Friday, May 28, 2010

මැද පෙරදිග ගිය පිරිසක් යළි ගෙන්වයි


මැ‍දපෙරදිග සේවය සඳහා ගිය තවත් ‍ශ්‍රමිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.. එම කාර්යාංශ‍යේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ. රුහුණගේ මහතා පවසන පරිදි මැදපෙරදිග සේවයට ගොස් සිටියදී විවිධ ගැටලුවලට මුහුණදුන් සහ වීසා අවලංගු වී රැඳී සිටීමට සිදුවූ පිරිස් මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතය.
‍මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා තානාපති මට්ටමෙන් ලබාගත යුතු අවසරය පිළිබඳ මේ වන විට කටයුතු කරමින් සිටින බව රුහුණගේ මහතා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවෙනු ඇතැයි සඳහන් වේ.
මේ අතර කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ විදේශ සේවය සඳහා ගොස් අතරමංව සහ විවිධ ගැටලුවලට මුහුණ දී සිටින පිරිස් කඩිනමින් එවීම සඳහා කටයුතු කරන ‍ ලෙස සියලු තානාපති කාර්යාල වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවයි.
ගුවන් ගමන් තදබදය අවම කරගැනීම සඳහා ගිම්හාන නිවාඩු සමයට පෙර එවැනි පිරිස් එවීමට කටයුතු කිරීම වැදගත් බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පවසයි. adaderana

ඉන්දියාවෙන් හොරෙන් මැණික් ගෙනත්


නීතිවිරෝධී ලෙස මෙරටට මැණික් ගල් ගෙන ඒමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසන පරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.. ඔහු රේගුවට නොදන්වා මැණික් ගල් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් රැගෙන විත් තිබේ. ඊට අමතරව මෙරට වලංගු මුදලින් රුපියල් 14,900 ක මුදලක් ද ඔහු සතුව තිබූ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. පසුව එම සැකකරු වරද පිළිගැනීමෙන් පසු රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති අතර ඔහු සතු වූ මුදල් රාජසන්තක කර තිබේ. adaderana

වෙසක් සතියේ සුරා නීතියට 950 ක් හසුවෙලා


වෙසක් සමයේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම, නිෂ්පාදනය කිරීම ඇතුළු සුරාබදු පනත යටතේ වැරදි සිදුකළ පුද්ගලයින් 950 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
එයින් වැටලීම් 48 ක්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම් සම්බන්ධයෙන් බවත්,62 ක් අන්තරායකර ඖෂධ පනත යටතේ කළ වැටලීම් බවත් සඳහන් වේ.
එම දෙපා‍ර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ දින 3ක් තුළ සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල සම්බන්ධ කර ගනිමින් මෙම වැටලිම් සිදු කළ බවත්,වෙසක් සතිය පුරාම මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.adaderana

හොවාඩ්ගේ බලාපොරොත්තුවට ශ්‍රී ලංකාවෙන් තහංචි


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති ජෝන් හොවාඩ් මහතා පිළිබඳව කළ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාව සිය අකමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති සෝමචන්ද්‍ර ද සිල්වා මේ බව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
ජෝන් හොවාඩ් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයා වන අතර මුත්තයියා මුරලිදරන්ට 2004 වසරේ දී එල්ල වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවට දෙවරක්ම පරීක්ෂණ පැවැත්විය යුතු බවට‍ ප්‍රකාශ කරමින් ඔහු මුරලිදරන්ව අභියෝගයට ලක් කර තිබිණි..
ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඕනෑම ක්‍රිකට් කවුන්සිල නියෝජිතයෙකුට සහය පළ කළ ද ඉන් පිටත කිසිවෙකුත් පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව සෝමචන්ද්‍ර මහතා පවසා ඇත.
‍ජෝන් හොවාඩ්ට මෙම ධුරය ලබාගැනීමට නම් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 අතුරින් රටවල් 7 ක කැමැත්ත හිමිවිය යුතුය.. මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කැමැත්ත ඔහුට ලැබී ඇති අතර රටවල් 3 ක අකමැත්ත පළ වී තිබේ.
තවත් එක් රටක අකමැත්ත පළ වුවහොත් ජෝන් ‍හොවාඩ්ට මෙම ධුරය හිමිනොවේ. adaderana

