Thursday, June 17, 2010

ෆොන්සේකාගේ පෙත්සම ඉවතට


පළමු යුද අධිකරණයේ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ වි‍ශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබේ. පළමු යුද අධිකරණයේ විමර්ශන කටයුතු අත්හිටුවමින් පසුගිය මැයි මස 3 වැනිදා අභියාචනාධිකරණය මගින් නිකුත් කළ තහනම් නියෝගය එම අධිකරණය විසින්ම එම මස 21 වැනිදා ඉවත දැමුණි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අභියාචනාධිකරණය විසින් අදාළ තහනම් නියෝගය ඉවත් කිරීම නීතිවිරෝධී බැවින් එම නියෝගය නැවත පනවන තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම විශේෂ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, එය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් නිෂ්ප්‍රභ කළ බව සඳහන් කරන ලදී. adaderana

සත්‍යග්‍රහය අඛණ්ඩයි-උදුල්


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසරකින් අඩුකිරීමට විරෝධය පළකරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසන් සභාව ඉදිරිපිට අද දහවල් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

සත්‍යග්‍රහය අද රාත්‍රියේ මෙම සත්‍යග්‍රහය විසුරු‍වා හැරීමේ සැලසුමක් පවතින බවට තමන්ට මේ වන විට තොරතුරු ලැබී ඇති බව එහි කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

යම් හෙයකින් සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට කිසිවෙකු උත්සහ දැරුවහොත් යළි හෙට උදෑසන සිට එය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියි.

මේ අතර සම සෞඛ්‍ය ගැටලුව පාදක කරගනිමින් හටගෙන ඇති මෙම වාතාවරණය පිළිබඳව පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියා සිටියේ පවත්නා ගැටලුවට විසඳුමක් ලබාදීමට රජය සූදානම්ව තිබියදීත් ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස අරගලවල යෙදීම කනගාටුවට කරුණක් බවයි.

මේ ආකාරයෙන් අරගල සිදුකර පවත්නා ගැටලුවට විසඳුම් ලබාගත නොහැකි බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය. adaderana

ෆොන්සේකා නැන්දණියට අවසන් ගෞරව දක්වයි


අනෝමා ෆොන්සේකා මහත්මියගේ මව වන අභාවප්‍රාප්ත කේ.ඊ. මුණසිංහ මහත්මියගේ අවමගුල් උත්සව අවස්ථාවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වී තිබේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය නැන්දණියට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල කනත්තට සහභාගීවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ලද අවසරය මත ඔහු මීට ස්වල්ප මොහොතකට පෙර බොරැල්ල කනත්තට පැමිණ සිය නැන්දණියට අවසන් ගෞරව දක්වා තිබේ.

කේ.ඊ. මුණසිංහ මහත්මිය මිය යන විට 92 හැවිරිදි වියෙහි පසුවූ අතර කාලයක් තිස්සේ රෝගීව සිට ඇති බව වාර්තා වේ.adaderana

විජයග්‍රහණ සැමරුමට පාර වැහෙන්නේ මෙහෙමයි


ගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වීමට නියමිත රණවිරු විජයග්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි විජයග්‍රහණ සැමරුම් උළෙල වෙනුවෙන් වසා දමන මාර්ග වෙනුවට රථවාහන ධාවනය සඳහා විකල්ප මාර්ග නම් කර ඇත..

ගාලුපාර ඔස්සේ කොළඹට පැමිණෙන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හරවා තුම්මුල්ල වටරවුම දක්වා පැමිණ එතැනින් වමට හැරී තර්ස්ටන් පාර, ජේ.ඕ.සී.හන්දිය පසු කර කේම්බ්‍රිජ් පෙදෙසින් දකුණට හරවා හෝර්ටන් වටරවුමට පැමිණ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත, සොයිසා වටරවුම ඔස්සේ පැමිණ ඩීන්ස් පාරෙන් මරදාන පොලිසිය ඉදිරිපිටින් වමට හරවා මරදාන පාලම හන්දිය, ටෙක්නිකල් හන්දිය දක්වා පැමිණ, ඕල්කට් මාවත ඔස්සේ පිටකොටුවට ගමන් කළ හැක.

කොළඹින් පිටවන ගාලුපාර දෙසට ගමන් කරන වාහන පිටකොටුව සීනෝර් හන්දියෙන් ගුණසිංහපුර හන්දිය ටෙක්නිකල් හන්දිය දක්වා ගොස් එතැනින් දකුණට හරවා මරදාන පාලම එතැනින් දකුණට ගාමිණී වටරවුම, ඩාර්ලි පාර, ඉබ්බන්වල හන්දිය ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත ඔස්සේ, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතෙන් දකුණට හරවා හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, කුරුඳුවත්ත වටරවුමෙන් දකුණට රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බුලස් පාර ඔස්සේ බම්බලපිටියට පැමිණ ගාලුපාරට ඇතුළුවිය හැක.

