Tuesday, February 23, 2010

මඩකළපුවෙන් අවි තොගයක්


මඩකළපුව කන්නන්අඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ‍ගෙන තිබේ.
මඩකළපුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය. එහි දී ටී 56 ගිනි අවි 02 ක්, ටී 56 පතොරොම් ගැබ් 10 ක්, එම උණ්ඩ 120 ක් සහ එම්.පී.එම්.ජී අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 98 ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර සේරුනුවර පූ නගර් ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මිලි මීටර 7. 62 වර්ගයේ ජීව උණ්ඩ 91 ‍ක් සොයා ගැනීමට සේරුනුවර පොලීසිය සමත්ව ඇත. මීට අමතරව නිට්ටඹුව පොලිසීය විසින් නිට්ටඹුව, කඹුරාගල්ල ප්‍රදේශයේ ඔයක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ‍ගෙන ඇති අතර යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එම බෝම්බ නිෂ්ක්‍රීය කර ඇති බව වාර්තා වේ. ada

දින්නොත් පක්ෂය හැරයන්න බෑ


එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කරන අපේක්ෂකයින් ජයග්‍රහණය කළහොත් පක්ෂය හැර නොයන බවට දිවුරුම් පෙත්සමක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා ‍ඒකමතිකව මෙම යෝජනාවට එකඟතාව පළ කළ බව ඔහු සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය. ada

අගමැති ඌවෙන්


මීළඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ඌව පළාතෙන් බිහි වන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට එළඹෙන පාර්ලිමේන්තුවේ අගමැතිධුරය හිමි වන බව ඔහු සඳහන් කරයි. පසුගිය දා මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.ada

අනෝමා සත්‍යක්‍රියා කරයි


යුද හමුදා අත්අඩංගුවේ සිටින ජනරාල් සරත් ෆෙ‍‍ාන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා දළඳා සමිඳුන් අභියස අනෝමා ෆො‍න්සේකා මහත්මිය ඇතුළු පිරිසක් සත්‍යක්‍රියාවක නිරත විය.
මෙහි දී දළඳා සමිඳුන් වැඳ පුදා ගත් මෙම පිරිස පසුව මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් සහභාගී වී සිටි‍යේය. adadera

තැපැල් නිලධාරීන් හා කොමසාරිස් හමුවක්


තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව තැපැල්පති එම්.කේ.බී දිසානායක මහතා සඳහන් කළේය.

Monday, February 22, 2010

තමන් ඝාතනයට ජවිපෙ දැරූ ප‍්‍රයත්නයක් පිළිබඳ නන්දන ගුණතිලකගෙන් හෙළිදරව්වක්.


කලකදි වහලූ කලකදි රහලූ... මේ පැරණි කියමනක්. මෙහි අනිත් පැත්ත කලකදි රහලූ කලකදි වහලූ. කථානායකයා නොබෝදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලැබූ නන්දන ගුණතිලක මහතා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රබලයෙක්. ගුණතිලක මහතා අතීතය සිහිපත් කරනවා. පානදුර ඊයේ පැවති ජන හමුවකදී ඔහු දැක්වූ අදහස් ජනතා විමුක්ති පෙරමුණට අදාළයි. පක්ෂයෙන් ඉවත් වූ පසු තමන් ඝාතනය කිරීමට ජවිපෙ සැලසුම් කළ බව නන්දන ගුණතිලක මහතා කියා සිටියා. ඒ ක‍්‍රම කිහිපයකින්. විෂ සහිත සර්පයින් යෙදවීම. විෂ සහිත බීම පානය කිරීමට සැලැස්වීම මෙන්ම තමන් ගමන් ගන්නා වාහනය අනතුරට ලක් කිරීමෙන් තමන් ඝාතනයට සැලසුම් කර තිබූ බව ගුණතිලක මහතා අනාවරණ කළා. එහෙත් එය සඵල කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා අන්ධ අනුගාමිකයන්ට නොහැකි වූ බවයි ඔහු පැවසුවේ.
මේ අතර ජවිපේ වත්මන් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 1989දී උපායශීලීව සිය දිවි බේරා ගත් බව ගුණතිලක මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ පක්ෂයේ ජාතික මෙන්ම ප‍්‍රාදේශීය නායකයන් ඝාතනය වෙද්දී සිය දිවි රැුක ගැනීම උදෙසා සිල්වා මහතා වාද්දුව ප‍්‍රදේශයේදී හමුදාවට භාරවූ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයින් යැයි කියා ගන්නා පිරිසද අතීතයේදී සිය සහෝදර පාක්ෂිකයන් පාවාදී තම දිවි රැුකගත් බවද නන්දන ගුණතිලක මහතා සඳහන් කළා.neth

