Friday, March 19, 2010

දකුණු අධිවේගී මාර්ගයේ වැඩ වර්ජනයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවක පිරිසක් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට දොඩංගොඩ දක්වා‍ ප්‍රදේශයේ සේවයේ නියුතු සේවකයන් 400 ක පමණ පිරිසක් වර්ජනයට එක් ව ඇති බව සඳහන්ය. සේවක අර්ථසාධක අරමුදල් සඳහා වැටුපෙන් මුදල් අයකර ගත්තද ඒ සම්බන්ධයෙන් කිසිඳු ලියවිල්ලක් ඉදිරිපත් නොකිරීම වර්ජනයට හේතුව වී තිබේ. බලධාරීන් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදෙන්නේ නම් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සේවකයන් සඳහන් කළේය.adaderana

2/3ක් ලබාදෙන්නේ එජාප රජයකටයි


මෙවර මැතිවරණයේ දී ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට බව නීතීඥ සුජීව සේනසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ බොරු පෙ‍ාරොන්දු ලබා දෙමින් සිටින ආණ්ඩුව පරාජය කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානම්ව සිටින බවය. කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය. adaderna

සහතික මිලට වී අලෙවියට හැකියාවක් නෑ


රජය සහතික මිලක් පනවා තිබුණ ද වී අලෙවි කර ගැනීම සඳහා ගොවීන්ට අවස්ථාවක් ලැබී නොමැති බව පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ මහතා පවසයි.
වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 31 ක සහතික මිලක් රජය නියම කර තිබුණ ද ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 26 ක් වැනි මුදලකට බව ඔහු පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ සහතික මිලට වී මිල දී ගැනීම සඳහා නව ක්‍රියා පටිපාටියක් ඇති කරන බව එප්පාවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රෝහණ ගමගේ මහතා සඳහන් කළේය.
මේ අතර රජය පනවා ඇති සහතික මිලට වී මිල දී ගැනීම මේ වන විටත් සිදු වෙමින් පවතින බව ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් ගොවීන් කඩිනමින් වී විකුණා ගැනීමේ අරමුණින් නියමිත ප්‍රමිතිය ළඟා වන තෙක් නොසිට වී අලෙවි කිරීමට පෙළඹී සිටින බැවින් ඇතැම් අවස්ථා වල සහතික මිලට වඩා අඩුවෙන් මිල දී ගැනීමට සිදු වන බවය. adaderana

වැටුප් නොගන්නේ දිනේෂ් පමණයි


මාර්තු මස මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මූල්‍ය අංශයට මෙතෙක් නිල වශයෙන් ලිපියක් භාර දී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පමණක් බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
අමාත්‍යවරයා මෙලෙස වැටුප් ප්‍රතික්ෂේප කරන්නේ එක්දිනක් පමණක් සභාව රැස්වූ බැවින් මාර්තු මාසය සඳහා මන්ත්‍රීවරුන් වැටුප් ලබානොගත යුතු බවට මර්වින් සිල්වා අමාත්‍යවරයා කළ යෝජනාවක් අනුවය. 2009 මාර්තු 09වන දින පාර්ලිමේන්තුව රැස්වූයේ හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීම සඳහාය. පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ බැවින් මේ මාසය සඳහා මන්ත්‍රීවරුන්ට වැටුප් නොගෙවිය යුතුව තිබුණි.
නමුත් එක් දිනක් සඳහා මැති සබය යළි රැස්වූ බැවින් මන්ත්‍රීවරුන් 225දෙනාටම මාර්තු සඳහා යළි වැටුප් හිමිකම් හිමිවිය. රුපියල් මිලියන දහසයක වියදමක් මාසිකව මන්ත්‍රී වැටුප් සඳහා දරන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය සදහන් කළේය. එබැවින් එක් දිනක් පමණක් පාර්ලිමේන්තු පැමිණ වැටුප් ලබාගැනීම නුසුදුසු බව පවසමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා යෝජනාවක් සභාවට ගෙන ආවේය. එහෙත් යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයාවත් මෙතෙක් තම මූල්‍ය වරප්‍රසාද ප්‍රතික්ෂේප කරමින් ලිපියක් නිල වශයෙන් යොමුකර නැති බව පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශය පවසයි.
මාර්තු මස වැටුප ප්‍රතික්ෂේප කර ලිපිය භාරදී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පමණි. මන්ත්‍රී වැටුප් ගෙවීමට නියමිතව තිබෙන්නේ මාර්තු 26 සහ 27 දිනවලය. adadera

