Monday, July 12, 2010

පිටරටින් කුකුළන් ගෙන්වීම වහා නැවැත්විය යුතුයි


රජය විදේශ රටවලින් කුකුළු මස් ආනයනය කිරීම වහාම නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විදේශ රටවලින් කුකුළු මස් ආනයනය කිරීම තුළින් ගැටලු රැසක් ඇති විය හැකි බව එම පක්ෂයේ පාර්ලි‍මේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. adaderana

ජනපති තවත් වසර 15කට රටේ නායකයා වෙනවා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් අවුරුදු 15 කට වැඩි කාලයක් රටේ නායකයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා පවසයි.

විපක්ෂය අවස්ථා ගණනාවක දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට උත්සහ කළ ද එම සියලු උත්සහයන් අසාර්ථක වූ බව ඔහු පෙන්වාදෙයි. ඊයේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්දුල් කාදර් මහතා මෙම අදහස් පළ කළේය. adaderana

කොළඹ අසැබි පුවරු මෙම මාසය තුළ ඉවතට


කොළඹ නගරය අවට ප්‍රදර්ශනය කර ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දැන්වීම් පුවරු මේ මස අවසන් වීමට පෙර ඉවත් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. මේ වන විටත් එවැනි හඳුනාගත් පුවරු 17 ක් පමණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්ය.

තවත් එවැනි පුවරු 12 ක් පමණ හඳුනා ගෙන ඇති අතර ඒවා පිළිබදව අදාළ ආයතන දැනුවත් කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රකාශ කරන ලදී. ඔවුන්ට ඉදිරි සති 2 ක කාලයක් එම පුවරු ඉවත් කර ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ. එම කාලය තුළ දී ඉවත් නොකරන පුවරු සියල්ල ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත. adaderana

රනිල්-ජනපති හමුවක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු‍වේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා දිනයේද මේ අයුරින්ම ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණු අතර ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් වූ බවත්, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරි කාලයේ දී දැනුවත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාට එදින දැනුම් දී තිබුණි.

පෙරවරු 9.30 ට පමණ ආරම්භ වූ එදින සාකච්ඡාව විනාඩි 30 කට ආසන්න කාලයක් පැවැත්වුණු අතර විපක්ෂ නායකවරයාට කඩවත පවත්වන්නට නියමිතව තිබුණු විරෝධතා ව්‍යාපාරයකට නායකත්වය දෙන්නට සිදුව තිබීම ඊට හේතුවයි.

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාවට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා තම නියෝජතයින් පිරිසක් ද සහභාගී කරවා ගත යුතු බව එහි දී දැනුම් දී ඇති බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි.

ඊට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබීම හේතුවෙන් අද දිනයේ යළි ‍ විපක්ෂ නායකවරවයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග මෙම සාකච්ඡාව පැවැත්වී ඇත. adaderana

එස්. බී ට මිනී පෙට්ටි සමග විරෝධතා


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවෘත කිරීමේ කටයුත්තක් සඳහා ගිය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතාට එහි දී සිසුන්ගේ දැඩි විරෝධතාවක් පළ වී තිබේ. විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විසින් මීනි පෙට්ටියක් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පළ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් එස්. බී දිසානායක මහතා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මෙහි දී සිසුන්ගේ දැඩි විරෝධතාව එල්ල වී ඇත.

නිදහස් අධ්‍යාපනයේ මළගම ඇති වන ආකාරය ප්‍රදර්ශනය කරමින් අදාළ විරෝධතාව සිසුන් විසින් පවත්වා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වීමෙන් අමාත්‍යවරයාව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටත් කර ඇති බව එහි සිටින අද ‍දෙරණ වාර්තාකරු සඳහන් කරයි. adaderana

රජයට විරුද්ධව කෑ ගැසූ සීමාන්ට මාංචු


ශ්‍රී ලංකා රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනාව මත තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නාන් තමිලර් ඉයක්කම් සංවිධානයේ නිර්මාතෘ සීමාන් චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට විරෝධය පාමින් පැවති උද්ඝෝෂණයකදී ඔහු මෙසේ රජයට විරුද්ධව ජනතාව කුපිත වන අන්දමේ අදහස් ප්‍රකාශ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ජනතාව කුපිත කරවන අන්දමේ අදහස් ප්‍රකාශ කිරීම යන චෝදනාව සීමන්ට විරුද්ධව ගොනු කර ඇත. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙන්නායි මාධ්‍ය සමාජයේදීය. නමුත් ඔහුට විරුද්ධව ඇති මෙම චෝදනාව සීමාන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. adaderana