එසේම හෙට දින පෙරවරු 5.00 සිට උළෙල අවසන්වන තුරු පහත සඳහන් මාර්ග වසා දමීම සිදු වේ. ඒ අනුව ගාලුපාර සිට බම්බලපිටිය හන්දියෙන් කොළඹ දෙසට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ගාලු මුවදොර දෙසට, ගාලු මුවදොර වටරවුමෙන් ගාලුමුවදොර මැදපාරට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජස්ටින් අක්බාර් මාවත , දෙසට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් කුමාර රත්නම් පාර දෙසට ගාමිණී වට රවුම අසලින් ඩී. ආර්. විජේවර්ධන මාවතට ඇතුළුවීම, පිටකොටුව ඕල්කට් මාවත සිනෝර් හන්දියෙන් කොටුවට ඇතුළුවීම හා ඛාන් ඔරලෝසු කණුව අසලින් කොටුවට ඇතුළුවීමට හෙට දිනයේ අවසර නොමැති බව සඳහන් වේ. . adaderana

අධ්‍යක්ෂගේ නිල මුද්‍රාව හොරෙන් පාවිච්චි කරලා


පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රාව නීතිවිරෝධී ලෙස එහි ස්ථානාධිපතිවරයා විසින් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ආනන්ද විජේසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වංචා විමර්ශන අංශය දැනුම් දුන්නේය. කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රාව නීතිවිරෝධී ලෙස භාවිතා කරමින් එක්තරා ආයතනයකට ලිපියක් යවා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව වංචා විමර්ශන අංශය තවදුරටත් දැනුම් දුන්නේය. adaderana

අජිත් නිවාඩ් යළි යළිත් මහ බැංකුවට


අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස යළි වරක් පත් කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වසර 6 ක් සඳහා මෙම පත්වීම වලංගු වන අතර නව පත්වීම 2010 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ද කටයුතු කරන අතර 2006 ජූනි මාසයේදී ඔහු ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත්විය. adaderana

බාලවයස් දැරියන් 6 ක් පියාගෙන් දූෂ්‍යවෙලා


සිය පියාගෙන් ලිංගික අතවරයට ලක්වූ අඩුවයස් දැරියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා තමා සේවය කරන රෝහලට පැමිණ ඇති වග වෛද්‍ය එච්.එම්.පී හේරත් මහතා පවසයි.

රටේ සෑම නිවසක්ම දරුවන්ට ආරක්ෂා සහිත යයි කියන්නට අසීරු බව හෙතෙම කියා සිටියේ පසුගිය අඟහරුවාදා ළමා අපචාර,ලිංගික බලහත්කාරකම් සහ මත්ද්‍රව්‍ය අපචාර සම්බන්ධයේ මාරවිල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් වෛද්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. adaderana

ෂෙල් ගෑස් 51 % ක් යළි පවරාගන්න යයි


ෂෙල්ගෑස් සමාගමේ කොටස් 51 % ක් යළි රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලංකා බැංකුව හා සම්බන්ධ‍ව මෙම කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට අමාත්‍යාංශ 4ක ලේකම්වරුන් සිව්දෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඔහු එහිදී පැවසුවේය.

රජයේ දේපල පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම නතර කිරීමට පසුගිය කාලය තුළ පියවර ගත් බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට පෞද්ගලීකරණය කර ඇති ජනතා‍ දේපල නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇති බව ඔහු කියා සිටියේය. adaderana

හෙට(18) නිවාඩුයි


හෙට දිනය(18)මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළ යුද විජයග්‍රහණය සමරනු පිණිස පවත්වනු ලබන රණවිරු උපහාර උළෙල හෙටට යෙදීම නිමිති කොටගෙන මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රුහුණු සරසවි සිසු පිරිසකට ප්‍රහාරයක්


රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ පස්වරුවේ පිටස්තර මැර කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකළ බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක මහතා සඳහන් කළේය. මේ වන විට තුවාල ලැබූ සිසුන් තිදෙනා මාතර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු පෙන්වා ‍දුන්නේය.

ශිෂ්‍යයින‍්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුමින්ද තාරක මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන‍ තෙක් සියලු අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රන් භාණ්ඩ හොරු මාස 6කට සිරගෙට


කොළඹ හෙට්ටිවීදියේ වෙළඳසැලක තිබූ රන්භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළව වරද පිළිගත් එම වෙළඳසැලේ කළමනාකාරවරයා සහ තවත් විත්තිකරුවන් දෙදෙනකුට බරපතල වැඩ සහිතව මාස 6ක සිර දඩුවමක් නියම කර තිබේ. ඊට අමතරව වසර 20 කට අත්හිටවූ මාස 9 ක අමතර දඩුවමක් ද ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය නියෝග කළේය.

විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාස 3 ක සිරදඩුවමක් ද පනවනු ලැබීය. අදාළ වෙළඳසැල කොල්ලකා රුපියල් ලක්ෂ 62 ක රන්භාණ්ඩ හා රුපියල් ලක්ෂ 18 ක මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. adaderana

සංචාරක ආයතනයේ මුල් පුටුව නාලකට


ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කර ‍තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව, සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, ලංකා හෝටල් පාසල යන ආයතනවල ප්‍රධානීත්වය දරනු ඇත. ආචාර්ය නාලක ගොඩහේවා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ. adaderana

ෆොන්සේකාට එරෙහිව නඩු පවරන්න පුළුවන්


යුද හමුදාපති තනතුරේ සිටින අතරවාරයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්ව ඇති නිසා ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පැවරීමට හැකියාව පවතින බව අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කර ඇත. දෙවන යුධ අධිකරණය අවලංගු කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සම ඊයේ සවස විභාගයට ගත් අවස්ථාවේදී වත්මන් යුධ හමුදාපති වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මේ බව අවධාරණය කර සිටියේය.

ජෙනරාල් සරත්‍ ‍ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ද ඔහුට යුද හමුදා පනත අනිවාර්යෙන්ම අදාළ වන බැවින් යුද අධිකරණයක් පත්කිරීම නීත්‍යානුකූල බව එම නීතීඥවරයා කියා සිටියේය. යුද හමුදා පනත යටතේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව පෙන්වා දුන් නීතීඥවරයා ඔහු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී නොවන බව ද ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම ලබන 18 වනදාට කල්දමනු ලැබීය. adaderana

Wednesday, June 16, 2010

උතුරේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්වත් ලබාදීමට ආණ්ඩුව අසමත් වෙලා


යුද්ධය නිමාවී වසරක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් හෝ ලබාදීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ උතුරේ සිදුකළ තෙදින සංචාරයෙන් අනතුරුව අද පස්වරුවේ යාපනය නගරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

‘‘යුද්ධය අවසන් වී වර්ෂයක් ගත වී ඇති අවස්ථාවේ අපට යාපනයට එන්න හැකි වුණා. මේ කාලය තුළ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට යහපත් ජීවන තත්වයක් ලබා දෙන්න කළ යුතු මූලික වැඩ කටයුතු ආරම්භ කරන්නවත් ආණ්ඩුව සමත් වෙලා නැහැ.

පසුගිය 14, 15 සහ අද (16* දිනවල අපි කිලිනොච්චිය සහ යාපනය විවිධ ප‍්‍රදේශවල සංචාරය කළා. එහිදී යුද්ධයෙන් අවතැන් වූ ජනතාව සහ යුද්ධය නිසා මිය ගිය පුද්ගලයින්ගේ මව් පියන්, භාර්යාවන්, දරුවන් සහ ඥාතීන් අපට මුණ ගැසුණා. ඔවුන්ගේ තොරතුරු සොයා බැලීමේදී අපට දැන ගන්න ලැබුණේ, ඔවුන් වෙනුවෙන් කළ යුතු අවම දේ වත් සිදු වී නැති බවයි. ඒ නිසා ඔවුන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමටත් ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතා ලබා දීමටත් ආණ්ඩුවට බල කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ - 9 මාර්ගයෙන් පිටත අභ්‍යණ්තර ප‍්‍රදේශවල අප ගිය අවස්ථාවලදී ආරක්ෂක අංශවල විවිධ බාධා කිරීම්වලට මුහුණ දීමට අපට සිදු වුණා. එසේ වුවත්, එවැනි බාධා කිරීම්වලින් ජනතාව හමුවීමට ජනතා විමුක්ති පෙරමුණට ඇති අයිතිය නැති කරන්නට බැහැ.

අපට හමු වූ ජනතාවගෙන් සමහර දෙනා, තමන්ගේ ආදරණීයයන් මිය ගිහින්ද, ජීවතුන් අතර ඉන්නවාද සිරගත වෙලාද, එසේත් නැතිනම් අතුරුදහන් වෙලාද කියා දන්නේ නැහැ. රැඳවුම් කඳවුරුවල ඉන්නවා කියලා දන්නා අයත් ඔවුන්ට ඇති චෝදනා දන්නේ නැහැ. නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ කවදාද කියා දන්නේ නැහැ. එලෙස චෝදනා තිබෙන අය වහාම අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ටයුක්තිය ඉටු කර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම චෝදනා නැති අය වහාම නිදහස් කළ යුතුයි.