ජනතා ගැටලු විසඳන ආණ්ඩුවක් හැදිය යුතුයි


ජනාධිපතිවරණ ප්‍රතිඵලය මහජන අධිකරණයේ විභාග කරන අවස්ථාවට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ලබන 8 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් ජනතාව ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් දෙනු ඇති බව අත්තනායක මහතා සඳහන් කරයි. පසුගිය මැතිවරණ ප්‍රතිඵලය නොසලකා ජනතා ගැටලු විසඳීම සඳහා වූ ආණ්ඩුවක් නිරිමාණය කිරීමට පෙළ ගැසිය යුතු බව කඩුවෙල එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මහින්ද චින්තනයේ නොමැති ජනතාවාදී සහන රැසක් අන්තර්ගත බවද තිස්ස අත්තනායක මහතා එහි දී ප්‍රකාශ කළේය.ADADERANA

නව විනිසුරු මඩුල්ල ජනපතිගේ අනුමැතියට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වන දෙවන යුද අධිකරණය සඳහා නම් කළ නව විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ‍ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මේ සඳහා නම් කළ විනිසුරුවරුන් තිදෙනෙකුගේ නාම ලේඛනය අද දිනයේ ජනාධිපතිවරයා ‍වෙත යොමු කිරීමට නියමිතය. යුද හමුදාවට භාණ්ඩ මිල දී ගැනීම සම්බන්ධයෙන් වන පිළිවෙත් සහ රෙගුලාසි වලට පටහැනිව ක්‍රියාකිරීමට අදාළ චෝදනා යටතේ මෙම යුද අධිකරණයේ නඩු විභාග කෙරෙනු ඇත.
පළමු යුද අධිකරණයේ විනිසුරු මඩුල්ල, දෙවන යුද අධිකරණය සඳහා ද නම් කර තිබූ අතර ඊට එල්ල වූ විරෝධතා මත එම යුද අධිකරණය සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කෙරුණි. පසුගිය 17 වන දා රැස් වූ දෙවන යුධ අධිකරණය ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දැමුණි. adaderana

කාන්තාවන්ට රට ගැන විශාල වගකීමක් තිබෙනවා


රටේ ජනගහනයෙන් සියයට 52 ක් පමණ වන කාන්තා පරපුරට මෙරට අයීතීන් සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
රාජ්‍ය පාලනයට සුදුස්සන් ‍තෝරා ගැනීම සඳහා කාන්තාවන්ට ලැබී ඇති අයිතිය ඉතා වැදගත් බව ඇය පෙන්‍වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාතර කාන්තා බල මණ්ඩලය රැස්වීම අමතමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙම අදහස් පළ කළේය. මෙරට සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයක් ඇති කර ජනතාවගේ සුබ සාධනය ඇති කිරීම සඳහා වූ සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය ලබා දෙන බව එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇය කියා සිටියේය. adaderna

ලෝක බැංකුවෙන් ප්‍රශංසාවක්


පාසල් සිසුන්ට නිසි කලට පෙළ පොත් බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක බැංකුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කර තිබේ.
පෙළ පොත් මිලියන 29 .5 ක ප්‍රමාණයක් සියයට සියයක්ම සාර්ථකව බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ඇගයීමට ලක් ව ඇති බව නිවේදනයක් නිකුත් කිරමින් එම අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මෙම කාර්යභාරය ලෝක බැංකුවේ ඇගයීමට ලක් වූ දෙවන අවස්ථාව මෙය වේ. මේ අතර පෙළ පොත් නැවත භාවිතයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 85 ක මුදලක් ඉතිරි කර ගත හැකි වූ බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශය 2010 වසරේ දී එය රුපියල් කෝටි 101 ක් වූ බව ද සඳහන් කරයි. adaderana

