Thursday, April 29, 2010

මාධ්‍ය නිදහස සුරැකීමට බිරිඳගෙන් වෙන්ව නිදා ගැනීමට සිදුවී ඇති බව මර්වින් කියයි


තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නිවැරදි බව ඔප්පු වුවහොත් සිය නව ධුරයෙන් ඉල්ලා අස් වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. "මම මාධ්‍යට එරෙහිව කුමන හෝ වරදක් කළ බව ඔප්පු වුණොත් අමාත්‍යංශයෙන් ඉල්ලා අස් වෙනවා" නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ ක‍ළේ නව නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ සංවිධානය කර තිබූ උත්සවයකදීය.
සියලු දුක්ගැනවිලි තමන්ට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා මෙහිදී ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කළේය. මාධ්‍යවේදීන්ගේ පැමිණිලි හා යෝජනා සටහන් කිරීමට විශේෂ කවුළුවක් මාධ්‍ය අමාත්‍යංශයේ විවෘත කිරීමට ද ඔහු ‍පොරොන්දු විය. නමුත් විශාල වැරදි ප්‍රමාණයක් කරන බව කියමින් ඔහු සිය කතාවේදී සිරස මාධ්‍ය ආයතනයට ‍චෝදනා කළේය.
එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදීන්ට ජංගම දුරකතනය හරහා රාත්‍රියේදී වුවත් තමන් සම්බන්ධ කර ගැනීමට පහසු වනු පිණිස සිය බිරිඳගෙන් වෙන්ව නිදාගැනීමට පවා තමා තීරණය කර ඇති බවයි. lankatruth

අධ්‍යාපන කෙත පුරන් කළ බව ආණ්ඩුවම පිළිගනී


පසුගිය රජයේ අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත් මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කරමින් නව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සුභ පතමින් ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසින් අද පැලවත්ත, ඉසුරුපායේ විශාල බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.
මෙම බැනරයේ ප්‍රධාන වැකිය ලෙස දක්වා තිබුණේ "පුරන් වූ අධ්‍යාපන කෙත යලි අස්වැද්දෙන වගයි...!" යනුවෙනි. මෙම බැනරයට අනුව පසුගිය කාලය පුරාවටම නගා සිටවූවා යැයි කියන අධ්‍යාපනය ආණ්ඩුව විසින්ම පුරන් කළ බව පිළිගෙන ඇත. මෙහි විශේෂය වන්නේ මෙම හෙළිකිරීම සිදු කර ඇත්තේ ආණ්ඩු විරෝධී කල්ලියක් නොව, පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිකරවීමටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ගුරු වෘත්තීය සමිතිය වන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසිනි.
මෙහි ඇති අනෙක් විශේෂය වන්නේ මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශය වන ඉසුරුපාය පරිශ්‍රය තුළ වීමයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අධයාපන අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවට හිටපු අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද පැමිණ සිටි අතර, මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ ඔහුද පැමිණි උත්සවයදීවීම තවත් විශේෂයකි.adaderana

රනිල්ගේ පත් කිරීමට එරෙහිව මධ්‍යම පළාතේ එජාප මන්ත්‍රීවරු කැරලි ගසති


මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයාව සිටි වසන්ත අලුවිහාරේ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව කේ.කේ.පියදාස මහතාව එම තනතුරට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ඊයේ රාත්‍රී මහනුවර සංචාරක හෝටලයකදී පැවැති රහසිගත සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලකී ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ගේ ගැත්තන්ට තනතුරු ලබාදීමේ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ පියවර තමන් අනුමත නොකරන බවයි. මේ අතර මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත්, එමෙන්ම විපක්ෂ නායකයා තෝරා පත් කිරීමේ අයිතිය මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමට ලබා දෙන ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කර ගත් බව ද ඔහු පවසයි. මේ අතර මාධ්‍ය‍‍ වෙත අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතා පවසා තිබෙන්නේ තමන්ට හැමදාමත් විපක්ෂයේ සිටිය නොහැකි බවත්, විපක්ෂ නායකයා පත් කිරීමට පෙර මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමේ වගකීමක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවත්ය.lankatruth

