Sunday, June 6, 2010

Chandrika


රජයට බැරිවුනත් අපි රණවිරුවන් සමරනවා -අනෝමා


මෙම මස 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන මාස 04ක් ගතවීම හා සියළුම රණවිරුවන් වෙනුවෙන් රණවිරු සැමරුමක් පවත්වන බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨය ඉදිරිපිට ඒ වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඒ මහත්මිය සඳහන් කළාය.

එම අවස්ථාවට සහභාගි වන ලෙස ෆොන්සේකා මහත්මිය සියළුදෙනා වෙත ඇරයුම් කර සිටියි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මේ බව සඳහන් කළාය. අයහපත් කාලගුණික තත්ත්වය නිසා රජය විසින් සංවිධානය කරන ලද රණවිරු සතිය පැවැත්වීමට නොහැකි වූ බව ෆොන්සේකා මහත්මිය පෙන්වාදෙයි. adaderana

දිගටම පැරදෙද්දි ප්‍රශ්න ඇතිවෙනවා -දයාසිරි


පක්ෂයක් දිගින් දිගටම පරාජය වීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇති වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද අතීතයේ දී මෙවැනි ගැටලු පැවති බව ඔහු පෙන්වාදෙයි.

පඩුවස්නුවර, හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. මාධ්‍ය විසින් පක්ෂවල නැති අර්බුද මවා පෑමට උත්සාහ කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අවිස්සාවේල්ලේ රිය අනතුරකින් 15කට තුවාලයි


අවිස්සාවේල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ සුදුවැල්ල ඇඟළුම් කර්මාන්තශාලාව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද උදෑසන 6.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය. රියදුරු‍ට බස්රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොස්ගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. adaderana

ජනප්‍රිය පාසල් ලෙස බෙදීමක් නෑ -බන්දුල


ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන ආකාරයට රටේ පාසල්වල බෙදීම් තිබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙරට තිබිය හැක්කේ ප්‍රාථමික සහ ද්විතීයික ලෙස වර්ගීකරණය වූ පාසල් පමණක් බව ඔහු පෙන්වාදෙයි.
පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. හොඳ සහ නරක ලෙස පාසල් වර්ගීකරණය කිරිම තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය. adaderana

සංචාරකයින්ගේ ආරක්ෂාවට විශේෂ වැඩ පිළිවෙළක්


වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සඳහා වි‍ශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පසුගිය දිනවල වනජීවී නිලධාරීන් සංචාරකයින් අතර ගැටුම් ඇතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණෙන සෑම සංචාරක කණ්ඩායමක් සමගම එක් වනජීවී නිලධාරියෙකු යෙදවීමට නියමිතය. මීට අමතරව වනෝද්‍යාන ආවරණය වන පරිදි දිනපතා මුර සංචාර ක්‍රියාත්මක කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. adaderana

රෝගීන් බලන මුවාවෙන් සොරකමේ යෙදුණු කාන්තාවක් අල්ලයි


නේවාසික රෝගීන් බැලී‍මට පැමිණෙන මුවාවෙන් විවිධ රෝහල්වල රෝගීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මුදල් සහ වෙනත් භාණ්ඩ සොරකමේ යෙදුනු කාන්තාවක මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ කොට්ඨාශයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු අදාළ කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක බව වාර්තා වේ. අදාළ කාන්තාව, රෝහල් අසල කුලී නිවාසවල නවාතැන් ගනිමින් මෙම සොරකම්වල කාලයක සිට නිරතව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. adaderana

උතුරේ ධීවර කටයුතු පාරම්පරික ධීවරයින්ට


උතුරු නැගෙනහිර පළාත්වල ධීවර කටයුතු සඳහා එහි සිටින පාරම්පරික ධීවරයින්ට අවස්ථාව ලබාදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දෙමළ, සිංහල, මුස්ලිම් ජාතීන්ට අයත් පාරම්පරික ධීවරයින් රැසක් උතුරු නැගෙනහිර පළාත්වල සිටින බව ඔහු පෙන්වාදෙයි. ඔවුන්ගේ ධීවර කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උදව් උපකාර ඇතුළු සියලු අනුග්‍රහයන් දැක්වීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

