Sunday, August 8, 2010

එජාපයේ අදහස් පිළිනොගනී නම් සාකච්ඡාවෙන් ඵලක් නෑ


aඑක්සත් ජාතික පක්ෂය විසින් ලබාදෙන අදහස් හා යෝජනා පිළිනොගනී නම් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. පක්ෂයේ එකමුතුකම තුළින් ආණ්ඩුවට අභියෝගයක් වීමට බලාපොරොත්තු වන බව ඒ මහතා අවධාරණය කරයි.

කිහිපදෙනෙකු හඩ නැගූ පමණින් පක්ෂයේ එකමුතුකමක් ඇති කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එහෙත් ඉදිරි දින කිහිපය තුළ එම එකමුතුකම ඇතිකරගැනීමට කටයුතු කරන බව කරුණානායක මහතා පවසයි. ශක්තිමත්ව නැගී සිට ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවට අභියෝගයක් වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana.lk

වරාය බැලීමට එන විශාල ජනකාය නිසා ඉදිකිරීම් වලට බාධා


හම්බන්තොට වරායේ ඉදිකිරීම් නැරඹීම සඳහා පැමිණෙන අතිවිශාල ජනතාව හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් කටයුතුවලට බාධා මතුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වරාය ඉදිකිරීම් නැරඹීමට පැමිණෙන ජනතාව හැකි ඉක්මනින් වරාය භූමියෙන් පිටත්ව යන්නේ නම් එය ඉදිරි කටයුතුවලට පහසුවක් වන බව එහි සභාපති ප්‍රියත් වික්‍රම මහතා සඳහන් කළේය. වරාය නැරඹීමට පැමිණෙන ජනතාව සහ ඔවුන්ගේ රථවාහන හේතුවෙන් හම්බන‍්තොට වර‍ාය අවට දැඩි තදබදයක් පවතින බව ද වාර්තා වේ.

ලබන 15 වනදා වන විට වරාය තටාකාංගනයට ජලය පිරවීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව වරාය සභාපතිවරයා පෙන්වාදෙයි. එබැවින් සංවර්ධන කටයුතුවලට සහය දැක්වීමක් ලෙස ඉදිකිරීම් කටයුතු නැරඹීමෙන් අනතුරුව කඩිනමින් වරාය පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. adaderana.lk

දුම්රිය ධාවනයට චන්ද්‍රිකා තාක්ෂණය


දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය ඒකාබද්ධව චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඊයේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ වූ බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේය.

එහි මූලික අදි‍යර වශයෙන් දුම්රිය 5 ක් සඳහා මෙම නව තාක්ෂණය හඳුන්වා දී ඇත. ඉදිරියේ දී අනෙකුත් දුම්රියන් සඳහා ද මෙම තාක්ෂණය යොදාගන්නා බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙමගින් දුම්රිය පාලක මැදිරිය සහ දුම්රියන් අතර ඍජු සම්බන්ධතාවයක් ඇති කර ගත හැකි වන බව දුම්රිය වාණිජ අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana.lk

තෙවන තරගයේ ජය ඉන්දියාවට


ඉන්දු - ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පැරදවීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 425 ක් රැස් කරනු ලැබූ අතර ඉන්දියාව සිය පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලකුණු 436 ක් රැස් කිරීමට සමත් විය.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුණු 267 ක් පමණි. තිලාන් සමරවීර ලකුණු 83 ක් ලබාගත්තේය. ඉන්දියාව දෙවන ඉනිම සඳහා 258 ක් ලබමින් ජයග්‍රහණය තහවුරු කරනු ලැබීය. adaderana.lk

මෙවර උසස් පෙළට එල්.ටී.ටී.ඊ රැඳවියන් 362 ක්


පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ රැඳවියන් 362 දෙනෙකු මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙනී සිටින බව පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි. මොවුන් විභාගය සඳහා සූදානම් කිරීම පසුගිය කාලය තුළ ඉතා විධිමත් ආකාරයකින් සිදුකළ බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව කාන්තා සහ පිරිමි රැඳවියන්ට පාසල් දෙකක වෙන වෙනම අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබාදුන් බව පුනරුත්ථාපන කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. මීට අමතරව උසස් පෙළ විභාගය ඉලක්ක කරගත් සම්මන්ත්‍රණ, උත්තර පත්‍ර සාකච්ඡා කිරීම් වැනි වැඩසටහන් ‍රැසක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කළ බව ඔහු පැවසුවේය.