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුනේ එක්වීමට එජාපයට තවමත් කල් තිබෙනවා - විජිත හේරත්


ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා පුළුල් පෙරමුණක් යටතේ තරග වැදීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. සිරගත වී සිටිමින් වුවද සරත් ‍ෆොන්සේකා මහතා, අනෝමා ෆොන්සේකා මහත්මිය හරහා එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් අනෙක් පක්ෂවලටත් එක් පෙරමුණක් යටතේ තරග කරන ලෙස ඉල්ලීම් කළ බවද විජිත හේරත් මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පළමු මාධ්‍ය හමුව අමතමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
''ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ගොඩනැගීමට විශාල දායකත්වයක් දුන්න සරත් ‍ෆොන්සේකා මැතිතුමා අද සිරගත කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතු අවස්ථාවක් උදා වී තිබෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනුවෙන් දැවැන්ත බලයක් ගොඩනගන්න, දැවැන්ත ශක්තියක් ගොඩනගන්න කටයුතු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කිරීමට ගෙනතිබෙන තීරණය ඊට බාධා වී තිබෙනවා. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා වෙනුවෙන් එක් පෙරමුණක් ගොඩනැගීමට අප සමත්ව තිබෙනවා. ඒ අනුව අප ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ කුසලානය ලකුණෙන් තරග කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා"truth

එජාපයට එරෙහිව නඩු දැමිය හැකියි - සරත් මනමේන්ද්‍ර


එක්සත් ජාතික පෙරමුණේ එකඟතා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වුවත් හැකියාව පවතින බව නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණට පක්ෂ 16ක් අත්සන් තැබුවේ මහමැතිවරණයට එක්ව එක පෙරමුණක් යටතේ තරග කිරීමට බවත් එහෙත් එක්සත් ජාතික පක්ෂය අලියකු බදාගෙන අවස්ථාවාදී ගමනක් යමින් සිටින බවත් ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, අද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ බදාගෙන අවස්ථාවාදී දේශපාලනයක් කරමින් ඉන්නවා. සරත් ‍ෆොන්සේකා මහතා සිරගත කොට තිබියදී එතුමාට ද්‍රෝහී වෙන්න, ගුණමකු වෙන්න අපට බැහැ. කාට පුළුවන් වුණත් අපට එහෙම කරන්න බැහැ. ඒ නිසා අපි ‍ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වෙනවා.” යැයිද පැවසීය.truth

හෙළ උරුමයේ හිමයන් බැහැ දැකීම මල්වතු හිමියන් ප්‍රතික්ෂේප කරයි


ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයන් පිරිසක් මල්වතු හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තමන් වහන්සේ අවිවේකී බැවින් හමුවිය නොහැකි බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගංල හිමියන් දන්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව ඇති එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් පිරිසට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැ දැකීමට සිදුව තිබේ.
මහානායක හිමියන් හෙළ උරුමයේ නියෝජිත පිරිස මුණ නොගැසීමට සැබෑ හේතුව උන්වහන්සේගේ කාර්ය බහුලත්වයද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත.truth

මට පාර්ලිමේන්තු යන්නම ඕන නෑ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එළඹෙන මහ මැතිවරණයේදී"කුසලානය"ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට නියමිතය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමා මෙවර තරඟ කරන්නේ ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට යාම ම අපේක්ෂා කරමින් නොවන බවත්, රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට නැවතීමක් තබන්නට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය වීමට බවත් හෙතෙම කියා සිටියේය.
කෝප් වාර්තාවේ නම් සඳහන්ව ඇති දූෂිතයන් කීදෙනෙකු යළිත් පාර්ලිමේන්තු යන්නට වරම් ඉල්ලන සැටි එළඹෙන 26 දිනට දැක බලා ගතහැකි බවද රණතුංග මහතා පැවසීය.