දේශපාලනයට ගෙනාවේ නැතිනම් තාමත් අල-ලූණු විකුණනවා


රාජපක්ෂ පරම්පරාව විසින් තමා දේශපාලනයට ගෙන ආවේ නැතිනම් තමා මේ වන විටත් තාත්තගේ කඩේ අල,ලූණු විකුණනමින් සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමා ජනාධිපතිවරයාගේ දෙකකුල් ළඟ වැටී සිටින ඡායා රූපයක් මාධ්‍යවල පළ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය පදවියේ වැඩ භාර ගනිමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මැදමුලන වලව්වට තමන් ඒ කාලයේ යන විට වලව්වේ බංකුවල මිස පුටුවල වාඩි නොවන ලෙස මව්පියන් උගන්වා තිබුණු බවත්,තමන් එකී උපදෙස් අකුරටම පිළිගන්නා බවත්,එසේ කරනුයේ ආගම, දහම හා සදාචාරය පිළිබඳ ගරු කරන බවත් ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයාගේ ළඟ දණින් වැටී නොමැතිව තමන් ඔහුගේ ඔඩොක්කුවේ ඉඳ ගත්තානම් තමන් පිස්සෙක් ලෙස සලකා අංගොඩ යවනු ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.
තමාගේ ජීවිතය නොසලකා මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව ද ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේය. එසේ හෙයින් රාත්‍රී 12.00 ට වුව තමාගේ ජංගම දුරකතනයට මාධ්‍යවේදීන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි බවත්,තමන් මාධ්‍යවේදීන් වෙනුවෙන් කෙතරම් කැප කිරීම් කරනවාද යත් මාධ්‍යවේදීන්ට රාත්‍රීයේ පවා තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකිවන පරිදි තමන් සහ තම බිරිඳ එකම කාමරයේ නිදා නොගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ තුළ කුඩා දරුවකුගේ උපතේ සිට සුසානය දක්වාම සියලු පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ට අභූත චෝදනා එල්ල කරනු ලැබූවද එකී චෝදනා කිසිවෙකුට හෝ ඔප්පු කිරීමට හැකිනම් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය. adaderana

විපක්ෂයේ ප්‍රධාන කතාව ෆොන්සේකාටයි


මීළඟ පාර්මේන්තු සැසියේදී හදිසි අවස්ථාව සම්බන්ධයෙන් ගෙන එන විවාදයේදී විපක්ෂයේ ප්‍රධාන අදහස් දැක්වීම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා පවසයි. එහිදී මානව හිමිකම් කඩවීම්,තමන්ට සිදුවුණු අසාධාරණකම් මෙන්ම ආණ්ඩුවේ අක්‍රමකතාවන් පිළිබඳවද දීර්ඝ වශයෙන් ෆොන්සේකා විසින් කරුණු දක්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.
මැයි මස 04-05-06 යන තෙදින තුළ හදිසි අවස්ථාව පිළිබඳ විවාදය සිදු කෙරේ.. ඉදිරියටත් කුසලානය ලකුණෙන් තරඟ කිරීමට ජ.වි.පෙ සූදානම් බවද විජිත හෙරත් මහතා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනු ලැබූවද බහුතර ඡන්ද දායක පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ ආණ්ඩුවට දැක්වූ අකමැත්ත නිසා බවද හෙතෙම සඳහන් කළේය.
මේ වසරෙත් අයවැයක් ගෙන එන්නට ආණ්ඩුව විසින් කටයුතු කර නොමැති බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වියදම් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ආදායම් වියදම් පිළිබඳ හෝ නිසි අවබෝධයක් ආණ්ඩුවට නොමැති නිසා බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

