Sunday, May 30, 2010

අනුර කුමාර සීපා ගැන විවාදයක් ඉල්ලයි


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සීපා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ සඳහා වූ ‍යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එම සතිය තුළ යෝජිත ගිවිසුම පිළිබඳව විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ එකඟත්වය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. සීපා ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කර්මාන්ත හා සේවා සඳහා හුවමාරු කරගැනීමේ දී දැනට පවතින බාධක ලිහිල් වේ.

එමගින් ඉන්දියානු ආයෝජන සහ සේවාවන් ශ්‍රී ලංකාව තුළට විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මෙරට කර්මාන්ත කඩාවැටීමකට ලක්වන බව දේශීය ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පසුගියදා දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදුන්නේය. රටට හානිදායක කිසිදු ගිවිසුමකට තමන් අත්සන් නොකරන බව එම අවස්ථාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කෙසේවෙතත් ඉදිරියේ දින කිහිපය තුළ ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය. adaderana

0 comments:

Post a Comment