ෆොන්සේකා කුසලානයෙන් කොළඹට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා"කුසලානය"ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කිරීමට නියමිත බව ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇතැයිද, පක්ෂය දිස්ත්‍රීක්ක 22 සඳහාම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
මේ වන විට තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඉදිරියේදී පුළුල් පෙරමුණක් ලෙස බලයක් ගොඩනඟා ගැනීමට හැකි බවට විශ්වාසයක් පවතින බවද ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

අපේක්ෂකයින්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි


පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ පක්ෂ ලේකම්වරු සිය වත්කම් හා බැරකම් වහාම තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කර ති‍බේ.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ අඩංගු ප්‍රතිපාදනවලට අනුව මෙම නියෝගය නිකුත් කරන බවයි.
එසේම ස්වාධීන කණ්ඩායම්වල නායකයින් සහ සෙසු සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. adade

තැපැල් ඡන්ද අයදුම් කාලය නැවත දීර්ඝ කරන්නෙ නෑ


මහ මැතිවරණයේ රාජකාරී කටයුතු වල නිරත වන රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමට තිබු කාලය ලබන 26 වැනිදායින් පසුව කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
තැපැල් ඡන්ද සදහා අයදුම් කිරීමට රාජ්‍ය සේවකයින්ට මීට පෙර ලබා දී තිබු කාලය අදින් අවසන් විමට නියමිතව තිබුණි. එහෙත් රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම මත එම කාලය දීර්ඝ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගත්තේය. adade

දිස්ත්‍රික්ක 3ක සන්ධාන නාම යෝජනා බාරදෙයි


Print this

දිස්ත්‍රික්ක 3ක සන්ධාන නාම යෝජනා බාරදෙයිFebruary 22, 2010 01:00 pm
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිස්ත්‍රික්ක 3 ක් සඳහා නාමයෝජනා භාර‍දෙනු ලැබීය.
ඒ ගම්පහ, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහාය. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදෙනු ලැබුවේ එහි කණ්ඩායම් නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා විසිනි. අමාත්‍ය පියසේන ගම‍ගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායකයා ලෙස සිය නාමයෝජනා අද භාරදෙනු ලැබීය.
හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත භාරදුන්නේය. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතාගේ නම ද හම්බන්තොට දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට ඇතුළත්ව තිබුණි. adaderana

සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කොළඹට තරඟවදී


එම්.ටී.වී හා සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුසිල් කිඳෙල්පිටිය මහතා එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින බව වාර්තා වේ.
මෙවර මහ මැතවරණයට තරඟ කිරීම සඳහා පසුගිය සිකුරාදා ඔහු සිරස ආයතනයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. adade

වාමාංශික පෙරමුණ සන්ධානගතව මැතිවරණයට


දෙමළ ජාතික ජාතික සන්ධානයෙන් එක්වු පිරිස ඇතුලු තවත් කණ්ඩායම් කිහිපයක් සමග සන්ධාන ගතව මෙවර මැතිවරණය සඳහා තරග කරන බව නව වාමාංශික පෙරමුණ පවසයි.
අදාළ කණ්ඩායම් සමග අද දිනයේදී එකඟතා ගිවිසුම් වලට පැමිණෙන බව එහි නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව මෙවර මැතිවරණයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා තරග කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වු පිරිසක් ඊයේ දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීමට තීරණය කළ අතර තවත් පිරිසක් වාමාංශික පෙරමුණ සමග එක්විය. දෙමළ ජාතික සන්ධානය යටතේ මෙවර නාම යෝජනා නොලැබීම ඔවුන්ගේ ඉවත් වීමට හේතුව බව වාර්තා වේ.