ප්‍රභාකරන්ගේ නිවස කැඩූ බවට ආණ්ඩුවට චෝදනා


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිර්මාතෘවරයා වූ වී.ප්‍රභාකරන් ගේ යාපනයේ පිහිටි මහ ගෙදර රජයේ ආරක්ෂක අංශ විසින් බිමට සමතලා කර ඇති බවට ද්‍රවිඩ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබේ.
මෙම නිවස යාපනයට පැමිණෙන සංචාරකයින්ගේ දැඩි අවධානයට ලක්වීම හේතුවෙන් මේ අයුරින් විනාශ කර දමා ඇති බව ද හෙතෙම පවසා ඇත‍.
මෙම ක්‍රියාවෙන් රජය විනාශ කරමින් සිටින්නේ ඉතිහාසයේ කොටස් බවත්,එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවසන් සිහිවටන ද මෙමගින් විනාශ කරන බවත්, ද්‍රවිඩ ජාතික විමුක්ති සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ශිවාජිලිංගම් කියා සිටියි‍. මේ පිළිබඳ විමසන ලදුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාත්,පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාත් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

අයිෆා වෙනුවෙන් කොළඹ ලස්සන කරයි


කොළඹ නගරය අලංකරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඕමාර් කාමීල් මහතා‍ පවසයි.
ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දියානු අයිෆා සිනමා උළෙල වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම කියා සිටියි.
මෙම උළෙල සඳහා ඉන්දියානු සිනමා කර්මාන්තයේ නියැළී සිටින ආරාධිතයින් 600 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය..
එමෙන්ම ඉන්දීය සුපිරි නළු නිළියන් රැසක් ද සුගතදාස ක්‍රීඩාංග‍ණයේ පැවැත්වීමට නියමිත මෙම සිනමා ‍උළෙලට සහභාගී වන බව සඳහන් වේ. ‍ adadberana

රටට එක නීතියක් ඕනෑ


මෙරට තුළ එක් නීතියක් ස්ථාපිත කිරීමට තමා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.
නිදහස් රටක් වන ශ්‍රී ලංකාවට එක් නීතියක අවශ්‍යතාවය මේ වන විට මතු වී ඇති බවත්,විවිධ නීති ක්‍රියාත්මක වීම තුළින් ගැටලු රැසක් හට ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අධිකරණ අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම වැඩපිළිවෙළ සඳහා වි‍ශේෂ කමිටුවක් පත් කරන බව ආතාවුද සෙනෙවිරත්ත අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේය. adaderana

ප්‍රබල අපරාධකරුවන් 5දෙනෙක් අල්ලයි


පොලිසිය මඟහරිමින් සිටි අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ බුද්ධි ඒකකය සමත්ව තිබේ. පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, ඇතුළු අපරාධ රැසක් සිදුකළ බවට මොවුන්ට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
දීර්ඝ කාලයකට සිට සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.adaderana

මාස 6 ක් තුළ යළි පදිංචි කිරීම් අවසන්


උතුරේ අවතැන්වූ කඳවුරුවල සිටින සියලුම පිරිස් මාස 6 ක් තුළ යළි පදිංචි කර අවසන් කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අවතැන් වූ කඳවුරුවල සිටින පිරිස් මුණගැසීම සඳහා වව්නියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මේ අදහස් පළ කළේය.
උතුරු නැගෙනහිර පළාතේ පුනරුත්ථාපන වන්දි මුදල් නොලැබුණු පිරිස්වලට ඒවා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී සඳහන් ‍කළේය. යළි පදිංචි කෙරුණු වැසියන් සඳහා ස්ථිර නිවාස ලබාදෙන බව ද මිල්රෝයි ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

අද රනිල් හා සජිත් හමුවක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වේ. මෙම හමුව කොළඹ දී සිදුවන බව සජිත් ප්‍රේමදාස මහතා අප කළ විමසුමකදී සඳහන් කළේය. ‍රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මෙහිදී සාකච්ඡාවට ලක්වන්නේ කුමන කරුණක් ද යන්න පිළිබඳ තමන් නොදන්නා බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යට‍තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය තුළ ඉහළ තනතුරක් හිමිවිය යුතු බවට යෝජනා වී තිබේ.adaderana

