Wednesday, March 24, 2010

ලසන්ත ඝාතනය ගැන ටිරාන්ගෙන් ප්‍රශ්නකරයි


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාගේ සමීපතමයෙකු වන ටිරාන් අලස් මහතාගෙන් අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර තිබේ..
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව මෙසේ පැයක පමණ කාලයක් ප්‍රශ්න කළ බව අද දෙරණ කළ විමසීමකදී ටිරාන් අලස් මහතා කියා සිටියේය.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීමට පැය භාගයකට පෙර තමන්ට දුරකථන ඇමතුමක් දුන් බවත්,එකී අවස්ථාවේදී ඔහු ලුහුබඳිමින් සිටි යතුරුපැදි පිළිබඳ යමක් කීවේදැයි යන්න ප්‍රශ්න කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටයේ ඒ පිළිබඳ නිසි තොරතුරක් තමන්ට තාමත් නොලැබුණු බවයි. adaderana

සමෘද්ධිය 1000 න් වැඩියි


ඉදිරි අයවැයෙන් සමෘද්ධි දීමනාව රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
දැනට අවම සමෘද්ධි දීමනාව වශයෙන් එක් පවුලක් සඳහා රුපියල් 375ක මුදලක් ගෙවන බව ඔහු සඳහන් ක‍රයි.
ඉදිරියේ දී තවත් ලක්ෂ 10 ක පමණ පිරිසකට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා තෝරාගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පවසයි.
මේ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, රාජ්‍ය සේවකයන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කිරීමට ද තීරණය කර ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. adaderana

වරායේ රස්සා පොරොන්දු වී දහස් ගණන් පිල්ලිගහලා


ව්‍යාජ ලිපිලේඛන සකස් කොට වරාය අධිකාරියේ රැකියා ලබාදෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ රැකියාවක් ලබාදීම සඳහා අත්තිකාරම් මුදලක් ලබාගනිමින් සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි..
අම්බලන්තොට, බැරගම ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකු වන ඔහු ගුවන් හමුදාවෙන් පළාගිය අයෙකු බව සඳහන් වේ. සැකකරු සතුව තිබී වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නමින් සකස් කළ ව්‍යාජ නිල මුද්‍රාවක් ද වරාය අධිකාරියේ ලිපි ශීර්ෂ දෙකක් සහ තීන්ත පෑඩ් එකක් ද සොයාගෙන තිබේ..
සැකකරු විසින් රැකියා ලබාදෙන බව පවසමින් තලගහ හන්දිය සහ මාම්පිටිය පදිංචිකරුවන් දෙදෙනකුගෙන් රුපියල් 20,000 සහ රුපියල් එක් ලක්ෂ 35,000 බැගින් ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.adaderana

ක්ෂය රෝගීන් 15,000 ක්


මෙරට ක්ෂය රෝගීන් 15,000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේ.එස්.බී. ද අල්විස් මහතා පවසන පරිදි ඔවුන්ගෙන් බහුතරයක් අඩු ආදායම් ලාභීන් වන බවයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් ක්ෂය රෝගීන් වාර්තා වන අතර ක්ෂය රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය අල්විස් මහතා මෙම කරුණු අනාවරණය කරන ලදී.
ක්ෂය රෝගීන් කොන් කිරීමට සමාජය පෙළඹීම හේතුවෙන් විශාල හානියක් වන බව ද වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.adaderana

පුද්ගලික අංශයට වී දෙන්න එපා


පෞද්ගලික අංශයට වී අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඇතැම් පෞද්ගලික අංශයේ ආයතන ගොවීන්ට අඩුමිලක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියි.
තම අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත වී අලෙවි කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවට දැනුම් දෙයි.
අද කොළඹ පැවති ‍මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව නාඩු මිල රු.28.50 ටත්,සම්බා මිල රු.30.50 ටත් මිලදී ගන්නට රජය සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.adaderana