ජාත්‍යන්තර ප්‍රජාව යනු එන්.ජී.ඕ කීපයක් නොවේ


ජාත්‍යන්තර ප්‍රජාව යන්න රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ලඝු නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බව හෙ‍තෙම පෙන්වාදෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාතීන් 196 ක් ඇතුළත්ව සිටියදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පමණක් බව පීරිස් මහතා පවසයි.
අමෙරිකාවේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එරට පැවති විශේෂ හමුවකදී මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.
රජයේ ආරක්ෂක අංශ මුදාගනු ලැබූ ලක්ෂ 3කට ආසන්න සිවිල් ජනතාව පිළිබඳවත් එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කරනු ලැබූ දහස් ගණනක් වන ජනතාව පිළිබඳවත් අමතක නොකළ යුතු බව එහිදී පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. adadaerana

කුණු වළකින් බිළිඳියක් හමුවෙයි


මස්කෙලිය-නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ළකඹේ ප්‍රදේශයේ කුණුවළක දමා ගොස් සිටි බිළිඳියක සොයා ගැනීමට මස්කෙලිය පොලිසිය සමත්වී තිබේ. ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරකට අනුව අද උදෑසන 7.00 ට පමණ මෙම බිළිඳිය සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු දිනක් පමණ වයසැති මෙම බිළිඳිය මස්කෙලිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.. බිළිඳිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙළිය දිසා රෝහලේ වෛද්‍ය නිළධාරී ජි.ජි.පි. ගමගේ මහතා පවසයි.
බිළිඳියගේ මව සොයා මස්කෙළිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. adaderana

බිම් බෝම්බ වෙනුවට උතුරට විදුලිය


උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කෙරෙන සෑම ප්‍රදේශයකටම විදුලිය සපයා දෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. උතුරු පළාතේ කඩිනම් සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව හෙතෙම කියා සිටියි.
වව්නියාවේ සිට යාපනයේ චුන්නාකමම් දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය අලුතින් පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා‍ මෙම අදහස් පළ කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපන් ජාත්‍යන්තර මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයා තිබේ.. මෙම අවස්ථාවට ඩග්ලස් දේවානනන්දා , රිෂාද් බදුයුදීන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරුන් ද සහභාගි වී තිබේ. adaderana

පලාගිය සිරකරු යළිත් හිරේට


පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පලාගිය සිරකරුවෙකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිරකරු අප්‍රේල් මස 18 වන දින සිරකඳවුරෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වේ.
පුරාවස්තු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ. දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. adaderana

අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගහන්න දෙන්නේ නෑ


මානූෂීය මෙහෙයුමේ අවසාන අදියරේදී සාමාන්‍ය වැසියන් ඝාතනය වු බවට එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා හමුදාව කිසිවිටකත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල නොකරන බව හෙතෙම පෙන්වා දෙයි. "අල්ජසීරා"රූපවාහිනීය සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ. දෙමළ ජනතාවට නිදහසේ ජිවත් විය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ ‍ මේ වන විට ඇති කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන‍්නේය.
උතුරේ සිටින ජනතාවට දකුණටත් දකුණේ සිටින ජනතාවට උතුරටත් නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් බිහිවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.. මේ වන විට නැවත පදිංචි කිරීමේ කටයුතු සියයට 90ක් පමණ අවසන් කර ඇති බවත් දෙසැම්බර් මාසයට පෙර සහන ගම්මානවල සිටින සියලු වැසියන් නැවත පදිංචි කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.
මෙරට අභ්‍යන්තර ගැටලු වලට කිසිදු රටකට හෝ කිසිදු සංවිධානයකට මැදිහත් වීමට ඉඩ නොතබන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. adaderana

‍ත්‍රස්ත ක්‍රියාකාරකම් ඇතුළත් ජංගම දුරකතන අල්ලයි


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල දර්ශන ඇතුළත් ජංගම දුරකථන සමග පුද්ගලයන් තිදෙනෙකු මඩකළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඊයේ පස්වරුවේ මඩකළපුව ප්ලොට් හංදිය මාර්ග බාධකයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් හා වෙනත් අසභ්‍ය දර්ශන ඇතුළත් පරිඝණකයක් සහ උපාංග ද සොයාගෙන තිබේ..
මොවුන් නාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි. වව්නතිව් පොලිසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