ආතර් සී ක්ලාක් ගුණ සමරුව අද


ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ දෙවන ගුණ සමරුව අදට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් විශේෂ ගුණ සමරු දේශනයක් ලබන 24 වන දා පැවැත්වීමට නියමිතය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී එය පැවැත්වේ.
ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ දෙවන ගුණ සමරු දේශනය ඉන්දියාවේ විද්‍යා හා තාක‍්ෂණ අමාත්‍යාංශ ලේකම් ටී.රාමසාමි මහතා විසින් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා දිවයිනට පැමිණෙන රාමසාමි මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ප්‍රවර්ධනය කීරිම කෙරෙහි ද සාකච්ඡා කිරීමට සැලසුම් යොදා ඇත. adadera

10වන තරගයේ ජය රෝයල් චැලෙන්ජර්ස්ට


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති දහවන තරගයෙන් රාජස්ථානු රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුළු 10ක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.
කාසියේ ‍වාසිය දිනා ගත‍්තේ බැංගලෝර් කණ්ඩායමයි. ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන් අතර සියලු දෙනා දැවී එම කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 92 ක් පමණි. පන්දු යැවීමේදී ප්‍රවීන් කුමාර සහ අනීල් කුම්‍බ්ලේ කඩුළු 3 බැගින් දවා ගත්තේය.
පිළිතුරු වශයෙන් බැංගලෝර් කණඩායම කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කළේය. එහි දී මානීෂ් පාණ්ඩේ ලකුණු 42 ක් සහ ජැක් කාලිස් 44 ක් ලබා ගැනීමට සමත් විය. මේ අතර දිල්ලි සහ චෙන්නායි කණ්ඩායම අතර තරගයත් ඩෙකෑන් සහ පන්ජාබ් කණ්ඩායම අතර තරගයත් අද පැවැත්වේ. adadera

Thursday, March 18, 2010

තිස්ස කුට්ටිආරච්චිගේ පෙත්සම ඉවතට


මොණරාගල දිස්ත‍්‍රික්කයට එජාපෙ ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළු කරන ලෙසත්, එසේ නොමැති නම් එම නාම යෝජනා ලැයිස්තුව අවලංගු කරන ලෙසත් ඉල්ලමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පිළිගත් නාමයෝජනා ලැයිස්තුවකට ඇතුළත් නොවූ නමක් ඇතුළත් කිරීමට නොහැකි අතර පිළිගත් නාමයෝජනා ලැයිස්තුවක් අවලංගු කළ නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහිදී තීරණය කරන ලදී.
අදාළ නාම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු විරෝධතා ගොනු කිරිම සඳහා ලබා දෙන පැයක පමණ කාලය තුළ විරෝධතාවයක් ගොනු නොකෙරුණු හෙයින් එය අවලංගු කළ නොහැකි බව සඳහන් කෙරිණි.
ශිරානි බණ්ඩාරණායක, චන්ද්‍රා ඒකනායක සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම අද සිදුවිය.
එජාප මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනල් පෙරේරා මහතා නාමයෝජනා ලැයිස්තුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කොට ව්‍යාජ අත්සන් යොදා වෙනත් නමක් ඇතුළත් කර ඇති වග බව පිළිගන්නා ලදී.adade

එක්සත් ජාතීන්ගේ කමිටුව රටට තර්ජනයක්


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා පත් කිරීමට යෝජිත කමිටුව රටට තර්ජනයක් වන බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. එමගින් රටේ ස්වෛරීය භාවයත්,භෞමික අඛණ්ඩතාවයත් තර්ජනයට ලක් කරන බව හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා උපදේශක කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හෝ මානව හිමිකම් කවුන්සිලයේ ගනු ලැබූ තීරණයක් අනුව නොවන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරයා වන ලින් ෆැස්කෝ මහතා මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ලංකාවේ යහපත් වාතාවරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.
එසේ වුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කිරීම කිසිසේත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකිරීමක් නොවන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසා තිබිණි.
මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් බැන්කි මූන් මහතා ප්‍රකාශ කර තිබුණේ එවැනි කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස තමන්ට පූර්ණ බලතල හිමිවී ඇති බවයි. adade