සටන දිනීම මෙන්ම විමල් ජීවත්වීමත් අවශ්‍යයි


සටන ජයග්‍රහණය කිරීම මෙන්ම විමල් වීරවංශ මහතා ජීවත්වීම ද අත්‍යවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

බැංකි මූන්ගේ ශ්‍රී ලංකා ප්‍රචාරක නිලධාරියා බවට විජිත හේරත් මහතා පත්ව ඇතැයි එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම වීරවංශ මහතාගේ උපවාසය තුළින් බලාපොරොත්තු වූ අරමුණු හතර අතරින් 3 1/2 ක් ඉටු කරගැනීමට හැකිවූ බව ද ඔහු පවසයි. විරෝධතාවයේ මූලික අරමුණ වූයේ දේශීය හා විදේශීය වශයෙන් එක්සත් ජාතීන්ගේ කමිටුව පිළිබඳව කතිකාවතක් ඇතිකිරීම බවත්, එය සාර්ථක වූ බවත් සමරවීර මහතා පෙන්වාදෙයි.

කමිටුව ඉවත්කිරීමට උපවාසය තුළින් නොහැකි වුවද ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමේ හැකියාව ලැබුණු බව ද ජාතික සංවිධායකවරයා අවධාරණය කරයි. ඒ හරහා ජනතාව දැනුවත් කිරීමේ හැකියාව ලැබුණු බව ද ඔහු පෙන්වාදෙයි. ලැබූ ජයග්‍රහණය ඇතැමුන් නැවත හැරවීමට උත්සාහ කරන බවට ද ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. adaderana

බාහිර බලවේග වලට ඉඩ නොදීම ජයග්‍රහණයට හේතුවක්


මෙරටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට හැකි වු‍යේ අභ්‍යන්තර ගැටුම් සඳහා බාහිර බලවේග වලට ඇතුළු වීමට ඉඩ නොදීම හේතුවෙන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙරට ජයග්‍රහණ වලට තවත් හේතුවක් වන්නේ ආරක්ෂක අංශවලට නිසි තැන ලබාදීම සහ දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීම බව"මැනිලා ටයිම්ස්"පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රි ලංකාව ත්‍රස්තවාදය පරාජය කළ රටක් වශයෙන් ලෝකය විසින් පිළිගනු ලැබීම තම සතුටට හේතුවන බව ද ජනාධිපතිවරයා පවසයි. මේ වන ශ්‍රි ලංකාව සංවර්ධනයෙන් ඉදිරියට යමින් සිටින බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. adaderana

ෆොන්සේකා ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා


හයිකෝප් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අද දින මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කරන බව නීතිපතිවරයා ‍කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ අධි චෝදනා පත්‍ර වලට පසුගිය සිකුරාදා සවස් වන විට නීතිපතිවරයා විසින් අත්සන යොදා තිබු බව රජයේ නීතීඥවරයා අද අධිකරණයට දැනුම් දී සිටියේය.

ෆොන්සේකා මහතා වෑන් රථයකින් අධිකරණය වෙත රැගෙන ඒම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව මෙහිදි ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දී සිටියේය. සැකකරු වෑන් රථයකින් ගෙන එනු ලැබුව ද ඔහුගේ ආරක්ෂාව යුධ හමුදාව විසින් සහතික කර ඇති බව මෙහිදි රජයේ නීතීඥවරයා කියා සිටි‍යේය.

ෆොන්සේකා මහතා මේ වන විට රීමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවෙකු බැවින් විශේෂ වරප්‍රසාද අපේක්ෂා කළ නොහැකි බව ද රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. විදේශගතව සිටින සිය දියණියන් ඇමතීම සඳහා ෆොන්සේකා මහතාට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයින් ඉල්ලා සිටිය ද ෆොන්සේකා මහතා රීමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු බැවින් අදාළ ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඊට අමතරව ෆොන්සේකා මහතාට ව්‍යායාම සිදුකිරීමට ඉඩදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කෙරුණු ඉල්ලීම ඉවත දැමු මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කර සහනයක් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නාය. අනතුරුව ෆොන්සේකා මහතා ලබන 26 වැනිදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හමුදා භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වැඩිදුරටත් නියෝග කළාය. adaderana

ව්‍යවස්ථා වෙනස ගැන කතාවට අපිට ආරාධනයක් නෑ -ජවිපෙ


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම පක්ෂයට මෙතෙක් ආරාධනයක් ලැබී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකෙරෙන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම රජයේ වගකීමක් බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අදාළ සංශෝධන සම්බන්ධයෙන් හෙළි නොකිරීම පිළිබඳ විරෝධතා එල්ල වෙමින් තිබියදී විපක්ෂ නායකවරයා පමණක් ගෙන්වා සාකච්ඡා කිරීමට රජය කටයුතු කර තිබෙන බව ටිල්වින් සිල්වා මහතා පවසයි. ව්‍යවස්ථාවක් යනු මෙරට මුළු මහත් ජනතාවටම බලපාන කරුණක් බැවින් ඒ පිළිබඳ සියලු අංශ දැනුවත් කිරීම සිදුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. adaderana

