Friday, February 12, 2010

සංවේදී යැයි කියාගත් උදවිය රටේ වත්මන් තත්වයට සංවේදී නැත්තේ ඇයි - කලාකරුවෝ ප්‍රශ්න කරති



පසුගිය සමයේ සංවේදීකම වෙනුවෙන් පෙනීසිටි පිරිස් මේවන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය අභියෝගයට ලක්කරමින් සිදුවෙමින් තිබෙන ක්‍රියාවලියට සංවේදී නොවන්නේ මන්දැයි ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය පළ කරන කලාකරුවන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ රටේ සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට විරෝධ්‍ය පළ කරමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මාධ්‍ය හමුවේදී කලාකරුවන් දැක්වූ අදහස් පහත දැක්වේ
වසන්ත මොරගොඩ
අපි කලාකරුවන් ලෙස පසුගිය මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, යහපාලනය වෙනුවෙන් පෙනී සිටියා. අපි අදත් ඒ අරමුණු වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයක ජයග්‍රහණය සහ පරාජය ඒ ඒ පාර්ශ්ව පිළිගන්නවා. නමුත් අද සිදුවෙමින් තිබෙන්නේ ඒ ප්‍රතිඵලය පිළිගත නොහැකි තත්වයක්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නවා, මාධ්‍ය ආයතන සීල් තබනවා. සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා. මේවා සංවේදී හදවතක් තියන කලාකරුවන්ට අනුමත කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන්, නිර්මාණ කරුවන් මේ මර්ධනයට එරෙහිව මීට වඩා පෙරට ආ යුතුයි. සංවේදීකම වෙනුවෙන් පෙනී සිටි පිරිස් මේ කාරණයේදී සංවේදී වියයුතුයි. කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් යුද වීරයා නිදහස් කර ගැනීම සදහා සියලු දෙනා පක්ෂ පාට නොබලා පෙරට ආ යුතුයි.
කිංස්ලි ලෝස්
අවුරුදු 36ක් පමණ ජනතාවත් සමග සිටි කලාකරුවෙක් ලෙස මම ජනාධිපතිවරයාට අභියෝගයක් කරන්න කැමතියි. මේ සිදුවන දේ එතරම් හොද දෙයක් නොවෙයි. ජනාධිපතිවරයා දිනෙන් දින ජනතාවගේ කෝපයට, වෛරයට බදුන් වෙමින් තිබෙනවා. ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ චෝදනා තියනවා කියා නමුත් තවම ඒවා ඔප්පුකර නැහැ. එතුමාට විරුද්ධව චෝදනා තිබුණානම් අධිකරණය හරහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න තිබුණා.
දැන් ජනතාවගේ පිළිකුළට භාජනයවූ දේශපාලකයින් රජයේ රූපවාහිනී නාලිකාවලට ඇවිල්ලා ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීම සාධාරණය කරන්න අහගෙන ඉන්න බැරි ප්‍රකාශ කරනවා. ඊයේ එක් දේශපාලකයෙක් කිවුවා "මේ යකා කාලකන්නියා" කියලා. මේ විදිහට අපහස කරන්නේ එතුමාට එරෙහි චෝදනා එකක්වත් ඔප්පුවෙලා නැති තත්වයක් තුළ. ශිෂ්ඨ සම්පන්න ජනතාවක් ජීවත්වන අප රටේ මෙවැනි අශිෂ්ඨ ප්‍රකාශ අනුමත කරන්න බැහැ. රජය වෙනුවෙන් මේ අත්අඩංගුවට ගැනීම ගැන ජනතාවට අහගෙන ඉන්න පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න අයෙක් නැහැ. දෙවියන් වහන්සේට අනුව හැම ක්‍රියාවක්ම උන්වහන්සේගේ විනිශ්චයට භාජනය වනවා. එම නිසා මේ ක්‍රියාව සම්බන්ධයෙනුත් උන්වහන්සේගේ තීරණය ලගදීම ලබාදෙයි.
සේපාල අමරසිංහ
එදා අපට එරෙහිවූ කලාකරුවන්ට, හිතවතුන්ට දැන් සත්‍ය වැටහිලා. අපි නියෝජනය කළ මතය නිවැරදි බව ඔවුන් දැන් අපට පවසනවා. අද සියලුදෙනාට ජීවත්වන්න සිදුව ඇත්තේ විශාල අභියෝගයක් මැද, ඊයේ සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ සංගයාවහන්සේට සැලකූ ආකාරය අප සියලු දෙනා දැක්කා. මේ තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අප කිසිවෙකුටත් මේ රටේ ජීවත්විය නොහැකි තත්වයක් ඇතිවනවා.
කණගාටුවට කාරණයක් තියනවා මේවන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හිරේ ඉද්දී ඒ මහතාට සහය පළකළ පක්ෂවල මන්ත්‍රීවරුන් මහ මැතිවරණය වෙනුවෙන් පෝස්ටර් ගහනවා. ඔවුන් කිසිවෙක් ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කර නැහැ. දේශපාලනය කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව දේශපලානය කියන්නේ වහලක් නැති ගෙයක් වගෙයි. මෙම තත්වය යටතේ අපි කලාකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට හිස නමා අාචාර කරනවා. ඔවුන් පමණයි ජෙනරාල් ෆොන්සේකාගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව අනවරත අරගලයක නිරතව සිටින්නේ.
චන්ද්‍රසෝම බිංදුහේවා -
කොතරම් විශාල මර්ධනයක් තිබුණත් අපට නිහඩව සිටින්න බැහැ. මොකද අප සැබෑම කලාකරුවන් නිසා. නමුත් අද රට පත්ව ඇති තත්වයට ගෙන ඒමේ මුල සිටියේ කලාකරුවෝ කොටසක් ඒක කණගාටුවට කාරණයක්, ඔවුන්ගෙන් ඇතැම් අය කලාකරුවෙකුට කරන්න බැරි ආකාරයේ ප්‍රකාශත් කළා. ජෙනරාල්ගේ අහේ ඉදන් පට්ට ගහන්න ඕන කියලත් ඇතැම් අය කිවුවා. දැන් අපට වැටහෙන ආකාරයට නම් එම ප්‍රකාශ වල බරපතල කම අනුව ඔවුන්ට ආණ්ඩුවේ ලැබෙන තනතුර තීරණය වුවා වියයුතුයි.truth

0 comments:

Post a Comment