විශ්ව විද්‍යාලයට කඩ්ඩ අනිවාර්යයි


මෙවර විශ්ව විද්‍යාලය සඳහා ඇතුළත් වන සිසුන් සඳහා ඉංග්‍රිසි භාෂාව විෂයක් වශයෙන් හැදෑරීම අනිවාර්යය කර තිබේ.
උසස් අධ්‍යාපන අමාත්‍ය විශ්වා වර්ණපාල මහතා පවසන පරිදි විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සිසුන් කුමන පාඨමාලාවක් හැදෑරුවද ඉංග්‍රීසි භාෂාව විෂයක් වශයෙන් හැදෑරිය යුතුය.
නව ලෝක ප්‍රවණතා හා රැකියා වෙළෙඳ‍පළ සඳහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය සාධකයක් බැවින් මෙම පියවර ගත් බව හෙතෙම කියා සිටියි.
එබැවින් විශ්ව විද්‍යාලයේ පළමු වසර සඳහා සිසුන්ට ඉංග්‍රීසි භාෂාව හැදෑරීම අනිවාර්ය කර ඇති බව විශ්වා වර්ණපාල අමාත්‍යවරයා පෙන්වා දෙයි. adaderana

රජරට පීඨ තුනක් වසයි


රජ රට විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් දින නියමයක් නැතිව වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ. සිසුන් පිරිසක් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙසේ තාවකාලිකව පීඨ තුනක් වසා දැමීමට තීරණය කළ බව උපකුලපති මහාචාර්ය ඒ.ඒ නන්දසේන මහතා සඳහන්කරයි. adaderana

ගණන් කරන්නන් නිරීක්ෂණයටත් අවසරයි


මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ පවත්වන දිනයේදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නිරීක්ෂකයින්ට ඇතුළු වීමට අවසර ලබා දී ඇති බව ෆැපරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ෆැපරල් ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අවසරය ලබා දී ඇති බව සඳහන් වේ. මැතිවරණ නිරීක්ෂකයින්ට ‍නිරීක්ෂණය සඳහා මේ වන තෙක් අවසර ලබා දී තිබුණේ ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදුකරන තෙක් වන කටයුතු පමණි.
එසේ වුවද මෙවර මැතිවරණයේදී ගණන් කිරීමේ ඡන්ද මධ්‍ය්ස්ථාන කිහිපයකට සහ අවසන් ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවන් නිරීක්ෂණය කිරීමට මැතිවරණ නිරීක්ෂකයන්ට අවසර ලබා දී ඇති බව විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

ඒකෝන් කනගාටුවෙයි


පවත්වන්නට නියමිතව තිබූ ප්‍රසංගයකට කැඳවන්නට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකාවේ ඇති වූ සිදුවීම් පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශකරයි.
තමන්ගේ ගීතයකට අදාළ රූප රාමුතුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන් නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.
එසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වන විට සඳහන් කර ඇත. ඔහු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව කියැවේ.
හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.
මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය. adaderana

අපරාධකරුවන් 5 ක් මාට්ටු


අපරාධ රැසකට සම්බන්ධ‍ පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර නවය වර්ගයේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. adaderana

තිස්සනායගම් බ්‍රිතාන්‍යයෙන් අගයයි


ජේ.එස්.තිස්සනායගම් වසරේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 16 දෙනා අතරට බ්‍රිතාන්‍ය විසින් නම් කර තිබේ.
මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජිවිතය තුළ අභියෝගාත්මක ඉලක්කයන් සපුරා ගැනීම නිසා තිස්සනායගම් මහතා මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු සාධක වන බව සඳහන් වේ.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ජේ.එස්.තිස්සනායගම් මහතා මේ වන විට ඇප මත මුදා හැර තිබේ. ඔහුට එරෙහිව ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා මත වසර 16ක සිර දඬුවමක් නියම වු අතර පසුව අභියාචනාධිකරණය මගින් ඔහු ඇප මත නිදහස් කෙරුණි.
ලංකාවේ මාධ්‍යවේදියෙකුට එරෙහිව නියම වු ඉහළම අධිකරණ දඬුවම ලෙස ද මෙය සැළ‍කේ.
බ්‍රිතාන්‍ය විසින් නම් කෙරුණු සෙසු ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 16 දෙනා අතර ඊජිප්තුව , ඉරාකය , ඉරානය , එරිත්‍රියාව , අෂර්බයිජානය , බුරුමය යන රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් ද නම් කර තිබේ. adaderana

