Sunday, May 9, 2010

දෙදෙනෙක් මරුට-23 ක් රෝහලේ-සෝමාවතිය ජල රකුසාට බිලි


සෝමාවතිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් එකී ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් වන්දනාවේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී 23 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
රෝහල්ගත කළ පිරිසෙන් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහළට මාරු ක ර එවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මිය ගිය දෙදෙනා ගලේවෙල සහ වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව තහවුරු වී ඇත.
මේ වන විටත් කොටුවී පීඩාවට පත්ව ඇති ජනයාට ගුවන් මගින් ආහාර ද්‍රව්‍ය ලබා දෙන බවත්,ඔවුන් බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට සෝමාවතිය ප්‍රදේශයේ සියලු මං මාවත් ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ. adaderana

අත්‍යවශ්‍ය ඖෂධ ගුවනින් ගෙන්වයි


මෙරට රෝහල් වලට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී ඇත.
ඒ අනුව ඉදිරි සතිය ඇතුළත මෙරටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ ගුවන් මඟින් ගෙන ඒමට නියමිත බව සඳහන් වේ. ඉන්දියාවෙන් මෙම ඖෂධ ගෙන්වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
දිවයින පුරා රෝහල් රැසක පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට කඩිනම් පිළියමක් ලෙස මෙම පියවර ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

අද සුනාමි නෑ


උතුරු සුමාත්‍රා දිවයින ආසන්නයේ භූ චලනයක් සිදු වී ඇත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
එය රිච්ටර් පරිමාණයේ 7.4 ක භූ චලනයක් බව වාර්තා විය. මෙම භූ චලනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි..
එබැවින් ඒ සම්බන්ධව කලබලයට පත් නොවන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. adaderana

ආණ්ඩුව පරණ බස් එකට අලුත් බෝඩ් එකක් දැම්මා


ආණ්ඩුව පරණ බස් එකටම අලුත් බෝඩ් ලෑල්ලක් දාගෙන ගමන් අරඹා ඇතත් මේ යන්නේ අලුත් ගමනක් නොව පරණ ගමන පමණක් බව ප්‍රජාත්නත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩලය සීමා කරන බව කීවද පසුගිය අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලුම අයටමත් අමාත්‍ය පදවි හෝ නියෝජ්‍ය අමාත්‍ය පදවි ලබා දී ඇති බවත්,මීට අමතරව අලුත්ම අයටත් අමාත්‍ය පදවි ලබා දි ඇති බවත් හෙතෙම කියා සිටියේය.
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඒ ඒ අමාත්‍යංශ වලට හිමි ආයතන හා සංස්ථා මොනවාද යන්න පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇතද එයින් ආයකන 78 ක් ම ජනාධිපතිවරයා තමාගේ බලය යටතට පවරාගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව අයවැයෙන් 80%-90% ක් පමණ ජනාධිපතිවරයා වෙන් කරගනු ඇති බවට ‍ඔහු විශ්වාසය පළ කළේය.adaderana

තමන්ට හිමි අලුත් අමාත්‍යංශය බාර ගන්නා සියලුදෙනාම එකී අමාත්‍යංශය පෙර බාර ගෙන කටයුතු කළ ඇමතිවරයා යටතේ අක්‍රමිකතා හා වංචා සිදුව ඇති බව ප්‍රසිද්ධියේ කියද්දී අදාළ අමාත්‍යවරයා පෙර සිටි අමාත්‍යංශයට පත්ව ආ අනෙක් අමාත්‍යවරයා ද ඒ කතාවම කියන බවත් සඳහන් කරමින් දිසානායක මහතා කියා සිටියේ මේ අයුරින් සියලුම ඇමතිවරුන් කවුද හොරා කියමින් එකිනෙකාට ඇඟිල්ල දිගු කරන තත්ත්වයට පත්ව ඇති බවයි.