ෆොන්සේකා දේශපාලනයට ආවේ නුවණ නැති නිසයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අනුවණ පුද්ගලයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු දේශපාලනයට පිවිසියේ එහි ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
සිංගප්පූ‍රුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. එහි තවදුරටත් අදහස් දක්වන ජනාධිපතිවරයා පවසන්නේ අවසන් වරට ‍ෆොන්සේකා මහතා හමුවූ අවස්ථාවේ දී දේශපාලනයට පිවිසෙන්නේ දැයි ඔහුගෙන් විමසූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළ බවය. කෙසේ වෙතත් එහිදී දේශපාලනය යනු යුද හමුදාව නොවන බව තමා ඔහුට පැහැදිලි කර දුන් බව ජනාධිපතිවරයා ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පතට පවසයි.
හමුදාවේ දී ලබාදෙන අණ, පහළ නිලධාරීන් එලෙසම ක්‍රියාත්මක කළ ද දේශපාලනයේ දී එය එසේ නොවන අතර දේශපාලකයින් සිදුකරන ප්‍රකාශ සහ නියෝග එලෙසින්ම පිළිපදින පිරිසක් නොමැති බවට තමා ෆොන්සේකා මහතාට පෙන්වා දුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියි. ෆොන්සේකා මහතා යුද හමුදා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර වශ‍යෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය හමුදාමය ක්‍රියාමාර්ගයක් වන අතර තමා ඊට මැදිහත් වීමට ‍සූදානම් නොමැති බවය. ada

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රසාද පොලියක්


වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සඳහා ප්‍රසාද පොලියක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
එම තැන්පතු සඳහා සියයට 20 ක ප්‍රසාද පොලියක් ලබාදීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ‍ප්‍රසාද පොලී දීමනාව ලබාදෙන බව සඳහන්ය. ඒ අනුව තනිව හෝ හවුල් ගිණුම් වශයෙන් පවතින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාලත්‍රයා සමග පවතින හවුල් ගිණුම් සඳහා මෙම ප්‍රසාද පොලී අනුපාතය ලබාදෙනු ඇත. adade

මැතිවරණ තැපැල් කටයුතු අධීක්ෂණයට ඒකකයක්


මහ මැතිවරණයට අදාළ තැපැල් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවා ඇති බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය පවසයි. ඊට අමතරව තවත් අමාත්‍යාංශ නිලධාරීන් 6 දෙනෙකු ඊට අනුයුක්ත කර ඇති බව සඳහන්ය. මැතිවරණ දෙපාර්තමේන්තුව සහ ඡන්දදායකයින් අතර සම්බන්ධීකරණය පැවැත්වීමත් මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත. ada

නීතිවිරෝධී මත්පැන් තොගයක් අල්ලයි


සු‍ඛෝපභෝගී මෝටර් රථයකින් මත්පැන් තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම පානදුර, පිංවත්ත ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ‍ගෙන ඇති බව සඳහන්ය. ජාඇල ප්‍රදේශයේ සිට මොරටුව, පානදුර, කළුතර ආදී ප්‍රදේශවල බෙදාහැරීම සඳහා මෙම මත්පැන් තොගය රැගෙන යමින් තිබූ බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පානදුර, වලාන මධ්‍යම දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීන් මත්පැන් තොගය සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් ප්‍රවාහනය කළ සු‍ඛෝපභෝගී මෝටර් රථයේ වීදුරු අඳුරු කර තිබූ අතර එහි අසුනක් ගලවා ඉවත් කර එම ස්ථානයේ මෙම මත්පැන් අසුරා තිබූ බව පොලිසිය කියා සිටියේය. ada

ෆොන්සේකා සූරාකෑම මාක්ස්වාදයට විරුද්ධයි


චැනල් -4 සේවයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ලබා දී ඇති ප්‍රකාශයන් ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීම නොව වඩා අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති වරප්‍රසාද අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන තිබීම සම්බන්ධයෙන් බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේද විනය පිළිබඳ ප්‍රශ්නයක් බවත්,මෙම ක්‍රියාවෙන් යළි යළිත් තහවුරු වන්නේද ෆොන්සේකා මහතාට විනයක් නැති බව නොවේදැයි හෙතෙම අසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
කලකදී වේළුපිල්ලේ ප්‍රභාකරන් ව වීරයා ලෙස සැලකූ චැනල් -4 ආයතනය ම ජ.වි.පෙ විසින් අභිෂේක කරන ලද සිංහල යුද වීරයා වන ෆොන්සේකා වෙනුවෙන්ද පෙනී සිටීම පිළිගන්නේ කෙසේදැයි ඇමතිවරයා ජ.වි.පෙන් ප්‍රශ්න කළේය.