ප්‍රචණ්ඩ ක්‍රියා 110 යි


මහ මැතිවරණයට අදාළව පුර්ව ප්‍රචන්ඩ ක්‍රියා මේ වන විට 110 ක් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එයින් සිදුවීම් 32 ක් රාජ්‍ය දේපල අයථා පරිහරණය සම්බන්ධයෙන් බන බව නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒසේම එයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා නීරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වාදෙයි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 127 ක් වන අතර එම පැමිණිලි වලින් 25 ක් සන්ධානයේම ආධාරකරුවන් අතර සිදුවු ප්‍රචණ්ඩ ක්‍රීයාවන්ට අදාළ පැමිණිලි බව සඳහන් වේ.
මීට අමතරව එක්සත් ජාතික .
පක්ෂයට එරෙහිව පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා පැමිණිලි 07 ක් ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය වාර්තාකරයි. එමෙන්ම චූදිතයින් හඳුනා නොගත් පැමිණිලි 35ක් ද එම මධ්‍යස්ථානයට ලැබී තිබෙන අතර ස්වාධීන කණ්ඩායමකට එරෙහිව ද එක් පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන් වේ. adaderana

මෙදා අවුරුදු නෑ


මෙවර සිංහල අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සැමරීමට තරම් මානසිකත්වයක් තමාට නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
යුද්ධය නීමා වී එළඹෙන පළමු සිංහල අවුරුද්ද නිදහසේ සැමරීමට නොහැකි වීම තමාටත් තම ස්වාමියා වන සරත් ෆොන්සේකා මහතාටත් අමිහිරි අත්දැකීමක් වනු ඇති බව ඇය කියා සිටියි.
බොහෝ දෙනෙකුට නිදහසේ අවුරුදු සිරිය විඳින්නට හැකි පරිදි රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ තම ස්වාමියාට අභූත චෝදනා නඟා සිරකර ඇති වගද ඇය සඳහන් කළාය.
අනෝමා ෆොන්සේකා මහත්මිය මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ මොණරාගල පැවති මැතිවරන ප්‍රචාරක රැලියකට සහභාගි වෙමිනි. adaderana

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක්


උතුරු හා නැඟෙනහිර පළාත් වල බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
මේ යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම් 7ක් ද ශ්‍රි ලංකාවට එවීමට නියමිතව ඇත.
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ.කාන්ත් මහතා පසුගියදා උතුරු ප්‍රදේශයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම ‍තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.
දැනටමත් වව්නියාව සහ මන්නාරම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල ඉන්දීය ජාතිකයින් පිරිසක් නිරතව සිටින බව වාර්තා වේ. adaderana

ඒකෝන්ට තහංචි


සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව කියැවේ.
හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි. මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය. adaderana

Tuesday, March 23, 2010

ඒකෝන් ගෙන්නන්න එපා


හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය පවසයි.
මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
මේ හේතුව නිසා මෙම ප්‍රසංගයට එරෙහිව රට තුළ දැඩ් විරෝධතාවයක් නිර්මාණය වෙමින් පවතින බවත්,මෙම ප්‍රසංගය පැවැත්වීම ශ්‍රීලංකාව වැනි ‍බෞද්ධ රටකට කිසිසේත්ම නොගැළපෙන බවත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේය.
එහෙත් ඒකෝන් ප්‍රසංගය නියමිත පරිදි පැවැත්වෙන බව එය සංවිධානය කරන ලද"ප්ලැටිනම් එන්ටර්ටේට්මන්ට්"හි අධ්‍යක්ෂ ලසන්ත සමරසිංහ මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ප්‍රසංගය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් බවයි. adaderana

