උදාකර උතුරේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ඵලදායී අයුරින් යොදාගැනීම මෙම වැඩපිළිවෙ‍ළේ ප්‍රධාන අරමුණ බව ධම්මික හේවාපතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

බොරලැස්ගමුවේ ගණිකා නිවසක් වටලයි


බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලීමට නුගේගොඩ පොලිසිය සමත්ව තිබේ. එහිදී කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

එම කාන්තාවන් බොරලැස්ගමුව, හම්බන්තොට සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaerana

යුද්ධය නිසා උතුරේ පෙර පාසල් අධ්‍යාපනය


යුද්ධය හේතුවෙන් 2008 සහ 2009 වර්ෂවල උතුරේ පෙරපාසල් අධ්‍යාපනය මුළුමනින්ම බිඳවැටී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා ඒකකය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බව වාර්තා වේ. උතුරේ ළමුන්ගෙන් 83% ක් එම වර්ෂවල කිසිදු දිනක පෙරපාසලකට ගොස් නොමැති බව එම වාර්තාවෙන් අනාවරණය වී ඇත.

එම ප්‍රදේශවල සිටින වයස අවුරුදු 1 ත් 6 ත් අතර ළමුන්ගෙන් 74%ක්, අවුරුදු 6 ත් 14 ත් අතර ළමුන්ගෙන් 82% ක් සහ අවුරුදු 14 ත් 21 ත් අතර පිරි‍සගෙන් 79%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ද එහිදී අනාවරණය වී ඇති බව සඳහන්ය. කෙසේවෙතත් ඉදිරියේ දී මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක 5 තුළ අංගසම්පූර්ණ පෙරපාසල් පිහිටුවීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පියවර ගෙන තිබේ. adaderana

ආසියානු කුසලාන තරගාවලිය ඇරඹේ


දසවන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතය. ඒ අනුව එහි පළමු තරගය වන ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරගය අද පස්වරුවෙහි රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ දක්වා පැවති තරග අතරින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සිව්වතාව බැගින් ආසියා කුසලානය දිනාගෙන ඇති අතර පකිස්ථානය ආසියානු කුසලානය දිනාගැනීමට සමත්ව ඇත්තේ එක්වතාවක් පමණි. ඒ අනුව 1986 දී පැවති තරගාවලියේදී ප්‍රථමවරට ශ්‍රී ලංකාව ආසියා කුසලානය හිමිකර ගත් අතර 2000 වසරේ ජයග්‍රහණය දිනාගැනීමට පකිස්ථානය සමත්විය.adaderana

පෙරහුරුවට අදත් පාර වසයි


රණවිරු විජයග්‍රහණ සැමරුම් පෙළපාලියේ පෙරහුරු පැවැත්වෙන බැවින් අද දිනයේ ද ගාලු මුවදොර පිටිය ආශ්‍රිත මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තබන බව පොලිසිය පවසයි. අද පෙරවරු 6. 30 සිට අදාළ පෙරහුරු අවසන් වන තෙක් ගාලු මුවදොර වටරවුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඒ අනුව සෙරමික් හන්දියෙන් හා ගාලුමුවදොර වටරවුමෙන් වාහන ඇතුළු වීමට ඉඩ ලබා‍නොදෙන බව ඔහු ප්‍රකාශ ක‍ළේය. එබැවින් අදාළ කාලය තුළ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට අපේක්ෂා කරන රථ වාහන රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලිසිය ඉල්ලා සිටියි. adaerana

අසැබි වෙබ් අඩවි ගැන වාර්තාව අධිකරණයට


ජංගම දුරකතනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම අවහිර කිරීම සඳහා සිදුකරනු ලැබූ පරීක්ෂණවල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් බම්බලපිටිය ළමා අධිකරණය වෙත මෙම වාර්තාව ඉදිරිපත් කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පාසල් ළමුන් ජංගම දුරකතනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට පුරුදු වී සිටින බවට ලැබුණු පැමිණිලි අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ අනුව පසුගිය දා බම්බලපිටිය ළමා අධිකරණය විසින් ජංගම දුරකතන සමාගම් 5කට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියෝග කරනු ලැබීය. එවැනි අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම දුරකතන සමාගම් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකසූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවලට අනුව කඩිනමින් ජංගම දුරකතන මගින් නැරඹිය හැකි අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට කටයුතු කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ‍ෙය් ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් ක‍ෙළ්ය. adaderana