Sunday, July 11, 2010

වීරවංශගේ මව මියයයි


අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මව අභාවප්ප්‍රාප්ත වී තිබේ. ඊයේ රාත්‍රීයේ ඇය අභාවප්ප්‍රාප්ත වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ජීවිතක්ෂයට පත් ව ඇති බවයි ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඇයගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව ඔහු පැවසුවේය. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් ද දෙන බව ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana

විමල් අන්තිමට කළ යුතු දේ මුලින් කළා -විජිත


විමල් වීරවංශ මහතා ගෙනගිය මාරාන්තික උපවාසය අවසානයේදී කළ යුතු දෙය මුලින්ම සිදුකිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. වීරවංශ මහතා විසින් ගෙනගිය උපවාසය තුළින් සිදුවූයේ ශ්‍රී ලංකාව හා ජනතාව අප්‍රසාදයට පත්වීම පමණක් බව ද ඒ මහතා අවධාරණය කරයි. ඔහු විරෝධය දැක් වූ ආකාරය නිවැරදි නොවන බවත්, ඒ සඳහා නියමිත ක්‍රමයක් පවතින බවත් විජිත හේරත් මහතා පෙන්වාදෙයි.

එය පහළ මට්ටමේ සිට ඉහළ දක්වා ගමන් කළ යුතු බවත්, නමුත් විමල් වීරවංශ මහතාගේ මාරාන්තික උපවාසය තුළින් විරෝධතාවයේ අවසන් කොටස මුලින් ආරම්භ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඒ අනුව එම ක්‍රියා මාර්ගය තුළින් එක්සත් ජාතීන්ගේ කමිටුවට තවදුරටත් ඉඩ ලබා දී ඇති බවට විජිත හේරත් මහතා චෝදනා කරයි. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. adaderana

මල්වතු මහ නා හිමිගේ අත්සන හොරට ගහලා


මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කළ හිමිනමක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය විසින් සැකකරු මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කර ඇත.

අදාළ හිමිනම විසින් විහාරස්ථානයක බූදල් නඩුවක් සම්බන්ධයෙන් පළාත් බද අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයක මල්වතු පාර්ශවයේ මහ නාහිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති බවට අනාවරණය වීම මීට හේතුවී ඇති බව සඳහන්ය. අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට මෙම හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
adaerana

මාරාන්තික උපවාසයට තිත-විමල් රොහලට


ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වමින් සිටි මාරාන්තික උපවාසයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර වීරවංශ මහතා උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණ වතුර වීදුරුවකින් ඔහුට සංග්‍රහ කොට ඇත.

එයින් අනතුරව අදාළ සෞඛ්‍ය අංශවලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විමසීමක් කරන ලද අතර එම විමසීමෙන් අනතුරුව මොහොතකට පෙර එතැනට පැමිණි ගිලන් රථයක් ඔහුව නංවාගෙන රෝහල බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දිනයේ සිය මාරාන්තික උපවාසය අත්හරිනු ඇතැයි අද පෙරවරුවේ සිටම ආරංචි මාර්ග විසින් තහවුරු කරනු ලැබිණි.

ජනාධිපතිවරයා ඉල්ලීම් කරන්නේනම් හෝ අධිකරණ නියෝගයක් ගෙන පොලීසිය විසින් ඉවත්කරන්නේනම් ඊට එරෙහිවිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ එම්.මුසම්මිල් මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අද දිනයේ අධිකරණ නියෝගයකින් හෝ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකින් වීරවංශ මහතා මාරාන්තික උපවාසය අත්හරිනු ඇති බවත්,එසේ නොවුණහොත් හදිසි රෝගාතුරුවීමක් නිසා ඔහු ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාමක් සිදුවිය හැකි බව අප විසින් අද පෙරවරුවේම සඳහන් කර තිබිණි.

පසුගිය අඟහරුවාදා දිනයේ ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමග උපවාසයක් ආරම්භ වූ අතර ඉකුත් බදාදා(08) දිනයේ විමල් වීරවංශ මහතා එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිවේදනයක් නිකුත් කරමින් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම නොහික්මුණු විරෝධතාවය වළක්වන්නට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබීම මහ ලේකම්වරයාගේ නොසතුටට හේතුවී ඇතැයි ද ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලය වසා දමන්නට මහ ලේකම්වරයා තීරණය කර ඇති වග පෙන්වා දී තිබිණි.

රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් මෙම විරෝධතාවය පවත්වන හෙයින් රජය ද රාජ්‍ය නායකයාද අපහසුතාවයට පත්වන බැවින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේ විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහෙත් එහෙව් ලිපියක් තමන්වෙත නොලැබුණු බවත්,ඒ සමිබන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අප කළ විමසීමකදී කියා තිබුණි.

එහෙත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා වීරවංශ මහතාගේ එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන ලද බව කියා සිටියේය.

කෙසේ වුවද වීරවංශ මහතා උපවාසය අත්හරිනු ලබන බවට ආරංචි පැතිර යද්දී අද දහවල් මාධ්‍යයන් හමුවේ ප්‍රකාශයක් කරමින්"තමන් ආරම්භ කළ මාරාන්තික උපවාසය නැවත්විය හැක්කේ බෑන්කී මූන්ට පමණක් බවත්,වෙනත් කිසිදු බලපෑමක් නිසා තමන්ගේ සටන අතහරින්නට සූදානම් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා යළි පවසා සිටියේය. ‍

අධිකරණ නියෝගයක් මගින් හෝ ජනාධිපතිවරයා හෝ මැදිහත්වී තමන් මෙතැනින් ඉවත් කරන්නට කටයුතු නොයොදන ලෙස ද හෙතෙම ඒ මොහොතේ ඉල්ලා සිටියේය. තමන්ගේ ජීවිතයට කිසියම් තර්ජනයක් සිදුවුවහොත් එහි වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයත්,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නියෝජිතයාත් බාරගත යුතු බවද වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් එසේ ප්‍රකාශ කිරීමෙන් හෝරාවක් දෙකක් හෝ ඉක්ම යන්නට පෙරාතුව ජනාධිපතිවරයා පැමිණ ඔහුට වතුර වීදුරුවකින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව ගිලන් රථයක් පැමිණ ඔහු එතැනින් ‍රෝහළට ‍ගෙන යන්නට කටයුතු කරන ලදී.

එහිදී අවට රැස්ව සිටින අය අත්පොලොසන් දෙන්නට වූ බවත්,වීරවංශ මහතා ගිලන් රථයට ගොඩ කරන අවස්ථාවේදී පවා කිසිදු විරෝධයක් නොදැක්වූ බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි. adaerana

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඉන්දියාව නැතුව බෑ


ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුහුණ දී සිටින ගැටලු වලට අවසන් විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දියාවේ උපදෙස් හා සහයෝගය අත්‍යවශ්‍ය බව පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි. යාපනයේ පැවති කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමින් එම පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

පක්ෂයේ වාර්ෂික සංවත්සරයක් යාපනයේ පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙහිදී රැඳවුම් භාරයේ සිටි විශ්ව විද්‍යාල සිසුන් සත්දෙනෙකුට ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් නිදහස ලබාදීමට කටයුතු කර ඇති බව ද සඳහන්ය. adaderana

ලෝක ජනගහන දිනය අදයි


ලෝක ජනගහන දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 1989 වසරේ සිට සෑම වසරකම ජූලි 11 වන දින ලෝක ජනගහන දිනය ලෙස සැමරීමට කටයුතු යොදනු ලැබීය. මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව ලෙස"සියල්ලන් ගණනයට ලක් වීම අවශ්‍යයි "යන්න හඳුන්වා දී තිබේ.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 6 .8 වන අතර එයින් බිලියන 5 .6 ක ජනගහනයක් අඩු ආදායම් ලාභීන් බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20 කට ආසන්න වන අතර වසරකට දෙලක්ෂ විසි පන්දහසක් පමණ එකතු වන බව වාර්තා වේ.

ජනගහනය වැඩි වීමට උපත් වැඩි වීම, මරණ අඩු වීම රට තුළ හා රටෙන් පිටතට ජනගහනය සංක්‍රමණය වීම පෙන්වා දිය හැකිය. ලෝක ජනගහන දිනය නිමිත්තෙන් ජාතික වැඩසටහන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. adaderana

නිධන් හොරු 12 ක් කොටුවෙති


පොළොන්නරුව සෝමාවතිය රක්ෂිත වනාන්තරයේ නිධන් වස්තු හාරමින් සිටි පුද්ගලයින් ‍12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොළොන්නරුව සිංහරාජගම පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඔවුන් ළඟ තිබී නිධන් වස්තු හැරීම සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිසිය භාරයට ගෙන ඇත. මෙසේ අත්අංඩගුවට ගෙන ඇත්තේ සිරිපුර සහ කදුරුවෙල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අනුමැතියක් නැතිව බෙහෙත් විකුණන තැන් වටලයි