දිවුලපිටියේ මිනිස් ඝාතනයක්


දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙදෙනෙකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් යකඩ මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ වෑහැර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව ලබන මස තුන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. adad

කැනඩාවේ උදයන් පුවත්පතට ප්‍රහාරයක්


කැනඩාවේ පිහිටි"උදයන්"නම් ද්‍රවිඩ පුවත්පත් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ලවීමට පෙරදින රාත්‍රියේ පුවත්පත් කතුවරයාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ද ලැබී තිබේ. ප්‍රහාරයට හේතුව ලෙස කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය සහ එක්සත් ද්‍රවිඩ කවුන්සලය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක් උදයන් පුවත්පත මගින් ආවරණය කිරීම බව සඳහන් ‍වේ.
උදයන් පුවත්පත ‍කැනඩාවේ ටොරෙන්ටෝහි ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් පරිහරණය කරනු ලබන පුවත්පතකි. මෙම සිදුවීම පිළිබඳව පොලිසීය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි. adade

රෝහල් උපකරණ අක්‍රීයවීමෙන් රෝගීන් අමාරුවේ


කතරගම, බුත්තල, තණමල්විල හා තිස්ස යන ප්‍රදේශයන්හි රෝහල්වල දියවැඩියා රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට ලක්වී තිබේ.
මේ හේතුවෙන් දියවැඩියා‍ රෝගීන්ට තම පරීක්ෂණ පෞද්ගලික බෙහෙත් ශාලා මගින් විශාල මුදලක් ගෙවා සිදුකර ගැනීමට සිදුව ඇති බව සඳහන්ය. එම රෝහල්වල සේවය කරන ඇතැම් රසායනාගාර නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය ආයතන පවත්වාගෙන යන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කෙසේ වුවද කඩිනමින් අදාළ යන්ත්‍ර අළුත්වැඩියා කර තමන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Sunday, February 21, 2010

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයෝ ජෙනරාල් වෙනුවෙන් වීදි බසියි.





මේ වන විට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන සිරකරගෙන සිටින ජෙනරාල් සරත් ෆෝන්සේකා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරන සහ ඉතාලි ජනතාව දැනුවත් කරන විරෝධතා පාගමනක් හා දැවැන්ත උද්ඝෝෂණයක් අද(21) ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වුනා. ඉතාලියේ මිලානෝ,රෝම්,නාපෝලි,කතානියා,වැනිස්,වෙරෝනා,බ්‍රේෂියා,මෝදනා ඇතුළු බොහෝ නගරවල සිටින ජනතාව අද විරෝධතාවයට එක්වී සිටියා.
¥ෂිත ජනාධිපතිවරණයට එරෙහිවත් ,ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව සටන්පාඨ කියමින් මිලානෝ ප‍්‍රධාන වීදි හරහා ගමන්ගත් පාගමන කාගෙත් අවදානයට ලක්වී තිබුනා. ඉතාලි බසින් ලියවූ පති‍්‍රකා බෙදමින් ලංකාවේ වත්මන් පාලනයේ ¥ෂිත ස්වභාවය හෙලි කිරීම තවත් විශේෂ සිදුවීමකි.
ජෙනරාල්ට විරුද්ධව පිළිගතහැකි චෝදනාවක් ඉදිරිපත් කරන්ඩ ආණ්ඩුවට තවමත් පුළුවන් වෙලා නැහැ.මේක දේශපාලන පළිගැනීමක්. අපේ යුගයේ බිහිවෙච්ච ජාතික වීරයෙක් හැටියට මම ජෙනරාල්ව හදුන්වනවා.”
මම වැනිස් ඉඳලා මේ වැඬේට ආවේ.මට දේශපාලන පක්ෂයක් නෑ.ඒවුනාට රාජපක්ෂලාගේ බලූවැඩ වලට අපි කැමති නැහෑ.අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහෑ.අපි අද පිටරටක හිටියත් මැරෙන්ඩහරි ලංකාවට යන්ඩ ඕනා.ඒ හින්දා රට ගැන හිතන එක මගේ වගකීමක් කියලා හිතපු හින්දයි අද මේ උද්ඝෝෂණයට ආවේ.ජෙනරාල් දේශපාලනයට ආවට මම කැමති නැහැ..ජෙනරාල්ව හිරකරන් ඉන්නේ මේකත් නිසාද කියලා පැහැදිලියි.ඒ දේශපාලන පළිගැනීමකට.”
මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩ කරන රාජපක්ෂලාව අතුගාලාදාන්ඩ ඕනා. මුලූ ලෝකයම දැනුවත් කරන්ඩ ඕනා.
වෙත උද්ඝෝෂණයට සහභාගිවී සිටි කිහිප දෙනෙකු අදහස් දක්වමින් පවසා සිටියා.මේ විරෝධතාවය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසිනුයි.