මේ ප‍්‍රදේශවල ජනතාවට ලබා දිය යුතු දේවල් ලැබී නැති වුවත් අය වැයෙන් ආරක්ෂක වැය ශීර්ෂය අධික ලෙස වැඩි කර තිබෙනවා. අප කියා සිටින්නේ, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවටත් පීඩාවට මුහුණ දෙන්න සිදු වු ජනතාවටත් සහන සැලසීමට හා ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ප‍්‍රමුඛතාව ලබා දිය යුතුයි.’’

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ සහ ඊට ජ.වි.පෙ. නායකයින් ලබාදුන් පිළිතුරු පහත දැක්වේ

ප්‍රශ්ණය - ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විරුද්ධ වුණා නේද?
පිළිතුර - දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කළේ, අවුරුදු 62 රට පාලනය කළ ආණ්ඩු විසිනුයි. ජාතික ප‍්‍රශ්නය අවුල් කළෙත් එයට විසඳුම් දෙන බව පවසමින් එය යුද්ධයක් දක්වා වර්ධනය කළේත් ධනේෂ්වර ආණ්ඩු විසින්. අපි විරුද්ධ වුණේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් නොවෙයි, අයිතිවාසිකම් ලබා දෙන බව කියමින්, ජාතික ප‍්‍රශ්නය තවදුරටත් උග‍්‍ර කරන ක‍්‍රියාමාර්ගවලටයි.

ප්‍රශ්ණය - 13 වැනි සංශෝධනය ගැන, තර්ටීන් ප්ලස් ගැන කියනවා, ජාතික ප‍්‍රශ්නය විසඳීම ගැන ජවිපෙ මොකද කියන්නේ?

පිළිතුර - 13 වැනි සංශෝධනය ගෙනාවේ, ජාතික ප‍්‍රශ්නය විසඳීමේ පරමාර්ථයෙන් නොවෙයි. ජාතික ප‍්‍රශ්නය මුවාවෙන් විවිධ බලවේගවල වුවමනාවන් ඉටු කිරීමේ අරමුණෙන්. මෙතෙක් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම්, විසඳුම් බවට පත් වුණේ නැහැ. අද සාමකාමී තත්වයක් රට තුළ ඇති වී තිබෙනවා. එහි උපරිම ප‍්‍රයෝජනය ලබා ගෙන රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. උතුරේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේදී දිය හැකි හොඳම විසඳුම එයයි.
ප්‍රශ්ණය - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර අරගෙනද ආවේ?

පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණ සියලූ ජනතාව වෙනුවෙන් බිහි වුණු පක්ෂයක්. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්න අවශ්‍ය නැහැ. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳව සොයා බලන්න අප ගත් උත්සාහයේදී ආරක්ෂක අංශ යොදා ගෙන අපට විවිධ බාධා කිරීම් ඇති කළා, එසේ වුවත් අප යොදා ගත් ආකාරයටම ස්ථාන ගණනාවක ජනතාව මුණ ගැසීමට ගියා. ආරක්ෂක අංශවලට ඇති වගකීම නීතිය හා සාමය ඇති කිරීමයි. දේශපාලන කටයුතුවලට ඔවුන් යොදා ගැනීම වැරදියි.

ප්‍රශ්ණය - ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් ජවිපෙ විරුද්ධ වුණා නේද? මේ වන විට උතුර නැගෙනහිර සහ රටේ වෙනත් ප‍්‍රදේශවල ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් මොකද කියන්නේ?

පිළිතුර - මහජන දේපළ පෞද්ගලීකරණයට කිසිම අවස්ථාවක අප පක්ෂ වුණේ නැහැ. විදේශ රටවලට ජනතාවගේ ඉඩම් කොටු කර දීම සම්බන්ධයෙන් එකඟ වුණෙත් නැහැ. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල එවැනි තත්වයන් ඇති වී තිබෙනවා. රට නිදහස් කර ගත්තා කියන ආණ්ඩුව ජනතාව සතු ඉඩම් සහ ස්වාභාවික සම්පත් එසේ විදේශ රටවලට පැවරීම සම්බන්ධයෙන් අප පක්ෂය තදින්ම විරෝධය පළ කරනවා.

මෙම මාධ්‍ය හමුවටපාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකර්, බිමල් රත්නායක, දිමුතු අබේකෝන් යන මහත්වරුන්ද සහභාගි වූහ.lankatruth

බුද්ධදාස - වීරවංශ ගැටුම උග්‍රවේ, පුද්ගලයෙක් අතුරුදහන්!


කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩුවෙල සංවිධායක බුද්ධදාස හා විමල්වීරවංශ අතර පවතින ගැටුමේ එක් අදියරක් ලෙස බුද්ධදාස මහතාගේ ප්‍රබල ආධාරකරුවකු පැහැරගැනීමට ලක්වී ඇත. බුද්ධදාස මහතාගේ සමීප ආධාරකරුවකු සහ ඔහුට හිතවත් ප්‍රධාන පෙලේ කොන්ත්‍රාත්කරුවකුවන කොරතොට, අල්විස්වත්තේ පදිංචි පියල් නැමැත්තා ඊයේ දහවල් 11.30ට පමණ පැහැර ගැනීමට ලක්වී ඇත. ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අතුරුගිරිය වෙලේහංදියේදී සුදුපැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහරදී වාහනයට බලහත්කාරයෙන් පටවාගෙන ගිය බව වාර්තාවේ. ‍මේවන තුරුත් පියල් පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට ලැබී නැත.

කඩුවෙල ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සිදුවීම පසුපස විමල් වීරවංශ සහ බුද්ධදාස අතර පැවැති ගැටුම ඇති බවයි. පසුගියදා බත්තරමුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ රැස්වීමේදී මේ දෙදෙනාගේ කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ඇතිවිය. පසුව වීරවංශ හෙක්ටර් බෙත්මගේ හා රාජා බාලසූරිය ඇතුළු පිරිසක් සමග බත්තරමුල්ල සමූපකාර පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. එම උද්ඝෝෂණයේදී වීරවංශ මෙසේ පැවසීය. "මම කඩුවෙල ආසනයේ මැරයන්ට කියනවා පරිස්සමින් ඉන්න කියලා. කඩුවෙල ඉස්සර පෙන්නපු සෙල්ලං ආයෙ පෙන්නන්න බැහැ. දාසලා දැනගන්න ඕන ආයෙ කඩුවෙල මැරකම් බැහැ කියලා."

ඊට පසුදින බත්තරමුල්ල රෝයල් ප්ලාසා හිදී බස්නාහිර පළාත් සභාවේ සමූපකාර ඇමති උපාලි කොඩිකාර මහතාගේ මූලිකත්වයෙන් සමූපකාර සේවක රැස්වීමක් පැවැත්විණි. එහිදී බුද්ධදාස මහතා මෙසේ කීවේය. "අපි ඉස්සර ඉදලා කඩුවෙල ශ්‍රී.ල.නි.ප. දේශපාලනය කළා. පක්ෂෙත් පාවා දුන්න වංශලා දැන් සෙල්ලම් පෙන්නන්න එනවා. මේ පාර වංශ පාඩමක් ඉගෙනගන්නේ මේ දාස ගෙන්"

මේ ආකාරයට දෙදෙනා අතර ගැටුම ඉදිරියට ගිය අතර ඊයේ සිදුවූ අතුරුදහන්වීම මෙම ගැටුමේ ප්‍රතිඵලයක්දැයි සැකයක් පවතී. පියල් නැමැත්තාගේ අතුරුදහන්වීමට අදාලව පොලීසිය කිසිදු පියවරක් ගෙන නැති අතර පොලීසියේ අක්‍රීයභාවයට හේතුව ඉහළින් පැමිණි දේශපාලන බලපෑම් විය හැකියැයි ප්‍රදේශවාසීහු පවසති. lankatruth

බැසිල් ගම්පහ පොල්අතු බත් කඩයටත් කඩා පනී


දුරගමන් බස් රථ, ලොරි රථ සහ විනෝද චාරිකාවල නියැලෙන්නන් අතර අතිශය ජනප්‍රියව තිබූ කොළඹ - නුවර මහා මාර්ගයේ නිට්ටඹුවේ රතු කැකුළු පොල් අතු බත් කඩය වසා දැමීමට එහි හිමිකරුවන් තීරණය කර ඇත. වාර්තාවන අන්දමට මේ සදහා බලපා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා කළ බලපෑමකි.

පසුගිය මහ මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහතා එම ව්‍යාපාරිකයාගෙන් විශාල මුදලක් ඉල්ලා ඇති අතර ඔහු එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි. පසුව පොල් අතු බත් කඩය ඉදිරිපිට මාර්ගය අයිනේ වාහන නැවැත්වීම තහනම් කිරීමට පොලීසිය ක්‍රියාකළේය. පොල් අතු බත් කඩයට පැමිණෙන පාරිභෝගිකයන් එම වෙළදසැල ඉදිරිපිට වාහන නැවැත්වූ විට ඔවුන්ට දඩ ගැසීමට නිතරම ඒ අවට පොලිස් නිලධාරීන් යොදවන ලදි. මෙම බලපැම් හමුවේ ව්‍යාපාරික ස්ථානය වසා දැමීමට අදාල හිමිකරුවන් තීරණය කර ඇත. පොලීසියේ මෙම මැදිහත්වීමට බලපා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද බලපෑමක් යැයි ගම්පහ ප්‍රදේශවාසීහු පවසති.

