Tuesday, June 1, 2010

යුද අපරාධ චෝදනා යළිත් සලකා බලයි


එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් යුද්ධයේ අවසාන අදියර තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව එක්සත් ජාතීන් යළිත් වරක් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් පශ්චාත් යුද සංහිඳියා කොමිසමක් පත් කර සිදුවීයයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් මෙන්ම එහි ගොදුරු බවට පත්වූවන් සමබන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය සඳහන් කර ඇත.

එසේ වුවද පෙර අත්දැකීම් මෙන්ම අලුත් තොරතුරු පදනම් කර ගනිමින් ජාත්‍යන්තර නිදහස සම්බන්ධයෙන් වගකීම් සහගතභාවය පිළිබඳ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා මහජන විශ්වාසය තහවුරු කිරීමටත් විමර්ශනයක් සිදුකළ යුතු බව වඩා හොඳ බව ඒත්තු ගැන්වීමට බලාපො‍රොත්තු වන බවද ඇය පවසා තිබේ.

ඒ මගින් ශ්‍රී ලංකාවට මෙන්ම වෙනත් රටවලටද විශ්වාසය තහවුරුවන බව මහ කොමසාරිස්වරිය සඳහන් කරයි.

ගැටුම් නිරාකරණය කිරීම සහ නැවත පදිංචි කිරීම් පිළිබඳ තමන්ට යම් තක්සේරුවක් පවතින බවද ඇය ඒ.එෆ්.පී පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. adaderana

ගුවන් හමුදාපතිට තවත් තනතුරක්


ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ‍රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා රග්බි ‍ෆුට් බෝල් සංගමයේ සභාපති ලෙස තේරී පත්වී තිබේ.

ධනුන ඉදිරිපත් නොවුණොත් දේපළ රාජසන්තකයි


අත්අඩංගුවට ගැනීම සඳහා ‍වරෙන්තු නිකුත් කර ඇති ජෙනරල් සරත් ‍ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න ලබන ජූනී මස 30 වැනිදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

එදින පෙරවරු 9.00ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ලිඛිත නිවේදනයක් සැකකාර ධනුන තිලකරත්න පදිංචිව සිටි නිවස හා ඒ අවට ඇලවීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රහස් පොලිසියට නියම කළාය.

එදින සැකකාර ධනුන තිලකරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් ඔහු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ ද රාජසන්තක කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී කියා සිටියාය.

සැකකරු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය රහස් පොලිසියට නියෝග කළාය.

හයිකොප් සමාගමේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කරමින් යුද හමුදාව රවටා මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට සැකකාර ධනුන තිලකරත්නට චෝදනා එල්ල වී තිබේ. adaderana

සල්මන්ගේ පැමිණීම අනිවාර්යයි


අයිෆා සම්මාන උළෙල සඳහා තමන් අනිවාර්යෙන්ම සහභාගි වන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් සඳහන් කර ඇත. එම සම්මාන උළෙල සඳහා සහභාගි නොවන ලෙස ඉල්ලමින් පසුගිය දිනෙක ද්‍රවිඩ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. නමුත් එම විරෝධතාවය සල්මන් ඛාන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ජූනි මස 3 -5 වන දින පැවැත්වෙන අයිෆා සිනමා සම්මාන උළෙල සඳහා සල්මන් ඛාන් සහභාගි වීමට නියමිතය. මීට පෙර ද එම ද්‍රවිඩ සංගමයේ සාමාජිකයන් පිරිසක් මැයි මස 11 වන දින අමිතාබ් බච්චන්ගේ නිවස ඉදිරිපිට මෙවැනිම උද්ඝෝෂණයක නිරත විය.

ශාසනය නඟාසිටුවන්න අගමැතිගෙන් තල්ලුවක්


බුද්ධ ශාසනයේ චිරස්තතිය උදෙසා නව පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දීමු.ජයරත්න මහතා පවසයි.