ජ.වි.පෙ ජෙනරාල් සරත් ෆොන්සේකා හා අනෝමා ෆෝන්සේකා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මාක්ස්වාදී දේශපාලනයට ගැලපෙන්නේ නැති බව ද හෙතෙම කියා සිටියේය.
මන්දයත් මාක්ස්වාදයේ මූලික හරය සූරකෑමට එරෙහි වීම වුවද ජ.වි.පෙ විසින් මේ වන විට ‍සරත් ෆොන්සේකා සහ අනෝමා ෆොන්සේකා යන දෙපළ සූරාකමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය. හම්බන්තොට ප්‍රදේශයේ ගැමි ජනතාවට තමන්ගේ භාණ්ඩ විකුණා ගැනීමට නොහැකි වූ විට"බැරිම තැන හන්දිය"නම් තැනකට පැමිණ විකුණා ගැනීමට උත්සාහ දරන බවත්,ජ.වි.පෙ මේ වන විට දේශපාලනය කරන්නේ බැරිම තැන හන්දියේ බවත් ඇමතිවරයා කියා සිටියේය.ada

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සුභසාධන වැඩසටහනක්


පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් ජීවිත කාලය පුරාවට රැකබලා ගැනීම සඳහා සුභසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ. එය නම්කර ඇත්තේ"Brave Hearts"ලෙසය.
මෙම රණවිරුවන් විශ්‍රාම යන වයසෙන් පසුව ද මෙම මධ්‍යස්ථානයේ රඳවා ගනිමින් ඔවුන්ගේ සුභසාධන කටයුතු සිදුකිරීම අරමුණු කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි. මේ වන විට පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් 228 දෙනෙක් සිටින බවත්, එමෙන්ම ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් 14,324 දෙනෙක් සිටින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. adadera

දැය දිනවන ඇය" එළිදකී


එක්සත් ජාතික පෙරමුණේ කාන්තාව වෙනුවෙන් සැකසුණු"දැය දිනවන ඇය" විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී එළිදැක්වුණි.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 53%ක් කාන්තාවන් බවත්, ඔවුන් රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන බවත් මෙම අවස්ථාවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙවර එක්සත් ජාතික පෙරමුණ යටතේ මැතිවරණය සඳහා කාන්තාවන් ඉදිරිපත් වන්නේ දිස්ත්‍රික්ක 10කින් පමණක් බවත් තම පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළහොත් එම කාන්තා නියෝජනය වැඩිකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කරයි. ඒ අනුව පළාත් සභාවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.
මැතිවරණය ජයග්‍රහණය කළහොත් 2012 වසරේ අප්‍රේල් මාසය වනවිට මෙම කාන්තා ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම උත්සව අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා, මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, ජෝන් අමරතුංග සහ රේණුකා හේරත් මහත්මිය ද සහභාගි වී සිටියහ. adade