ජංගම දුරකතන සොරෙක් මාට්ටු


ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්ස්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කාලයක සිට අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ‍ගත් සැකකරු මත් ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. adaderana

තාප්පයකට බිලිවීමෙන් සෞදියේදී අයෙක් මරුට


සෞදි අරාබියේ කම්කරුවකු ලෙස සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෙකු තාප්පයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. රියාද් නගරයේ සේවයේ කරමින් සිටියදී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තාප්පය කඩාවැටීමේ සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ මිනිය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාශයේ අතිරේක සාමානධිකාරී එල්.කේ රුහුණගේ මහතා පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. adaderana

ඩුබායි සිට අඩු වියදම් ගුවන් සේවයක්


ශ්‍රි ලංකාව හා ඩුබායි අතර නව ගුවන් ගමන් සේවයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. ඩුබායි ගුවන් සමාගමක් මගින් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බව සඳහන්ය. ලබන මස සිට ආරම්භ කිරීමට නියමිත මෙම ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාම මෙමගින් අරමුණු කෙරෙන බව එම ගුවන් සමාගම පවසයි.
ශ්‍රි ලාංකික ගුවන් මගීන් ලක්ෂ තුනක් පමණ මෙහි සේවය ලබාගනු ඇති බවට අදාළ ගුවන් සමාගම අපේක්ෂා කරයි. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් සිදුකිරීමට ද නියමිතය.adaderana

හොර කුලීකරුවන් දෙදෙනෙක් හසුවේ


කුලී ගමන් යන මුවාවෙන් ගමනාන්තයට නොගොස් මගීන් අතරමං කර ඔවුන් සතු භාණ්ඩ පැහැරගන්නා පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව පරීක්ෂණ පැවැත්වු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මාතලේ දික්කිරියවත්ත ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. adaderana

Wednesday, May 26, 2010

රනිල්ගේ නායකත්වය ශක්තිමත්



එක්සත් ජාතික පක්ෂයේ යම් වෙනස් කමක් සිදුවිය යුතු බව තමන්ගේ ද පෞද්ගලික මතය බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

එහෙත් පක්ෂ නායකත්වය වෙනස් විය යුතු ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රකාශ කිරීමට කැමැත්තක් නොදක්වන බවත්,එය තීරණය කිරීමේ වගකීම එ.ජා.ප කෘත්‍යධිකාරී මණ්ඩලය සතු වන බවත් ඇය කියා සිටියාය.

ස්වර්ණමාලී මහත්මිය මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස ඉතාමත් බුද්ධිමත්,ශක්තිමත් හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ශ්‍රේෂ්ඨ නායකයෙකු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

නායකත්වය ගන්නා දිනය මගෙන් අහනවා


හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාව එක්සත් ජාතික පක්ෂය තුළ විප්ලවයක් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එකී විප්ලවය නම් පක්ෂ නායකත්වය හම්බන්තොට දිස්ත්‍රීක්කයට දිනා දීමේ විප්ලවය බව හෙතෙම කියා සිටියේ අද හම්බන්තොට -තිස්සමහාරාමය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. දිස්ත්‍රීක්කයේ මෙන්ම දිස්ත්‍රීක්කයෙන් පිටත ජනතාවද තමන්ගෙන් පක්ෂයේ යම් යම් ඉහළ තනතුරු ලබා ගන්නේ කවදාදැයි අසන බවත්,විශේෂයෙන්ම පක්ෂ නායකත්වය ගන්නේ කවදාදැයි අසන බව හෙතෙම කියා සිටියේය.
පක්ෂ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු සඳහා ඡන්ද බලයෙන් තෝරා පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනා ලැබූ ජයග්‍රහණයක් බව ත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉතා පහළ පාන්තික,දක්ෂයින්ට පවා පක්ෂයේ ඉහළ තනතුරු දැරීමට අවස්ථාව සැලසෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaderana

පාලිත රංගේට පහරදුන්නාට නිදහසට කරුණු විමසයි


පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසන පරිදි පසුගිය මැයි මස 11 වැනි දින මීට අදාළ ලිපිය ලියාපදිංචි තැපෑලෙන් අබේසේකර මහතා වෙත යොමු කර ඇත.
ඒ අනුව මේ මස 31 වැනි දිනට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අබේසේකර මහතාට අවස්ථාව ලබාදී තිබේ. එදිනෙන් පසු මේ පිළිබඳ විනය පරීක්ෂණ මණ්ඩලයක් පත්කෙරෙන අතර එහිදී ඉදිරිපත් කෙරෙන නිර්දේශ පක්ෂයේ විනය කමිටුවටත් එමගින් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් ඉදිරිපත් කරන බව තිස්ස අත්තනායක මහතා පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පළ වන වාර්තා හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. adaderana

අසැබි වෙබ් අඩවි වලට යාම වළකන්න තැතක්


ජංගම දුරකතන මගින් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස බම්බලපිටිය ළමා අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එවැනි අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව එම කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලදී එවැනි අසභ්‍ය වෙබ් අඩවි 50 ක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව එවැනි වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තා කිරීම සඳහා ජංගම දුරකතන සමාගම්වල කළමනාකරුවන්ට ලබන දෙවැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස ද ළමා අධිකරණයේ විනිසුරුවරිය දැනුම් දී තිබේ.adaderana

අයිෆා වෙනුවෙන් පොලීසිය සීරුවෙන්


මෙරටදී පැවැත්වීමට නියමිත අයිෆා සිනමා සම්මාන උ‍ළෙල වෙනුවෙන් වි‍ශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 6,000 කට වැඩි පිරිසක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අයිෆා සිනමා ‍උළෙල වෙනුවෙන් කොළඹ නගරයේ අලංකරණ කටයුතු ඇතුළු විශේෂ ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් දියත් කර තිබේ.
සිනමා උළෙල සඳහා පැමිණෙන ආරාධිතයින් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය ද කටයුතු යොදා ඇති බව සඳහන් වේ-. adaderana

විනය පරීක්ෂණයක් නැතිව ඉවත් කරන්න බෑ


තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම් දීමක් තමන් වෙත සිදුකර නොමැති බව හෙතෙම කියාසිටියි.
කිසියම් අවස්ථාවක සාමාජිකයෙකු පක්ෂයෙන් ඉවත් කරන්නේ නම් ඔහුට අදාළව විනය පරීක්ෂණයක් සිදුකරන බව පෙන්වා දෙන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විනය පරීක්ෂණයේ දී තමාගේ නිවැරදිභාවය සනාථ කළ හැකි බව ද පවසයි.
පක්ෂ සාමාජිකයෙකු බලහත්කාරයෙන් කිසිවෙකුටත් පක්‍ෂයෙන් ඉවත් කළ නොහැකි බව මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

රෝගීන් ආපසු හරවා යවන රෝහලක්


තන්තිරිමලේ රෝහලේ වෛද්‍යවරුන් නොමැති වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. මෙම රෝහලේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරුවී යාමත් වෛද්‍යවරිය ප්‍රසූත නිවාඩු යාමත් හේතුවෙන් මෙම රෝහලේ මෙතෙක් සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන් දෙදෙනාගේම සේවය ප්‍රදේශයේ ජනතාවට අහිමි වී තිබේ.
තන්තිරිමලේ ප්‍රදේශයේ 2,500 ට අධික පවුල් සංඛ්‍යාවක් පදිංචිව සිටින අතර තවත් 1,500 ට අධික ආරක්ෂක අංශවල පිරිස්ද සිටිති. මේ වන විට රෝහලේ වෛද්‍යවරුන් නොමැති ‍හෙයින් රෝගීන්ට කි.මීටර් 45 ක පමණ දුරක් ගෙවා අනුරාධපුරය රෝහලට හෝ කි.මීටර් 17 ක් ගෙවා විලච්චිය රෝහලට යා යුතුවේ.
එහෙත් හදිසි රෝගාබාධ තත්ත්වයක් වැළඳුණු අයෙකු මෙන්ම සර්පයෙකු දෂ්ඨ කිරීමක් වැනි අවස්ථාවක මේ සා දුරක් ගෙවා රෝහලකට ප්‍රතිකාර සඳහා ගෙන යන විට රෝගියාගේ ජීවිතයට තර්ජනයක් වීමට ඇති ඉඩ කඩ වැඩි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
තන්තිරිමලේ රෝහලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීම රෝහල් කාර්ය මණ්ඩලයේ කාර්යභාර්ය වී තිබේ.adaderana

