Tuesday, June 22, 2010

අසමත් ශ්‍රී ලංකාව 22 න් 25 ට පනී


ලොව අසමත්ම රටවල් අතරින් 25 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබේ. 2009 වස‍රේ දී ශ්‍රී ලංකාව ලොව අසමත් රටවල් අතර 22 වැනි ස්ථානයට පත්ව තිබුණි. පසුගිය වසරට සාපේක්ෂව මෙම තත්ත්වය ප්‍රගතියක් බව අමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සඟරාව මීට අදාළව සිදුකළ සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත.

මෙවර සමීක්ෂණයට අනුව ලොව රටවල් අතර වඩාත් සාර්ථකම සහ හිතකරම රට බවට නෝර්වේ රාජ්‍යය පත්ව ඇත. සෝමාලියාව‍ ලොව අසමත්ම රට බවට පත්ව තිබේ. ආර්ථික හා සමාජයීය දර්ශක පදනම් කරගනිමින් මෙම සමීක්ෂණය සිදුකළ බව අමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සඟරාව පවසයි.adaderana

සීගිරි පර්වත මුදුනේ උපවාසයක්


ඓතිහාසික සීගිරිය පර්වතය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලකරමින් පුද්ගලයින් තිදෙනෙකු සීගිරිය පර්වත මුදුනේ උපවාසයක් ආරම්භ කර තිබේ..

සීගිරියට සිදුවන හානිය වැළැක්වීම, එහි වැසිකිළි පද්ධතිය හා ආපනශාලාව ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සීගිරිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටත‍ට පවරාගන්න‍ා‍ ලෙස උපවාසකරුවන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම මාරාන්තික උපවාසය සඳහා සහභාගී වී සිටින පුද්ගලයින් තිදෙ‍නාගෙන් දෙදෙනකු සීගිරි සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

තම ඉල්ලීම් ඉටුවනතුරු උපවාසය අත්නොහරින බව උපවාසකරුවන් තරයේ ප්‍රකාශ කරන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

ලිඛිතව එකඟ වුනොත් ජී.එස්.පී. තවත් මාස 6කට


ජී.එස්.පී. ප්ලස් බදු සහනය තවත් කෙටි කාලයක් සඳහා ලබාදීමට ශ්‍රී ලංකා රජය වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි යුරෝපා සංගමය පවසයි. ඒ අනුව අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළ කරමින් ශ්‍රී ලංකා රජය ලිඛිතව ඒ බව යුරෝපා සංගමය වෙත දැනුම් දීම අවශ්‍ය බව එම සංගමය සඳහන් කර ඇත.

අදාළ එකඟතාව ලබාදෙන්නේ නම් ජූලි මාසයේ සිට තවත් මාස 6 ක කාලයකට ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට හිමිවන බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඉදිරිපත් කරන ලද කොන්දේසි අතරට මානව හිමිකම් සම්බන්ධ‍ කරුණු කිහිපයක් ද ඇතුළත් බව වාර්තා වේ. කෙසේවෙතත් එම කරුණු සම්බන්ධ රජයේ ලිඛිත එකඟතාව අත්‍යවශ්‍ය බව යුරෝපා සංගමය අවධාරණය කරයි. adaderana

අද සිට 28 දක්වා පොසොන් සතියක්


පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු යොදා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පවසයි. අද දිනයේ සිට ලබන 28 වැනිදා දක්වා පොසොන් සතිය ප්‍රකාශයට පත්කර ඇති බව ඔහු සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පොසොන් උත්සව සංවිධායක කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පළ කළේය.

පොසොන් සම‍ෙය් අනුරාධපුරයට, මිහින්තලයට සහ තන්තිරිමලයට පැමිණෙන වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පානීය ජලය, ආහාර, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා ප්‍රකාශ කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය විශේෂ බස් හා දුම්රිය සේවාවන් මෙන්ම රථවාහන නැවැත්වීම සඳහා රථගාල් ද සකස් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

වරාය වැඩබිමේ හදිසි අනතුරකින් එක් අයෙක් මියයයි


හම්බන්තොට, නව වරාය වැඩබිමේ දී ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරුවේ වරාය භූමියේ සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු මෙසේ අනතුරට ලක්වූ බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුපිටිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගල‍යෙක් බව පොලිසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අත්බෝම්බයක් සමග අයෙක් අත්අඩංගුවට


විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු හංවැල්ල, නීරපොල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල පොලිසිය සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු බකමූණ ප්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිසිය පවසයි. adaderana