මාධ්‍ය සංදර්ශන නොපවත්වා හංසයා ගැන නිශ්චිත තීන්දුව රටට කියන්න - අනුර, තිස්සට දන්වයි


ඉදිරි මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරඟ කිරීම පිළිබඳව මාධ්‍යය හමුවේ නොයෙක් නොයෙක් ප්‍රකාශ නොකර ඒ පිළිබඳ නිශ්චිත තීන්දුව රටට ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හංසයා ලකුණින් තරඟ වැදීම පිළිබදව එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර ඇති බවට පසුගියදා මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිසානායක මහතා මෙම නිවේදනය යොමුකර තිබේ.
එම නිවේදනය මෙසේය.
ඉදිරියේදි එළඹෙන මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරග වැදීමට ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කර ඇති බවත්, ඒ පිළිබඳව එතුමාගෙන් පිළිතුරක් නොමැති නිසා එය ප්‍රමාද වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (20) මාධය හමුවකදී පවසා තිබිණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි දැනුම්දීමක් ලැබී නැත. මුලින් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග වදින බව ඒ මහතාට යෝජනා කළත්, ඒ පිළිබඳව එකඟතාවයක් ඇති නොවිණි. ඉන් අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාත් අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධානත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසුව හංසයා ලකුණ අතහැර අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදින බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත් අතර, එය රටට ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය ද ඇතුළත් පුළුල් පෙරමුණක් පිළිබඳ ක්‍රියාමාර්ග බිඳ වැටුණේ එතැන් සිටය.
මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වාතාවරණයක් ගොඩනැගී ඇති අතර, අපේ රට දරුණු ඒකාධිපතීත්වයක් කරා ගමන් කිරීමේ අනතුරක පවතී. මෙම තත්ත්වයට එරෙහි සියලු බලවේග ඒකාබද්ධ කර ගත් පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය වී තිබේ. ඒ පිළිබඳව පුළුල් ජනමතයක්ද ගොඩනැගී තිබේ. එම එක්සත්භාවය ආරක්ෂා කිරිම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයට එරෙහි පුළුල් පෙරමුණක් අවශ්‍ය වී තිබේ. එවැනි පෙරමුණක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසා තිබිණි. දැන් අවශ්‍ය වන්නේ තවදුරටත් සාකච්ඡා කිරීම නොව තීන්දුවක් ගැනීමයි. නිශ්චිත සහ පැහැදිලි තින්දුවක් ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පුළුල් පෙරමුණක් ගොඩනැගීමයි.
වැනි පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ උත්සහය එක්සත් ජාතික පක්ෂය ගත් තීරණ නිසා බිඳ වැටුණු අතර, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සමාජයෙන් විරෝධයක් මතුවෙමින් තිබේ. එම සමාජ විරෝධය මගහැරවීම සඳහා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පළක් නොවන අතර, අවශ්‍ය වන්නේ අවංකව හා විවෘතව තීන්දුවක් ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයා සඳහා එකඟ වූ පක්ෂ සමඟ එම පෙරමුණ ගොඩනැගීම පිළිබඳව තීන්දුවක් ගැනීමයි. එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදිනවා වෙනුවට හංසයා ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අනෙක් සියලු දෙනා සමඟ එක්වීමට තීන්දුවක් ගත යුතුව තිබේ. එම තීන්දුව ගැනීම පසෙක තබා තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පළක් නැත. එබැවින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වෙනුවට පවතින තත්ත්වයන් ගැඹුරින් සලකා බලා නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුතුව තිබේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ ද අපේක්ෂාව බව තිස්ස අත්තනායක මහතාට සිහිපත් කර සිටිමු.
අනුර දිසානායක,
දේශපාලන මණ්ඩල සභික,
ජනතා විමුක්ති පෙරමුණ.
2010.02.21 truth