යුද්ධ‍ය පැවති කාලසීමාව තුළ ධීවර කටයුතු සිදුකිරීමට නොහැකි වූ මෙම ධීවර ජනතාවගේ අනාගත සුභසිද්ධිය උදෙසා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට බලාපොරොත්තු වන බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ජී. එල් හා ෆොක්ස් හමුවෙයි


විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හා බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයේ නව වන ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වී සිටින අතරතුර මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සහ හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජී. එල්. පීරිස් අමාත්‍යවරයා මෙහිදී ලියම් ෆොක්ස් මහතා දැනුවත් කර තිබේ. ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ‍ෙමහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා පවසා ඇත. මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදාපතිවරයා සහ යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වී ඇත. adaderana

අපක්ෂපාති පරීක්ෂණයකට ජයලත්ගෙන් ඉල්ලීමක්


ගංවතුර සහනාධාර බෙදාහැරීමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය සමයේ ඇතිවූ ජලගැලීම් තත්ත්වයේ දී පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ල‍බාදීමට ඉදිරිපත් වීම පිළිබඳ තම ස්තූතිය පළ කරන බව එම වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අද්නන් ඛාන් මහතා වෙත ලිපියක් යොමු කරන ජයලත් ජයවර්ධන මහතා පවසයි.

එහෙත් අදාළ ආහාර ද්‍රව්‍ය ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ ජාඇල ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාශවල බෙදාහැරී‍මේ දී අක්‍රමිකතා සිදුවී ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව ජයවර්ධන මහතා පෙන්‍වා දෙයි. මේ හේතුවෙන් ඒ සම්බන්ධව ලෝක ආහාර වැඩසටහනේ මැදිහත්වීම යටතේ පරීක්ෂණයක් පවත්වන ලෙස ජයලත් ජයවර්ධන මහතා ඉල්ලා ඇත. adaderana

නිදන් හොරු දෙදෙනෙක් අල්ලයි


නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනකු හපුතලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නිකපොත, හබරලපෙට්ටිවත්ත ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව හපුතලේ පොලිසිය පවසයි.

අයිෆා හරහා කාදර් ආණ්ඩුවට?


අයිෆා සම්මාන උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බොලිවුඩ් තරු අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවිය. මෙම හමුවට බොලිවුඩ් තරු මෙන්ම ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වූ බව සඳහන්ය. එමෙන්ම මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය හා ජැක්සන් ඇන්තනි වැනි ප්‍රවීන ශ්‍රී ලාංකීය නළු නිළියන් ද ඒ සඳහා සහභාගි වී තිබේ.

එමෙන්ම එම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා සහභාගි වී සිටීම විශේෂත්වයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයක් මත එම අවස්ථාවට සහභාගි වූ බව එහිදී අබ්දුල් කාදර් මහතා සඳහන් කර ඇත. එම සුහද හමුව සඳහා තමාගේ සහභාගිවීමම තමන් ආණ්ඩුවට එක්වූ බව‍ පෙන්නුම් කරන බව මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත. adaderana

ප්‍රමිතියක් ඇතිව පාරවල් හැදිය යුතුයි -මර්වින්


මහාමාර්ග ඉදිකිරීමේ දී මින් ඉදිරියට නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කළ යුතු බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස මාර්ග ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම මාර්ග ඉදිකිරීමේ දී අදාළ කාලසීමාව තුළ එහි කටයුතු නිමකිරීමට ද අදාළ අංශ වගබලා ගත යුතු බව මර්වින් සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.adaderana