අවසර නැතිව ඉදිකිරීම් තහනම්


නායයෑම් සිදුවන බවට හඳුනාගත් ප්‍රදේශවල ඉදිකිරීම් කටයුත්තක් හෝ සංවර්ධන කටයුත්තක් සිදුකිරීමේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරය ලබාගැනීම අනිවාර්ය කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය කාලය තුළ සිදුවූ නායයෑම් විශාල සංඛ්‍යාවකට හේතුව අනවසර ඉදිකිරීම් බව අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා පෙන්වා දෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශ මේ වන විට සිතියම් ගතකර ඇති අතර ඒ පිළිබඳව පළාත් පාලන ආයතන ද දැනුවත් කර ඇති බව වාර්තා වේ. ඉදිරියේ දී එවැනි ස්ථානයක යම් ඉදිකිරීම් කටයුත්තක් සිදුකරන්නේ නම් ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණායතනයේ අවසරය අනිවාර්ය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. adaderana

අවසර නැතිව දුවන බස් ගැන ආරංචියක්


මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය වන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසයි. මෙම බස්රථ වැඩි වශයෙන් රාත්‍රී කාලයේ ධාවනය වන බව වාර්තා වේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාව ‍හේතුවෙන් බස්රථ ධාවනයේ දී ගැටලු රැසක් පැන නැගී ඇති බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන අධ්‍යක්ෂ එච්. ඩබ්ලිව්. විමලසේන මහතා සඳහන් කළේය. එම නිසා බලපත්‍ර ‍නොමැතිව ධාවනය වන එවැනි බස්රථ වැටලීම සඳහ‍ා ‍විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා ඇති බව විමලසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මලයාසියාවේ අතරමංව සිටින ශ්‍රමිකයින් යළි ගෙන්වීමට පියවර


විදේශ රැකියාවලට ගොස් මලයාසියාවේ අතරමංව සිටින මෙරට ශ්‍රමිකයින් 17 දෙනෙකු යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම පිරිස මේ වන විට මලයාසියාවේ ශ්‍රී ලංකා‍ තානාපති කාර්යාල භාරයේ සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මොවුන්ගෙන් 11 දෙනෙකුම සංචාරක වීසා ලබාගනිමින් මලයාසියාව බලා ‍පිටත්ව ගොස් තිබේ.

පසුගිය කාලයේ මේ ආකාරයට සංචාරක වීසා ලබාගනිමින් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ පිරිසක් අතරමංව සිටින බව ‍විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන සංචාරක වීසා ලබාදෙමින් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක් සිදුවන බව සභාපතිවරයා පවසයි. එම නිසා එවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර සිටියි. adaderana

ආදායමෙන් 35%ක් මත්පැනට


මෙරට අඩු ආදායම් ලබන පවුල්වල ආදායමෙන් 35% ක මුදලක් මධ්‍යසාර පානය සඳහා වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

පසුගිය වස‍රේ සිදුකළ මෙම සමීක්ෂණයේ දී අවුරුදු 15 සිට 64 දක්වා වයස් කාණ්ඩවල පිරිමි පුද්ගලයින් අතරින් 26% ක්ම මධ්‍යසාර භාවිතයට හුරු වී ඇති බව හෙළි වී තිබේ. ස්ත්‍රී පාර්ශවයෙන් 1 .2%ක් මධ්‍යසාර භාවිතයට හුරු වී ඇති බව එම වාර්තාව පෙන්වාදෙයි. මෙය පසුගිය වසරවලට සාපේක්ෂව වැඩිවීමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පමණක් නොව සමාජ හා ආර්ථික ගැටලු රැසක් උද්ගත වී ඇති බව එම අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා"ජාතික මානසික සෞඛ්‍ය සංසදය"අද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වීමට නියමිතය. මෙවර මෙහි තේමාව වනුයේ"මධ්‍යසාර භාවිතය මර්දනය කරමු" යන්නය. adaderana

කිරි නිපැයුම නංවන්නැයි ජනපතිගෙන් උපදෙස්


දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස පශු සම්පත් අමාත්‍යාංශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ. ජාත්‍යන්තරයේ උච්චාවචනය වන කිරිපිටි මිල හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති දේශීය පාරිභෝගිකයා රැකගැනීම මෙමගින් හැකිවන බව ඔහු පවසයි. පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