පනත් කෙටුම්පත් වලට නෛතික පිළිගැනීමක් ලබාදීම තුළින් බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව හෙතෙම කියා සිටියේය. ත්‍රෛයිනිකායක මහ සංඝරත්නය සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේය .

මෙහිදී මහා සංඝයා වහන්සේලා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නව පනත් කෙටුම්පත් වලට අදාළ යෝජනා තමන්වහන්සේලා වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මසක් ඇතුළත අදාළ පනත් කෙටුම්පත් සකසා අවසන් කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බුද්ධ ශාසන පනත් කෙටුම්පත , සංඝ සභාවක් පිහිටුවීම ,භික්ෂු කතිකාවතක් සකස් කිරීම ,1931 විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසනා ලබාගැනීමට ද තමන් අපේක්ෂා කරන බව අග්‍රාමත්‍යවරයා සඳහන් කළේය.

Sunday, May 30, 2010

දවසින් ප්‍රශ්න විසඳන්න බෑ -බන්දුල


අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු එක් දිනකින් අවසන් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙරට ගැටලු විසඳීම සඳහා ආකල්පමය වශයෙන් ප්‍රබල වෙනසක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා තම අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. බස්නාහිර පළා‍තේ උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

අනුර කුමාර සීපා ගැන විවාදයක් ඉල්ලයි


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සීපා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ සඳහා වූ ‍යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එම සතිය තුළ යෝජිත ගිවිසුම පිළිබඳව විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ එකඟත්වය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. සීපා ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කර්මාන්ත හා සේවා සඳහා හුවමාරු කරගැනීමේ දී දැනට පවතින බාධක ලිහිල් වේ.

එමගින් ඉන්දියානු ආයෝජන සහ සේවාවන් ශ්‍රී ලංකාව තුළට විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මෙරට කර්මාන්ත කඩාවැටීමකට ලක්වන බව දේශීය ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පසුගියදා දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදුන්නේය. රටට හානිදායක කිසිදු ගිවිසුමකට තමන් අත්සන් නොකරන බව එම අවස්ථාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කෙසේවෙතත් ඉදිරියේ දින කිහිපය තුළ ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය. adaderana

එජාපයේ සීතල යුද්ධයක්?


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ මේ වන විට කැපී පෙනෙන චරිත දෙකක් ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙක් සජිත් ප්‍රේමදාස මහතා වන අතර අනෙක් පුද්ගලයා වන්නේ රවී කරුණානායක මහතාය. ආකාරයට ඔවුන් දෙදෙ‍නා අතර අනාගත නායකත්වය සඳහා සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ නායකත්වය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ තනතුරු සදහා පුද්ගලයින් නම් කිරීම ඡන්දයකින් සිදුකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව සම්මත විය.

ඉදිරියේ දී නායකත්වය සඳහා ඡන්ද විමසීමක් සිදුවීමට ඉඩකඩ ඇති බැවින් මොවුන් දෙදෙනාම මේ වන විට ඡන්ද එක්රැස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බව වාර්තා වේ. කෙසේවෙතත් මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතාත් රවී කරුණානායක මහතාත් එහි මූලික පියවරක් ලෙස මාධ්‍ය මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඔහුගේ සමීපතමයන්ගේ සහය රවී කරුණානායක මහතාට හිමිවන අතර සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට උරදුන් පිරිසගේ සහය හිමිවන බව‍ දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම සීතල යුද්ධය කුමන අතකට පෙරලේවි ද කියා කිසිවෙකුටත් කිව නොහැක්කේ ඔවුන් දෙදෙනාම පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් වන නිසාය. adaderana