ජාතික මට්ටමෙන් පමණක් නොව ප්‍රාදේශීය මට්ටමින්ද ආණ්ඩුවේ ප්‍රබලයන් සිදුකරන දේශපාලන පලිගැනීම් සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා පිළිබද නිට්ටඹුව පොල් අතු බත් කඩය සංකේතයක් වී ඇත. lankatruth

ව්‍යවස්ථා සභාව අහෝසි කරයි


17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අතුළත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීමේ විධි විධාන ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කිරීමට රජය සැරසෙන බව වාර්තාවේ.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලබන ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ බලය හිමිවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටය. නමුත් මෙලෙස එම කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමග එම බලතල සභාපතිවරයා වෙත පැවරෙනු ඇත.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කළ අතර ඊට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්ද අගමැතිවරයා, කතානායක, විපක්ෂ නායක යන තිදෙනාද අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ
එකඟතාව මත නම් කෙරෙන සාමජිකයෝ 5 දෙනෙක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලින් නම් කෙරෙන නියෝජිතයෙක්ද ඇතුළත්වූහ.

ඒ අනුව මැතිවරණ කොමිෂම, රාජ්‍ය සේවා කොමිෂම, ජාතික පොලිස් කොමිෂම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂම, මුදල් කොමිෂම සහ සීමා නීර්ණය කිරීමේ කොමිෂම යන ස්වාධීන කොමිෂන් සභා හතට සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගතයුතු විය. නමුත් නව සංශෝධනය යටතේ මෙම කොමිෂන් සභාවලට සජමාජිකයන් පත්කිරීම ජනාධිපතිවරයා යටතට පත්කිරීමට නියමිතය.

එමෙන්ම, ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැති, කතානායක, සහ විපක්ෂ නායකගේ අදහස් විමසීම පිළිබදවද නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරෙන අතර එසේ අදහස් විමසීම අනිවාර්ය අංගයක් නොවනු ඇතැයිද පැවසේ.

මේ අතර යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ඔනෑම වාර ගණනක් ජනාධිපතිධූරයට පත්විය හැකි ලෙසට වගන්තියක් ඇතුළත් කිරීමට නියමිත බවද පැවසේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි. ඒ අනුව අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබද නිර්දේශ ඇතුළත් මූලික කෙටුම්පතක් දැනටමත් සකස්කර ඇති බවද පැවසේ. lankatruth

ෆොන්සේකා මහත්මියට ආචාර දැක්වූ සෙබලාට ස්ථාන මාරුවක්


පසුගිය 08වනදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහස පතා පැවැති අධිෂ්ඨාන පූජාව වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ පිහිටි රණවිරු ස්මාරකයට ගෞරව දැක්වීම සඳහා ගිය අනෝමා ෆොන්සේකා මහත්මියට හමුදා අචාර දැක්වූ යුද සෙබලා ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝගයකින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථානයකට මාරු කොට යවා ඇති බව වාර්තාවේ.

එම සෙබලා තමා හමුවට පෞද්ගලිකව කැඳවා එසේ ආචාර කිරීම ගැන ඔහුට තදින් දොස් පවරා ඇති ආරක්ෂක ලේකම්වරයා අනතුරුව ඔහු මෙලෙස මාරුකර යවා තිබේ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සෙබල ෆොන්සේකා මහත්මියට ආචාර දැක්වූ අයුරුයි.lankatruth

උද්ඝෝෂණය කළ සම‍සෞඛ්‍ය සිසුන් 400ක් අත්අඩංගුවට


අද උදෑසන විශ්වවිද්‍යාල ප්‍රදිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුණු පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් 400ක් පමණ පොලීසිය පැමිණ බස් රථවල නංවා රැගෙන ගිය බව වාර්තාවේ. සිය පාඨමාලා කාලය වසර 4 සිට වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව සිසුන් මෙම උද්ඝෝෂණයේ නියැලී ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම පාඨමාලා කාලය කප්පාදුවට එරෙහිව සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් උද්ඝෝෂණවල නිරත වුණි.

අද උදෑසන අත්අඩංගුවට ගත් සිසුන් මේවන විට කඩවත ප්‍රදේශයේ අතුරු මාර්ගයක රැගෙන යමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසීය.

මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව සිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට සිසුන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද අහුරා ඇති බවයි. එබැවින් ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාකලාපය පරාජය කිරීම සදහා හෙට දිනයේදී, කම්කරු, ගොවි, සිසු සියලු බලවේග අත්වැල් බැදගෙන පෙරට ආ යුතු බවද ඒ මහතා අවධාරණය කලේය.lankatruth

රිය අනතුරෙන් අයෙක් මරුට-පහකට තුවාලයි


නෝවුඩ්- මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මීටර් 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි..

සිද්ධියෙන් තුවාල ලැබූවන් දික්ඔය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරු කර යවා තිබේ.