ක්‍රිකට් තරගයක් අතරතුර ඇමති ගොඩ බැහැලා තරගය අවලංගු කරයි

සංචාරක අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංචාරයක් හේතුවෙන් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට මුස්තාපා අමාත්‍යවරයා රැගෙන පැමිණි හෙලිකොප්ටර් යානය ඊයේ උදේ 08.45 ට ගොඩ බස්වා එදින පුරාවටම එය එහි නතර කර තිබීම ‍හේතුවෙන් තරගය මෙලෙස අවලංගු කිරීමට සිදුව තිබේ.
අස්ගිරිය ක්‍රීඩාංගණයේ දෙවැනි දිනයට මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබිණි. මුල් දිනයේ ක්‍රීඩා කළ කළුතර විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊ‍ට පිළිතුරු වශයෙන් සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 95ක් ලබා ගෙන තිබුණි. මේ තත්වය හමුවේ ඊයේ දිනයේ තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වී තිබේ.
අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් කළුතර විද්‍යාලීය කණ්ඩායම සහ සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම් අතර තරගය අවසන් තීරණයකින්‍ තොරව නිමාවට පත්කිරිමට සිදුව තිබේ.truth

හිටපු කතානායක ලොකුබණ්ඩාරත් පුතා ගිය මග යයි


ශ්‍රී ලංකාවේ 6 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඊයේ මෙතෙක් කළක් කටයුතු කළ සිය පක්ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. බණ්ඩාරවෙල නගර සභා ශාලාවේ පැවැති උත්සවයකදී ඔහු මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරයා මෙම උත්සවයට නිමල් සිරිපාල ඇමැතිවරයාද සහභාගී වී සිටියේය.
පසුගිය පාර්ලිමේන්තුවේදී කතානායකවරයා පත්කරගැනීමට ආණ්ඩු පක්‍ෂයට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව නොමැතිව සිටියදී විපක්‍ෂය විසින් කතානායක ලෙස වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා පත් කර ගත්තේය. එසේ වුවද එතෙක් පටන් ඔහු ආණ්ඩු පක්‍ෂයට සහයෝගය දැක්වෙන ලෙස කටයුතු කළ බවට පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ චෝදනාවට බඳුන් විය.
ලොකු බණ්ඩාර මහතාගේ පුත් උදිත ලොකු බණ්ඩාර මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයක් ලබා ගත් අතර, ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස බදුල්ල දිස්ත‍්‍රික්කයට තරග කිරීමට නියමිතය.

අලියා ඉරිතැලෙන ලකුණු


එක්සත් ජාතික පෙරමු‍‍ණට අයත් පක්ෂ කිහිපයක් එයින් ඉවත් වන බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් නව සිහළ උරුමයේ ලේකම් සරත් ‍මනමේන්ද්‍ර මහතා සදහන් කළේ පවතින ගැටලු නිරාකරණය කර ගැනිමේ අරමුණින් අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වු බවයි..
අලියා ලකුණින් තරග කිරීම සදහා කුඩා පක්ෂ වලට ප්‍රමාණවත් ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂය ලබානොදෙන බව ඔහු පෙන්වා දෙයි.
එහෙත් මනෝගනේෂන් සහ මංගල සමරවීර යන මහත්වරුන්ට ප්‍රමාණය ඉක්මවා ඔවුන්ගේ අපේක්ෂකයින් නාමයෝජනා ලයිස්තු වලට ඇතුළත් කිරීමට ඉඩ ලබා දී ඇතැයි මනමේන්ද්‍ර මහතා චෝදනා කරයි..
අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතහැර දමා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම තමන් අනුමත නොකරන බව ද හෙතම කියා සිටියේය..
මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ තවත් පක්ෂ කිහිපයක් ද ඉවත් යාමේ අවදානමක් පවතින බව නව සිහළ උරුමයේ ලේකම්වරයා කියා සිටියේය. .
මේ වන විට එක්සත් ජාතික පෙරමුණ සමග පක්ෂ 16 ක් සන්ධාන ගතව සිටී. adade