මුරලි ලංකාවට ගෙන්වයි


අබාධ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් 20 / 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් යළි දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ.
පසුගිය දා සිය පාදයේ මස් පිඩු ඉරීමක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් අබාධයකට ලක් විය.. එහෙත් පෙරේදා දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග පැවති තරගයට මුත්තයියා මුරලිදරන් සහභාගී වූ අතර එහි දී ඔහුගේ ආබාධය උත්සන්න වී ඇති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේය.
එම නිසා ඔහු යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නිශාන්ත රණතුංග මහතා අද දෙරණට සඳහන් කළේය.
මුත්තයියා මුරලිදරන්ගේ පුරප්පාඩුව පිරවීම සඳහා වේග පන්දු යවන තිලාන් තුෂාර මේ වන විටත් බටහිර ඉන්දීය කොදෙව් වෙත යවා තිබේ. adaderana

දඬුගම ඔයේ ජලය තහනම්


සීදූව , දඬුගම ඔයේ ජලය භාවිතයෙන් වලකින ලෙස ප්‍රදේශවාසී ජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි. දින කිහිපයක සිට සීදුව , දඬුගම ඔයට විෂ ද්‍රව්‍යයක් මුසු වීම හේතුවෙන් එහි මාළු මිය ගොස් ජල මත පා වෙමින් පවතින බව වාර්තාවේ.
මෙයට හේතු‍ව ඔයට ආසන්න කර්මාන්ත ශාලාවකින් පිටවන විෂ ද්‍රව්‍යයක් හෝ වෙනත් බාහිර විෂ ද්‍රව්‍යයක් ජලයට මිශ්‍ර වීම බවට පොලිසිය සැකකරයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට එම ඔයේ ජලය භාවිතා කිරීම නුසුදුසු බව පොලිසිය පවසයි. adaderana

ඒඩ්ස් රෝගීන් ඉහළයයි


මේ වසරේ ගත වූ පළමු කාර්තුව තුළ ඒඩ්ස් රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාර‍යේ වාර්තා වලට අනුව පළමු කාර්තුව තුළ එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 1223 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
එයින් 313 දෙනෙකු ඒඩ්ස් ‍රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වන අතර එයින් 212 දෙනෙකු පිරිමින්ද 101 දෙනෙකු කාන්තාවන්ද සිටින බව සඳහන් වේ. මෙම තත්ත්වය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මෙරට පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පළමු කාර්තුව තුළ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු පමණයි.
ඒ අනුව 2009 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වස‍රේ පළමු කාර්තුව තුළ ඒඩ්ස් රෝගය වැළඳී‍මෙන් මිය ගිය සංඛ්‍යාව දෙගුණ වී තිබේ. adaderana

Saturday, May 8, 2010

මටත් මෙවැනි අතීතයක් තිබුණි. . .


කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද උදෑසන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාශයේ රාජකාරී කටයුතු නිල ව‍ශයෙන් ආරම්භ කළේය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු ඇමතිවරයකුද වූ අතර එම රජයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය. එම අවස්ථාවේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා නව මාධ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙහි වැඩ බාරගන්නා ආකාරය දෙස තම නෙත් රඳවාගෙන සිටින අයුරු කැමරු කාචයේ මෙසේ සටහන්ව තිබුණි.adaderana

පසුබෑම ජයග්‍රහණයට පහසුවක් -සජිත්


පසුබෑමක් තුළින් ජයග්‍රහණයක් කරා ළගා වීම පහසු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැතිවරණ පසුබෑමකට ලක් වුවද යළි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන යා හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
තම පක්ෂය ජයග්‍රාහී කරවීම සඳහා දිවි හිමියෙන් කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් සඳහන් කළේය. පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීම තම පක්ෂයේ නායකයින්ගේ වගකීමක් වන බව ද හෙතෙම කියා සිටියි. adaderana

දුරකථන කතාව මුසාවක්


එස්.එම්.එස් පණිවිඩයක් මඟින් ජනතාව තැති ගැන්වීමට උත්සහ දරන පිරිස පිළිබඳ පරීක්ෂණ පවත්වා වහාම දැනුම් දෙන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සියලු ජංගම දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබේ. අද දිනයේ ලැබුණු බව කියන එවැනි එස්.එම්.එස් පණිවිඩ පිළිබඳ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව එම කොමිෂන් සභා‍වේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේය.
එස්.එම්.එස් පණිවිඩ හරහා කිසිඳු ශාරිරික බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි. ඒ අනුව එවැනි එස්.එම්.එස් පණිවිඩ පිළිබඳ අනවශ්‍ය තැතිගැන්මක් ඇති කර නොගන්නා ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි. විදේශීය දුරකථන අංකයක් ඔස්සේ යොමු වූ එස්.එම්.එස් පණිවිඩයක් මඟින් සිදු කර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් අද දිනයේ ජනතාව අතර කුතුහලයක් මතු ව තිබුණි. adaderana

