Monday, July 12, 2010

ෆොන්සේකා ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා


හයිකෝප් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අද දින මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කරන බව නීතිපතිවරයා ‍කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ අධි චෝදනා පත්‍ර වලට පසුගිය සිකුරාදා සවස් වන විට නීතිපතිවරයා විසින් අත්සන යොදා තිබු බව රජයේ නීතීඥවරයා අද අධිකරණයට දැනුම් දී සිටියේය.

ෆොන්සේකා මහතා වෑන් රථයකින් අධිකරණය වෙත රැගෙන ඒම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව මෙහිදි ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දී සිටියේය. සැකකරු වෑන් රථයකින් ගෙන එනු ලැබුව ද ඔහුගේ ආරක්ෂාව යුධ හමුදාව විසින් සහතික කර ඇති බව මෙහිදි රජයේ නීතීඥවරයා කියා සිටි‍යේය.

ෆොන්සේකා මහතා මේ වන විට රීමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවෙකු බැවින් විශේෂ වරප්‍රසාද අපේක්ෂා කළ නොහැකි බව ද රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. විදේශගතව සිටින සිය දියණියන් ඇමතීම සඳහා ෆොන්සේකා මහතාට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයින් ඉල්ලා සිටිය ද ෆොන්සේකා මහතා රීමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු බැවින් අදාළ ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඊට අමතරව ෆොන්සේකා මහතාට ව්‍යායාම සිදුකිරීමට ඉඩදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කෙරුණු ඉල්ලීම ඉවත දැමු මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කර සහනයක් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නාය. අනතුරුව ෆොන්සේකා මහතා ලබන 26 වැනිදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හමුදා භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වැඩිදුරටත් නියෝග කළාය. adaderana

0 comments:

Post a Comment