Sunday, December 12, 2010

සිරිකොත පිටුපස ගේට්ටුවෙන් රනිල් සමුළුවට එයි


සිරිකොත පිටුපස ගේට්ටුවෙන් රනිල් සමුළුවට එයි

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ පෙ.ව. 9.30 ට පමණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එ.ජා.ප. සමුළුව සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණියේ සිරිකොත පිටුපස ගේට්ටුවෙනි.

පක්‍ෂයේ සාමාජිකයින් වැඩි පිරිසක් සිරිකොත මුලස්ථානයට ඇතුළුවුයේ ගේට්ටුවෙන් පනිමිනි.

මෙම පක්ෂ සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව වාර්තා වේ.

පක්ෂයට ජය කැන්දීම මගේ අපේක්ෂාවයි


සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම තම අපේක්ෂාව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පරාජිත මානසිකත්වයෙන් මිදී ජයග්‍රහණය උදෙසා පක්ෂය රැගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බව ඔහු කියා සිටියි.

පක්ෂ නායකත්වයේ සියලුම ක්‍රියාවන්ට එකඟත්වය පළ කරමින් ජයග්‍රහණය කරා ළඟා විය නොහැකි බව හෙතෙම පෙන්වාදෙයි.

පක්ෂ නායකත්වයේ අඩු ලුහුඩුකම් විවේචනය කර නිවැරදි මාර්ගයට යොමු කිරීම මගින් පක්ෂය ද ජයග්‍රහණය කරා යොමුකළ හැකි බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

බලයට කෙටි මං-පැන්නොත් ගොඩ මං


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය ආරම්භ කිරීමට පෙර අද(12) පාක්ෂ ක්‍රියාකාරිකයෝ මහත් උනන්දුවෙන් පක්ෂ මූලස්ථානයට එක්රැස් වී සිටියහ.අනන්‍යතාවය පරීක්ෂා කරන පෝළිම දිග වැඩි නිසාම කෙටි මගකින් ඇතුළට රිංගා ගන්නට මෙම ක්‍රියාකාරිකයා උත්සාහ කළා විය හැකිය.

අලියා අලුත් කරන ලියැවිල්ල ගොඩයයි


අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අද පෙ.ව 9.30 ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ විය

කැලණිය දැන් ආශ්චර්යයි


දම්වැලක පුරුක් මෙන් රාජ්‍ය සේවකයා සහ දේශපාලනඥයා එක්ව රට ගොඩනැඟීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව මහජන සම්බන්ධතා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියි.

කැලණිය ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් හට උපහාර පිරිනැමීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කැලණිය පුරවරය මේ වන විට ආශ්චර්යමත් නගරයක් බවට පත් කිරීමට තමාට හැකි වී ඇති බවයි.

අලි සමුළුව ඇරඹෙයි


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය මීට ස්වල්ප මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සං‍ශෝධනය සම්මත කර ගැනීම මෙම පක්ෂ සම්මේලනයේ මූලික අරමුණ වී තිබේ.

එහෙත් මෙම පක්ෂ සම්මේලනයෙන් පක්ෂයේ කිසිදු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට එක් වූ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා පවසා තිබිණි.. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ වූ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කරයි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සමුළුවේ වැඩ කටයුතු ආරම්භ වී ඇති අතර සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් විශාල පිරිසක් මේ වන විටත් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

හෙද නිලධාරී වර්ජනයට මහනුවරත් එක්වෙයි


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා අද දිනයේ මහනුවර රෝහලේ හෙද නිලධාරීන් ද එක්වන බව එම සංගමයේ සභාපති සමන් රත්‍නප්‍රිය මහතා පවසයි.

සිය ගැටලුවට බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් දිවයින පුරා රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාවලියක් දියත් කරන බව හෙතෙම අවධාරණය කරයි.