සංචාරක කර්මාන‍්තයේ ඉහළ වර්ධනයක්


මෙරට සංචාරක කර්මාන‍්තයේ වර්ධනය මේ වසර ඇතුළත පමණක් 50%ක පමණ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක සංචාරක සංවිධානය පවසයි. රටවල් 77 ක වාර්තා සැලකීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව අනාවරණය වී තිබෙන බව ඔවුන් නිකුත් කර තිබෙන අතුරු වාර්තාවක් මඟින් ප්‍රකාශ කර ඇත. යුද්ධයෙන් පීඩාවට පත් වු තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සංචාරකයින්ට ආකර්ශනීය වීමට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට හේතු වී ඇති බව එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. යුදමය වාතාවරණයක් නොපැවතුණු රටවල සංචාරක ක්ෂේත්‍රයට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගෙවී ගිය කාලය තුළ එම ක්ෂේත්‍රයේ පෙන්නුම් කර තිබෙන ප්‍රගතිය ඉහළ බව එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක සංචාරක සංවිධානය පවසයි. adaderana

භාණ්ඩ මිල ගණන් ජංගම දුරකථනයෙන්


සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. ජනතාවට සාර්ථක සේවාවක් ලබා දෙන අමාත්‍යාංශයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ මූලික පියවරක් ලෙස තමාගේ අධීක්ෂණය යටතේ පාරිභෝගික සහන මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි. මීට අමතරව වෙළඳපල හා ආර්ථික මධ්‍යස්ථාන වල පවතින භාණ්ඩ වල මිල ගණන් ජංගම දුරකථන ඔස්සේ ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. adaderana

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේදී


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගන රජමහා විහාරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මැයි 24 වන දින රාජ්‍ය වෙසක් දින උත්සවය පැවැත්වීමට නියමිතය.
මෙදින අටසිල් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, තෙමඟුල් අභිවන්දනා පෙරහැර, වෙසක් කූඩු ප්‍රදර්ශන සහ වෙසක් බැති ගී ගායනා පැවැත්වීමට පියවර ගන්නා බව රජය පවසයි. අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් උත්සවයට අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. adaderana

දේශපාලකයින් පත්කළේ ජනතාවයි


දේශපාලකයින් සෑමවිටම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව සබරගමුව පළාත් ආණ්බුකාර වි. ජ. මු ලොකු බණ්ඩාර මහතා පවසයි. දේශපාලකයින් තනතුරු වලට පත්ව ඇත්තේ ජනතාව නිසා බව ඔහු පෙන්වාදෙයි.
සබරගමුව පළාත් නව ආණ්ඩුකාර ධුරයෙහි රාජකාර නිල වශයෙන් ඊයේ ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දරමින් එහි ගෞරවය ආරක්ෂා කළ ආකාරයෙන්ම සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස පළාතේ ජනතාවට උපරිම අන්දමින් සේවය කිරීම තම අරමුණ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වි. ජ. මු ලොකු බණ්ඩාර මහතා පැවසුවේය. adaderana

තනතුර ගත්තේ අකමැත්තෙන්


නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් තමා භාරගත්තේ අකමැත‍්තෙන් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. එහෙත් ලැබූ වගකීම උපරිමයෙන් ඉටුකිරීම තම අපේක්ෂාව බව ඩිලාන් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි. රාජ්‍ය නිලධාරීන් ද තම පෞද්ගලික දේශපාලන මතවාද පසෙකලා පවතින රජයට පක්ෂපාතීව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. adaderana

උතුරේ දුම්රිය ගමන සීමා වේ


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අද දින සීමා කිරීමට සිදුවන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. අනුරාධපුර සහ පරසන්ගස්වැව අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව ඔහු සඳහන් කරයි.adaderana

ආණ්ඩුවේ ඇස ගමටත්


වත්මන් ආණ්ඩුව නගරයට සමගාමීව ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද සංවර්ධනය වේගවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. මාතර ‍ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු මුදල් කෞතුකාගාරය විවෘත කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය. adaderana