පොළොන්නරුව මහ රෝහල පළාත් සභාවෙන් ගිළිහෙයි


පොළොන්නරුව මහරෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම සඳහා උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඊයේ පැවති පළාත් සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 6 ක් ලැබී තිබුණි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසන පරිදි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ‍පළාත් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
සෑම දිස්ත්‍රික්කයකම රෝහලක්, ජාතික රෝහලක් බවට පත්කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පවරා ගැනීම සිදුකිරීමට නියමිතව තිබේ. adaderana

නිරිත දිග මෝසම් අවිනිශ්චිතයි


නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වන කාලසීමාව පිළිබඳ තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ එස්.ආර්. ජයසේකර මහතා සඳහන් කරන පරිදි වායුගෝල‍ෙය් පවතින ස්වභාවය හේතුවෙන් තවදුරටත් දිවයිනේ සියලු ප්‍රදේශවලින් වැසි අපේක්ෂා කළ හැකිය. අද දිනයේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
කෙසේ වුව ද බස්නාහිර පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයකින් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය සතියක පමණ කාලයක සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්වූ අතර ඊයේ දහවල් වන විට පුද්ගලයින් දෙලක්ෂ 27,000 ක් පමණ අවතැන් ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි. adaderana

වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රියක්


වෙසක් සතිය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවයක් අද සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.. ඒ අනුව අද සහ හෙට කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.25 ට ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 6.20 ට අනුරාධපුරයට ළඟා වීමට නියමිතය.
මීට අමතරව හෙට සහ අනිද්දා දිනවල අනුරාධපුරයෙන් පෙරවරු 8.45 ට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබේ. මරදාන ‍දුම්රිය ස්ථානයේ සිට උදෑසන 10.00 ට කළුතර දක්වාත් කළුතර සිට පෙරවරු 11.50 ට මරදාන දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව දිනපතා මරදාන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය, දකුණු කළුතර දක්වා ගමන් කරවීමට ද තීරණය කර තිබේ.. අනුරාධපුරය, අටමස්ථානය සහ කළුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වේ. adaderana

කොළොන්නාව නගර සභාවට එරෙහිව තීන්දුවක්


කොළඹ නගරයේ එක්රැස් වන කැලිකසළ ප්‍රමාණය ඉක්මවා කොළොන්නාව ප්‍රදේශයේ ගොඩගැසීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහ නගර සභාවට නියම කර තිබේ.

කොළොන්නාව ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදුකර ඇත.. පැමිණිලිකරුවන් කියා සිටියේ කොළඹ නගරයේ එක්රැස්වන කැලිකසළ බැහැර කිරීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ අක්කර 2ක ‍භූමි භාගයක් පමණක් වෙන් කර තිබූ බවයි.

එහෙත් කොළඹ මහනගර සභාව එම සීමාව උල්ලංඝනය කරමින් අක්කර 8 ක පමණ භූමි භාගයක කැලි කසළ බැහැර කිරී‍මෙන් විශාල පාරිසරික අර්බුදයක් හටගෙන ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

අදාළ කරුණ සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරියට දන්වා සිටින ලදී.

අන්තරේ කැඳවුම්කරුට නොතීසි


ජනාධිපතිවරයාට සහ රජයට අපහාසාත්මක අයුරින් බැණ වැදී රජයේ දේපළවලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර ඇති අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
කුරුඳුවත්ත පොලිසිය මගින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය සැකකරු ලබන මස 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කළාය.
පසුගිය 20 වැනිදා සිසුන් 400 ක් පමණ සමග පෙළපාලියකින් පැමිණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධා ගේට්ටුව කඩා බිඳ දමා කලහකාරී අයුරින් හැසිරුණු බවට උඳුල් ප්‍රේමරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙය මහජන සාමය කඩකිරීමේ සිද්ධියක් බවත් මේ පිළිබඳ ප්‍රකාශ රැසක් සටහන් කරගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි. adaderana