වෛද්‍යවර‍යකුගේ අනුමැතියකින් තොරව ඖෂධ ලබා දෙන ඖෂධ සැල් වැටලීම විධිමත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් වෛද්‍යවරුන්ගේ අනුමැතිය නොමැතිව ඖෂධ ලබා දුන් ඖෂධ සැල් 80 කට එරෙහිව නඩු පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එවැනි වරදකට දැනට පවතින නීතීයට අනුව ලක්ෂයක දඩ මුදලක් හෝ මාස 6කට නොවැඩි සිර දඬුවමක් හිමි වන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙණරගම මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ හේමන්ත බෙණරගම මහතා ප්‍රකාශ කළේය.adaderana

කිළිනොච්චියේ කැබිනට් රැස්වීමකට සුදුසු වාතාවරණය නෑ


මීළඟ කැබිනට් රැස්වීම කිළිනොච්චියේ පැවැත්වීමට රජය ගෙන ඇත්තේ හදිසි තීරණයක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්දසංගරි මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර ඇත්තේ රජය කිළිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීමට ගනු ලැබූ තීරණය පිළිගත්ත ද ඊට සුදුසු වාතාවරණයක් තවමත් නොපවතින බවයි.

කිළිනොච්චි ප්‍රදේශය යනු යුද ගැටුම් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශය බව පෙන්වා දෙන ආනන්දසංගරී මහතා එම ප්‍රදේශයේ යළි පදිංචි කිරීමේ කටයුතු පවා තවමත් නිමා වී නැති බවද පෙන්වා දෙයි.

එවැනි ගැටලු පවතින අතරතුර රජයේ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් කිළිනොච්චියේ රැස්වීම් පැවැත්වීම ප්‍රදේශයේ ජනතාව කෙසේ පිළිගනීද යන්න පිළිබඳ සැකයක් පවතින බව ආනන්දසංගරී මහතා කියා සිටියි.

මේ හේතුවෙන් අදාළ කැබිනට් රැස්වීම මේ අවස්ථාවේ කිළිනොච්චියේ පැවැත්වීම පිළිබඳ යළි සිතා බලන ලෙස ආනන්දසංගරී මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. adaderana

නේපාලයත් එක්සත් ජාතීන්ගෙන් ගේම ඉල්ලයි


ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා ව්‍යාපාරයන් මතු වීමෙන් පසු නේපාලයේ අගමැතිවරයාද එක්සත් ජාතීන්ට සිය විරෝධය පාන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජාතීන් විසින් හිමාලයානු සමූහාණ්ඩුවේ දුර්වල සාම ක්‍රියාදාමය තවදුරටත් කඩාකප්පල් කිරීමට තැත් කරන බවට නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැති මාදව් කුමාර් නේපාල් මහතා තද බල විවේචනයක් කරන බව අයි.ඒ.එන්.එස් ප්‍රවෘත්ති සේවය උපුටා දක්වයි.

නේපාලයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දේශපාලන ඒකකය මගින් නේපාලයේ අවසරයෙකින් තොරව දේශපාලන සැලසුමක් බලහත්කාරයෙන් පටවන්නට උත්සාහ දරන බවට හෙතෙම චෝදනා කර ඇත. නේපාලයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම යටතේ 19000 ක් පමණ වන මාඕවාදී ගරිල්ලන් එක්සත් ජාතීන් ගේ අධීක්ෂණය යටතේ සිටින බවත්,ඒ අය වෙනුවෙන් නේපාලයේ අවසරයකින් තොරව දේශපාලන සැලසුමක් ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා පෙන්වාදෙයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් සති 60 ක් ඇතුළත නේපාලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තීරණයක් ගැනීමට සැලසුමත් සම්පාදනය කොට එකී සැලසුම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් එසේ වුවද මාඕවාදීන් තමන්ට අනන්‍ය වූ සැලැසුමක් සම්පාදනය කොට ඉදිරිපත් කරන්නට නියමිතව ඇති බවත් එසේ වුව මාඕවාදී ගරිල්ලනගේ නියමිත දින ගණනට පෙර එක්සත් ජාතීන්ගේ සැලසුම ක්‍රියාත්මක වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ සාම ක්‍රියාදාමයට පවත්නා විශාලතම බාධාව මහජන විමුක්ති හමුදාව බවත්, පාලක පක්ෂය විසින් මේ වන විට සමගාමීව පවතින හමුදාව මුළු මනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා සිටියද මාඕවාදීන් ලේ ඉල්ලීම වන්නේ මේ සියල්ලන් රටේ ජාතික හමුදාවට අනුයුක්ත කරගැනීමයි.