චමල් දළඳා වඳියි


කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේය. දළඳා මාළිගාව වෙත පැමිණි නව කතානායකවරයා පිළිගනු ලැබුවේ දියව‍ඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා විසිනි.
ඉන් අනතුරුව කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රී දළඳා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව විශේෂ අමුත්තන්ගේ සඳහා වෙන්කෙරුණු ග්‍රන්ථයේ චමල් රාජපක්ෂ මහතා විසින් අත්සන් කරනු ලැබීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී වී සිටියේය. adadeerana

මනෝ හා රනිල් අතර තවත් සාකච්ඡාවක්


ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් උද්ගත ව ඇති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමු‍ණේ නායක මනෝ ගනේෂන් මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වේ. මෙම සාකච්ඡාවට මංගල සමරවීර මහතා ද එක්වන බව මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබානොදීම හේතුවෙන් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වන බවට මනෝ ගනේෂන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය මීට පෙර සඳහන් කළේ මැතිවරණයෙන් පරාජයට පත්වූ කිසිඳු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදෙන බවය. මනෝ ගනේෂන් මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා මෙවර මහ මැතිවරණයට තරග කළ අතර එහිදි ඔහු පරාජයට පත්විය. adaderana

උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණ වැඩපිළි‍වෙළක්


උතුරු නැගෙනහිර පළාත්වල ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළි‍වෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ පාර්ලි‍මේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මහනායක හිමිවරුන් දැනුවත් කර තිබේ. උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක ස්ථාන 1,500 ක් පමණ ඇති බව මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදුටු ‍පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කළේය.
පුරා වස්තු පිළිබඳව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට ද උන්වහන්සේ මෙහිදී පියවර ගනු ලැබීය. පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බැවින් මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඊට අවශ්‍ය බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එහිදී කියා සිටියේය. එහිදී මහානායක හිමිවරු ඊට කැමැත්ත පළ කළ අතර එම වැඩපිළිවෙළ සකස් කර තමන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියෝය. adaderana

භූතාන රජු හා රාජ්‍ය නායකයින් අතර හමුවක්


භූතාන රජතුමා සහ සාර්ක් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් අතර නිල හමුවක් අද පැවැත්වේ. සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින සියලුම රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙය සුහද හමුවක් ලෙස පැවැත්වෙන බව වාර්තා වේ. සතුරු බලවේගවලට එරෙහි ජයග්‍රහණ සංකේතවත් කෙරෙන ලා-ධාර් නම් භූතාන විශේෂ ධජය එසවීමේ උත්සවය ද සාර්ක් රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරෙයි.
16 වන සාර්ක් සමුළුව සංකේතවත් කරමින් රුක් රෝපණය ‍කිරීමක් ද මෙහිදී සිදුවේ. ඊට අමතරව සාර්ක් ව්‍යාපාරික සමුළුව විසින් සංවිධානය කළ එම රටවල නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමට ද රාජ්‍ය නායකයින් සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව 16 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව අවසන් කිරීමේ උත්සවය භූතාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇත. adaderana

Tuesday, April 27, 2010

මර්වින්ට ජනමාධ්‍ය භාර දීම ගැන ජාත්‍යන්තරය කැළඹේ


ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශ්‍ය භාර දීම පිළිබඳව "මායිම් රහිත මාධ්‍යවේදියෝ" සංවිධානය සිය විමතිය පළ කර තිබේ. එම සංවිධානය පවසන්නේ කිසිදු රටක් රට ගිනි තබන "ගිනි තබන්නන්" මෙවැනි තනතුරුවලට පත් නොකරන බව යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍යවලට පහරදුන්, විවිදාත්මක පුද්ගලයන් ප්‍රධාන තනතුරුවලට පත් කිරීමෙන් සිය කීර්තිය කෙළෙසා ගනිමින් සිටින බව එම සංවිධානය පවසයි. පසුගිය මහ මැතිවරණයේදී ලබා ගත් ජනවරම මෙවැනි තනතුරුවෙනුවෙන් භාවිත වීම තුළ රට තුළ සංහිඳියාව සහ සංවර්ධනය ඇති කිරීමට ආණ්ඩුව සමත්වේදැයි සැකයක් මතු වන බව එම සංවිධානය පවසයි.
එම මාධ්‍ය සංවිධානය මර්වින් සිල්වා මහතාට ලබා දුන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය යලි සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටී.lankatruth