ලබන 9 වැනිදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පුනරුත්ථාපනය වන අදාළ රැඳවියන් ඉතා හොඳ සූදානමකින් සිටින බව සුදන්ත රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk

වෙන්ව සිටිනවාට වඩා එක්ව ශක්තිමත් වීම වාසිදායකයි


කුඩා පක්ෂ‍ ලෙස වෙන්ව සිටිනවාට වඩා එක්සත් ජාතික පක්ෂය වටා එක්ව ශක්තිමත් වීම විපක්ෂයට වඩාත් වාසිදායක බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට අයත් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් සිටින බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් එක්වූවාක් මෙන් සෙසු පක්ෂ වලටද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමති නම් ඒ පිළිබඳව දැනුම්දීමක් කළ හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. එසේ වුවහොත් ඒ පිළිබඳව විමසා බලන බව ද මහලේකම්වරයා අවධාරණය කළේය.adadeerna.lk

රජය සමග සාකච්ඡා පැවැත්වීම ගැන අවසන් තීරණයකට එනවා


නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය සමග ආරම්භ කර ඇති සාකච්ඡා තවදුරටත් පවත්වන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි තබා තිබූ ‍විශ්වාසය මේ වන විට පළුදු වී ඇති බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක් කර නොගන්නා බවට සහතිකයක් ලබාදුන් ජනාධිපතිවරයා එම පොරොන්දුව බරපතල‍ ලෙස උල්ලංඝණය කර ඇති බව ඔහු පෙන්වාදෙයි. මේ හේතුවෙන් තවදුරටත් රජය සමග කිසිදු කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. adaderana.lk

රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපතිවරයෙකුට මාංචු


රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැඩි විරෝධය පළ කරයි.

රුහුණු සරසවි සිසුවාගේ ඝාතනයට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක පොලිසිය නිරතව සිටින බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය. මේ අතර ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් රුහුණු සරසවි‍යේ ආචා‍ර්යවරයෙකුට පහරදීමක් සිදුකර ඇති බව ද ඔහු පැවසීය. adaderana.lk

ජනාධිපති කොමිසමේ ප්‍රථම සභාවාරය ලබන බදාදා


උගත් පා‍ඩම් සහ ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ ප්‍රථම ප්‍රසිද්ධ සභාවාරය ලබන බදාදා පැවැත්වීමට තීරණය කර තිබේ. එදින පෙරවරු 9.30 ට ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දී මෙම සභාවාරය පැවැත්වීමට නියමිතය.

2002 වසරේ පෙබරවාරි 21 වැනි දින සිට 2009 මැයි 19 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූ සිද්ධීන් කිහිපයක් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසන් සභාව පත්කර තිබේ. සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමට බලපෑ කරුණු හා ඊට පසුව අදාළ කාලය තුළ සිදුවූ සිදුවීම් ආදිය පිළිබඳව මෙම කොමිසන් සභාව හමුවේ ඕනෑම අයෙකුට කරුණු දැක්විය හැකිය. adaderana.lk

ෆොන්සේකාගේ කෝටි 7 තවදුරටත් ආරක්ෂිතව තබන්නැයි නියෝග


ජෙනරාල් සරත් ෆොන්සේකා මහ‍තා‍ගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7කට අධික මුදල තවදුරටත් ආරක්ෂිතව තබාගන්නා ලෙස කොළඹ මහාධිකරණය එම මුදල් පවතින තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවකට නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය එම පුද්ගලික බැංකුවේ කළමනාකාරවරයාට මෙම නියෝග කර ඇති බව සඳහන්ය.

අදාළ මුදල එම බැංකුවේ ආරක්ෂිත සේප්පු 03 ක රඳවා ඇති අතර එම මුදල්, ගනුදෙනුවට ලක්කිරීම හෝ හුවමාරු කිරීම තහනම් කරමින් දැනට පනවා ඇති නියෝගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා එහිදී ඉල්ලා තිබේ. එම ඉල්ලීමට අනුව මුදල් සඳහා පනවා ඇති ආරක්ෂිත තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස කොළඹ මහාධිකරණය අදාළ බැංකු කළමණාකාරවරයාට නියෝග කර ඇත. adaderana.lk

චීනවරායේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි


ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පෞද්ගලික සමාගමක ප්‍රවේශ දොරටුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි ආරක්ෂක නිලධාරියෙකි. සමාගම් පරිශ්‍රයට ඇතුළු වීමට සූදානම් වූ ලොරි රථයක් පරීක්ෂා කරමින් සිටියදී පැමිණි තවත් ලොරි රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් ලෙ‍ාරි රථයේ සහායකයා ද තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ පේරාදෙණිය, වල්ගම්පාය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. adaderana.lk