පෙත්සම විභාගය කල්යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වන පළමුවන යුද්ධාධිකරණයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගය කල්දැමීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන්නැයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥවරුන් කල් ඉල්ලා සිටීම ඊට හේතුව වී ඇත.
පළමුවන යුද්ධාධිකරණය අවලංගු කරන මෙන් ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය. ඒ අනුව පෙත්සම් විභාගය ලබන 29 වනදාට කල් දැමූ අධිකරණය එදිනට පෙර ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥයින්ට නියෝග කළේය. පළමු වන යුද්ධාධිකරණය සඳහා පත්කර ඇති විනිසුරුවරුන්ගෙන් තමාට සාධාරණ විභාගයක් අපේක්ෂා කළ නොහැකි බැවින් එය අවලංගු කරන්නැයි ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. adaderana

Sunday, June 13, 2010

විධි විධාන වලින් පෙනෙන්නෙ රජයේ ඒකාධිපතීත්වයයි


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වු යෝජනා, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන එන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරයි. වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අවස්ථා දෙකකට වැඩි ගණනක් එකම පුද්ගලයෙකුට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඒමට උත්සාහ කිරීමෙන් රජයේ ඒකාධිපතීත්වය පිළිබිඹු වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේය. adaderana

බැංකු කළමනාකරු මුදල් ගෙන පැනයයි


මඩකළපුව ප්‍රදේශයේ පුද්ගලයන්ගේ මුදල් තැන්පත් කළ ආයතනයක කළමනාකරු ඇතුළු නිලධාරීන් එම මුදල් වංචා කර පලා ගොස් ඇතැයි වාර්තා වේ. මඩකළපුව සෙල්වනායගම් වීදියේ පවත්වාගෙන ගිය මෙම ආයතනයේ පුද්ගලයන් 60 දෙනෙකු පමණ මුදල් ආයෝජනය කර තිබේ.

රුපියල් 5,000 ක් ගෙවා සමාජිකත්වය ලැබීමෙන් පසු අදාළ ආයතනයේ මුදල් තැන්පත් කළ හැකි අතර රුපියල් 25,000 සිට ලක්ෂය දක්වා ඇතැම් පුද්ගලයන් එහි මුදල් තැන්පත් කර තිබු බව වාර්තා වේ. තම මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති අතර මඩකලපුව පොලිසිය වැ‍ඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.adaderana

දේශපාලනඥයෝ 20% ක් වත් ජනතාව ගැන හිතන්නේ නෑ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් රටට වැඩදායි තත්ත්වයක් උදා වන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත නාහිමියන් පවසයි. පැරණි ර‍ජදවස රජවරුන් ජිවිතාන්තය දක්වාම රට පාලනය කරමින් රට සංවර්ධනය කළ බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ඊයේ පස්වරුවේ එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා බුද්ධ රක්ඛිත මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය. රටේ සිටින දේශපාලනඥයින්ගෙන් 20% ක් වත් රටේ ජනතාව ගැන සිතා කටයුතු නොකරන බව බුද්ධ රක්ඛිත මහ නාහිමියන් මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

පුද්ගල ඝාතනයකට දෙදෙනෙක් අත්අඩංගුවට


ස්වයංක්‍රීය පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට සැකපිට කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ පෙබරවාරි 08 වන දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කුරුවිට පොලීසිය මොවුන් දෙදෙනා පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඝාතනය සිදුකර ඇති බව කියන පිස්තෝලය ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය අද දින ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. adaderana

අගමැතිකමේ ශක්තියෙන් ජනතාවට සේවය කරනවා


අගමැතිධූරයේ ශක්තිය යොදාගෙන ජනතාවට සේවය කිරීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා පවසයි. අගමැති තනතුරේ අයිතිය ඇත්තේ ජනතාවට බව ඔහු පෙන්වාදෙයි.

ඊයේ පස්වරුවේ මහනුවර දංගොල්ල ශ්‍රී තිස්සාරාම විහාරස්ථානයේ අ‍ටවිසි බුද්ධ ප්‍රතිමා බෝධි ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා මේ බව සඳහන් කළේය. දේශපාලන ජාති ආගම් භේද වලින් තොරව සැමදෙනාටම එකලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මහනුවර රිය අනතුරකින් 10කට තුවාලයි


මහනුවර -මහියංගන ප්‍රධාන මාර්ගයේ 35 වන කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඊයේ රාත්‍රී 11 ට පමණ කොළඹ සිට මහියංගනය බලා ධාවනය වූ වෑන් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු මහියංගනය රෝහලේ ද උඩුදුම්බර හා හසලක රෝහල් වල පුද්ගලයින් තිදෙනෙකු බැගින් ද ප්‍රතිකාර ලබන බව උඩුදුම්බර පොලීසිය සඳහන් කළේය. මෙම අනතුර සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