පොළොන්නරුව රෝහලට හෘද රෝග ඒකකයක්


පොළොන්නරු මහ රෝහලට විශාල අඩුපාඩුවක්ව පැවති හෘද රෝග ඒකකයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 6.5 කි. පොළොන්නරුව රෝහලට පැමිණෙන හදවත් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ, නුවර, කුරුණෑගල මහරෝහල්වලට පැමිණීමට පසුගිය කාලයේ දී සිදුවිය.
දිනකට හෘදයාබාධ සහිත රෝගීන් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට පැමිණිය ද ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පසුගිය කාලයේ දී නොහැකි වූ බව පොළොන්නරුව රෝහල් බලධාරීන් පවසයි. එහෙත් මෙම ඒකකය විවෘත වීමත් සමග සියලුම පරීක්ෂණ කටයුතු සහ ප්‍රතිකාර කටයුතු ලබාදිය හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා සඳහන් කරයි. එම හෘද ‍රෝග ඒකකය විවෘත කිරීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. adaderana

මාස 6ක් තුළ කිසිදු වැටලීමක් නෑ


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වැටලීම් කටයුතු අක්‍රිය වී දැනට මාස 6 කට ආසන්න කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ කිසිදු වැටලීමක් සිදුකර නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේය. අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ සේවා කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් විය. එබැවින් අල්ලස් සම්බන්ධ වැටලීම් සිදුකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි සාමාජිකයින්ට නොහැකි වීම හේතුවෙන් වැටලීම් කටයුතු අඩාල වී ඇති බව අල්ලස් කොමිසම පවසයි.
අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත්කිරීමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය. එහෙත් ව්‍යවස්ථාදායක සභාව අක්‍රිය වීම හේතුවෙන් එම අල්ලස් කොමිසමේ සාමාජිකයින් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා‍ වෙත පැවරී ඇත. ඉදිරි සතිය ඇතුළත ජනාධිපතිවරයා විසින් කොමිසමේ සාමාජිකයින් තිදෙනා නම් කරනු ඇති බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කළේය.

බෞද්ධාලෝක මාවත යළි විවෘතයි


කොළඹ බෞද්ධාලෝක මාවතේ වාහන ගමනාගමනය සඳහා මෙතෙක් වසා තිබූ කොටස සැහැල්ලු වාහන සඳහා විවෘත කර තිබේ. ස්ටැන්ලි විජේසුන්දර මාවත ආසන්න‍යේ සිට තුම්මුල්ල දක්වා වන කොටස ආරක්ෂක හේතූන් මත පසුගිය ස‍මයේ වසා දමා තිබුණි.
මේ වන විට බෞද්ධාලෝක මාවතේ එම කොටස සැහැල්ලු වාහන සඳහා විවෘත කළ බව කුරුඳුවත්ත පොලිසිය පැවසුවේය. පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා එම මාර්ගය සැහැල්ලු වාහන සඳහා විවෘතව පවතින බව කුරුඳුවත්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

කර්මාන්ත අංශයේ ඉහළ වර්ධනයක්


ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය පසුගිය මාර්තු මාසය වන විට 9. 3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 428 ක වර්ධනයක් බව මහබැංකුව පෙන්වාදෙයි.
අපනයනයෙන් ද 4 . 8% ක වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව සඳහන් කරයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 660 ක ඉහළ යාමකි. adaderana

කමිටුව ගැන බලාපොරොත්තු තැබිය හැකියි -හිලරි


ශ්‍රී ලංකාවේ යුද ගැටුම් හටගැනීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ කමිටුව කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පවසයි. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් සඳහා මහඟු අඩිතාලමක් වනු ඇති බව ඇය සඳහන් කරයි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම කමිටුව ස්වාධීනව අපක්ෂපාතීව සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව තම කාර්යය ඉටුකරනු ඇති බවට විශ්වාසය පළ කරන බව එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙමගින් දශක ගණනාවක් පුරා පැවති යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට ද පදනම සකස් කරනු ඇති බව හිලරි ක්ලින්ටන් මහත්මිය එහිදී පවසා ඇති බව සඳහන්ය.adaderana

කැබ් රථයක් හා පාපැදියක් ගැටී අයෙක් මියයයි


වෙල්ලාවලි, මන්ඩූර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැබ් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය. මියගොස් ඇත්තේ කුරුමන්වේලි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. adaderana