එල්.ටී.ටී.ඊ මූල්‍ය ජාලය තවදුරටත් ක්‍රියාත්මකයි


එල්.ටී.ටී.ඊ මූල්‍ය ජාලය අමෙරිකාව ප්‍රමුඛ රටවල් බොහොමයක තවදුරටත් ක්‍රියාත්මක වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. උතුරු අමෙරිකාව, යුරෝපය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වල ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරාව එල්.ටී.ටී.ඊ ය සඳහා තවදුරටත් අරමුදල් රැස්කරමින් සිටින බව පැවසෙයි.

මෙම අරමුදල් රැස්කිරීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තරය වහා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පවතින බව ද අමෙරිකාව පෙන්වාදෙයි. කෙසේවෙතත් පසුගිය ව‍සරේ අගෝස්තු මාසය සහ ඊට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීමත් සමග ගිනිකොණ දිග ආසියානු කලාපයේ එල්.ටී.ටී.ඊ හිතවාදී මූල්‍ය ගනුදෙනුවල කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළ බව අමෙරිකානු රාජ්‍ය.adaderana.lk

ජී 15 නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි


ජී 15 සංවිධානයේ ඉහළ කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙහිදී එම කාර්යසාධක බලකාය විසින් සකසන ජී 15 සංවිධානය කාර්යක්ෂම කරමින් විධිමත් සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය‍ යෝජනා ඇතුළත් වාර්තා පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජී 15 සංවිධානයේ සභාපතිධුරයට පත්විමෙන් අනතුරුව මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීය. මෙම කාර්යය සාධක බලකාය විසින් සකස් කරන වාර්තාව නිව් යෝර්ක්හි පැවැත්වෙන ජී - 15 විදේශ අමාත්‍ය සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana.lk

බිම්බෝම්බ ඉවත්කිරීමට අමෙරිකාවේ සහය


ශ්‍රි ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා සහය දැක්විමට අමෙරිකාව ඉදිරිපත් ව සිටියි. ඒ සඳහා රුපියල් මිලියන 581 ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව අමෙරිකාව පවසයි.

දැනටමත් රුපියල් කෝටියකට අධික මුදලක් බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා අමෙරිකාව ලබාදී ඇති බව සඳහන්ය. එමෙන්ම නැවත පදිංචි කරන ලද ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහය දක්වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය අමෙරිකානු රජය උපුටා දක්වමින් පවසයි. adaderana.lk

එජාපයට එක්වීම ගැන ෆොන්සේකාගේ අවධානය


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නව සිහළ උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ නායක රැස්වී‍ෙ‍ම් දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සරත් මනමේන්ද්‍ර මහතා පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ සියල්ලේ අනුමැතිය මත තීරණවලට එළඹීම පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව නව සිහළ උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා කියා සිටියේය. adaderana.lk

Friday, August 6, 2010

සක්විති ලොක්කා ලංකාවට ආවේ මාස 6 ට කලින්



මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සක්විති රණසිංහ නැමැත්තා සිය බිරිඳ සමග යළි ලංකාවට පැමිණ ඇත්තේ මීට මාස 06 ට පමණ පෙරාතුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.-

ඔහු මීට පෙර ද ඉන්දියාවේ සිට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ යළි ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

එහෙත් දැනට මාස 06 ට පෙරාතුව ඔහු ලංකාවට පැමිණ ඇත්තේ "රංජන්"නැමැති දෙමළ නාමයකින් යුතු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් බවද වාර්තා වේ..

ප්‍රථමයෙන් වත්තල පිහිටි සක්විති රණසිංහ ට අයත් නිවසක මොවුන් පදිංචිව සිට ඇති මුත් අද අත්අඩංගුවට පත්ව ඇත්තේ නවගමුව ප්‍රදේශයේ ඔහුගේ බිරිඳට අයිති නිවසේ පදිංචිව සිටියදීය.

පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසූ පරිදි අද දහවල් නවගමුව කොරතොට මාර්ගයේ අඹගහ හංදිය ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට පත්ව ඇත.

නුගේගොඩ ‍පොලිස් අධිකාරිවරයාට සිවිල් ආරක්ෂක නිලධාරී පිරිසකගෙන් ලැබුණු තොරතුරකට අනුව දෙහිවල මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ජංගම සංචාරයේ යෙදුණු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ප්‍රථමයෙන්ම සක්විතිගේ බිරිඳ හඳුනාගෙන ඇති අතර පසුව ඇය සමග සිටි පුද්ගලයා තමා සක්විති රණසිංහ බවට පිළිගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සක්විති රණසිංහ නැමැත්තා හඳුනාගත නොහැකි ලෙස රැවුල වවා සිටි බව ද පොලිසිය පවසයි.