55න් විශ්‍රාම යැවීම අසාධාරණයි


රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 55 න් විශ්‍රාම යැවීම සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලංකාවේ රජකම් කළ රජවරු දීර්ඝ කාලයක් රට පාලනය කළ ද අද ජනතාව එතරම් සෞඛ්‍ය සම්පන්න නොවීම කණගාටුවට කරුණක් බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා කියා සිටියි. adaderana

තැලසීමියා නිවාරණ මස ඇරඹේ


ජාතික තැලසීමියා නිවාරණ මාසය අදින් ආරම්භ වේ. ජුනි 8 දක්වා මාසයක කාලය තුළ තැලසීමියා රෝග නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක වන බව ජාතික තැලසීමියා මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගය බහුලව වාර්තා වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වල සිසුන් මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. අදට යෙදෙන ජ‍ාත්‍යන්තර තැලසීමියා දිනය ද මීට සමගාමීව සැමරීමට කටයුතු යොදා ඇති බව ද ජාතික තැලසීමියා මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. adaderana

ශ්‍රී ලංකාව සුපිරි 08 පළමු ජය ලබයි


20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ මුහුණදුන් ප්‍රථම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 3 ක් දැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත්විය.
දර්ශනීය පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 98 ක් ලබාගත්තේය. කුමාර් සංගක්කාර ලකුණු 68 ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණි. තරගයේ වීරයා මහේල ජයවර්ධනය. adaderana

Wednesday, May 5, 2010

ආචාර්ය මර්වින් ජනමාධ්‍යයෙන් එළියට ඇද මහපාරට දමයි


මෙවර ඇමැති ධූර ලබාදීමේදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය ලබා ගත් ආචාර්ය මර්වින් සිල්වා මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුට මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ධූරය ලබා දී ඇත. මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (05)පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහාමාර්ග ඇමැතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. මේ අනුව මහා මාර්ග අමාත්‍යංශයේ ඇමැති ධූරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හෙබවනු ලබන අතර, එහි නියෝජ්‍ය ඇමැති ධූරය හොබවන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතායි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස වැඩ භාර ගත්තේ ජනමාධය නියෝජ්‍ය ඇමැති ධූරයට අමතරව බවයි. නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතා අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි. නමුත් මර්වින් සිල්වා මහතා ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ජාතික රූපවාහිනීයට කඩාවැදී ඇරඹූ මාධ්‍ය මර්දනය හා අවස්ථා ගණනකදී සිරස ඇතුළු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් රැසකට පහරදීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් විවිධ අංශවලින් රජයට නොයෙක් චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අවසානයේ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍යයෙන් ඉවත්ව මහාමාර්ගයට ගොඩවීමට සිදු වී ඇත.

ජනපති ආරක්ෂකයින් පහරදී ඩේලි මිරර් මාධ්‍යවේදියා රෝහලේ


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම පිළිකා රෝහලේ අද පැවැති උත්සවයක් වාර්තා කිරීමට ගිය ඩේලි මිරර් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන සදුන් ජයසේකර මහතාට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පහරදීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.
සදුන් ජයසේකර මහතා මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ‍ඔහු ඩේලි මිරර් පුවත් පතේ ජනාධිපතිවරයාගේ කටයුතු ආවරණය කිරීම සදහා වෙන්කර ඇති මාධ්‍යවේදියාය. ඔහු අද පැවැති උත්සවය වාර්තා කිරීමට ගිය මොහොතේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔහුට උත්සව භූමියට ඇතුළුවීමට ඉඩදී නොමැති අතර එහිදී සිදුවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහුට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පහරදී තිබේ.
එම පහරදීම හේතුවේන ඒ මහතාගේ බෙල්ල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට සහෝදර මාධ්‍යවේදීන් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ලෝක ජනමාධ්‍ය දිනය පසුවී දින දෙකක් ඉක්ම යන්නට මත්තෙන් ජනාධිපති ආරක්ෂකයින් විසින්ම මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ට පහරදීම කණගාටුවට කරුණකි.lanka truth