හම්බන්තොට රෝහලේ හෙද නිලධාරීන් 10 දෙනෙකුද,කළුබෝවිල රෝහලේ හෙද නිලධාරීන් 24 දෙනෙකුද ඉතා අමානුෂික ලෙස දුර බැහැර ප්‍රදේශ වලට මාරු කර යැවීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ඔහු සිහිපත් කළේය.

ජාතික රෝහල,හම්බන්තොට,කළුබෝවිල,මාතර,කරාපිටිය යන රෝහල් වල මෙම වර්ජනය අඛණ්ඩ උපවාසයක් ලෙස ක්‍රියාත්මක කරන බවත්,සිද්ධියට හේතු වූ හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු වහාම අත්හිටුවා සෞඛ්‍ය සේවාව යථා තත්ත්වයට පත් කරන ලෙස හෙතෙම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඉස්කෝලෙට කට්ටි පැනපු ළමුන් යළි කැඳවීම සාර්ථකයි


පාසල් නොයන ළමුන් පාසල් යැවීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැඩසටහන මේ වන විට ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

ඒ අනුව වැල්ලවත්ත , ගල්කිස්ස , මොරටුව යන පොලිස් බල ප්‍රදේශ වල පාසල් නොගිය ළමුන් 34 දෙනෙකු පාසල් යැවීම සඳහා කටයුතු කර තිබේ.

දෙහිවල පොලිස් බල ප්‍රදේශයේ පාසල් නොයන සිසුන් ද ඉදිරි සතිය තුළ පාසල් යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අධිකරණ නියෝග මත ආරම්භ කළ මෙම වැඩස‍ටහන ඉදිරියේ දී කොළඹ නගරයේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශ‍ වල ද ක්‍රියාත්මක කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පෙන්වාදෙයි.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Saturday, December 11, 2010

SIRIKOTHA

ඇතුළුවීම අවසර ලත් අයට පමණයි. .


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු එම පක්ෂ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු සහභාගි වූ මාධ්‍ය හමුවක් අද(11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. එහිදී විපක්ෂ නායකවරයා රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ අයුරු ඉහතින් දැක්වේ. හෙට(12) පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට සහභාගි විය හැක්කේ අවසරය ඇති පුද්ගලයින්ට පමණක් බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 211 ක් උසස් පෙළ සමත්


පුනරුත්ථාපනය වෙමින් සිටින එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි 211 දෙනෙකු සමත් වී ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා එල්. ටී. ටී. ඊ රැඳවියන් 360 දෙනෙකු පෙනී සිටි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉන් බහුතරයක් මෙවර උසස් පෙළ විභාගය සමත්වීම වි‍ශේෂත්වයක් බව සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙවර උසස්පෙළ විභාගය සමත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගෙන් දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාලය සඳහා ද තවත් 40 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලබනු ඇති බව ඔහු විශ්වාසය පළ කර සිටියි.
adaerana.lk

මව්පියන් හා දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන තිබෙනවා


මව්පියන් සහ දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වර්තමානයේ පාසල් දරුවන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට‍ හුරුකිරීම තුළින් මෙය සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

අද(11) ජනකලා කේන්ද්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

අතීතයේ දී පාසල් දරුවන්ට‍ සෞන්දර්ය රසවින්දනය සඳහා උපරිම නිදහසක් තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
adaderana.lk

අන්තර්ජාතික නෞකා දැක්මක් අද ගාලු ‍මුවදොරදී


නාවික හමුදාවට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති ප්‍රදර්ශනයට සමගාමීව අන්තර්ජාතික නෞකා දැක්මක් අද(11) සවස ගාලු ‍මුවදොර මුහුදු තීරයේ දි පැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි.