සංවර්ධනයට පූර්ණ සහය


වසර 30 ක යුද්ධයෙන් පසුව ස්ථිරසාර සංවර්ධනයක් කරා රට රැගෙනයාමේ ඓතිහාසික අවස්ථාවක් උදාවී ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හරුහිතෝ කුරෝඩා මහතා පවසයි. යුද්ධයෙන් විනාශ වූ ප්‍ර‍දේශවල යටිතල පහසුකම් නැංවීමට ද ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ සක්‍රිය දායකත්වය ලබාදී ඇති බව හෙතෙම පෙන්ව‍ා දෙයි.
මෙම වසරට බලපාන පරිදි අ‍මෙරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලංකාවට ලබාදී ඇත්තේ එහි එක් පියවරක් වශයෙන් බව ඔහු පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවට ඉහළ වර්ධන වේගයක් අත්පත් කරගැනීමට නම් අයවැය හිඟය පාලනය කරගත යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර ඔහු ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය. adaderana

Friday, May 28, 2010

බලය ගන්න හැටි සජිත් කියයි


එක්සත් ජාතික පක්ෂය යළි රාජ්‍ය බලය ලබාගැනීමට නම් එහි ප්‍රතිපත්ති මාලාවේ වෙනස්කම් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය විය යුතු බවයි. තමා පක්ෂයේ පාලනය ලබාගන්නා විට අනිවාර්යයෙන් දිළිඳු ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. හම්බන්තොට පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ හිමිකරුවන් වන්නේ මෙරට ‍පීඩිත පන්තියේ ජනතාව බවයි. adaderana

මැද පෙරදිග ගිය පිරිසක් යළි ගෙන්වයි


මැ‍දපෙරදිග සේවය සඳහා ගිය තවත් ‍ශ්‍රමිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.. එම කාර්යාංශ‍යේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ. රුහුණගේ මහතා පවසන පරිදි මැදපෙරදිග සේවයට ගොස් සිටියදී විවිධ ගැටලුවලට මුහුණදුන් සහ වීසා අවලංගු වී රැඳී සිටීමට සිදුවූ පිරිස් මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතය.
‍මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා තානාපති මට්ටමෙන් ලබාගත යුතු අවසරය පිළිබඳ මේ වන විට කටයුතු කරමින් සිටින බව රුහුණගේ මහතා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවෙනු ඇතැයි සඳහන් වේ.
මේ අතර කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ විදේශ සේවය සඳහා ගොස් අතරමංව සහ විවිධ ගැටලුවලට මුහුණ දී සිටින පිරිස් කඩිනමින් එවීම සඳහා කටයුතු කරන ‍ ලෙස සියලු තානාපති කාර්යාල වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවයි.
ගුවන් ගමන් තදබදය අවම කරගැනීම සඳහා ගිම්හාන නිවාඩු සමයට පෙර එවැනි පිරිස් එවීමට කටයුතු කිරීම වැදගත් බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පවසයි. adaderana

ඉන්දියාවෙන් හොරෙන් මැණික් ගෙනත්


නීතිවිරෝධී ලෙස මෙරටට මැණික් ගල් ගෙන ඒමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසන පරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.. ඔහු රේගුවට නොදන්වා මැණික් ගල් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් රැගෙන විත් තිබේ. ඊට අමතරව මෙරට වලංගු මුදලින් රුපියල් 14,900 ක මුදලක් ද ඔහු සතුව තිබූ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. පසුව එම සැකකරු වරද පිළිගැනීමෙන් පසු රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති අතර ඔහු සතු වූ මුදල් රාජසන්තක කර තිබේ. adaderana

වෙසක් සතියේ සුරා නීතියට 950 ක් හසුවෙලා


වෙසක් සමයේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම, නිෂ්පාදනය කිරීම ඇතුළු සුරාබදු පනත යටතේ වැරදි සිදුකළ පුද්ගලයින් 950 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
එයින් වැටලීම් 48 ක්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම් සම්බන්ධයෙන් බවත්,62 ක් අන්තරායකර ඖෂධ පනත යටතේ කළ වැටලීම් බවත් සඳහන් වේ.
එම දෙපා‍ර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ දින 3ක් තුළ සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල සම්බන්ධ කර ගනිමින් මෙම වැටලිම් සිදු කළ බවත්,වෙසක් සතිය පුරාම මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.adaderana