එසේ වුව ද මාඕවාදී නායක ප්‍රචණ්ඩා වරෙක එකගතාවයකට පැමිණෙමින් ප්‍රකාශ කර තිබුණේ ජාතික හමුදාවට ඇතුළත් කරගත යුත්තේ සිය සාමාජිකයන් 5000-7000 ක ප්‍රමාණයක් පමණක් බවයි. මෙවැනි පසුබිමක් තුළ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට හෝ හිටපු අගමැති ඉල්ලා අස්වි දින 10 ට පසුවත් නව රජයක් ස්ථාපිත කිරීමට බාධාවත් වී තිබෙන බවත් නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැති මාදව් කුමාර් පවසා ඇත.

"ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දෙන්නේ මාස 11 යි.ඒ අතරතුරේදී එක්සත් ජාතීන් මහජන විමුක්ති හමුදාව පුනරුත්ථාපනය කර සමාජ ගත් කරන්නට මාස 14 ක් දෙනවා.මෙය හුදෙක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දක්වන උත්සාහය කඩාකප්පල් කිරීමක් පමණයි"හෙතෙම සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ට සෘජුව ඇඟිල්ල දිගු නොකළ ද නේපාල භාරකාර අගමැතිවරයා"බාහිර පුද්ගලයින් තමන් නොඉල්ලන යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතු"බව පවසා තිබේ. adaderana

සංශෝධනය ජනතාවාදීනම් ආණ්ඩුවට සහය දෙනවා


ජනතාවාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සහය දෙන්න සූදානම් බවත්, පවුල්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුවට සහය දෙන්න සූදානම් නැති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් රටේ ජනතාවගේ කුස ගින්න නිවීමට හැකියාවක් නැති නිසා ජනතාවගේ කුස ගින්න නිවාදැමීමට හැකි වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවනතුරු උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කියා සිටියේය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සරත් එළියට ගැනීමේත් කේ.පී ඇතුළට දැමීමේත් උද්ඝෝෂණයක් බවත්,විමල් වීරවංශට මෙන්ම විරෝධය දැක්වීමට තම පක්ෂයටද අයිතියක් ඇති බවත් හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීමේ උද්ඝෝෂණ මාලාවේ මංගල උද්ඝෝෂණය අද කඩවත නගරයේ පවත්වමින් සිටින අතරතුරේදීය.

තමා අද උදෑසන ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවක් සඳහා සහභාගී වූ බවත්,තමන්ට ඒ පිළිබඳ තනි තීරණ ගන්නට සූදානම් නැති නිසා ඒ පිළිබඳ විශේෂ නියෝජිත පිරිසක් සමග යළි සාකච්ඡා කළ යුතු බව දැනුම්දුන් බවත් ,ඒ අනුව ලබන සඳුදා දින සවස අදාළ සාකච්ඡාව යළි පවත්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

Friday, July 9, 2010

මව්බිම නැතිනම් මරණය-විමල් දිගටම ගේම ඉල්ලයි


මේ සටන කෙළවර වන්නේ ජයග්‍රහණයෙන් නැතිනම් මරණයෙන් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එයින් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔහු කියා සිටියේ අද උපවාසය පැවත්වෙන අතරතුර මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

තමන් මේ සටන ආරම්භ කළේ රණවිරුවන් වෙනුවෙන් බවත්,රණ විරුවන් රටට දිනා දුන් සාමය වෙනුවෙන් බවත්,එකී සාමය කිසිවෙකුටත් හෑල්ලු කරන්නට ඉඩනොදෙන බවත් හෙතෙම පවසයි.

බෑන්කී මූන් විසින් පත්කළ කමිටුව සේනාධිනායකයා ඇතුළු රණ විරුවන් යුද අධිකරණයට දැක්කීම සඳහා ගනු ලැබූ උත්සාහයක් බව අමතක නොලකයුතු බවත්,එකී උත්සාහය කෙසේ හෝ පරාජය කළයුතු බවත් ඔහු කියා සිටියි.