මේ යටතේ දිවයිනට පැමිණ තිබෙන අන්තර්ජාතික යුද නෞකා 8 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රා සහ අනෙකුත් යුද නෞකා ප්‍රදර්ශනය කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

මේ සමඟ මහ ජනතාවට එම නෞකා මෙන්ම නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ, ක්ෂණික විහිදුම් යාත්‍රා බල ගණයේ සහ විශේෂ යාත්‍රා බල ගණයේ අධිවේගී යාත්‍රා හැසිරවීමත් මෙහිදී දැකගැනීමට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්මේලනය අත්හිටුවන පෙත්සම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්


එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය වළක්වාලීමේ වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකිරීම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එමෙන්ම ඊයේ(10) අධිකරණයේදී එම පෙත්සම නිෂ්ප්‍රභ කරගැනීමට අවස්ථාව සැලසීමේ ප්‍රධානතම හේතුව වූයේ පෙර සූදානම් වී සිටීම බව ද හෙතෙම පෙන්වාදෙයි.

අද(11) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු දැක්වීය. අදාළ පෙත්සම පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදුකර නොතිබූ බව ද අත්තනායක මහතා එහිදී කියා සිටියේය.

කිසිදු බාධාවකින් තොරව හෙට(12) දිනය තුළ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වෙන බවත්, එහි ප්‍රධානම පරමාර්ථය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කරන ලද නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කරගැනීම බවත් මහ ලේකම්වරයා පෙන්වාදුන්නේය.

හෙට සිට පක්ෂය යහපත් ඉදිරි පියවරක් තබන බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම හෙට පැවැත්වෙන සම්මේලනයට සහභාගි විය හැක්කේ නීත්‍යානුකූලව අවසරය ලද පුද්ගලයින්ට පමණක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.adaderana.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යෝග පාඩමක්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ යෝග අභ්‍යාස වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනගේ ඉහළ මානසික ආතති මට්ටම අවම කිරීම මෙම යෝග අභ්‍යාස වැඩසටහනෙහි අරමුණ වී ඇති බව ද සඳහන්ය.

මෙම යෝග අභ්‍යාස තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විනය, යහපත් හැසිරීම සහ ආතතිකාරී අවස්ථාවකදී තමන් පාලනය කරගැනීම වැනි කරුණු පිළිබඳව ඉගැන්වෙන බව මෙම යෝග අභ්‍යාස වැඩසටහනෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන චමින් වර්ණකුල මහතා පවසයි.
adaderana.lk

Thursday, December 9, 2010

පළමු පුද්ගලික විශ්ව විද්‍යාලය අප්‍රේල් මාසයේ


රජයේ නියාමනය යටතේ මෙරට ස්ථාපිත කෙරෙන ප්‍රථම පෞද්ගලික විශ්ව විද්‍යාලය ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

මේ වන විට රටවල් 26 ක් පමණ සමග මෙරට විශ්ව විද්‍යාල ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද එයින් රටවල් 15 ක පමණ ඒ සඳහා කෙරෙන මැදිහත්වීමක් පිළිබඳ සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ලබන අප්‍රේල් මාසයේ ආරම්භ කෙරෙන විශ්ව ව්ද්‍යාලය බොහෝවිට ඕස්ට්‍රේලියාව හෝ ඉන්දියාවේ සහයෝගය මත ආරම්භ කෙරෙනු ඇති බව දිසානායක අමාත්‍යවරයා අද දෙරණ වාර්තාකරු සමග කළ කතා බහකදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
adaderana.lk

යුක්රේන -ශ්‍රී ලංකා ගුවන් ගමනට අනුමැතිය හිමිවෙයි


ශීත ඍතුවේ දී යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා ඇරඹීමට හැකිවන ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම ගිවිසුම මගින් දෙරට අතර නිශ්චිත මාර්ග ඔස්සේ සතියකට ගුවන් ගමන් 7 බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2011 වසර වන විට ග්‍රීෂ්ම ඍතුව සඳහා ද ගුවන් ගමන් වැඩිකිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
adaderana.lk

ජනපති යුද අපරාධකරුවෙක් කරන්න ආණ්ඩුවෙන්ම කුමන්ත්‍රණයක්..?