රටට ද්‍රෝහී වූවන් මර බියෙන්


රටට ද්‍රෝහී වු දේශපාලනඥයින්ට මෙවර ඡන්දය මරබිය ගෙන දෙන්නක් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මැතිවරණයකදී දේශපාලනඥයාට තමන්ගේ භූමිකාව පිළිබඳව ජනතාවගේ විනිශ්චය ලබා ගත හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. එහෙත් රටට හතුරු වු මෙන්ම මව් බිම පාවා දීමට උත්සාහ කළ දේශපාලනඥයින් මෙවර මැතිවරණයේදී බියෙන් පසුවන බව වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කරනු ලැබුවේ කොට්ටාව මා කුඹුර ප්‍රදේශයේ පිහිටි වීරවංශ මහතා‍ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
මැතිවරණයෙන් පසු රටට ද්‍රෝහී වු දේශපාලනඥයින්ගේ දේශපාලන වශයෙන් අවසන් ගමන් යෑම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
මාතෘ භූමිය ජයග්‍රහණය කරවීමේ තීරණාත්මක අභියෝග වලට මුහුණ දුන් තමන්ට මැතිවරණ වලට මුහුණ දීමට කිසිදු බියක් නැතැයි වීරවංශ මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.adaderana

ඒජන්සි ගොඩනැඟිල්ලෙන් පැන්න ගෘහ සේවිකාව ගැන විශේෂ පරීක්ෂණයක්


ගෘහ සේවය සඳහා ලෙබනනයට ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ.රුහුණගේ මහතා පවසන පරිදි ලෙබනන් පොලිසිය සමග මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස එරට තානාපති අංශ දැනුවත් කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 30 හැවිරිදි කාන්තාවකි.
එම කාන්තාව තමන් ගෘහ සේවයේ යෙදී සිටි නිවසේ නිවැසියන් විසින් රැකියා ඒජන්සිය වෙත යොමු කර ඇති අතර අදාළ ඒජන්සියේ ගොඩනැඟිල්ල මතින් බිමට පැන දිවි හානී කරගෙන ඇති බවට වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඇගේ දේහය මෙරට‍ට ගෙන ඒම සඳහා ද කටයුතු සිදුකෙ‍රෙමින් පවතින බව ‍රුහුණගේ මහතා පැවසීය.
අදාළ ලෙබනන් ඒජන්සිය තාවකාලිකව ශ්‍රී ලංකාව තුළ අත්හිටුවීමට ද කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.adaderana

එල්.ටී.ටී.ඊයට ඔත්තු දුන් එස්.අයි ගේ අත්සන් පරීක්ෂා කරයි


කොටි බුද්ධි අංශයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් අත්සන පරීක්ෂාවට ලක් කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ත්‍රස්ත මර්දන ඒකකයට අවසර ලබා දී තිබේ.
මෙසේ අවසර ලබාදුන්නේ ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණ‍යෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සුජීව නිශ්ශංක මහතා විසිනි. ඒ අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් අත්සන් ලබා ගැනීම අධිකරණ පරිශ්‍රයේදී අද සිදුකෙරුණි.
මෙම උප‍ පොලිස් පරීක්ෂකවරයා එල්.ටි.ටි.ඊ.සංවිධානයට සම්බන්ධ වීම සඳහා ඉදිරිපත් කළ අයඳුම්පතක් ‍පුදුකු‍ඩුඉරිප්පු ප්‍රදේශයෙන් සොයාගත් බව ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
එම අයදුම්පතේ ඇති අත්සන අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීයාගේ ද යන්න තහවුරු කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණයි බව ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කරයි.
විදේශ රටක සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණය හමුවේ කියා සිටින ලදී.
කොළඹ වරාය හා පොලිස් මූලස්ථානය පිළිබඳව මෙම පොලිස් නිලධාරීයා විසින් කොටි සංවිධානයට තොරතුරු ලබා දී ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයිද අධිකරණය හමුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන ලදී. adaderana