දැනට දේශීය කිරිපිටි අවශ්‍යතාවයෙන් 75% කට ආසන්න ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරනු ලබන අතර ජාත්‍යන්තර සමාගම් විටින් විට කිරිපිටි මිල ඉහළ දැමීම දේශීය පාරිභෝගිකයාට අහිතකර ලෙස බලපාන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. එම නිසා මෙටර ජනතාව දියර කිරි පරිභෝජනයට නැඹුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන‍ ලෙසත් කිරි ගොවියා දිරිගැන්වීම සඳහා දියර කිරි ලීටරයක මිල අවම වශයෙන් 6% කින් වැඩි කිරීමට පියවර ගන්න‍ා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පශු සම්පත් අමාත්‍යාංශයේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ක‍ළේය. adaderana

Sunday, June 20, 2010

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් අල්ලයි


නීතී විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ. මීගමු ප්‍රදේශයේ දී මෙම දුම්වැටි තොගය ‍තම නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව ද සඳහන්ය. දුම්වැටි තොගය සමග සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුට ගෙන ඇති බව ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය. එම දුම්වැටි තොගය නීතී විරෝධී ලෙස මෙරටට ආනයනය කළ ඒවා බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana

පොසොන් පොහොයට විශේෂ දුම්රිය සේවාවක්


එළඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ලබන 23 වැනි දින සිට 27 වන දින දක්වා මෙම විශේෂ දුම්රියේ සේවාව ක්‍රියාත්මක කරන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana

මිල වැඩිවුවත් පැකට්ටුවේ මිල අයකළ යුතුයි -ජොන්ස්ටන්


කිරිපිටි මිල වැඩි වුවද කිරිපිටි පැකැට්ටුවෙහි මුද්‍රිත මිල පමණක් අයකළ යුතු බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ‍ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දෙනු ලැබීය. ඒ අනුව ග්‍රෑම් 400 ක් වන කිරිපිටි පැකට්ටුවක් රුපියල් 19 කින් සහ කිලෝග්‍රෑම් 1 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 48 කින් ඉහළ යනු ඇත.

එහෙත් නව මිල ගණන්, කිරිපිටි පැකැට්ටුවක මුද්‍රණ වන තෙක් මුද්‍රණය කර ඇති මිලට එය පාරිභෝගිකයාට ලබාදීමට වෙළඳසැල් හිමියන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එසේ නොමැතිව මුද්‍රිත මිල වෙනස් කර වෙනත් මිලක් සටහන් කර කිරිපිටි අලෙවිකරන වෙළඳසැල් හිමියන් වැටලීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර මේ මාසය තුළ පමණක් මිල දර්ශන ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් තුන්සිය පනහක් වැටලීම් කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ලබන සතියේ සිට හෝටල්වල මුළුතැන්ගෙයි පිරිසිදුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට දිවයිනපුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමී මර්සුක් මහතා පවසයි.adaderana

සෞඛ්‍යදාන නිර්මාතෘගේ අවසන් කටයුතු සඳුදා


අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන ව්‍යාපාරයේ නිර්මාතෘ සම්මානනීය අධ්‍යක්ෂ ජෙනරාල් දොස්තර වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු 21 වන සඳුදා දින පස්වරු 2 .30 ට මොරටුවේදී සිදුකිරීමට නියමිතය. මියයන විට ඒ මහතා 81 වන වියෙහි පසුවිය. වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය ද, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මහජන සෞඛ්‍ය පිළිබඳව උපාධියක් ද ලබා තිබේ.

ඒ මහතා 1960 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය බිහිකරනු ලැබීය. සුව සේවය හරහා ප්‍රජා සංවර්ධනයට හා සමාජ සේවයට කැපවූ වෛද්‍ය අමරනාත් සිල්වා මහතාට ලෝ ප්‍රකට ඇල්බර්ට් ස්වට්සර් සම්මානය ද 2000 වසරේදී පිරිනැමුණි.
adaderana

සියලු අනවසර ඉදිකිරීම් ඉවතට


නාගරික ජනාවාස පවත්වාගෙන යාමට බාධාකාරී වන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට පියවර ගන්නා බව ඉදිකිරීම්, ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද පෙරවරුවේ මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී එම නිවාස සංකීර්ණය ආශ්‍රිතව වෙසෙන ජනතාවගේ පොදු ගැටලු විසඳීම සඳහා ජංගම සේවාවක් ද ක්‍රියාත්මක‍ කෙරුණි.