භූතානයට ගෙන නොයෑම ගැන විමල් කණස්සල්ලෙන්


සාර්ක් රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් භූතානයට පිරිස ගෙනයාමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ, වැඩිමහල් පුතනුවන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විදේශ ඇමැති ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ද වාස් ගුණවර්ධන මහතා එක් කර ගත් නමුත් තමන් එක් කර ගැනීමට කටයුතු නොකළ බව ජාතික නිදහස් පෙරමු‍ණු නායක විමල් වීරවංශ මහතා අද චෝදනා මුඛයෙන් කතා කොට ඇත. මේ සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවත් වීරවංශ මහතා මෙහිදී පවසා ඇත.
ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන දෙදෙනාට අමතරව ගෙන ගිය පුද්ගලයින් අතුරින් ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් බැවින්ද, ජී.එල්.පීරිස් මහතා විදේශ ඇමති බැවින්ද ගෙන යාම සාධාරණ බවත් මැතිවරණයේදී සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් හා මුදලක් වියදම් කළ තමන්ට වඩා සජින් ද වාස් ගුණවර්ධන ලොකු වූ යේ කෙසේද යනුවෙන් වීරවංශ මහතා මෙහිදී දැඩි ස්ව‍රයෙන් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතා හා කතා කිරීමට ගත් උත්සහයන් දිගින් දිගටම ව්‍යර්ථ වූ බවත්, බැසිල් රාජපක්ෂ මහතා වීරවංශ මහතාගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වැලකී සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ. lankatruth

මන්ත්‍රී ජයසූරියගේ ආරක්ෂකයින්ට කණ්ඩායමෙන් විරෝධය


බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයෙන් කටුනායක ගුවන් තොටුපලට යාම පිණිස විශේෂ බස් රථයට ගොඩ වූ අවස්ථාවේදී කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර ඇතුලූ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් මන්ත්‍රී සනත් ජයසූරියට නිහඬ විරෝධයක් දක්වා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා බසයට ගොඩ වී ඇත්තේ ආරක්ෂකයින් පිරිසක් සමගය. ඔහු ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන ඇති අතර අනතුරුව ඔහුගේ ආරක්‍ෂකයින් ඔහු දෙපස හා ඔහු පසුපස ආසනවල අසුන් ගෙන තිබේ. සනත් ජයසූරිය බසයට ගොඩවී විනාඩි 10කට පමණ පසු බසයට ගොඩවූ සංගක්කාර, මන්ත්‍රී ජයසූරිය පසුකොට බසයේ පසුපෙළ අසුනකට ගොස් ඇති අතර, ඔහු අනුගමනය කරමින් අනිත් ක‍්‍රීඩකයෝද ජයසූරිය සමග වචනයකුදු කතා නොකොට පසු පෙළ ආසනවලට ගොස් අසුන් ගෙන තිබේ. ගමන නිමා වන තුරුම ජයසූරිය හා අනෙකුත් ක්‍රීඩකයින් අතර කිසිදු ගනු දෙනුවක් සිදු නොවූ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය හා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර අතර, මේ වන විට බරපතළ අර්බුදයන් ගොඩ නැගී ඇති අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට සංගක්කාර පසුගිය දා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.lankatruth