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙකු ලෙස නම් කරවීමට ආණ්ඩුව තුළම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

මේ අයුරින් වටේ සිටින අයගේ උපදෙස් ලබාගත හොත් වැඩි කල් නොගොස් ජනාධිපතිවරයාට ජාත්‍යන්තර අධිකරණයක් හමුවට කැඳවීමක් ලැබෙනු ඇති බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේය.

එහෙව් තත්ත්වයක් ඇති වෙන්නට ඉඩකඩ ලබා නොදීම හා එයින් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද යුතුකම වන බව සමරවීර මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට නම්,ජනාධිපතිවරයාට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් ගැලවීමට නම් ජාත්‍යන්තර වශයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට ඉඩ දිය යුතු බවද,ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවද සමරවීර මහතා සඳහන් කළේය.

එසේ නැතිව ආණ්ඩුවේ සිටින ළිං මැඬියන්ගේ උපදෙස් මත දිගින් දිගටම ක්‍රියා කරනු ලැබුවොත් ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු ලෙස නම් වීම සක්කරයාටවත් වළක්වන්නට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
adaderana.lk

නිකවැරටිය බෝක්කුවක් අසල බිළිදෙකු දමායාම -කතක් අත්අඩංගුවට

නිකවැරටිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල දිනක් වයසැති බිළිදෙකු දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව විසි පස් හැවිරිදි අවිවාහක කාන්තාවක් බව නිකවැරටිය පොලිසිය සඳහන් කළේය.

දිනක් පමණ වයසැති මෙම බිළි‍ඳා නිකවැරටිය හල්මිල්ලෑව විද්‍යාලය අසල බෝක්කුව මත දමා ගොස් සිටියදී ඊයේ(08) පෙරවරුවේ හමුවී තිබුණි.

අදාළ බිළිඳා දුටු ප්‍රදේශවාසියෙකු මේ බව නිකවැරටිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් එම දරුවා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා විය. අදාළ බිළිඳා දැනට නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්ය.
adaderana.lk

ජීවන තත්ත්වය නොසලකා අධ්‍යාපනය ගැන කතා කිරීම කනගාටුදායකයි


මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය ගැන නොසලකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන කතා කිරීම කනගාටුවට කරුණක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ‍

නිදසුනක් ලෙස පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් සඳහා වසර 5 ට රුපියල් ලක්ෂ 90 ක් පමණ මුදලක් වැය වන මුත්,මෙරට ජනගහණයෙන් 41% ක දෛනික ආදායම ඇමරිකන් ඩොලර් 2 ටත් අඩු බව ද මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

උසස් අධ්‍යාපනයට දස වසරක ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් මතුව ඇති බවද දිසානායක මහතා සඳහන් කර තිබේ. මෙතෙක් සිදුවූයේ ජාත්‍යන්තර වශයෙන් බුද්ධිගලනයක් වුවද පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරිම හරහා රට තුළම අභ්‍යන්තර බුද්ධි ගලනයක් සිදුවන බව ද දිසානායක මහතා කියා සිටියේය.

අඩු වැටුපට ජාතික විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන් වැඩි පඩියට පුද්ගලික විශ්ව විද්‍යාල වල සේවයට යාම නොවැළැක්විය හැකි බවද,ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා ගුරු හිඟයක් පවතිද්දී මෙම ගැටලුව වඩා අර්බුදයක් විය හැකි බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
adaderana.lk

Wednesday, December 8, 2010

ආණ්ඩුවේ හා කොටින්ගේ වෙනස අගමැති කියයි


අත්අඩංගුවට පත් හමුදා සෙබළුන්ට එල්ටීටීඊය විසින් වද දී ඝාතනය කළද, දහස් ගණනක් වූ කොටි සාමාජිකයින් පුනරුත්ථාපනය කොට, ඔවුන්ට ජීවනෝපායයන් සහතික කිරීමට පවා රජය කටයුතු කර ඇතැයි අගමැති දිමු ජයරත්න මහතා පවසයි.