කළමනාකරණ සංස්ථා පවත්වාගෙන යාමට බාධාවන ආකාරයෙන් පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බව එම අවස්ථාවට සහභාගී වෙමින් විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. නිවාස ව්‍යාපෘතිවල වෙසෙන ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමේ අරමුණින් ඉදිරියේදීත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. adadenra

උතුරේ ජනතාව නැංවීමේ රජයේ කාර්යය ප්‍රශංසනීයයි -යසුෂි


උතුරේ ජනජීවිතය නගා සිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බව ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා පවසයි. අකාශි මහතා අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ මේ කරුණු ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙරට සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය අඛණ්ඩව සහය ලබාදීමට කටයුතු කරන බව ද අකාශි මහතා ප්‍රකාශ කර තිබේ. එල්. ටී. ටී. ඊ පාලන කාලය තුළ තමා කිලිනොච්චියේ සංචාරය කළ බවත් එම කාලයට සාපේක්ෂව අද වන විට කිලිනොච්චිය සුවිසල් වෙනසකට ලක්ව ඇති බව ද අකාශි මහතා ප්‍රකාශ කළේය. තිරසාර සාමයක් වෙනුවෙන් රජය ඉටුකරන කාර්යභාරය උතුරු ප්‍රදේශයේ සිදුවන සංවර්ධනය තුළින් පෙනී යන්නේ යැයි මෙම හමු‍වේ දී අකාශි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

Friday, June 18, 2010

ශ්‍රී පාද අඩවියේ හෝටලයක්...


ශ්‍රී පාද කඳු මුදුනේ සංචාරක හෝටලයක් ඉදි කිරීමටත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පුරාවිද්‍යාත්මක අගයන් නොතකා එය ප්‍රතිසංස්කරණය කිරීමත් මගින් ආණ්ඩුව දැවැන්ත පුරාවිද්‍යාත්මක විනාශයකට අත ගසා තිබේ. සංචාරක කර්මාන්තය නැංවීම සඳහා යැයි කියමින් මේ කටයුත්ත සිදු කෙරෙමින් පවතී.

දළදා මාළිගාවේ පිවිසුම් දොරටුවේ සිට පත්තිරිප්පුව දක්වා කොන්ක්‍රීට් ගල් වර්ගයක් ඇතිරීම ආරම්භ කර ඇත්තේ මෙම වැඩපිළිවෙළ අනුව බව දැන ගැනීමට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලවත් විරෝධය නොතකමිනි.
මීට අමතරව ශ්‍රී පාද රක්ෂිතයේ සීතගඟුල ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා වනාන්තරය හෙළි පෙහෙළි කර ඇත. මේ කටයුතු ආරම්භ කර ඇත්තේද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරවය. දළදා මාලිගාවේ කොන්ක්‍රීට් ගල් ඇතිරීමේ ක්‍රියාවලියේදී සහකාර පුරාවිද්‍යා කොමසාරිස් විජේපාල මහතා ඊට විරෝධය දක්වා මහනුවර පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.
පසුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කොන්ක්‍රීට් ගල් ඇතිරීමට විරෝධය දක්වා ඊට විශේෂ ගල් වර්ගයක් නිර්දේශ කර ඇතත් ‍එම නිර්දේශය නොතකමින් කොන්ක්‍රීට් ගල් ඇතිරීම ආරම්භ කර තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ඉදි කිරීම සඳහා විරෝධය දැක්වී‍මේදී පුරා විද්‍යා පනත අභිබවා යාමේ ජනාධිපතිවරයා සතු බලතල භාවිතකරමින් මෙම ඉදි කිරීම් සිදු කර ඇති අතර ජනාධිපති බලතල ඒ සඳහා භාවිත කර ඇතත් ඒ වෙනුවෙන් ලිඛිත අවසරයක් ලබාදී නොමැත. මේ නීති විරෝධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාම හේතුවෙන් ඊට පළි ගැනීමක් වශයෙන් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් විජේපාල මහතාව කොළඹට මාරු කර යවා ඇත්තේ රාජකාරි අවශ්‍යතාවක් සඳහා බව පවසමිනි.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් මීට පෙර සීගිරියේ ඉදි කිරීම්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විරෝධය මත නතර කිරීමට සිදු විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා වස්තු විනාශය සඳහා එල්ල වන විරෝධය මග හරවා ගැනීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට සූදානම් වනබව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.lankatruth

සීපා ගිවිසුම මේ වස‍රේ අත්සන් කරනවා - කෙහෙළිය


සීපා ගිවිසුම මේ වස‍රේ අත්සන් කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවසුවේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා‍ මේ බව පැවසුවේය. ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් එකඟ විය හැකි ආකාරයෙන් ගිවිසුම අත්සන් කරන බව ඔහු පැවසුවේය.