ජනරාල්ගේ බෑනා සොයා රහස් පොලිසිය මිහින්තලා රජමහා විහාරයේ යකා නටයි


ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතා සැගවී සිටින බවට තොරතුරක් ලද බව පවසමින් අද රහස් පොලිසිය පැය 4කට අධික කාරලයක් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ සෝදිසියක නිරත වී ඇත. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් බව පැවසෙන වරෙන්තුවක් පෙන්වමින් රහස් පොලිසිය මෙලෙස සෝදිසියේ නිරතව ඇත.
පැය 4 කට අධික කාරයක් මිහින්තලා රාජ මහා විහාරයේ අවාස ගෙය, මැද මළුව, බුදු මැදුරු, පිරිවෙන් ස්ථානය මෙන්ම පූජනීය වටිනායමින් අනූන මිහිඳු ගුහාවේද අහු මුළු පීරමින් රහස් පොලිසිය දැඩි සෝදිසියක නිරතව ඇත. මේ අවස්ථාවේදී මිහින්තලා පුද බිමට පැමිණ සිටි වන්දනාකරුවන් හා බැතිමතුන්ට හිංසා පීඩා වන ආකාරයෙන් මෙම සෝදිසි කිරීම පිළිබඳව බැතිමතුන් සිය විරෝධය පළ ඇති නමුත් එය සැලකිල්ලට නොගෙන රහස් පොලිස් නිලධාරීන් සිය කටයුත්ත ඒ ආකාරයෙන්ම දිගටම සිදු කර ඇත.
කෙසේ වෙතත් පැය 4 කට අධික කාලයක් සොයා පසුව කිසිවක් නොමැති බවත්, අවශ්‍ය වුවහොස් පසුව පැමිණෙන බවත් දන්වා රහස් පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත.lankatruth

මහින්දානන්දට කැපිල්ල - කෙහෙලිය, අමුණුගම,එස්.බී.ට ඇමැතිකම්


නව රජයේ කැබිනට්‌ ඇමැතිවරුන් ලෙස මහාචාර්ය තිස්‌ස විතාරණ සහ ආරුමුගම් තොණ්‌ඩමන් යන මන්ත්‍රීවරුන් ද, මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි ආචාර්ය සරත් අමුණූගම, එස්.බී.දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන්ද අමාත්‍යවරුන් ලෙස ලබන සතියේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. එම දිවුරුම්දීම ජනාධිපතිවරයාගේ භූතාන සංචාරයෙන් පසු සිදු වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. මෙයට අමතරව ෆයිසර් මුස්‌තාපා මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමටද නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරණි සාමාජිකයෙකු වන මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇමැති ධූරයක් නොදී නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබාදී අලුත්ගමගේ මහතා ඇමැති මණ්ඩ‍ලයේ පහළින් තැබීමට රාජපක්ෂ සමාගම සැලසුම් කර ඇති බවත් වාර්තා වේ. මේ වෙනුවෙන් වූ වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපති ලේකම්වරයා ලවා සිදු කරන බවත්, එහි ප්‍රකාශ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මගින් සිදු ක‍රන බවත් පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් නාවලපිටිය සිදුවීම බාධාවක් වූ බවයි. මේ අනුව මෙහි වගකීම මේ වන විට මහින්දාන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පිට පටවා ඇති අතර, මෙයින් අලුත්ගමගේ මන්ත්‍රීවරයා නිහඬ කිරීම රාජපක්ෂ සමාගමේ කුමන්ත්‍රණයක් බවත් පැවසේ.
කෙසේ වෙතත් නාවලපිටිය සිදුවීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් හා ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයාගෙන් ඊ‍යේ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පරීක්ෂණ සිදු කර ඇති අතර, මෙසේ පරීක්ෂණ්‍යට ලක්ව ඇති ෆයිසර් මුස්තාපා මහතාට නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබාදීමට තීරණය කර තිබියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විනය පරීක්ෂණයෙන් පසුව ඇමැති ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගන්නා බවත් විනය පරීක්ෂණය අවසන් වන තුරු තනතුරක් ලබා නොදීමට තීරණය කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසා ඇත. lankatruth

වන ජීවියත් මට ලැබෙයි -බැසිල්


සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගන්නා ස්ථානයක් බවට දෙහිවල සත්වෝද්‍යානය පත් කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ආදායමට විශාල ව‍ශයෙන් මුදල් එක් රැස් කළ හැකි ස්ථානයක් බවට මෙය පත් කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියි.
අමාත්‍යවරයා මේ අදහස් පළ ක‍රනු ලැබුවේ අද දෙහිවල සත්වෝද්‍යානයේ නීරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි..
සංචාරක දෙපාර්තමේන්තුව යටතට පින්නවල අලි අනාථාගාරය සහ දෙහිවල සත්වෝද්‍යානය ද එක්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය.
එසේම වන ජීවි දෙපාර්තමේන්තුව ද ඉදිරියේදී තම අමාත්‍යාංශය යටතට පත්වනු ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.. adaderana