නුවරඑළිය දිසා රෝහලේ සිට මස්කෙළිය බලා ධාවනය වෙමින් පැවති වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝවුඩ් ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ. adaderana

සත්‍යග්‍රහය විසුරුවාහැරීම හෙළාදකිනවා


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසන් සභාව ඉදිරිපිටදී අද දහවල් සංවිධානය කළ උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය පොලිසිය විසින් විසුරුවා හැරීම තරයේ හෙළාදකින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කරන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලේ සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාව වසරකින් අඩුකිරීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය සංවිධානය කර තිබේ.

එහෙත් බස්රථ යොදාගනිමින් සිසුන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළ බවත්,ශිෂ්‍ය අයිතීන් මර්දනය කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තරයේ හෙළාදකින බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පවසයි.

සිය අමාත්‍යාංශයේ දොරටු ශිෂ්‍යයින් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක විවෘත බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එවැනි වාතාවරණයක් මේ වන විට දක්නට නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය විසුරුවාහැරීම සම්බන්ධයෙන් අද දෙරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන ආකාරයෙන් සිසුන් බලහත්කාරයෙන් විසුරුවාහැරීමක් කිසිවිටෙකත් පොලිසිය සිදුනොකළ බවයි.

සිසුන් ඔවුන්ගේ විරෝධතාව දක්වා ස්වේච්ඡාවෙන්ම එම ස්ථානයෙන් විසිරී ගිය බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.
adaderana

උතුරේ 49,634 ක් තාමත් කඳවුරුවල


උතුරේ අවතැන් කඳවුරුවල සිටි ජනතාවගෙන් දෙලක්ෂ 3,630 දෙනකු නැවත පදිංචි කර අවසන් බව නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය පවසයි. තවත් පුද්ගලයින් 49,634 දෙනෙකු තවදුරටත් අවතැන් කඳවුරුවල සිටින බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස ද හැකි ඉක්මනින් නැවත පදිංචි කරවීම සඳහා කටයුතු යොදන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය මිල් රෝයි ප්‍රනාන්දු මහතා අද යාපනය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සංචාරයක ද නිරත විය.

අවතැන් කඳවුරුවල සිටින ජනතාව මෙන්ම පැවති යුද කාලවකවානුව තුළ සිය මුල්ගම්බිම් හැර ගොස් ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින පුද්ගලයින් ද නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් වේ. adaderana

අපේ ප්‍රතිසංවිධානය බොරුවක්


එක්සත් ජාතික පක්ෂය තුළ දැනට සිදුකරන ප්‍රතිසංවිධානය බොරුවක් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක එ.ජා.ප ප්‍රතිසංවිධාන කමිටුව කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවත්,එම කමිටුවේ විශ්වාසය තැබිය හැකි කෙනෙක් වෙත්නම් ඒ සභාපතිවරයා පමණක් බවත් හෙතෙම කියා සිටියේ අද(16)පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පක්ෂයට ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත්,තනතුරු නැති අයට තනතුරු ලබාදෙන ප්‍රතිසංවිධානයක් නොව එය එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පත් කරන ප්‍රතිසංවිධානයක් විය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර ඇති ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහෙව් ගැටුමක් තමන් හා සජිත් අතර නැති බව ඔහු පවසා ඇත.

එහෙත් සද්ද කරන අයට තනතුරු ලබාදෙන ප්‍රතිසංවිධානයක් එ.ජා.පයට අවශ්‍ය නැති බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

දිස්ත්‍රීක්ක 9 ක ආදායම ඉහළයි


පසුගිය මැයි මාසය වන විට මෙරට දිස්ත්‍රික්ක 9 ක ඒකපුද්ගල ආදායම ඉහළ ගොස් ඇතිබව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, පුත්තලම, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඒකපුද්ගල ආදායම ‍එලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක, මෙරට දරිද්‍රතා රේඛාව වන රුපියල් 3,072 ක ඒකපුද්ගල ආදායම අභිබවා ගොස් තිබේ.. මාතලේ, මාතර, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර යන දිස්ත්‍රික්ක ඒකපුද්ගල ආදායම රුපියල් 3000 ඉක්මවා යන සීමාවට පැමිණ තිබීම ද වි‍ශේෂත්වයකි.

හම්බන්තොට, අනුරාධපුර, මොණරාගල යන දිස්ත්‍රික්ක මෙතෙක් එම සීමාවට පැමිණ නැති බවත්, මෙම වාර්තා සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළත්ව නොමැති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. adaderana

පොලිස් කමිටුව ගැන නීතිපතිගෙන් කරුණු දැක්වීමක්


පොලිස් නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීම සම්බන්ධයෙන් පවතින විෂමතා සොයාබලා කටයුතු කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පවතින නඩු කිහිපයක් අද කැඳවූ අවස්ථාවේ දීය. පරිපාලන විෂයභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම කමිටුවේ සභාපතිවරයා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවර‍යෙකු එහි සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත් නීතිපතිවරයා දැනුම් දී ඇත.