එපමණකින් නොනැවතී ඔවුන්ගේ විවාහයන් පවා පවත්වා පදිංචිය සඳහා නිවාස පවා ඔවුන්ට සපයා පියවර ගෙන තිබෙන බව, හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු අද (දෙසැ. 08) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

අවසන් යුද සමයේ වන්නියේදී එල්ටීටීඊ සංවිධානය විසින් රඳවාගෙන සිටි හමුදා සෙබළුන් 60 දෙනෙකු වෙඩිතබා ඝාතනය කොට පුළුස්සා දැමූ බව මෙහිදි අගමැතිවරයා අනාවරණය කළේය .

ඔවුන් කාලයක් තිස්සේ කිලිනොච්චියේ පිහිටි වධකාගාරයක රඳවාගෙන සිටි බවට, අත්අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින් සිව්දෙනෙකු තොරතුරු ලබාදුන් බව අගමැතිවරයා කීය.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන් බේද ඉවත දමා කාන්තාවන් වෙනුවෙන්


සියලූ බේද ඉවත දමා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරියන් සියලූ දෙනා එක්වන බව පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන ඇමතිනී සුමේධා ජයසේන මහත්මිය පවසන්නීය.

අද (දෙසැ. 08) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක ඇය ඒ බව කියා සිටියාය.

වර්ෂ 2006 ආරම්භ වූ මෙම සංසදය, සත්වැනි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරියන් 13 දෙනාගේම එකතුවෙන් දෙවතාවක් රැස්ව ඇති බවත්, මෙය ඔවුන්ගේ පළමු මාධ්‍ය හමුව බවත් එහිදී පැවසිණ.

දේශපාලනයේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, කාන්තා අයිතීන් සහ සම අයිතිය සුරුකීම, කාන්තාවන්ට එරෙහි සියලූම ආකාරයේ හිංසනයන් පිටුදැකීම, විදේශ රැුකියාවන්හි නියුතු කාන්තාවන් ඇතුළු වැඩ කරන කාන්තාවන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම, අඩු වරප‍්‍රසාදිත කාන්තාවන් සහ වැන්දඹුවන්ගේ දරිද්‍රතාව දුරලීම සහ ඔවුන්ට වෘත්තීය පුහුණුව සහ පහසුකම් සැලසීම, කාන්තා සුබසිද්ධිය වෙනුවෙන් නීති සම්පාදනය කිරීම, පොදු වශයෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාදීම යන අරමුණු පෙරදැරිව එම සංසදය ක‍්‍රියාත්මක වේ.

මන්ත‍්‍රීවරියන් වන සුමේධා ජී ජයසේන (සභාපතිනිය), චන්ද්‍රානි බණ්ඩාර (උප සභාපතිනිය), තලතා අතුකෝරාළ, අනෝමා ගමගේ, විජයකලා මහේෂ්වරන්, මාලනී ෆොන්සේකා සහ ශ‍්‍රියානි විජේවික‍්‍රම යන මහත්මීන් එම මාධ්‍ය

සක්‌විති රෝහලට




රුපියල් කෝටි සියයකටත් අධික ජනතා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සක්‌විති රණසිංහ ඊයේ (7 දා) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. සක්‌විති රෝහල්ගත කිරීමට පෙර බන්ධනාගාරයේ වූ රුපවාහිනි යන්ත්‍රයක්‌ද පොළවේ ගසා විනාශ කළ බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහල්ගත කළ සක්‌විති රණසිංහගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා ඊයේ සවස ඔහු විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කිරීමට නියමිතව තිබිණි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සක්‌විති යම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත මීට පෙර ඔහු වෛද්‍ය පරීක්‌ෂණයකටද ලක්‌ කෙරිණි.