හොවාඩ්ගේ බලාපොරොත්තුවට ශ්‍රී ලංකාවෙන් තහංචි


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති ජෝන් හොවාඩ් මහතා පිළිබඳව කළ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාව සිය අකමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති සෝමචන්ද්‍ර ද සිල්වා මේ බව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
ජෝන් හොවාඩ් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයා වන අතර මුත්තයියා මුරලිදරන්ට 2004 වසරේ දී එල්ල වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවට දෙවරක්ම පරීක්ෂණ පැවැත්විය යුතු බවට‍ ප්‍රකාශ කරමින් ඔහු මුරලිදරන්ව අභියෝගයට ලක් කර තිබිණි..
ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඕනෑම ක්‍රිකට් කවුන්සිල නියෝජිතයෙකුට සහය පළ කළ ද ඉන් පිටත කිසිවෙකුත් පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව සෝමචන්ද්‍ර මහතා පවසා ඇත.
‍ජෝන් හොවාඩ්ට මෙම ධුරය ලබාගැනීමට නම් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 අතුරින් රටවල් 7 ක කැමැත්ත හිමිවිය යුතුය.. මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කැමැත්ත ඔහුට ලැබී ඇති අතර රටවල් 3 ක අකමැත්ත පළ වී තිබේ.
තවත් එක් රටක අකමැත්ත පළ වුවහොත් ජෝන් ‍හොවාඩ්ට මෙම ධුරය හිමිනොවේ. adaderana

ජාත්‍යන්තර ප්‍රජාව යනු එන්.ජී.ඕ කීපයක් නොවේ


ජාත්‍යන්තර ප්‍රජාව යන්න රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ලඝු නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බව හෙ‍තෙම පෙන්වාදෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාතීන් 196 ක් ඇතුළත්ව සිටියදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පමණක් බව පීරිස් මහතා පවසයි.
අමෙරිකාවේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එරට පැවති විශේෂ හමුවකදී මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.
රජයේ ආරක්ෂක අංශ මුදාගනු ලැබූ ලක්ෂ 3කට ආසන්න සිවිල් ජනතාව පිළිබඳවත් එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කරනු ලැබූ දහස් ගණනක් වන ජනතාව පිළිබඳවත් අමතක නොකළ යුතු බව එහිදී පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. adadaerana

කුණු වළකින් බිළිඳියක් හමුවෙයි


මස්කෙලිය-නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ළකඹේ ප්‍රදේශයේ කුණුවළක දමා ගොස් සිටි බිළිඳියක සොයා ගැනීමට මස්කෙලිය පොලිසිය සමත්වී තිබේ. ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරකට අනුව අද උදෑසන 7.00 ට පමණ මෙම බිළිඳිය සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු දිනක් පමණ වයසැති මෙම බිළිඳිය මස්කෙලිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.. බිළිඳිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙළිය දිසා රෝහලේ වෛද්‍ය නිළධාරී ජි.ජි.පි. ගමගේ මහතා පවසයි.
බිළිඳියගේ මව සොයා මස්කෙළිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. adaderana

බිම් බෝම්බ වෙනුවට උතුරට විදුලිය


උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කෙරෙන සෑම ප්‍රදේශයකටම විදුලිය සපයා දෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. උතුරු පළාතේ කඩිනම් සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව හෙතෙම කියා සිටියි.
වව්නියාවේ සිට යාපනයේ චුන්නාකමම් දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය අලුතින් පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා‍ මෙම අදහස් පළ කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපන් ජාත්‍යන්තර මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයා තිබේ.. මෙම අවස්ථාවට ඩග්ලස් දේවානනන්දා , රිෂාද් බදුයුදීන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරුන් ද සහභාගි වී තිබේ. adaderana

