Wednesday, December 8, 2010

බාහුට පහරදෙන මැරයින්ට කේ.පී හුරතලේ නොපෙනෙන්නේ ඇයි..?


නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට පහර දෙන මැර පිරිස් වලට එල්.ටී.ටී.ඊ නායකයින් ආණ්ඩුවට සම්බන්ධ වීම ගැටලුවක් නොවන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ආධාරකරුවන්ට මැර පිරිසක් පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජ.වි.පෙ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

එකී නිවේදනය පහත පරිදිය.

විදේශ ගමනක් නිමා කොට ලංකාවට පැමිණි වික‍්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසකට පසුගිය 07 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී මැර පිරිසක් විසින් පහර දී තිබේ. එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද මෙම මැර කණ්ඩායම පහරදී තිබේ. මෙම පහරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලන්ඩන් සංචාරයේදී සිදු වූ උද්ඝෝෂණවලට දැක්වූ ප‍්‍රතිචාරයක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය ඉතා බරපතළ සිදුවීමක් ලෙස අපි දකිමු.

වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගේ ඊළාම් මතවාදයට හා බෙදුම්වාදයට පක්ෂපාතී මතවාදයට අපි එකඟ නොවෙමු. ආරම්භයේ සිටම එම මතය ප‍්‍රතික්ෂේප කළ අපි දැනුදු එය ප‍්‍රතික්ෂේප කරමු. එහෙත් වික‍්‍රමබාහු කරුණාරත්න මහතා හෝ වෙනත් කිසිවකු බෙදුම්වාදයට, ඊළම්වාදයට පක්ෂ අදහස් දරන්නේ නම් ඒවා පැරදවිය යුත්තේද මතවාදීවය.

එසේ නැතිව රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැරයන් ලවා පහර දීමෙන් නොවේ. එබැවින් වික‍්‍රමබාහු කරුණාරත්න මහතා දරන බෙදුම්වාදී මතවාදය ප‍්‍රතික්ෂේප කරන අතරම අපි රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැර කල්ලියක් විසින් ඔහු ඇතුළු ඔහුගේ හිතවතුන්ටත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ටත් කළ පහරදීම දැඩි ලෙස හෙළා දකිමු.

දේශපේ‍්‍රමීන් ලෙස වෙස් වළාගත් රාජ්‍ය අනුග‍්‍රහය ලබන මෙම මැර කණ්ඩායම් මෙන්ම ඔවුන්ට අනුබල දෙන ඊනියා දේශපේ‍්‍රමී කේවට්ටයන්ද හැසිරෙමින් සිටින්නේ"කබරයා තලගොයා කර ගන්නා" ප‍්‍රතිපත්තියක සිටය. වික‍්‍රමබාහු කරුණාරත්න මහතාට"දඬුවම් කිරීමට"පොලූ මුගුරු ඔසවා ගෙන යන ඔවුන්ට කොටි නායකයෙක් වූ කේ පී සමග ආණ්ඩුව හුරතල් වීම ප‍්‍රශ්නයක් වී නැත. එසේම කොටි නායකයින් වූ දයා මාස්ටර්ට ජෝර්ජ් මාස්ටර්ට ආණ්ඩුව දක්වන සැලකිලි පෙනෙන්නේ නැත.

කලක් කොටි නායකයෙක්ව සිටි කරුණාට ඇමතිධුර හා පක්ෂ උප සභාපති ධුර පිරිනැමීමද ගැටලූවක් වී නැත. පසුගිය දිනක උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා පවසා තිබුණේ මඩකළපුවේ පොලිස් නිලධාරීන් 600කට වැඩි ප‍්‍රමාණයක් ඝාතනය කිරීමේ සිදුවීමට කරුණා සම්බන්ධ බවය. එවන් චෝදනා සහිත හිටපු කොටි නායකයින් සමග ඇමති මණ්ඩලයේ එකට අසුන් ගන්නා ආණ්ඩුවේ මහත්වරුන් තම විරුද්ධවාදීන්ට පොලූ මුගුරු එසවීම පිළිකුල් සහගතය.

පසුගියදා ලන්ඩනයේ ඊළම් ධජය ඔසවා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක් කිරීමට කොටි හිතවාදීන්ට අවස්ථාව උදා කර දුන්නේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදෙස් නොතකා ලන්ඩන් සංචාරය සඳහා ජනාධිපතිවරයා පොළඹවා ලූ ඊනියා උපදේශකයින්ය. ජනාධිපතිතුමාද සිය පුද්ගල ප‍්‍රතිරූපය ගොඩනංවා ගැනීම ගැන පමණක් සිතා මෙම ගමන ගිය බව පෙනේ.

අවසානයේ අපකීර්තියට ලක් වූයේ අප රටය. ආණ්ඩුව සිදු කර ගත් මෙම වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට එහි ලජ්ජාව මකා ගැනීමටත් මේ හරහා විරුද්ධ මත දරන අය දඩයම් කිරීමටත් මැර කණ්ඩායම් යොදවා පහරදීම් කිරීම දැඩි ලෙස හෙළා දකිය යුතුය.

යුද්ධය නිමා වීමෙන් පසු රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමටත් උතුරු නැගෙනහිර ජනතාවගේ මූලිකම ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් අපොහොසත් වූ ආණ්ඩුව ඒ මගින් නැවත කොටි සංවිධානය ඇතුළු බෙදුම්වාදී සංවිධානවලට ක‍්‍රියාත්මකවීමට වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.

ආණ්ඩුව වහාම කළ යුත්තේ බෙදුම්වාදය යළි හිස එසවීමට ඉඩ නොලැබෙන සේ දෙමළ ජනතාවගේ මූලික ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමය. ජාතික සමගිය ඇති කිරීමය. එහෙත් වත්මන් ආණ්ඩුවට එය කළ නොහැකි බවත් එයට කළ හැක්කේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරමින් බිය වැද්දීමේ දේශපාලනය තුළ තම නොහැකියාව වසා ගැනීම පමණක් බවත් මේ සිදුවීම් යළි තහවුරු කරයි.

එබැවින් රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැර කණ්ඩායම් යොදවමින් විරුද්ධ මත දරන්නන්ට හා මාධ්‍යවේදීන්ට කරන පහරදීම් වහාම නවතන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරන අපි මෙම පහරදීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් බලකරමු. adaderana.lk

0 comments:

Post a Comment