හෙට ක්‍රිකට් අවලංගුයි-ලෝක කුසලානයට පෙර වලංගුයි


ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල්තැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙම තරගය 2011 ලෝක කුසලාන තරගාවලියට පෙර පවත්වන බව ද සඳහන් වේ.

තායිලන්තයේ අනවසර ලාංකිකයින් ගැන වාර්තාවක් ඉල්ලුවා

තායිලන්තයේ බැංකොක් නුවරදී අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් එරට පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බැංකොක්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කර ති‍බේ.

අත් අඩංගුවට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටී නම් ඒ පිළිබඳ අමාත්‍යාංශයට වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බැංකොක් නුවර ලැඟුම්හලක රැඳී සිටියදී ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයින් පනස් දෙනෙකු අද(08) උදෑසන අත් අඩංගුවට ගත් බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම පිරිස අතර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද සිටින බවට තායිලන්ත පොලිසිය සැක පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් පැහැදිලි විස්තර ප්‍රකාශයක් කළ හැක්කේ තානාපති කාර්යාල වාර්තා ලැබුණු පසු බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

බාහුට පහරදෙන මැරයින්ට කේ.පී හුරතලේ නොපෙනෙන්නේ ඇයි..?


නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට පහර දෙන මැර පිරිස් වලට එල්.ටී.ටී.ඊ නායකයින් ආණ්ඩුවට සම්බන්ධ වීම ගැටලුවක් නොවන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ආධාරකරුවන්ට මැර පිරිසක් පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජ.වි.පෙ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

එකී නිවේදනය පහත පරිදිය.

විදේශ ගමනක් නිමා කොට ලංකාවට පැමිණි වික‍්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසකට පසුගිය 07 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී මැර පිරිසක් විසින් පහර දී තිබේ. එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද මෙම මැර කණ්ඩායම පහරදී තිබේ. මෙම පහරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලන්ඩන් සංචාරයේදී සිදු වූ උද්ඝෝෂණවලට දැක්වූ ප‍්‍රතිචාරයක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය ඉතා බරපතළ සිදුවීමක් ලෙස අපි දකිමු.

වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගේ ඊළාම් මතවාදයට හා බෙදුම්වාදයට පක්ෂපාතී මතවාදයට අපි එකඟ නොවෙමු. ආරම්භයේ සිටම එම මතය ප‍්‍රතික්ෂේප කළ අපි දැනුදු එය ප‍්‍රතික්ෂේප කරමු. එහෙත් වික‍්‍රමබාහු කරුණාරත්න මහතා හෝ වෙනත් කිසිවකු බෙදුම්වාදයට, ඊළම්වාදයට පක්ෂ අදහස් දරන්නේ නම් ඒවා පැරදවිය යුත්තේද මතවාදීවය.

එසේ නැතිව රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැරයන් ලවා පහර දීමෙන් නොවේ. එබැවින් වික‍්‍රමබාහු කරුණාරත්න මහතා දරන බෙදුම්වාදී මතවාදය ප‍්‍රතික්ෂේප කරන අතරම අපි රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැර කල්ලියක් විසින් ඔහු ඇතුළු ඔහුගේ හිතවතුන්ටත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ටත් කළ පහරදීම දැඩි ලෙස හෙළා දකිමු.

දේශපේ‍්‍රමීන් ලෙස වෙස් වළාගත් රාජ්‍ය අනුග‍්‍රහය ලබන මෙම මැර කණ්ඩායම් මෙන්ම ඔවුන්ට අනුබල දෙන ඊනියා දේශපේ‍්‍රමී කේවට්ටයන්ද හැසිරෙමින් සිටින්නේ"කබරයා තලගොයා කර ගන්නා" ප‍්‍රතිපත්තියක සිටය. වික‍්‍රමබාහු කරුණාරත්න මහතාට"දඬුවම් කිරීමට"පොලූ මුගුරු ඔසවා ගෙන යන ඔවුන්ට කොටි නායකයෙක් වූ කේ පී සමග ආණ්ඩුව හුරතල් වීම ප‍්‍රශ්නයක් වී නැත. එසේම කොටි නායකයින් වූ දයා මාස්ටර්ට ජෝර්ජ් මාස්ටර්ට ආණ්ඩුව දක්වන සැලකිලි පෙනෙන්නේ නැත.