අධ්‍යාපන වෘත්තිකයන්ගෙන් විරෝධයක්


අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් 2010 අප්‍රේල් මස පළමු දින දාතමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය විරෝධය පළ කරයි.
එම සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසන්නේ අදාළ චක්‍රලේඛය මගින් ගුරු සේවයේ වැටුප් කප්පාදු වීමක් සිදුවන බවයි.
එසේම විදුහල්පති සේවයේ නිලධාරීන්ට ගුරු සේවයේ වැටුප් ලබා ගැනීමට බල කර ඇති බව ද ධර්මසිරි මහතා පෙන්වා දෙයි..
එම චක්‍රලේඛයේ අදාළ වගන්ති සංශෝධනය කරන ලෙස අධ්‍යාපන බලධාරී‍න්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතුව ද එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ලේකම්වරයෙකු මෙතෙක් වැඩ භාරගෙන නොමැති බවයි. ------------------ adaderana

මීගමු කළපුවෙන් කසිප්පු බේරෙයි


මීගමුව කළපු තීරයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබේ.
පමුණුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇතැයි‍ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර 3920ක් අඩංගු බැරල් 20ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජවාරමට සම්බන්ධ බවට සැකපිට ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. adaderana

පසුබෑමට හේතු සෙවිය යුතුයි


ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට නම් රාජ්‍ය ආයතනවල පසුබෑම් වලට හේතු සහ ඊට පිළියම් යෙදිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව් .ඩි.ජේ.සෙනවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කරනු ලැබුවේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල කාර්යක්ෂම හා විධිමත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම සදහන් කළේය..
ග්‍රාමීය ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍ය සෙනවිරත්න මහතා පෙන්වා දුන්නේය. adaderana

කඩාකප්පල් වූ කුවෙයිට් අවුරුදු උත්සවය ගැන වාර්තාවක්


කුවේටයේ සංවිධානය කර තිබූ ශ්‍රී ලාංකික අවුරුදු උත්සවය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති අංශ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමට නියමිතව තිබේ.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරන පරිදි අදාළ අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා ගත යුතු සෑම අවසර පත්‍රයක්ම ලබා ගෙන තිබිය දීත් කිසියම් පිරිසකගේ විරෝධතා හේතුවෙන් උත්සවය අත්හිටුවීමට සිදු වී ඇත.
මේ සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ද වාර්තාවක් ලබා දීමට ද නියමිතය. ශ්‍රී ලාංකිකයින් දස දහසකගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවය පැවැති ස්ථානය වෙත පැමිණි කුවේට් ජාතිකයින් පිරිසක් එම උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණි..
ඊට හේතු වී ඇත්තේ සිකුරාදා දිනය කුවේට් ජාතිකයින්ට ආගමික වශයෙන් විශේෂ දිනයක් වීම බව ද සඳහන් වේ. මේ හේතුවෙන් ඇතිවන්නට ගිය උණුසුම් තත්ත්වය වැළැක්වීම සඳහා අවුරුදු උත්සවය අත්හිටුවීමට ශ්‍රී ලංකා තානාපති අංශ පියවර ගෙන තිබේ.
අදාළ විරෝධතා දැක්වීම එරට බලධාරීන්ගේ අනුදැනුම මත සිදූ වූවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. adaderana