ලාංකිකයන් නිදහස් කිරීමට මිලියන 20ක කප්පමක්


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් 13‍ දෙනා නිදහස් කිරීමට නම් අමෙරිකානු ඩොලර් මිලියන 20ක කප්පම් මුදලක් ලබාදෙන ලෙස කොල්ලකරුවන් දැනුම් දී තිබේ.
අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් පිරිස යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බවට සනාථ කර ඇති බව ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් සෆරුල්ලා ඛාන් මහතා පවසයි. ඉන්ධන සහිත අදාළ නෞකාව අරාබි මුහුදේ දී ‍සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවූයේ මීට දෙසතියකට පෙරය. අදාළ නෞකාවේ සිටින කාර්ය මණ්ඩලයට සිය ඥාතීන් සමග සන්නිවේදන සබඳතා පැවැත්වීමට ‍කොල්ලකරුවන් මේ වන විට ඉඩ ලබා දී ඇත.
එසේම ජාත්‍යන්තර රතු කුරුස සාමාජිකයින්ට ද නෞකාවට ඇතුළු වී කාර්ය මණ්ඩලයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට මුහුදු කොල්ලකරුවන් අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ. කාර්ය මණ්ඩලය බේරාගැනීම සඳහා නෞකාව අයත් සමාගම සමග සාකච්ඡා පවත්වන බව ජෙඩාහි කොන්සාල් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර ඇත. කෙසේ වෙතත් මුහුදු කොල්ලකරුවන් සමග ඍජු සාකච්ඡා පැවැත්වීමට තානාපති නිලධාරීන්ට මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැති බව වාර්තා වේ. adade

ඉඩම් අහිමිවූවන්ට වන්දි ලබාදීමට පියවර


මාර්ග ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමිවූ පුද්ගලයින්ට වන්දි ලබාදිම සඳහා ලබන අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
වන්දි ලබාදීමේ දී රාජ්‍ය බැංකුවල එම මුදල් තැන්පත් කිරීම සඳහා එකඟවන පුද්ගලයින්ට රජයේ සහතිකයක් ලබාදීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් නිලධාරීන් මීට විරුද්ධ වුව ද එය ක්‍රියාවට නංවන බවය.ada

ජපන් මිත්‍රත්ව පාලම අද විවෘත වේ


මන්නාරම හා තලෙයිමන්නාරම අතර ඉදිකෙරුණු ජපන් මිත්‍රත්ව පාලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරෙයි.
ජපන් ආධාර මත ඉදිකෙරුණු මෙම පාලම දිගින් මීටර් 152 කින් යුක්තය. මංතීරු දෙකකින් සමන්විත මෙම පාලම ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,460 ක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද මුල්ගල තැබෙනු ඇත. ada

බඹරුන්ට ඉඩදී සිසුන් ගෙදර යයි


ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය අද පෙරවරුවේ හදිසියේ වසා දමා තිබේ.
එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක ඊයේ දිනයේ බඳින ලද බඹර වදයක සිටි බඹරුන් අද පෙරවරුවේ ඇවිස්සීම හේතුවෙන් මෙලෙස එම පාසල වසා දමා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පාසලේ කිසිදු දරුවෙකුට අනතුරක් සිදුවී නොමැත.
අදාළ පාසල අද පෙරවරුවේ ගල්ගමුව, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිරීක්ෂණයට ද ලක්වූ බව අප වාර්තාකරු පැවසුවේය. ඉංග්‍රීසි භා‍ෂාවෙන් ක්‍රියාත්මක මෙම පාසලේ සිසු දරුවන් 1,500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව සඳහන්ය. adade

Wednesday, March 17, 2010

විහාරස්ථානය සෝදිසියෙන් අයිතිවාසිකම් කඩවෙලා?


අයුතු සහගත ලෙස තම විහාරස්ථානය පරීක්ෂා කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.
ව්‍යාජ තො‍රතුරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යවා සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මිරිහාන පොලිසිය විසින් තම විහාරස්ථානය පරීක්ෂාවට ලක් කළ බව පෙත්සමෙන් කියා සිටියි.
එම පරීක්ෂාවේ දී කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවූ බව පවසන පෙත්සම්කාර හිමියන් සඳහන් කරන්නේ මෙමගින් තම කීර්තියට හානියක් සිදුවූ බවයි. එම ක්‍රියාව මගින් තම මූලික අයිතිවාසිමක් කඩවුනු බවට ප්‍රකාශයක් සිදුකරන ලෙස එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.adaderana

ෆොන්සේකාගේ අධාරකරුවන් තිදෙනෙක් නිදහස්


රජය පෙරළීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් වන විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් තිදෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.
එහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේ අදාළ නිලධාරීන් තිදෙනා‍ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නිදහස් කිරීමට අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 13 වැනි දින යළි කැඳවීමට අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී. adaderana