ගණිකා වෘත්තියේ යෙදී 50,000 ක් දඩකයි


අම්පාර- දමන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට අම්පාර පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය සමත් වී තිබේ.
එහිදී පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැර ඇත.
සෙසු සැකකරුවන් තිදෙනා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ඒ.ඩී.චාමින්ද සම්පත් මහතා නියෝග කර තිබේ.adaderana

කුසලානයට ජන්දය දී ෆොන්සේකා නිදහස් කරන්න බෑ


කුසලානයට ජන්දය දීමෙන් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගත නොහැකි බව එක්සත් ජාතික පෙරමුණු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ රටේ රජයක් පිහිටුවීමේ හැකියාව පවතින්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත්, නමුත් නිදහස් පක්ෂ රජයක් යටතේ කිසිදු අවස්ථාවක සරත් ෆොන්සේකා මහතා නිදහස් නොකරන බවත්, ඔහු නිදහස් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ රජය පමණක් බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සරත් ෆොන්සේකා මහතාට මුදල් ලැබීම සහ හිටපු හමුදා නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදාගත්තේද යන කරුණු පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බව ද ඒ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. adaderana

කිරිඳිවැල පෞද්ගලික බස් හිමියන් වර්ජනයක


කිරිඳිවැල බස්නැවතුම්පොලේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වීමට විරෝධය පළ කරමින් එහි පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් ආරම්භ කර ති‍බේ.
අමාත්‍ය පියසිරි විජේනායක මහතා විසින් මෙම ප්‍රචාරක රැළිය පැවැත්වීමෙන් බස් ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව පෞද්ගලික බස් රථ රියදුරන් පවසයි. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වීම සඳහා බස්නැවතුම්පොළ භූමිය මුදල් ගෙවා වෙන්කර ගෙන ඇති බව අමාත්‍ය පියසිරි විජේනායක මහතා සඳහන් කළේය. මීට පෙර එම ස්ථා‍නයේ මැතිවරණ ප්‍රචාරක රැළි පැවතුණු අතර එම අවස්ථා වල දී ද භූමිය නිදහස් කර දීමට ලංගම බලධාරීන් පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සන්ධානයේම අපේක්ෂකයෙකුගේ බලපෑමක් මත තමාට එරෙහිව පෞද්ගලික බස් රථ හිමියන් විසින් පෞද්ගලික බස් රථ හිමියන් යොදා ගෙන දැඩි ලෙස බලපෑම් එල්ල කරන බවට පියසිරි විජේනායක මහතා චෝදනා කළේය. ‍කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී අදාළ ගමන් වාර සඳහා ලංගම බස් රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.adaderana

නැවත පදිංචි කිරීම් වලට තවත් කාලය අවශ්‍යයි


යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ බිමි බෝම්බ ඉවත් කිරීම ආදී කටයුතු නිසා යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා තවත් කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා රජය පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ පිළිබඳව නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ නොහැකි බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
නමුත් මේ වනවිට දිනකට 1000 බැගින් වාර්තා ගත ජන සංඛ්‍යාවක් නැවත පදිංචි කළ බවත්, නමුත් එම ජනතාව වෙනුවෙන් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව ද රජය පවසයි. එමෙන්ම තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට ද නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණිය හැකි බව ද, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ද ඔවුන් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ වාර්ගික සමගිය ගොඩනැගීම සඳහා ඉන්දීය රජයේ මෙන්ම තමිල්නාඩුවේ සහය අවශ්‍ය බවත්, නමුත් එහිදී ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කිරීමත්, රජයේ අදහස් හා අපේක්ෂාවන්ට මුල් තැන ලබාදීමත් අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රජය පවසන බව එම ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderaaana

කැබිනට් නොවන ඇමතිධූර වැඩක් නෑ


කැබිනට් නොවන අමාත්‍යධුර ලබා ගැනීමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් අත් නොවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හාළි ඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට වඩා නියෝජ්‍ය අමාත්‍යධුරයක් ‍දරන්නෙකුට ජනතාව වෙනුවෙන් යහපත් සේවයක් ඉටු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. කැබිනට් නොවන අමාත්‍යධුර ලබා දීමේ ක්‍රම වේදය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.adaderana

රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය ලබාදීමට රජය අසමත්


රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය ලබා දීමට ධීවර අමාත්‍යාංශය අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාවට ආහාර සඳහා මසුන් විදේශ රටවලින් ගෙන්වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ධීවර කර්මාන්තය නඟා සිටුවීමට අසමත් සන්ධාන ආණ්ඩුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ‍ආශ්චර්යය බවට පත් කරන්නේ කෙසේ ද යන්න විජිත හේරත් මහතා ප්‍රශ්න කර සිටියේය. ගම්පහ, දඬුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. adaderana

රජයේ වී මිල දී ගැනීම් ඉතා සාර්ථකයි


රජයේ වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය කිසියම් ප්‍රදේශයක දී සාර්ථකව ක්‍රියාත්මක නොවන්නේ නම් එම ප්‍රදේශ වල ගොවි සංවිධාන වලට ගොවීන්ගෙන් වී තොග මිල දී ගත හැකි බව කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා පවසයි.
වී මිල දී ගැනීමේ දී අදාළ ගොවි සංවිධාන විසින් වී අලෙවි මණ්ඩලය දැනුවත් කළ යුතු බව අමාත්‍ය මෛත්‍රීපාල සි‍රිසේන මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. රජය වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. නාඩු වී කිලෝවකට රුපියල් 28 ක් සහ සම්බා වී කිලෝවකට රුපියල් 30 වශයෙන් ලබා දෙන බව මෛත්‍රීපාල අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. වී අලෙවි මණ්ඩලයේ බලයලත් පෞද්ගලික අංශයේ නියෝජිතයින්ට වී ලබා දීමේ දී රුපියල් 1 යි ශත 50 ක අමතර කොමිස් මුදලක් ලබා දෙන බව ද මෛත්‍රීපාල අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත. adaderana

වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියයයි


මතුගම මහජන ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්‍රී 9 .45 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේ දීම මිය ගිය බව ද පොලිසිය සඳහන් කරයි. වෑන් රථයක් තුළ මත්පැන් පානය කරමින් සිටිය දී මෙම පුද්ගලයාට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
මෙසේ මරණයට පත් ව ඇත්තේ අමාත්‍ය රෝහිත ‍අබේගුණවර්ධන මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු බව සඳහන්ය. එහෙත් මෙය දේශපාලන ඝාතනයක් බවට තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ‍මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අවධාරණය කරයි. ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ප්‍රතිශතයක


භයානක මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන් බව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බව අධිකරණ හා නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත වලට අනුව දිවයින පුරා භයානක මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 37 , 542 ක් වන බව අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි. ඉන් 24 , 662 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ නගර සීමාවෙහි භායනක මත් ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17, 408 ක් වේ.
මත් උවදුරින් කොළඹ නගරය බේරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා‍ අවධාරණය කරයි. බස්නාහිර පළාත් තුළ පමණක් නීතී විරෝධී මත් ද්‍රව්‍ය භාවිතා කරන කාන්තා‍වන්ගේ සංඛ්‍යාව 662 ක් වන බව අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති සංවාදශීලී හමුවක් අමතමින් සඳහන් කළේය. adaderana

අයවැය ප්‍රමාද කළේ බඩු මිල ඉහළ දමන්නයි


අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද කළේ මැතිවරණ වලින් පසුව භාණ්ඩ මිල ඉහළ දැමීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා භාණ්ඩ මිල වැඩි කිරීමට රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වී ඇති බව හෙතෙම සඳහන් කළේය. adaderana

Monday, March 22, 2010

Sirasa Attack