අතෘප්තියට පත් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පවතින පැමිණිලි එම කමිටුව විසින් පරීක්ෂා කර ඔවුන්ට ලබාදිය යුතු සහන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් ‍ගොනු කර තිබෙන නඩු සියල්ල ලබන අගෝස්තු මස 4 වැනිදා කැඳවීමටත් එදිනට අදාළ කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහිදී නීතිපතිවරයාට නියෝග කරන ලදී. adaderana

ෆොන්සේකා හයිකෝප් වංචාවටත් හවුල්ලු..?


හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සැකකරුවෙකු වශයෙන් නම් කර තිබේ. රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය අද නිකුත් කළාය.

රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ සරත් ෆොන්සේකා මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.. adaderana

ජපානයෙන් යෙන් බිලියන 39 ක්


අධ්‍යාපන,සෞඛ්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙන් බිලියන 39 ක මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජපන් රජය කටයුතු කරන බව එරට විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂී මහතා ඊයේ රාත්‍රී 11.55ට පමණ ඔහු දිවයිනට පැමිණි බව සඳහන් වේ. යසුෂි අකාෂි මහතා ලංකාවට පැමිණියේ 20 වැනි වරට වන අතර ඔහු ලබන 20 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇතැයි ද එම කාලය අතරතුර රජයේ සහ විපක්ෂයේ නියෝජිතයින් හමුවීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

උතුරේ අවතැන් වූවන් යළි පදිංචි කරවීමේ ක්‍රියාවලියද ඔහුගේ අධීක්ෂණයට ලක්වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය පවසයි. adaderana

ඩෙංගු මර්දනය නොකළොත් නාම යෝජනා නෑ


ඩෙංගු මර්දනය නොකරන පළාත් පාලන අයතනවල සභාපතිවරුන්ට ඉදිරි මැතිවරණයට තරග කරන්නට නාමයෝජනා ලබානොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමා දැනට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙසද කටයුතු කරන බව අමතක නොකළ යුතු බව ද හෙතෙම කියා සිටියි. ‍

දැනට පළාත් පාලන අයතනවල සභාපතිත්වය දරන අයගෙන් 99% ක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරුන් බවත්,ඉදිරියට පළාත් පාලන මැතිවරණය පවත්වන්නට නියමිත බවත්,එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශිත ඩෙංගු මර්දන වැඩසටහන පළාත් පාලන ආයතන වලින් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වන බවත් සඳහන් කළේය.

පුත්තලම-හලාවත රෝහලේ නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත.

කැලි කසළ ඉවත් කිරීම,පිරිසිදුකම රැක ගැනීම,ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ආදිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පළාත් පාලන ආයතන වලට හිමිවන බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රණවිරු පෙරහුරුව හේතුවෙන් අදත් පාර වැසෙයි


අද දිනය තුළද ගාලුමුවදොර වටර‍වුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. රණවිරු විජයග්‍රහණ පෙළපාලියේ පෙරහු‍රුව හේතුවෙන් මෙම මාර්ගය වසා තැබෙන බව ඔහු පවසයි.

පෙරවරු 6.30 සිට විජයග්‍රහණ පෙළපාලියේ පෙරහුරු කටයුතු අවසන් වන තෙක් ගාලුමුවදොර වට‍රවුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තැබෙනු ඇත. හෙට දිනයේද මෙම මාර්ගය අදාළ කාලය තුළ වසා තැබෙන බව පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියි.. රණවිරු විජයග්‍රහණ පෙළපාලිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. adaderana

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් පිරිසකට ඇඟලුම් රැකියා


පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සමාජිකාවන් 400 දෙනෙකුට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට පියවර ගෙන තිබේ. කුරුණෑගල අලව්ව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් මගින් මෙම පිරිසට රැකියා ලබාදීමට නියමිතව ඇත.

පුනරුත්ථාපන ‍කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසන පරිදි මෙම එල්.ටී.ටී.ඊ සමාජිකාවන් 400 දෙනා හෙට සිට අදාළ සමාගමේ රැකියා සඳහා අනුයුක්ත කෙරේ. පුහුණු කාලයකින් අනතුරුව ඔවුන් අදාළ රැකියාවන්හි සේවය සඳහා යොමු කරන බව හෙතෙම කියා සිටි අතර පුහුණුවීමේ කාලය අතරතුර ඔවුන් ට රු.12,000 ක මාසික දීමනාවක් ද ලබාදීමට අදාළ සමාගම එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ.
adaderana