Sunday, February 6, 2011

අඩු පීඩනයේ වෙනසක් නෑ-වැසි අවදානම තුරන් වී නෑ

දිවයිනට ඉහළ වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින බැවින් වැසි සහිත කාලගුණයේ වෙනසක් සිදුනොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව නැගෙනහිර , මධ්‍යම , ඌව , උතුර සහ උතුරු මැද පළාත්වලට කඩින් කඩ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ‍ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ අතර අධික වාර්ෂාව හේතුවෙන් පිටාර ගලමින් තිබු වැව් රැසක ජලමට්ටම පහත බැස ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ආචාර්ය ජි.ජි.ඒ.ගොඩලියද්ද මහතා පවසයි.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යන තෙක් නාය යෑම් පිළිබඳ ඉතා සුපරික්ෂාකාරීව සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා කියා සිටියේය.

එසේ වුවද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා සඳහන් කළේ එම දිස්ත්‍රික්කයේ ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් බැස යමින් පවතින බවයි. මේ අතර පසුගිය දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව‍ හේතුවෙන් පුද්ගලයන් දොළොස් ලක්ෂ 43,000ක් පමණ පීඩාවට පත්ව තිබේ.

ඔවුන්ගෙන් දෙලක්ෂ 50,000ක් පමණ අවතැන් කඳවුරු 689ක් වෙත යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වර්ෂාව හේතුවෙන් සිදුවු විවිධ අනතුරු වලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 11 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජලගැලීම් වලින් විපතට පත්වු අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සංචාරයක නිරතව තිබේ.

ජල ගැලීම්වලින් හානියට පත් කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට පියවර ගන්නා බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

0 comments:

Post a Comment