වස බී කොස්තාපල්වරයෙක් මි‍යයයි


වස පානය කිරීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මි‍යගොස් තිබේ. පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ මහකුඹුක්කඩවල, නවදන්කුලම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුගිය ‍දෙවැනිදා සිය නිව‍සේදී වස පානය කර ඇති මෙම පොලිස් කොස්තාපල්වරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ දී මිය‍ගොස් ඇත. පුද්ගලික හේතුවක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා වසපානය කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි. adaderana

කැන්ඩා ‍යුන් ලංකාවට


එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කැන්ඩා ‍යුන් කෙල්ලා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම් වේ. ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ඔහු මෙරට රැදී සිටීමට නියමිතය. සංචාරය අතරතුර ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය පවසයි. ඊට අමතරව ඔහු විදේශ අමාත්‍යවරයා, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරුන් හමුවීමට නියමිතය. ලබන 9 වැනිදා ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කෙරෙන සම්මන්ත්‍රණයක දී 21 වන සියවසේ කර්මාන්ත සංවර්ධන අභියෝග යන මැයෙන් වන දේශනයක් ද එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවත්වනු ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඔහු බංග්ලාදේශයේ සහ ජපානයේ ද සංචාරය කිරීමට නියමිතව ඇත. adaderana

Tuesday, June 1, 2010

Police Cookery Lessons

තරු රැගෙන කොළඹට එන්නට. . .


කොළඹ නගරය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වන නව දුම්රිය සේවය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම සති අන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට සඳහා සහභාගි වන කීර්තිමත් අමුත්තන්ගේ ගමනාගමන පහසුව සඳහා මෙම විශේෂ සේවාව දියත් කර ඇත.adaderana

සුරාව ගැන ප්‍රශ්න පමණක් කියන්න


සෞඛ්‍ය අමාත්‍යාංශය අද සිට හඳුන්වාදී ඇති නව දුරකථන සේවාව වෙත යොමු කළ හැක්කේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය පිළිබඳ ගැටලු පමණක් බව එම අමාත්‍යංශය අවධාරණය කරයි. අදාළ දුරකථන සේවාව නම් කර ඇත්තේ"දුම්කොළ හා මධ්‍යසාර නිවාරණ උපදේශන ඇමතුම් සේවාව"නමිනි.

ඒ අනුව අංක"1948"ඔස්සේ දුම්කොළ හා මධ්‍යසාර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවේ. මෙම දුරකථන සේවාවට වෙනත් සෞඛ්‍ය ගැටලු යොමු ‍නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරියේදී මෙම සේවාව පොලිසිය සහ සුරාබදු‍ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් වඩාත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. adaderana

ජයලත් සීපා හි කෙටුම්පතක් ඉල්ලයි


ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන"සීපා"ගිවිසුමේ කෙටුම්පතක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. යෝජිත"සීපා"ගිවිසුම පිළිබඳ ශ්‍රි ලංකා රජය විසින් මෙතෙක් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව එම ලිපිය මගින් ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ජනතාව තුළ මතුව ඇති සැකය දුරුකිරීම සඳහා ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් වීම අවශ්‍ය බව ජයලත් ජයවර්ධන මහතා පවසයි. අවශ්‍යතාවක් පවතින්නේ නම් යෝජිත"සීපා"ගිවිසුමේ කෙටුම්පතක් ලබාදීමට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එකඟ වු බව ද ජයලත් ජයවර්ධන මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. adaderana

ආනයනික වාහන බද්ද 50 % න් පහලට


ආනයනික වාහන සඳහා මෙතෙක් අය කළ රේගු බදු ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි 50% න් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අතරම අනෙකුත් භාණ්ඩ සඳහා පනවා තිබූ 15% ක් වූ අධි බද්ද ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශයේ බලධාරියෙක් අප කළ විමසීමකදී කියා සිටියේය. adaderana

ලංකාව ගැන කියන්න කොමසාරිස්වරියට අයිතියක් නෑ -ජී. එල්


ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි. මානුෂීය මෙහෙයුම සමයේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර කමි‍ටුවක් පත් කළ යුතු බවට නවනීදම් පිල්ලේ මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ඔහු එම අදහස් පළ ක‍ළේය.