පලාගිය සිරකරු යළිත් හිරේට


පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පලාගිය සිරකරුවෙකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිරකරු අප්‍රේල් මස 18 වන දින සිරකඳවුරෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වේ.
පුරාවස්තු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ. දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. adaderana

අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගහන්න දෙන්නේ නෑ


මානූෂීය මෙහෙයුමේ අවසාන අදියරේදී සාමාන්‍ය වැසියන් ඝාතනය වු බවට එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා හමුදාව කිසිවිටකත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල නොකරන බව හෙතෙම පෙන්වා දෙයි. "අල්ජසීරා"රූපවාහිනීය සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ. දෙමළ ජනතාවට නිදහසේ ජිවත් විය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ ‍ මේ වන විට ඇති කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන‍්නේය.
උතුරේ සිටින ජනතාවට දකුණටත් දකුණේ සිටින ජනතාවට උතුරටත් නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් බිහිවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.. මේ වන විට නැවත පදිංචි කිරීමේ කටයුතු සියයට 90ක් පමණ අවසන් කර ඇති බවත් දෙසැම්බර් මාසයට පෙර සහන ගම්මානවල සිටින සියලු වැසියන් නැවත පදිංචි කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.
මෙරට අභ්‍යන්තර ගැටලු වලට කිසිදු රටකට හෝ කිසිදු සංවිධානයකට මැදිහත් වීමට ඉඩ නොතබන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. adaderana

‍ත්‍රස්ත ක්‍රියාකාරකම් ඇතුළත් ජංගම දුරකතන අල්ලයි


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල දර්ශන ඇතුළත් ජංගම දුරකථන සමග පුද්ගලයන් තිදෙනෙකු මඩකළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඊයේ පස්වරුවේ මඩකළපුව ප්ලොට් හංදිය මාර්ග බාධකයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් හා වෙනත් අසභ්‍ය දර්ශන ඇතුළත් පරිඝණකයක් සහ උපාංග ද සොයාගෙන තිබේ..
මොවුන් නාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි. වව්නතිව් පොලිසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

ජංගම දුරකතන සොරෙක් මාට්ටු


ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්ස්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කාලයක සිට අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ‍ගත් සැකකරු මත් ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. adaderana

තාප්පයකට බිලිවීමෙන් සෞදියේදී අයෙක් මරුට


සෞදි අරාබියේ කම්කරුවකු ලෙස සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෙකු තාප්පයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. රියාද් නගරයේ සේවයේ කරමින් සිටියදී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තාප්පය කඩාවැටීමේ සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ මිනිය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාශයේ අතිරේක සාමානධිකාරී එල්.කේ රුහුණගේ මහතා පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. adaderana

ඩුබායි සිට අඩු වියදම් ගුවන් සේවයක්


ශ්‍රි ලංකාව හා ඩුබායි අතර නව ගුවන් ගමන් සේවයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. ඩුබායි ගුවන් සමාගමක් මගින් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බව සඳහන්ය. ලබන මස සිට ආරම්භ කිරීමට නියමිත මෙම ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාම මෙමගින් අරමුණු කෙරෙන බව එම ගුවන් සමාගම පවසයි.
ශ්‍රි ලාංකික ගුවන් මගීන් ලක්ෂ තුනක් පමණ මෙහි සේවය ලබාගනු ඇති බවට අදාළ ගුවන් සමාගම අපේක්ෂා කරයි. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් සිදුකිරීමට ද නියමිතය.adaderana

හොර කුලීකරුවන් දෙදෙනෙක් හසුවේ


කුලී ගමන් යන මුවාවෙන් ගමනාන්තයට නොගොස් මගීන් අතරමං කර ඔවුන් සතු භාණ්ඩ පැහැරගන්නා පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව පරීක්ෂණ පැවැත්වු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මාතලේ දික්කිරියවත්ත ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. adaderana