රටට අයහපත් ගිවිසුම් නෑ


රටට හෝ ජනතාවට අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කිසිඳු ගිවිසුමකට හෝ ලියවිල්ලකට අත්සන් තැබීමට රජය සූදානම් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යෝජිත සීපා ගිවිසුමට විරෝධය පළ කරමින් වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන් සහ ඉංජි‍නේරුවරුන් ඇතුළු ‍නියෝජිත පිරිසක් සංදේශයක් භාරදීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉන්දියාව සමග අදාළ ගිවිසුමට අත්සන් තැබුවහොත් එරට නිෂ්පාදන හා සේවාවන් විශාල වශයෙන් මෙරටට ‍ග‍ලාඑන අතර එයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවාවලට තර්ජනයක් විය හැකි බව අදාළ පිරිස පෙන්වා දී ඇත.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එක් පාර්ශවයකට පමණක් වාසි සැලසෙන ගිවිසුමකින් සාර්ථක ප්‍රතිඵල අත්නොවන බවයි. සීපා ගිවිසුමට විරෝධය පළ කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබුණි.
නවීන පහසුකම් සහිතව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු අතර අරලිය ගහ මන්දිරයේ දී ඊයේ පැවති වරාය හා ගුවන්සේවා අමාත්‍ය‍ාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මීට අදාළ කරුණු සාකච්ඡා වී තිබේ.. adaderana

දෙදහසක් අවතැන් කඳවුරු 37 ක


ගංවතුරෙන් පීඩාවට පත්වූ තවත් පවුල් දෙදහසක් පමණ අවතැන් කඳවුරු 37 ක සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෙසේවුව ද ඉදිරි දින කිහිපය තුළ ඔවුන්ට යළි නිවෙස් වෙත යා හැකි වනු ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගංවතුර‍ හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසක් පීඩාවට පත්වූ අතර එයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මේ වන විට ගංවතුර තත්ත්වය බොහෝ දුරට පහව‍ගොස් ඇති බව වාර්තා වේ. adaderana

ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු ලබන මාසයේ අවසන්


උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ ඇති ගුරු පුරප්පාඩු ලබන මාසය වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 554 දෙනෙකු බඳවා ගැනීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව හෙතෙම කියා සිටියි.
පසුගිය කාලයේ සිදුකළ විවිධ අත්හදාබැලීම් සහ තීන්දු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතැම් අහිතකර ප්‍රතිඵල නිර්මාණය වී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා‍දෙයි. ඉදිරියේ දී පාසල් අතර ඇති විෂමතාවය හා පරතරය අඩු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
මෙරට ඉංග්‍රීසි ගුරුවරුන්ට කොරියාවේ ගුරුවරුන් ලෙස සේවය කිරීමට අවස්ථාව උදාවී ඇතැයි ද කොරියානු තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බව ද ඇමතිවරයා කියා සිටියේය. මේ අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට නොහැකි වූ දෙමාපියන් 1500 ක් පමණ අභියාචනා ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි..
පාසලක් නොලැබුණු දරුවන්ට ලබන වසරේ පාසලක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි. adaerana

ගාස්තුව ඉහළ නැංවීම කල්යයි


බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථවල ලොග් පත්‍ර සඳහා වන ගාස්තුව ඉහළ නැංවීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කල් දමා තිබේ. ජූලි පළමු වැනිදා සිට අදාළ ගාස්තුව රුපියල් 500‍ සිට රැපියල් 1000 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබු බව එම අධිකාරියේ සභාපති පියසේන දිසානායක මහතා පැවසුවේය.
එහෙත් ඒ පිළිබඳ බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹීම සඳහා තීරණය කළ බව දිසානායක මහතා පවසයි. කෙසේ වෙතත් එවැනි ගාස්තු ඉහළ නැංවීමක් සිදුවුවහොත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ එම සංශෝධනය ද ඇතුළත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය. ඒ අනුව අවසානයේ මගී ජනතාවට එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන බව විජේරත්න මහතා සඳහන් කරයි. adaderana