ශ්‍රී ලංකා ජනපති භූතාන අගමැති‍ගේ පැසසුමට


අධිෂ්ඨානය සහ තීක්ෂණ දැක්ම තුළින් ශ්‍රී ලංකාවට සාමය උදා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග භූතාන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වී තිබේ. 16 වන සාර්ක් සමුළුවට සහභාගී වීම සඳහා භූතානයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ හමුවිය. භූතානයේ තිම්පු නුවර පිහිටි සාර්ක් ගම්මානයේ පිහිටි"ශ්‍රී ලංකා හවුස්"හි දී මෙම හමුව සිදුවිය. එහි දී නායකයින් දෙදෙනා අතර දෙරටටම වැදගත් වූ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ලාංකේය ජනතාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදය පරාජය කරමින් තිරසාර සාමයක් උදාකරමින් රටේ ජනතාවට ලබා දුන් නිදහසේ සුවය විඳීමට භූතාන ජනතාවද ශ්‍රී ලාංකේය ජනතාව සමඟ එක්වන බව භූතාන අග්‍රාමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. බෞද්ධ රටවල් වශයෙන් ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ආගමික හා සංස්කෘතික බැඳීම ඉදිරියේ දී වඩාත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහි දී දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක් වී ඇත. වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍රයන් තුළ භූතානයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව මෙහි දී භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ මහතා ජනාධිපතිවරයාට විශේෂ ස්තූතියක් පිරිනමනු ලැබීය. භූතානයට පැමිණි තමන් ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී භූතාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කර සිටියේය. adaderana

බේරුවල රිය අනතුරකින් එක් අයෙක් මියයයි


ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ රාත්‍රී මෝටර් රථයක, පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
අනතුරින් මිය ගොස් ඇත්තේ සූරිය වැව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදු කළ මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. adaderana

එල්.ටී.ටී.ඊ සැකකරුවන් 7ක් අත්අඩංගුවට


නෙදර්ලන්තයේ දී එල්.ටී.ටී.ඊ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නෙදර්ලන්තය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව එරට අපරාධ පරීක්ෂණ කාර්යාලය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා නෙදර්ලන්‍තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 16 ක් පරීක්ෂාවට ලක් කර තිබේ.
ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ ජාලය තුළ මොවුන් ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී පරිගණක, දුරකථන, ලිපි ලේඛන, ජායාරූප, ඩීවීඩී පට කිහිපයක් සහ යූරෝ 40 ,000 කට අධික මුදලක් සොයා ගෙන ඇත. මෙම සැකකරුවන් නෙදර්ලන්තයේ එල්. ටී. ටී. ඊ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක නායකයින් බව නෙදර්ලන්ත අධිකරණ අමාත්‍යාංශය පවසයි. adaderana

"ඩෙංගු"සතියක්


ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු සතියක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලබන මැයි මස 3 වන දින සිට 9 වන දින දක්වා කාලය තුළ මෙම ඩෙංගු සතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
වසරකට දෙවරක් මේ ආකාරයට ඩෙංගු මර්දන සති ප්‍රකාශයට පත් කරන අතර මේ වසර සඳහා ක්‍රියාත්මක වන පළමු ඩෙංගු මර්දන සතිය මෙය බව සඳහන්ය. ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පාලිත මහීපාල මහතා සඳහන් කළේය. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු මිය ගොස් ඇති අතර 12, 000 අධික පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.adaderana

වළ දමා තිබූ හැඳුනුම්පත් තොගයක් හමුවේ


මාතර, නාවිමන ප්‍රදේශයේ කැළෑ ඉඩමක වළ දමා තිබූ ජාතික හැඳුනුම්පත් තොගයක් සොයා ගෙන තිබේ. මෙම හැඳුනුම්පත් දැනට වසර 20 කට පමණ ඉහත දී වල දමා ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. එම ඉඩමේ කුරුඳු සිටවීම සඳහා කාණු කපමින් සිටි සේවකයින් පිරිසක් පොලිතින් උර වල බහා සඟවා තිබූ මෙම හැඳුනුම්පත් තොගය දැක ඒ බව මාතර පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව ‍පරීක්ෂණ ආරම්භ කළ මාතර පොලිසියේ නිලධාරීන් වළ දමා තිබූ හැඳුනුම්පත් තොගය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. හැඳුනුම්පත් 1368 කට අධික ප්‍රමාණයක් එහි තිබූ බව පොලිසිය පවසයි. මාතර, නාවිමන උතුර / නාවිමන දකුණ, වෙරදූව, රසන්දෙණිය යන ප්‍රදේශ වල පුද්ගලයින්ට අයත් හැඳුනුම්පත් මෙහි වන බව වාර්තා වේ. මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adadrana