කලක් කොටි නායකයෙක්ව සිටි කරුණාට ඇමතිධුර හා පක්ෂ උප සභාපති ධුර පිරිනැමීමද ගැටලූවක් වී නැත. පසුගිය දිනක උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා පවසා තිබුණේ මඩකළපුවේ පොලිස් නිලධාරීන් 600කට වැඩි ප‍්‍රමාණයක් ඝාතනය කිරීමේ සිදුවීමට කරුණා සම්බන්ධ බවය. එවන් චෝදනා සහිත හිටපු කොටි නායකයින් සමග ඇමති මණ්ඩලයේ එකට අසුන් ගන්නා ආණ්ඩුවේ මහත්වරුන් තම විරුද්ධවාදීන්ට පොලූ මුගුරු එසවීම පිළිකුල් සහගතය.

පසුගියදා ලන්ඩනයේ ඊළම් ධජය ඔසවා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක් කිරීමට කොටි හිතවාදීන්ට අවස්ථාව උදා කර දුන්නේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදෙස් නොතකා ලන්ඩන් සංචාරය සඳහා ජනාධිපතිවරයා පොළඹවා ලූ ඊනියා උපදේශකයින්ය. ජනාධිපතිතුමාද සිය පුද්ගල ප‍්‍රතිරූපය ගොඩනංවා ගැනීම ගැන පමණක් සිතා මෙම ගමන ගිය බව පෙනේ.

අවසානයේ අපකීර්තියට ලක් වූයේ අප රටය. ආණ්ඩුව සිදු කර ගත් මෙම වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට එහි ලජ්ජාව මකා ගැනීමටත් මේ හරහා විරුද්ධ මත දරන අය දඩයම් කිරීමටත් මැර කණ්ඩායම් යොදවා පහරදීම් කිරීම දැඩි ලෙස හෙළා දකිය යුතුය.

යුද්ධය නිමා වීමෙන් පසු රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමටත් උතුරු නැගෙනහිර ජනතාවගේ මූලිකම ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් අපොහොසත් වූ ආණ්ඩුව ඒ මගින් නැවත කොටි සංවිධානය ඇතුළු බෙදුම්වාදී සංවිධානවලට ක‍්‍රියාත්මකවීමට වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.

ආණ්ඩුව වහාම කළ යුත්තේ බෙදුම්වාදය යළි හිස එසවීමට ඉඩ නොලැබෙන සේ දෙමළ ජනතාවගේ මූලික ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමය. ජාතික සමගිය ඇති කිරීමය. එහෙත් වත්මන් ආණ්ඩුවට එය කළ නොහැකි බවත් එයට කළ හැක්කේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරමින් බිය වැද්දීමේ දේශපාලනය තුළ තම නොහැකියාව වසා ගැනීම පමණක් බවත් මේ සිදුවීම් යළි තහවුරු කරයි.

එබැවින් රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැර කණ්ඩායම් යොදවමින් විරුද්ධ මත දරන්නන්ට හා මාධ්‍යවේදීන්ට කරන පහරදීම් වහාම නවතන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරන අපි මෙම පහරදීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් බලකරමු. adaderana.lk

හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස්


වීසා අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලබා සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස් කරන්නට අද(08)කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි ඇය වීසා ලබා ගැනීම සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා එල්ල කරමින් ඇයට නඩු පවරනු ලැබුවේ 2009 වසරේ ‍අප්‍රේල් මාසයේදීය.