ලෝකයේ සෑම රටකම පාහේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ශක්තිය පෙන්වීම සඳහා හොඳම අවස්ථාව මෙය බවත් ,මව්බිමට එරෙහි බලවේග පරාජය කිරීම සඳහා මේ මොහොතේ එකතුවිය යුතු බවත් තමන් මේ මොහොතේ ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරන බවත් වීරවංශ මහතා කියා සිටියේය. adaderana

ඉල්ලා අස්වීම බාර ගත්තේ නෑ


ජාතික නිදහස් පෙරමුණේ නායක,අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා බාර නොගත් බව හා එය බාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වීම පිළිබඳ රජය පහසුතාවය පත්වන අන්දමේ පුවත්පළවීම‍ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායකයා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද හෙතෙම කියා සිටියේ අද උපවාසය පවත්වන ස්ථානයේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ සැබවින්ම විමල් වීවංශ මහතාගෙන් එහෙව් ලිපියක් මේ වනතුරුත් ලැබී නැති බව හා ජනාධිපතිවරයාද ඉල්ලා අස්වීමක් පිළිබඳ නොදන්නා බවයි. adaderana

විමල් අමාත්‍ය ධූරය අතහරියි


ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවාස,ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මේ මොහොතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් තමන්ගේ අරගලය ඉදිරියට ගෙන යන්නට නොහැකි වන බැවින් ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු සේවා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙන් දන්වා ඇත.

ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා රජය හෝ මාතෘ භූමිය අපහසුතාවයට ලක් කරන්නට තමන්ට කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කරන බව හෙතෙම පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ප්‍රවෘත්තිය තමා දැනගත්තේද මාධ්‍යයෙන් බවත්,විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ලිපියක් මේ වන ‍තෙක් තමන් අතට පත් නොවූ බවත්ය. adaderana

එක්සත් ජාතීන්ගේ කමිටුව රටේ ස්වාධීනත්වයට තර්ජනයක්


එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පත්කර ඇති උපදේශක මණ්ඩලය මෙරට ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පවසයි. අදාළ උපදේශක මණ්ඩලය පත්කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලැබූ තීරණයක් නොවන බව නිවේදනයක් නිකුත් කරන එම පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කරයි. එය හුදෙක් බැන්කි මූන් මහතාගේ උවමනාව මත පමණක් පත්කරනු ලැබූවක් බව දේශප්‍රේමී ‍භික්ෂු පෙරමුණ පෙන්වාදෙයි.

බොහෝ බටහිර රටවල ප්‍රයත්නය වී ඇත්තේ උපදෙස් දෙන මුවාවෙන් ශ්‍රී ලංකාව වැනි මහා සංස්කෘතියක් ඇති රටවල නැගී සිටීම අඩපණ කිරීම බව එම පෙරමුණ පෙන්වාදෙයි. මේ හේතුවෙන් දේශමාමක සියලු දෙනාගේ වගකීම වන්නේ මේ අවස්ථාවේ දී එක්ව නැගී සිටිමින් අදාළ උපදේශන මණ්ඩලයට විරෝධතාව දැක්වීම බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana

ජී. එස්. පී නැතිවීමෙන් ලාභයට බලපෑමක් විය හැකියි


ජී. එස්. පී ප්ලස් බදු සහනය අහිමිවීම තුළින් ඇඟළුම් කර්මාන්තයට ප්‍රබල බලපෑමක් එල්ල නොවුන ද ලාභ ප්‍රතිශතයට ඒ තුළින් යම් බලපෑමක් එල්ල විය හැකි බව හවුල් ඇඟළුම් සංවිධාන සමුළුවේ සභාපති ඒ. සුකුමාරන් මහතා පවසයි. එමෙන්ම ජී. එස්. පී ප්ලස් අහිමිවීමෙන් ඇතිවන පාඩුව අවමකරගැනීම සඳහා යම් මාර්ගයන් පිළිබඳව විමසා බලන බව ද ඒ මහතා පවසයි.

ජී. එස්. පී බදු වෙළඳ ගිවිසුම යටතේ ආවරණය වන්නේ සමස්ත අපනයන භාණ්ඩ වලින් 1/3 ක් පමණක් බවත්, එමනිසා ඉතිරි අපනයන භාණ්ඩ 3/2ක ප්‍රමාණය ඊට අයත් නොවන බවත් සුකුමාරන් මහතා පෙන්වාදෙයි. ඒ නිසා ජී. එස්. පී අහිමිවීම තුළින් ඇඟළුම් කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ නොහැකි බව සඳහන්ය. නමුත් අපනයන අඩුවීම තුළින් රැකියා ක්ෂේත්‍රයට යම් ආකාරයක බලපෑමක් ඇතිවිය හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.adaderana

එක්සත් ජාතීන් තාමත් ශ්‍රී ලංකාවේ


ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කිසිදු කාර්යාලයක් වසා දැමීමට එක්සත් ජාතීන් තීරණය කර නැති බවත්,එකී සියලු කාර්යාලයන් අද දවසේ ද නිසි පිරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී මොහාන් සමරනායක මහතා පවසයි.

එහෙත් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාප කාර්යාලය පමණක් බැංකොක් වලට ගෙන යන්නට මීට මාස ගණනකට ඉහතදී තීරණය කර තිබුණු බැවින් එකී තීරණය ක්‍රියාත්මක කෙරුණු බව හෙතෙම සඳහන් කරයි.

