Tuesday, June 22, 2010

කිරි නිපැයුම නංවන්නැයි ජනපතිගෙන් උපදෙස්


දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස පශු සම්පත් අමාත්‍යාංශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ. ජාත්‍යන්තරයේ උච්චාවචනය වන කිරිපිටි මිල හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති දේශීය පාරිභෝගිකයා රැකගැනීම මෙමගින් හැකිවන බව ඔහු පවසයි. පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

දැනට දේශීය කිරිපිටි අවශ්‍යතාවයෙන් 75% කට ආසන්න ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරනු ලබන අතර ජාත්‍යන්තර සමාගම් විටින් විට කිරිපිටි මිල ඉහළ දැමීම දේශීය පාරිභෝගිකයාට අහිතකර ලෙස බලපාන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. එම නිසා මෙටර ජනතාව දියර කිරි පරිභෝජනයට නැඹුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන‍ ලෙසත් කිරි ගොවියා දිරිගැන්වීම සඳහා දියර කිරි ලීටරයක මිල අවම වශයෙන් 6% කින් වැඩි කිරීමට පියවර ගන්න‍ා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පශු සම්පත් අමාත්‍යාංශයේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ක‍ළේය. adaderana

0 comments:

Post a Comment