ජි.එස්.පී.ප්ලස් බදු සහනය ලැබීමේ අවසන් තීරණය සම්බන්ධයෙන් මෙතක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද ජි.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඔහු පෙන්වා දෙයි. එම සාකච්ඡාවල ප්‍රගතියක් දැකිය හැකි බව ද ජි.එල්.පීරිස් මහතා පවසයි. ජි.එස්.පි. ප්ලස් බදු සහනය ලබාදීම පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණය අගෝස්තු මස 15 වැනිදා නිකුත් වනු ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේය. adaderana

රිතේෂ්, විවේක් හා ලාරා ලංකාවට


බොලිවුඩයේ සුපිරි නළු නිළියන් වන විවේක් ඔබරෝයි, රිතේෂ් දේශ්මුඛ් සහ ලාරා දත්තා ජූනි මස 3 -5 කාලය තුළ පැවැත්වෙන IIFA සිනමා සම්මාන උළෙලට සහභාගි වීම සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 11 වන වරට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම IIFA සිනමා සම්මාන උළෙලට සහභාගි වීම සඳහා නළු නිළියන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. adaderana

රියදුරාගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක්


කළුතර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය තිස් වන දින කළුතර පලාතොට මාර්ගයේ බෝගහ හංදිය අසලදී මෙම ත්‍රිරෝද රථ රියදුරා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කළුතර පොලිසිය ඝාතනය හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනය හා සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. adaderana

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් ද. මෙක්සිකෝවෙන් හමුවෙයි


ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඇතුළු නීති විරෝධී සංක්‍රමණිකයන් 60 දෙනෙකු දකුණු මෙක්සිකෝවේ චියාපාස්හි ට්‍රක් රථයක් තුළ සිරව සිටියදී එරට පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම පිරිස ඒ වනවිට විජලන තත්ත්වයෙන් ද පෙළෙමින් සිට ඇත. මෙම සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව, මධ්‍යම අමෙරිකාව හා ඉන්දීය ජාතිකයින් ද වන අතර ඔවුන් මෙක්සිකානු සමාජ ආරක්ෂක ආයතනයේ ලාංඡනය සහිත ට්‍රක් රථයක නැගී මෙසේ නීති විරෝධී අයුරින් සංචාරය කර ඇත.

එම ට්‍රක් රථය තුළ එසේ මිනිසුන් ගමන් ගැනීම සඳහා සුදුසු වාතාශ්‍රයක් පැවතී නොමැත. මෙම සංක්‍රමණිකයන් පිරිස සොයාගෙන ඇත්තේ ටක්ස්ට්ලා ගුවාරේස් නගරයේ පොලිස් මුරපොළක සිදුකළ පරීක්ෂණවලදීය. එම ට්‍රක් රථය පසුගිය පෙබරවාරි මාසයේදී මෙක්සිකෝ නගරයේදී සොරකම් කරන ලද රථයක් බවට වාර්තා වී ඇත. මෙම සංක්‍රමණිකයන් පිරිසෙන් 15දෙනෙකු කාන්තාවන් වන අතර එම සියලුම පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. adderana

ගම නඟා සිටුවීම ප්‍රධාන අරමුණයි -නාමල්


ග්‍රාමීය සංවර්ධනය රජයේ ප්‍රධාන අරමුණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා දේශපාලනඥයින් කැපවී කටයුතු කිරීමට කාලය උදා වී ඇති බව ඔහු සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු හඳුනාගැනීමේ හමුවට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. ග්‍රාමීය සංවර්ධනයේදී ග්‍රාම නිලධාරීන්ගෙන් ඉටුවන කාර්යය භාරය ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පහරදීම ගැන හොයන්න කිසිදු පියවරක් ගෙන නෑ -රංගේ