2008 වසරේ සැප්තැම්බර් මාසයේ දී රුපියල් කෝටි 500 අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලද බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ලාංකීය ඉතිහාසයේ එක් පුද්ගලයෙකුට එරෙහිව එල්ල වු විශාලතම මූල්‍ය වංචා චෝදනාව ද මෙය‍ ලෙස සැලකේ.

නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමක් හරහා මුදල් නීති විරෝධී ලෙස මොහු මුදල් ලබාගෙන ඇති බවට වාර්තා පළ වූ අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති පැමිණිලි සංඛ්‍යාව 4,000කට අධික බවද සඳහන් වේ.

ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙස ප්‍රකටව සිටි සක්විති රණසිංහ ව්‍යාජ නමකින් පෙනී සිටියෙකු බව ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබිණි.

එවක මොහුගේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු මිරිහාන පොලිසියේ අපරාධ අංශය විසින් මොහු විදේශකට පලාගොස් ඇති වග අනාවරණය කරගෙන තිබිණි. adaderana.lk

මේ මනුස්සයා කොයි නායකයාටද..?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නිල වශයෙන් ලබාගත්තේය. සමරවීර මහතා සමග තවත් සාමාජිකයින් 21 දෙනෙකු සංකේතාත්මකව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගනු ලැබීය. කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙම පිරිස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ. එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා ගාමිණී ජයවික්‍රම යන මහත්වරුන් සමග මංගල සමරවීර මහතා කතාබහක යෙදී සිටි අයුරු මෙසේ කැමරා ඇසට හසුව තිබිණි. adaderana.lk

කට්ටි පැනපු සක්විති නවගමුවේදී මාට්ටු


මූල්‍ය වංචාවන් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ සක්විති රණසිංහ නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

සක්විති රණසිංහ නැමති අය සහ ඔහුගේ බිරිඳ ද වෙස්වළාගෙන සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත නවගමුව ප්‍රදේශයේදී මිරිහාන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට පත් දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. adaderana.lk

සෙබළුන් 15 ක් රෝහලේ-අයෙකුගේ තත්ත්වය බරපතලයි


ඒ-09 මාර්ගයේ වව්නියාව ඊරපෙරියකුලම් පොලිස් මුරපොළ ඉදිරිපිටදී යුද හමුදා බස් රථයක් අනතුරට ලක්වීමෙන් සෙබළුන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අද පෙරවරුවේ අනුරාධපුරය බලා ගමන් ගනිමින් තිබුණු මෙම බස් රථය පොලිස් මුරපොළ ආසන්නයේ දී පාරෙන් ඉවතට පැන පලු ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

වව්නියාව රෝහලට ඇතුළත් කළ සෙබළුන් 15 දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

සුමන රතන හිමිගේ උපවාසයට තවත් දෙන්නෙක්


නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා රැසක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

අද දිනයේ තවත් ස්වාමීන් වහන්සේ දෙනමක් මෙම උපවාසයට එක්වූ බව අද දෙරණ කළ විමසීමක දී උන්වහන්සේ සඳහන් කළේය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවට සිංහල භාෂාවෙන් රාජ්‍ය ආයතනවලදී කටයුතු කරගැනීමට‍ නොහැකිවීම, විනාශ වී ඇති බෞද්ධ වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම, අවතැන් වූ සිංහල ජනතාව යළි පදිංචි කරවීම උන්වහන්සේගේ ඉල්ලීම් අතර වේ.

සිංහල ජනතාව නියෝජනය කිරීම සඳහා නියෝජිතයෙකු පත්කරන ලෙස ද ජනාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිය ද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව අම්පිටියේ සුමනරතන නාහිමියන් පෙන්වා දෙයි.