ගෙවල් බිඳින හොරෙක් අල්ලයි


ගෙවල් බිඳීම්, දේපල සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු මාතලේ විල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය, පාදුක්ක, හංවැල්ල යන ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. සැකකරු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවොල්වරයක් සහ එම උණ්ඩ 09ක් සොයා ගෙන ඇති බව සඳහන්ය. ‍ adaderana

රට යන ඇත්තන් වැඩිවෙයි


පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ විදේශ ගතවන ශ්‍රමික සංඛ්‍යාව 22%කින් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ වසරේ ජනවාරි මාසයේ සි‍ට මාර්තු මාසය දක්වා වන කාර්තුව තුළ පුද්ගලයින් 67, 310 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි වර්ධනයක් අත්කර ගැනීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්. කේ. රුහුණගේ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවලට මේ වසරේ වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් පිටත්ව ගොස් ඇති බව රුහුණගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

සුඛෝපභෝගී දුම්රිය සේවය තවදුරටත්


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ධාවනය ආරම්භ කළ සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය අඛණ්ඩව දිනපතා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය දිනකට ගමන් වාර 5 ක් හෝ 6ක් සිදුකරන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපළ සඳහා ගමන් කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂයෙන් රාත්‍රී කාලයේ වැඩි ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

අර්තාපල් ආනයනයට වැට බැ‍ඳෙයි


අර්තාපල් ආනයනය තහනම් කිරීමට හෝ ආනයන බදු වැඩිකිරීමට කඩිනමින් කටයුතු කරන බව වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අර්තාපල් වගාකරන ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ උමා ඇළ ව්‍යාපෘතියේ පිළිසකර කිරීමේ පළමු අදියර නිමකිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.adaderana

ධීවරයින් 5දෙනෙක් ඉන්දියාවේදී බේරාගැනේ


සන්නිවේදන සම්බන්ධතා ගිලිහී තිබූ ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ. චෙන්නායිහි ශ්‍රී ලාංකික නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී මෙම ධීවර යාත්‍රාව බේරාගෙන ඇති බව වාර්තා වේ.

පර්ල් ඉෂාරා ලෙස හැඳින්වෙන මෙම යාත්‍රාව මාතර දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය මැයි 06 වනදා ධීවර කටයුතු සඳහා පිටතුව ගොස් ඇත. මැයි 23 වනදා සිට එම යාත්‍රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා ගිලිහී ගොස් තිබූ බව වාර්තා වේ. ඒ අනුව මෙම යාත්‍රාව සොයාදෙන ලෙස ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. පසුව නැව් සහ ගුවන් යානා උපයෝගී කර ගනිමින් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් සිදුකළ අතර සාගර නම් නෞකාවට මෙම යාත්‍රාව සොයා ගැනීමට හැකිවී තිබේ. එසේ බේරාගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් රැගත් යාත්‍රාව විශාඛාපට්නමන්ඩ් වරායෙන් ඉන්දියාවට ගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

හිටපු එල්. ටී. ටී. ඊ සාමාජික යුවල් 53ක විවාහ මංගල්‍යයක්


එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය කරන ලද මනාල මනාලියන් යුවල 53ක් නීත්‍යානුකූලව විවාහ කරවීම අද සිදුකෙරේ. පොම්පේමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙම විවාහ උත්සවය පවත්වන බව පුනරුත්ථාපන කාර්යාංශය භාර බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana

අනතුර ඉවත්ව යයි


මේ වනවිට ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 1. 05ට පමණ ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් ආසන්නයේ භූ චලනයක් වාර්තා විය. එය රික්ටර් මාපක ඒකක 7. 5ක අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම භූ කම්පනය ඇතිවීමත් සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කළේය.

පසුව එම අනතුරු ඇගවීම ඉවත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉදිකැටිය හේවගේ මහත්මිය සඳහන් කළාය. මෙම සිදුවූ භූ කම්පනය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇත. විනාඩියක පමණ කාලයක් මෙම භූ කම්පනය පැවති බව වාර්තා වේ. adaderana

ප්‍රතිසංවිධාන යෝජනා දින 10 කින්


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනාවලිය ඉදිරි දින 10 ඇතුළත සකස් කර අවසන් වනු ඇති බව බලාපොරොත්තු වන බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා පවසයි. සාර්ථක යෝජනාවලියක් සකස් කිරීම සඳහා යම් කාලයක් ගතවන බව සභාපතිවරයා පෙන්වාදෙයි. adaderana