පක්ෂයේ සාමාජිකයෙකු තමාට පහරදීම සම්බන්ධයෙන් මහ‍ ලේකම්වරයා පවසන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. තමා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැනුම් දෙන තෙක් තිස්ස අත්තනායක මහතා එම පහරදුන් මන්ත්‍රිවරයාගෙන් නිදහසට කරුණු විමසීමක්වත් සිදුකර නොතිබු බව ඔහු අවධාරණය කරයි. මේ පිළිබඳව තමා ඊයේ දිනයේ තිස්ස අත්තනායක මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය. adaderana

නීති විරෝධී ධීවරයින් අත්අඩංගුවට


නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ‍ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදාව පවසයි. පසුගිය දින කිහිපය තුළම එවැනි නීති විරෝධි අකාරයට ධීවර කටයුතු සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.

රන් භාණ්ඩ හොරු තිදෙනෙක් රිමාන්ඩ්


කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ වෙළඳ සැලකින් රුපියල් ලක්ෂ 80කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු ලබන දෙවැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් එම වෙළඳසැලේ කළමනාකරු, ඔහුගේ සහෝදරයෙකු සහ තවත් පුද්ගලයෙකු පසුගියදා පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුවන් තිදෙනා ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙම නියෝගය ලබාදී ඇත.

අදාළ වෙළඳසැලේ සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 18ක් පමණ මුදල් සැකකරුවන් විසින් කොල්ල කා ඇති බව මෙහිදි පිටකොටුව පොලිසිය අධිකරණයට සඳහන් කළේය. කොල්ලකන ලද රන් භාණ්ඩ හා මුදල් රක්වාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. adaderana

නීති වි‍රෝධී සම්බාහන ආයතන වටලයි


නීති වි‍රෝධී ආයුර්වේද සම්බාහන ආයතන වැටලීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආයුර්වේද දෙපාර්ත‍මේන්තුව පවසයි. ලියාපදිංචි වී නොමැති අයු‍ර්වේද සම්බාහන ආයතන රැසක් පිළිබඳ මේ වන විට තොරතුරු ලැබී ඇති බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වසර තුළ එවැනි ලියාපදිංචි නොවු සම්බාහන ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළද, මේ වන විටත් අනවසරෙන් පවත්වාගෙන යන සම්බාහන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ මහනුවර ප්‍රදේශයේ එසේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතන 15ක් පමණ වැටලු බව ආයුර්වේද දෙපාර්තමේන්තුව සඳහන් කළේය. adadeerana

යුද අපරාධ චෝදනා යළිත් සලකා බලයි


එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් යුද්ධයේ අවසාන අදියර තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව එක්සත් ජාතීන් යළිත් වරක් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් පශ්චාත් යුද සංහිඳියා කොමිසමක් පත් කර සිදුවීයයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් මෙන්ම එහි ගොදුරු බවට පත්වූවන් සමබන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය සඳහන් කර ඇත.

එසේ වුවද පෙර අත්දැකීම් මෙන්ම අලුත් තොරතුරු පදනම් කර ගනිමින් ජාත්‍යන්තර නිදහස සම්බන්ධයෙන් වගකීම් සහගතභාවය පිළිබඳ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා මහජන විශ්වාසය තහවුරු කිරීමටත් විමර්ශනයක් සිදුකළ යුතු බව වඩා හොඳ බව ඒත්තු ගැන්වීමට බලාපො‍රොත්තු වන බවද ඇය පවසා තිබේ.

ඒ මගින් ශ්‍රී ලංකාවට මෙන්ම වෙනත් රටවලටද විශ්වාසය තහවුරුවන බව මහ කොමසාරිස්වරිය සඳහන් කරයි.

ගැටුම් නිරාකරණය කිරීම සහ නැවත පදිංචි කිරීම් පිළිබඳ තමන්ට යම් තක්සේරුවක් පවතින බවද ඇය ඒ.එෆ්.පී පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. adaderana