ජනරාල්ට එරෙහිවීමේ ප්‍රතිපල ලෙස කෝන්ගහගේ රූපවාහිනී මහ පුටුවට


ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ධූරයට සරත් කෝන්ගහගේ මහතා පත් කිරීමට ජනමාධ්‍ය ඇමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. නව සභාපතිවරයා ලෙස සරත් කෝන්ගහගේ මහතා හෙට (06) නව සභාපතිවරයා ලෙස වැඩභාරගැනීමට නියමිතය.
පසුගිය ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සරත් කෝන්ගහගේ මහතා නාම යෝජනා භාරදීමේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට විරෝධය පළ කළේය. ඒ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියෙකු බවට චෝදනා කරමිනි. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම විරෝධය ප්‍රතික්ෂේප කළ අතර, ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙ පිළිගත්තේය.
මෙයින් නොනැවතුණු සරත් කෝන්ගහගේ මහතා "මම සරත් වෙමි" යනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට අපහාස වන අන්දමේ විවිධ දැන්වීම් පළ කළ අතර, මෙයින් ඔහු සිය ජනාධිපතිවරණ ප්‍රචාරයක් සිදු නොකළ අතර, දිගින් දිගටම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස කරමින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීය.
මෙම විරෝධයේ ප්‍රතිපල ලෙස ජනමාධ්‍ය ඇමැති ලෙස ජනාධිපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සරත් කෝන්ගහගේ මහතා පත් කෙරිණි. පසුගිය කාලයේදී රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආරියරත්න ඇතුගල මහතා රජයට පක්ෂව හා විපක්ෂය නිර්දය ලෙස විවේදනය කරමින් කටයුකු කළ බවට චෝදනා එල්ල වූ අතර, ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වූ සරත් කෝන්ගහගේ මහතාගෙන් මීට වඩා යහපත් තත්ත්වයක් අපේක්ෂා කළ ‍නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රූපවාහිනී සංස්ථා සේවකයේ පැවසූහ. lanka truth

හමුදාව කතානායකගේ නියෝග කඩයි - ජනරාල් උපවාසයේ


ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවන දිනවල යුද අධිකරණ නොපවත්වන ලෙස දන්වා හමුදාපතිවරයාට ලිපියක් යොමුකරන බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද අද දින පාර්ලිමේන්තුවට සහභාගී‍වේ අවස්ථාව අහිමි කරමින් හා කතානායක ඉල්ලීම නොසලකාහරිමින් යුධ අධිකරණය කැඳවීමට යුධ හමුදාව තීරණය කර ඇත. මේ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩකර ඇති හමුදාව, කතානායකවරයාගේ නියෝගයට පිටින්ද කටයුතු කර ඇත.
ඊයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්ත්වේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පවසා සිටියේ පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී යුධ අධිකරණය කැඳවීම හේතුවෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවයි. මෙහිදී කතානායකවරයා පාපැවසුවේ මින් ඉදිරියට කතානායකවරයා පැවසුවේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය පිළිගන්නා අතර, මින් ඉදිරියට පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හි යුද අධිකරණය කැදවීමෙන් වළකින ලෙස හමුදාපතිවරයාට දැනුම්දීමට තමා කටයුතු කරන බවයි.
තත්ත්වය මෙසේ තිබියදී අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගීවීමට ඉඩ ලබානොදී යුධ හමුදාව විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට කැඳවාගෙන යාමට හමුදාව කටයුතු කර ඇති අතර, මෙම තත්ත්වයට විරෝධය දක්වමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට උපවාසයක නිරතව ඇත. lanka truth