මීට දින කිහිපයකට ඉහතදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පැවසුවේ, එම ගිවිසුමට අත්සන් කිරීමට මෙතෙක් තීරණය කර නැති බවයි. පසුගියදා ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා ගිවිසුම් හතකට අත්සන් තැබීය. එම සංචාරයේදී සීපා ගිවිසුම ගැන සාකච්ඡා නොකරන ලද බව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් පැවසූ අතර ඉන් පසුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සීපා ගිවිසුම ගැන සාකච්ඡා වූ බවයි.lankatruth

ජෙනරාල් නැතිව රණවිරුවන් සැමරේ


යුධ ජයග්‍රහණයට වසරක් සැපිරීමේ උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 9.00ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. එහෙත් යුධ ජයග්‍රහණය සඳහා සුවිශේෂී නායකත්වයක් ලබා දුන්, එහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊට ආරාධනා කර නැති අතර ඔහු සිටින්නේ නාවික හමුදා මූලස්ථානයේ හමුදා අත්අඩංගුවේය.lankatruth

සැරදේ..!සේනාධිනායකතුමනි..,


අද(18)ගාලු මුවදොර පිටියේ පැවති රණවිරු විජයග්‍රහණ සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමි‍ණෙන සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා විසින් පිළිගත් අයුරු.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ද පසෙකින් සිටියි.

නායකත්වය තැපෑලෙන් ලැබෙන්නේ නෑ


රණවිරු විජයග්‍රහණය සැමරුමට සහභාගී වූ පමණින් තමන්ට පක්ෂ නායකත්වය තැපෑලෙන් නොලැබෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පක්ෂයේ නායකයෙකු විය යුතුනම්,රටේ නායකයෙකු විය යුතුනම් රටේ සමස්ථ ජනතාවගේ සිත් දිනා ගන්නා ආකාරයට කටයුතු කළ යුතු බවත්,ජනතාවගේ උන්නතිය සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් හෙතෙම කියා සිටියේ අද (18)ගාලු මුවදොර පිටියේ පැවැති විජයග්‍රහණ සැමරුම් උළෙලට සහභාගී වෙමිනි.

ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ ගැන ජනතාව තුළ විශ්වාසයක් පැවතිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය. විපක්ෂ නායකයා මෙන්ම විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහොමයක් මෙම අවස්ථාවට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති මොහොතක මන්ත්‍රීවරයා සහභාගීවූයේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙම උත්සව අවස්ථාවට පක්ෂ හෝ පාට භේදයක් නොමැති බවයි.

රට ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ රණ විරුවන්ට උපහාර දැක්වීම සෑම සියලුදෙනාගේම යුතුකමක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

උපහාර පිදීමෙන් නොනැවතී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රණ විරුවන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රුහුණු සරසවිය වසාදැමෙයි


රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ඒ අනුව ඉංජිනේරු , වෛද්‍ය සහ කෘෂී පීඨ හැර සෙසු පීඨ සියල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මෙණ්ඩිස් මහතා සඳහන් කරයි.

සුළු සිද්ධියක් පාදක කරගෙන විශ්ව විද්‍යාල සිසුන් අරගලකාරී ලෙස හැසිරීම විශ්ව විද්‍යාලය වසා දැමීමට හේතු‍වු බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවත් තත්ත්වය සාමකාමී වු පසු වසා දමා ඇති පීඨ යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සුසරිත් මෙණ්ඩිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

විදෙස් කතකගෙන් කප්පම් ගැනීමට ගොස් අසුවෙයි


විදේශීය කාන්තාවකගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කළ කාන්තාවක හුංගම ‍පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඉතාලි ජාතික කාන්තාවකට දුරකථනය ඔස්සේ තර්ජනය කර යූරෝ 500ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ විදේශීය කාන්තාව පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විමර්ශන වලදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදි විදේශීය කාන්තාවට තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනයද සොයා ගැනීමට පොලිසිය සමත් විය. දික්වැල්ල -නිල්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

"අපි වෙනුවෙන් අපි"වෙනුවට"රට වෙනුවෙන් අපි"

"අපි වෙනුවෙන් අපි"තේමා පාඨය පෙරදැරි කර ගනිමින් රටේ සියලුදෙනා ඒක රාශී වී කටයුතු කළ නිසාම ත්‍රස්ත්‍රවාදයෙන් මව්බිම නිදහස් කර ගන්නට හැකි වූ බවත් මින් ඉදිරියට"රට වෙනුවෙන් අපි"යන තේමා පාඨය පෙරට ගෙන රටේ සංවර්ධන අභියෝගය ජය ගන්නට කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට අනුබල දෙන රටවල් ත්‍රස්තවාදයටම බිලිවන බවත්, යළි ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදයක් ස්ථාපිත කිරීමට මෙරට ජනතාව කිසි විටකත් ඉඩ නොතබන බව තමාට විශ්වාස බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන රණවිරු විජයග්‍රහණ සැමරුම් උත්සවය අමතමිනි.