මේ අතර මඩකළපුව නගර මධ්‍යයේ මෙම භික්ෂූන් වහන්සේ උපවාසයේ නිරතව සිටින ස්ථානයට බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්‍.‍කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා අද අලුයම පැමිණ උන්වහන්සේලා සමග කතා බහ කළ බව ද සඳහන් වේ. adaderana.lk

රනිල් මංගලට සාමාජිකත්වය දෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නිල වශයෙන් ලබාගත්තේය. සමරවීර මහතා සමග තවත් සාමාජිකයින් 21 දෙනෙකු සංකේතාත්මකව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව අද‍ දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙම පිරිස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය විසුරුවා හැ‍රෙන අතර එහි සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇත. adaderana.lk

රථ තුනක් එකට ගැ‍ටී එක් අයෙකු මරුට


කොළඹ - රත්නපුර ප්‍ර‍ධාන මාර්ගයේ අවිස්සාවේල්ල, තුන්මෝදර මංසන්ධිය ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් අයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ‍කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ලොරි රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා යතුරු පැදියේ ගමන් ගත් අය බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana.lk

කෙහෙළිය මරන්න හැදුවාට කඩිනමින් නඩු


අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මෙම නියෝගය සිදුකළේය. 2008 ව‍සරේ පිට‍කොටුව ‍පොලිස් බල ප‍්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමක දී අදාළ චෝදනා සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ප්‍රභූවරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව සැකකරුවන් ලබන 25 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. adaderana.lk

හෙරොයින් සමග රද්දොළුගමදී පුද්ගලයෙක් කොටුවෙයි


හෙරොයින් ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 790 ක් සමග සැකකරුවෙකු රද්දොළුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු බොරැල්ල, මැගසින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රද්දොළුගම පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. මේ අතර වව්නියාව, පෙරියකෝමරසන්කුලම් වැව අසලදී අත් බෝම්බයක් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙ‍ෙනකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට‍ ගෙන ඇත. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.adaderana.lk

ප්‍රභාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනවා


ප්‍රභා ගනේෂන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තමන් තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි. ආණ්ඩු පක්ෂයට එක්වීමේ ඔහුගේ තීරණය සම්බන්ධයෙන් තමන් හෝ පක්ෂය කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත්, එය ප්‍රභා ගනේෂන් මහතාගේ තනි තීරණයක් බවත් මනෝ ගනේෂන් මහතා පෙන්වාදෙයි.

මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග යම් යම් මත ගැටුම් පැවතියද දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට තම පක්ෂය බැඳී සිටින බව ඒ හතා අවධාරණය කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමේ අවසරය ප්‍රභා ගනේෂන් මහතා වෙත ලබා දී තිබූ බව ද මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. adaderana.lk

ධනුනගේ මවට අද චෝදනා පත්‍ර බාරදෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7කට අධික මුදලක් පෞද්ගලික බැංකු සේප්පුවක නීතිවිරෝධී ලෙස තැන්පත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මියට අද චෝදනා පත්‍ර බාරදීමට නියමිතය. කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාර‍දීමට නියමිතව තිබේ.

ඒ අනුව අද අධිකණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අශෝකා තිලකරත්න මහත්මිය වෙත පසුගිය දා නොතීසි නිකුත් කරනු ලැබීය. අදාළ මුදල් නීතිවිරෝධී ලෙස තැන්පත් කරතැබීම‍ හේතුවෙන් විනිමය පාලන පනත උල්ලංඝණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. adaderana.lk

මංගල ඇතුළු පිරිස අද එජාපයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වීම අද සිදුවේ. පසුගිය දා රැස්වූ මහජන පාර්ශවයේ විධායක සභාව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය විසුරුවා හැරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයට එක්වන මංගල සමරවීර මහතා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ද පත්කිරිමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. adaderana.lk

ඉවසීමේ සීමාව ඉක්මවුවොත් නිලතල බලතල බලන්නේ නෑ


සමෘද්ධි නිලධාරින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියහොත් නිලතල බලතල ගැන නොතකා ක්‍රියා කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විහාරස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබේදැයි සොයාබැලීම සඳහා ද ඉදිරියේ දී නිරීක්ෂණ චාරිකාවල නිරත වන බව ද මර්වින් සිල්වා මහතා එහිදී පැවසීය. adaderana.lk

මන්නාරමේ තෙල් කැණීම් අදියර තුනකින්


මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුකරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. එහි පළමු අදියරේ තෙල් කැණීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

2008 වසරේ දී රජය සහ පෞද්ගලික සමාගමක් අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව වසර 3ක් තුළදී පළමු අදියරේ කටයුතු නිමකිරීමට නියමිතය. මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 172කි. adaderana.lk

ජනප්‍රිය පාසල් සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා


ජනප්‍රිය පාසල් පිළිබඳ සංකල්පය ලබන වසරේ දී සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රටක ජනප්‍රිය පාසල් කිහිපයක් ‍පමණක් තිබිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.adadeerana.lk