ඖෂධ සංස්‌ථාවේ රුපියල් කෝටි 13 ක මුදල් වංචාවක්


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව විසින් එම සංස්‌ථාවේ නිෂ්පාදිත බෙහෙත් වර්ග දහතුනක්‌ වෛද්‍ය සැපැයීම් අංශය වෙත නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීමෙන් රුපියල් දහතුන් කෝටි තිස්‌හය ලක්‍ෂ පනස්‌ එක්‌දහස්‌ හැට අටයි ශත විසි හතරක විශාල මුදල් වංචාවක්‌ සිදු කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සංස්‌ථා ආරංචි මාර්ග පවසයි. මෙම වර්ෂය සඳහා රජයේ රෝහල්වලට සැපැයීමට මෙම බෙහෙත් වර්ග වෛද්‍ය සැපැයීම් අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සංස්‌ථාවෙන් මිලදී ගෙන තිබේ. මෙසේ නියමිත මිලට වඩා වැඩි මිලකට රජයේ ආයතනයක්‌ වන වෛද්‍ය සැපැයීමේ අංශය වෙත බෙහෙත් වර්ග අලෙවි කිරීමෙන් දේශීය සැපැයුම්කරුවෙකු වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථා පාලන අධිකාරිය විසින් රජයට විශාල මුදල් වංචාවක්‌ සිදු කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙරද පෙන්වා දී තිබිණි.
මෙසේ නියමිත මිලට වඩා වැඩි මිලකට අළෙවි කරන ලද බෙහෙත් වර්ග වනුයේ ඇමොක්‌සිසිලින් කරල් මිලිග්‍රෑම් 250, ක්‌ලොක්‌ස්‌සිලිනිල කරල්, එරිත්‍රොමයිසීන් පෙති, පැරසිටමෝල් පෙති, මෙට්‌ෆෝමින් පෙති, ප්‍රෙඩ්නිසලොන් පෙති, ඩිල්ටියසම් පෙති, වේරපමිල් පෙති, ඩයික්‌ලොෆෙනක්‌ පෙති, කාබමෙසෆින් පෙති, බෙන්ස්‌හෙක්‌සෝල් පෙති, සැලිබියුටමෝල් පෙති) (මිලි ග්‍රෑම් 2 හා4) යනාදියයි.
මෙසේ වැඩි මිලකට බෙහෙත් වර්ග වෛද්‍ය සැපැයීම් අංශය වෙත සපයමින් ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව අධික ලාභයක්‌ ඉපයීමට සමත් වූ බව පෙන්වමින් ඒ හරහා පාලන අධිකාරියේ වරප්‍රසාද වැඩි කර ගැනීමටත්, අධික සේවක පිරිස්‌ බඳවා ගනිමින් දේශපාලන පත්වීම් රැසක්‌ ලබා දීමටත් ක්‍රියා කර ඇතැයි වෘත්තීය සමිති පවසයි.lankatruth

ගෑස් මිලේ තීරණය අද


ගෑස් මිල සංශෝධනය පිළිබද තීරණය පාරිභෝගික අධිකාරිය විසින් අද (05) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වෙළද අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙවර ෂෙල් සහ ලාෆ්ස් ගෑස් මිල වැඩිවීමක් සිදුවීමට නියමිතය.
මෙවර ෂෙල් සමාගම රුපියල් 215කින් සහ ලාෆ්ස් ගෑස් සමාගම රුපියල් 350 කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් සිදුවන මෙවර මිල සංශෝධනය පිළිබද තීරනය පසුගිය මැයි 1 වනදා සිට ක්‍රියාත්මක විය යුතුව තිබුණද ‍වෙළද අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය එම මිල තීරණය කිරීම දින කිහිපයකට කල් දැමීය. ඒ අනුව එම තීරණය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය. lanka truth

ජෙනරාල් පාර්ලිමේන්තුවේ සිටියදී යුද අධිකරණයට ගෙනයාමේ තැත වරදී


අද පස්වරු 1.00ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ යුද අධිකරණය වෙත තමා රැගෙන යාමට යුද හමුදා නිලධාරීන් කටයුතු කිරීමෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කළේය.
හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ වරප‍්‍රසාද ප‍්‍රශ්නය කතානායකවරයා වෙත යොමු කළ මන්ත‍්‍රීවරයා පැවසුවේ තමන් අද දින විශේෂ ප‍්‍රකාශයක් කරන බැවින් පාර්ලිමේන්තු කටයුතු අවසාන වන තෙක් පාර්ලිමේන්තුවේ රැදී සිටීමට ඉඩකඩ සලසා දෙන ලෙසයි.
එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ මේ පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ජෙනරාල් සරත් ෆොන‍්සේකා මහතා මේවන විටත් පාර්ලිමේන්තුව තුළ රැදී සිටී.lankatruth

එක්නැලි‍ගොඩ අතුරුදහන්කර දින 100යි, විමර්ශණ ප්‍රතිඵල කෝ? - මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ


මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට දින 100ක් පිරීම නිමිති කොට ගෙන මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද විරෝධතාවයක නිරත විය. අද දහවල් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි. ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වී දින 100ක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ දිනෙන් දින ප්‍රමාද කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ඒ සදහා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සහ ඔහුගේ දරුවන් දෙදෙනා ද උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ මර්දනයට එරෙහි මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත මහතා "මාධ්‍යවේදී එක්නැළිගොඩ මහතා අතුරුදහන් කර අදට දින 100 යක් ගත වෙනවා. නමුත් ආණ්ඩුවට මේ වන තෙක් ඔහු පිළිබද කිසිදු කිසිදු තොරතුරක් රටට ඉදිරිපත් කර නැහැ. පරික්‍ෂණ කටයුතු දවසින් දවස මග හරිමින් විමර්ශන කටයුතු ප‍්‍රමාද කරනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්නැළිගොඩ මහතා සම්බන්ධයෙන් ගෙන යන විමර්ශන කටයුතු ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශාල වගකීමක් තිබෙනවා. නමුත් කිසිදෙයක් වෙලා නැහැ. එක්නැළිගොඩගේ අතුරුදහන් වීමයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් තියෙනවා." යැයි ප්‍රකාශ කළේය.
මෙම උද්ඝෝෂණයේදී එක්නැලිගොඩ මහතාගේ වැඩිමල් පුත් සංජය එක්නැලිගොඩ සිසුවාද අදහස් දැක්වූයේය. " මගේ තාත්තා පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කර තිබෙනවා. එසේ කළේ ආණ්ඩුව නොවේ නම් ඒ ගැන සොයා බලා අපට කියන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. නමුත් ආණ්ඩුව අද ඒ වගකීම පැහැර හැරලා.
ආණ්ඩුව අපට කළේ ලොකු අසාධාරණයක්. මම ආණඩුවෙන් ඉල්ලා සිටිනවා මගේ තාත්තා මට මුණ ගස්වන්න කියා. අපට කළ දේ මේ රටේ අනෙක් දරුවන්ට නම් කරන්න එපා. " යැයි සංජය සිසුවා එහිදී පැවසීය. lankatruth

පාර්ලිමේන්තු දිනවල යුද අධිකරණ එපා - කතානායක හමුදාපතිට දන්වයි


ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවන දිනවල යුද අධිකරණ නොකැදවන ලෙස දන්වා හමුදාපතිවරයාට ලිපියක් යොමුකරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කතානායක චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
ජෙනරාල්වරයා පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුව රැස්වන දිනවල යුද අධිකරණය කැදවීම හේතුවෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවන බවයි.
එහිදී වරප්‍රසාද ප්‍රශ්නය පිළිගත් කතානායකවරයා පැවසුවේ මින් ඉදිරියට පාර්ලිමේන්තුව රුස්වන දිනයන්හි යුද අධිකරණය කැදවීමෙන් වළකින ලෙස හමුදාපතිවරයාට දැනුම්දීමට තමා කටයුතු කරන බවයි.lanka truth

කුරුණෑගල පිපිරීමට හේතුව පොළව අභ්‍යන්තරයේ පිපුරුමක් නොවෙයි


පසුගිය දිනවල කුරුණෑගල මහව ප්‍රදේශයේ ගල් තලාවක සිදුවූ පිපිරීම් පොළව අභ්‍යන්තරයේ සිදුවූ පිපුරුම් හේතුවෙන් සිදුවූවක් නොවන බව භූ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ එය ගල් තලාව රත්වීම හේතුවෙන් මතුපිට ස්ථරය ප්‍රසාරණය වීමත් එයට සාපේක්ෂව පාෂාණයේ පහල කොටස්වල උෂ්ණත්වය අඩු වීමත් නිසා සිදුවන ප්‍රසාරණය හේතුවෙන් සිදුව ඇති බවයි.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් පාෂාණයේ ස්ථර ගැලවීමත්, කුඩා පැලුම් ඇතිවීමත් දැකිය හැකිය. පාෂාණයේ පැලුම් ඇතිවීමේදී කුඩා පිපුරුම් හඩවල් ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි. තවද ඇතැම් විට පරිසරයේ සිදුවන සිසිල්වීම නිසා පාෂාණයේ මතුපිට ස්ථරයේ සිදුවන සංකෝචනය නිසාද මේ ආකාරයටම පැලුම් සහ පාෂාණ කුට්ටි ගැලවීමක් සිදුවිය හැකි බව භූ විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි.lanka truth