රට තුළ පැවති ත්‍රස්තවාදය හේතුවෙන් දීර්ඝ කාලයක් මෙරට ජනතාව විශාල කැපකිරීමක් සිදුකළ බව ද හෙතෙම පෙන්වනා දුන්නේය.

ජනාධිපතිවරුන් මෙන්ම මෙරට බුද්ධිමතුන් රැසක් ත්‍රස්තවාදයට බිලිවු බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළ අතර මානුෂීය මෙහෙ‍යුමෙන් ලෝකය පුදුමයට පත් කළා සේම සංවර්ධ‍නයෙන්ද ලෝකය පුදුමයට පත් කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderans

ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ


අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට උදෑසන 9 සිට ඉරිදා අළුයම එක දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඒ අනුව කොළඹ මහ නගර සභා ප්‍රදේශය, පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා ඇල යන නගර සභා ප්‍රදේශ සහ කැළණිය, වත්තල, මහර, දොම්පේ, බියගම ප්‍රාදේශීය සභා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එසේම බියගම අපනයන ප්‍රවර්ධන කලාපය, දෙකටන හා මල්වාන අවට ප්‍රදේශ, කැස්බෑව, බොරලැස්ගමුව, මහරගම, කෝට්ටේ, කොළොන්නාව, කොටිකාවත්ත, දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල, බත්තරමුල්ල, හෝකන්දර සහ මාළඹේ යන නගර සභා සහ මහ නගර සභා ප්‍රදේශ වලට ද මෙය බලපවත්වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය. adaderana

සිසුවියට හදිකළ ටියුෂන් මාස්ටර්ට මාංචු


අම්පාර ගැමුණුපුර ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් තුළදී බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් එම පන්තියේ ඉගැන්වීමේ කටයුතු කළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 9ක් වු අදාළ දැරිය සැකකරු විසින් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය පැවසුවේය.

මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී සැකකරු විසින් වයස අවුරුදු 10ක තවත් දැරියකද ලිංගික අ‍පයෝජනයට ලක් කර ඇති බවටද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

සීගිරියේදී සද්ද දැමූ විදෙස් කත අත්අඩංගුවට


සීගිරිය නැරඹීමට ගොස් කලහකාරී ලෙස හැසිරුණු කොරියානු ජාතික කාන්තාවක් පොලිසීය අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව මහජනතාවට සීගිරි පර්වත භුමිය නැරඹීමට විවෘතව නොමැති අවස්ථාවේදී එය නැරඹීමට අවසර ඉල්ලා මෙලෙස කලහකාරී ලෙස හැසිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

ඇය සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයට අනවසරෙන් ඇතුළු වී එහි රාජකාරීයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන්ට ද බාධා කර ඇති බව සඳහන්ය. සිගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.adaderana

අනවශ්‍ය ඇඟිලි ගැසීම් බෑ -රත්නසිරි


ඕනෑම රටකට මෙරට ආයෝජනයට ඉඩ ලබා දුන්න ද අභ්‍යන්තර ඇඟිලි ගැසීම් වලට ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. රටක් විශාල වු පමණින් හෝ සමීපයේ පිහිටා තිබු පමණින් අනෙක් ර‍ටේ කටයුතු වලට ඇඟිලි නොගැසිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලබන වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රි ලංකාවේ පළමු ඉන්ධන ළිඳ කැණිමේ කටයුතු ආරම්භ කරන බව ද හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රත්නසිරි වික්‍රමනායක මහතා පැවසුවේය. adaderana

ජයලත් උපහාර උළෙල වර්ජනය කරයි


අද පැවැත්වෙන රණවිරු උපහාර උළෙලට තමන් සහභාගි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා පවසයි.

අදාළ උත්සවයට සහභාගි වන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා නොකිරීම තමාගේ මෙම තීරණයට හේතුව බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. කෙසේ වුවද අද පැවැත්වෙන උත්සවය සාර්ථක කර ගැනීමට හැකි වේවායි ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රාර්ථනා කරයි. adaderana