තම සේවාදායකයාට දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තිය සමග කියවිය යුතු 459 වගන්තිය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණද,පැමිණිල්ලි පාර්ශවයට මූලික සාක්ෂි හෝ ගොනු කිරීමට හැකියාවක් නොලැබුණු බව නදී චන්ද්‍රසේකර වෙනුවෙන් පෙනී සිටි මහාධිකරණ නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා අද දෙරණට කියා සිටියේය.

අවම වශයෙන් මෙම සිදුවීම සිදුවූ දිනය හෝ පැහැදිලිව අධිකරණයට ඉදිරිපත් කරන්නට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ බව නීතිඥවරයා පෙන්වාදුන්නේය.

තමන්ට අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කරන්නට ඇතැමුන් උත්සාහ දැරුවද තමන්ගේ නිර්දෝෂිභාවය මේ වන විට තහවුරු වී ඇතැයිද,ඒ නිසා ඉදිරියේදී තමන් යළි ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වීමට කටයුතු සලසා ගන්නා බවද නදී චන්ද්‍රසේකර අද දෙරණට කියා සිටියේය.
adaderana.lk

සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි


මුල් වීඩියෝ පටය නොමැතිව සරත් ෆොන්සේකා මහතාගේ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ලබන 16 වෙනි දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී සිටියේ මෙම නඩුවට අදාළ තවදුරටත් කරුණු දැක්වීමට තවදුරටත් නීතිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවයි.

එයට තම විරෝධය පළ කරන බව විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් එම කරුණු ලිඛිත දේශන වශයෙන් මීළඟ නඩු දිනයට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබන 16 දා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබේ. -

ඉකුත්දා අධිකරණය නියෝගයක් නිකුත් කරමින් පසුගිය ජනාධිපතිවරණය සමයෙහි විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රත්නපුරේදී කළ කතාව අඩංගු මුල් වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් දෙරණ රූපවාහිනී ආයතනයට නියෝග කර තිබුණි. එහෙත් එහි මුල් පිටපත තමන් සතුව නොමැති බව දෙරණ රූපවාහිනී ආයනතය අධිකරණයට දැනුම් දෙන ලදී.

මුල් වීඩියෝ පටය නොමැතිව මෙම වීඩියෝ සාක්ෂිය මෙහෙයවීම සිදුකළ නොහැකි බවට මෙහිදී විත්තියේ නීතිඥවරයා මීට පෙර අධිකරණයට කරුණු දක්වමින් තර්ක කර සිටියේය.

එසේ කළහොත් විත්තිකරුට දැඩි අසාධාරණයක් සිදුවන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කර තිබුණි.. එහෙත් මුල් පිටපත නොමැතිව වුව ද වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින බවට පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරයා කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණි.. adaderanalk

ලක්ෂ 20 ක හෙරොයින් එක්ක විදේශිකයා මාට්ටු


රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙරොයින්‍ තොගයක් සමග විදෙස් ජාතිකයෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු බංග්ලාදේශ ජාතිකයෙකු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

ඔහු සිය සිරුර තුළ සඟවා මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ආ බවට ‍තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 ක් සුරාබදු දෙපාර්තමේන්තුව බාරයට ‍පත්වූ බව ප්‍රභාත් ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
adaderana.lk

උදුල්ට අදත් ඇප නෑ


රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා‍ගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම අද සලකා බැලූ අවස්ථාවේ විත්තිය වෙනු‍වෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ‍රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෙසු සරසවි සිසුන් ඇප මත මුදා හැර ඇති බැවින් උදුල් ප්‍රේමරත්න ද ඇප මත මුදාහරින ලෙසයි.

එහෙත් රජයේ නීතීඥවරයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි වි‍ජේසුන්දර මහත්මිය ඒ අනුව නියෝග කර සිටියේ අදාළ ඇප අයදුම්පත හෙට ‍දිනයේ සලකා බලන බවයි.
adaderana.lk