මෙම තීරණයට එක්සත් ජාතීන් බොහෝ කලකට පෙරාතුව ගත් නිසාම මාස කිහිපයකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලයේ සේවකයින් අඩක් පමණ අඩුකිරිමට පියවර ගෙන තිබුණු බවත් මොහාන් සමරනායක මහතා අද දෙරණට කියා සිටියේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කාර්යාලය වසා දමා නැති බවත්,එහි රාජකාරී කටයුතු නිසි පිරිදි සිදුකරන බවත් ,නිදහස් චත්‍රරස්‍රයේ පිහිටුවා තිබූ කලාප කාර්යාලය පමණක් එතැනින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaerana

එක්සත් ජාතීන් පිළිගැනීමේ වාසිය ලංකාවටමයි


එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව අමෙරිකා එක්සත් ජනපදය නැවතත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධය කාල සීමාව තුළ මානව හිමිකම් කඩ වී ඇද්ද යන කරුණ පිළිබඳව විමසා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කරන ලද කමිටුවට විරෝධය පාමින් එහි කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට පැවත්වූ උද්ඝෝෂණය නිසා එම කාර්යාලය වසා දැමීමට සිදුවීම පිළිබඳව කරුණු දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කිං මුන් විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කළ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දුනීසියාවේ මර්සුකි දරුස්මන් පත් කරනු ලැබීය. සෙසු සාමාජිකයින් ලෙස දකුණු අප්‍රිකාවේ ජස්මින් සූකා සහ අමෙරිකානුවේ ස්ටීවන් රැට්නර් පත්විය.

මෙම කමිටුව හා ඔවුන් ලබාදෙන උපදෙස් පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රතිලාභ අත්කර ගත හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මාර්ක් ටෝනර් පවසයි. අමෙරිකාව විසින් මීට පෙර ද සිංහල හා ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සමගි සන්ධානයකට එළඹෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ වාර්තා නිසා පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව බටහිර රටවල් අතර සබඳතා අයහපත් මට්ටමක පැවතිය ද මෑතකාලීනව අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ දරන බව පෙනීයයි. adaderana

එක්සත් ජාතීන් වැඩ කරන්නේ බලවත් රටවල අභිමතයට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ජගත් සංවිධානය මැදිහත්වීම නුසුදුසු බව පලස්තීනය පවසයි. ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ආචාර්ය එන්වර් එච්. අල්එගා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මධ්‍යස්ථ ආයතනයක් ලෙස පෙනී සිටිය ද ඔවුන් ලෝකයේ බලවත් ර‍ාජ්‍යයන්ගේ අභිමතයට අනුව පක්ෂපාතීව ක්‍රියාකරන බව තානාපතිවරයා පෙන්වාදෙයි. පලස්තීනය තුළ ඊශ්‍රායලය විසින් මුදා හැර ඇති කෲරත්වය නිරීක්ෂණය කිරීම සඳහා දක්වන මන්දගාමී ස්වභාවය මෙම පක්ෂපාතී ක්‍රියා කලාපයට හොඳම උදාහරණයක් බව ද එන්වර් අල්එගා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහය දැක්වීම පලස්තීනයේ ස්ථාවරය බව ද පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

උතුරු වසන්තය යටතේ බිම් බෝම්බ කඩිනමින් ඉවතට


උතුරු වසන්තය වැඩසටහන යටතේ වව්නියාව, මන්නාරම, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වල දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා යටිතල පහසුකම් සපයා ඇති අතර උතුරු ප්‍රදේශයේ වල දමා ඇති බිම්බෝම්බ, පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම මේ දිනවල කඩිනමින් සිදුවන බව වාර්තා වේ.

යාන්ත්‍රිකව හා මානුෂීය ‍ශ්‍රමය යොදාගනිමින් වර්ග කිලෝමීටර් 1113ක භූමි ප්‍රදේශයක බිම් බෝම්බ මේ වන විට ඉවත් කර ඇති බව රජය පවසයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 29 ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදී ඇති අතර හමුදා නිලධාරීන් 1050 ක් සේවයේ යොදවා ඇත.

යන්ත්‍රවලට ළඟා විය නොහැකි ස්ථාන වෙත ළඟා වීම සඳහා පුහුණු කළ සුනඛයින් 8 දෙනෙකුගේ ද සහය ලබාගෙන ඇති බව සඳහන්ය. මීට අමතරව විදේශීය ආයතන කිහිපයක් ද මෙම කටයුතු සඳහා සහය ලබාදී ඇති බව රජය පවසයි.adaderana