ගැටුම් ඇති කළොත් ඇමතිකම් අවදානමේ


මැතිවරණ සමයේ ගැටුම් ඇතිකරගන්නා අපේක්ෂකයින්ට මැතිවරණයෙන් පසු කිසිදු තනතුරක් ලබා‍නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගැටුම් ඇතිකරගන්නා එවැනි අපේක්ෂකයින්ගේ තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සන්ධානයේ සියලු අපේක්ෂකයින් දැනුවත් කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපතිවරණයේදී එක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවෙන් පෙනී සිටි ජ.වි.පෙ සහ යූ.ඇන්.පීයේ එකී ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙකඩ වී වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් මේ වන විට එළිදක්වා ඇතත් ඒවා මහින්ද චින්තනයේ කොපි බවද ඇමතිවරයා කියා සිටියේය.
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදුව උදවියටම අද එය එපා වී තිබීම සතුටට කරුණක් බවත්,එළඹෙන ආණ්ඩුවේදී නියත වශයෙන්ම එය අහෝසි කරන්නට 2/3 ක බලයක් ලැබිය යුතු බවත් හෙතෙම කියා සිටි‍යේය.ada

බඩු මිල නම් මට අදාළ නෑ


බඩු මිල සම්බන්ධ ගැටලුව අදාළ වන්නේ තම අමාත්‍යාංශයට නොව මුදල් අමාත්‍යාංශයට බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ නිදහසෙන් පසු එළඹි දුෂ්කරම කාලයේ දී එම ගැටලුවේ වගකීම තමා වෙත පවරාගත් බවයි.
කැබිනට් මණ්ඩල‍යේ සාමූහික වගකීම හේතුවෙන් එහි සත්‍යතාව මෙතෙක් හෙළි නොකළ බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති නව වෙබ් අඩවියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. ada

අපේ බැංකු ලෝකයේ පරණම රස්සාවටත් වඩා බාල්දුවෙලා


ශ්‍රීලංකාවේ බැංකු මේ වන විට කර්මාන්තයක් හැටියට ලොව පැරණිම රැකියාවටත් වඩා බාල්දු වී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අපේ ආදායම් වාර්ෂිකව කෝටි 70,500 ක් වුණත් ණය පොලී සහ වාරික ගෙවීම් වෙනුවෙන් කෝටි 82,500 ක් වෙන් කරන්නට සිදුව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.
එච්.එස්.බී.සී බැංකුවෙන් මෑතකදී ගන්නා ලද ණය මුදල් 2012 දී ගෙවන්නට සිදුව ඇති බැවින් ඒ වන විට ණය මුදල් 50% න් යළි වැඩි වන බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
2012 දී ණය මුදල් 50% න් යළි වැඩි වන මුත් ඊට සාපෙක්ෂව ආණ්ඩුවේ ආදායම් තත්ත්වය වැඩි නොවන හෙයින් ජනතාවට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නය සිදුවනු ඇතැයි හෙතෙම කියා සිටියේය.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සමග දැනට ගසා ඇති ගිවිසුම අහෝසි කරන බවත්,ඒ වෙනුවට රටට හිතකර වෙනත් ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
2010 දී ජී.එස්.පී ප්ලස් සහනය අරන් දීමට කටයුතු කරන බවත්,ඉන්දියාවත් සහභාගී කරගෙන කෝටි 100 ක වෙළෙඳපොළක් ඇති කරගන්නා බවත්,සෙසු රටවල් ද සහභාගී කරවාගෙන 2010 අවසාන වන විට කෝටි 150 ක වෙළෙඳපොළක් අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ada

Tuesday, March 16, 2010

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වේ


එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වීමට නියමිතව තිබේ.
කොටස් දෙකක් යටතේ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ada

කොල්ල කල්ලියක් අල්ලයි


මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කොල්ල කල්ලියක සාමාජිකයින් පිරිසක් රාජාංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අනුරාධපුර, තඹුත්තේගම, තලාව, රාජාංගණය ඇතුළු ප්‍රදේශ ගණනාවක මිනි මැරුම්, වාහන පැහැරගැනීම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු මෙම කොල්ල කල්ලියට අයත් පුද්ගලයින් දස දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු අනුව සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගත් බව රාජංගණය පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ada