ටී එන් ඒ කොටසක් සන්ධානයට


දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කේ.තංගේෂ්වරී මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජනතා ‍නිදහස් සන්ධානය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරයි. තංගේෂ්වරී මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේ තමන් සමග දෙමළ ජාතික සන්ධාන‍ෙය් සාමාජිකයින් 8 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බවයි. ඉදිරි මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අදාළ නාමයෝජනාවලට ද අද පස්වරුවේ අත්සන් තැබූ බව ඇය සඳහන් කළාය. adade

කිරිපිටි සමාගම් වලට ආණ්ඩුවෙන් සහනයක්


ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් කිරිපිටි ආනයනය කරන සමාගම් වලට බදු සහන ලබාදීම කෙරෙහි අවාධානය යොමුව ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
සමාගම් වලට ඇතිවිය හැකි අපහසුතා පිළිබඳ සලකා බලා මෙම පියවර ගන්නා බව හෙතෙම කියා සිටියි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාල බදු ගැලපීමට කටයුතු කරනු ඇති බවත්,එමගින් කිරිපිට මිල ස්ථාවරව පවත්වාගෙන යාම අරමුණ බවත් ඇමතිවරයා පෙන්වාදෙයි.
ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග මෙරට වෙළඳපලේද කිරිපිටි මිළ ඉහළ නැංවීමට එම සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් අමාත්‍යවරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි.

හමුදා විශ්‍රාම වැටුප් 10% න් ඉහළට


යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සියලු දෙනාගේම විශ්‍රාම වැටුප වසර 10 කට පසුව සියයට 10 කින් වැඩි වන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් ක‍රන්නේ සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට තම මනාපය පරිදි පරිවර්තිත පාරිතෝෂිත මුදලක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
එසේ මුදලක් ලබා ගැනීම නිසා වසර 10 ක් ගතවන තුරු විශ්‍රාම වැටුපෙන් සියයට 10 අඩුකර ‍ගෙවීම යුද හමුදාවේ ක්‍රියාපටිපාටිය වේ.
එහෙත් වසර 10 ක් ගත වීමෙන් පසු සියලුම යුද හමුදා සාමාජිකයින්ට මුළු විශ්‍රාම වැටුපම ලැබිය යුතු බව ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
‍එසේ විශ්‍රාම වැටුප් වැඩි නොවන්නේ නම් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාල වැඩි කිරීම සිදු කර ගන්නා ලෙස ප්‍රසාද් සමරසිංහ මහතා ඉල්ලා සිටියි.

ළමා භාරකත්වයේ පැමිණිලි වැඩියි


ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල වැඩිවීමක් තිබෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි..
පසුගිය සතිය තුළ පමණක් ළමා භාරකාරත්වය පිළිබඳ පැමිණිලි 20 ක් පමණ කාර්යංශය වෙත ලැබුණු බව ඔවුන් පවසයි.
විශේෂයෙන්ම දෙමාපියන් අතර ඇතිවන ගැටලු හේතුවෙන් ළමයින්ගේ භාරකාරත්වය පිළිබඳ ගැටලු රැසක් ඇති වී හට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එසේ ලැබුණු පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දෙමාපියන් අතර ඇතිවන්නා වූ මෙම ගැටලු හේතුවෙන් කුඩා ළමුන්ට සිදු වන දුෂ්කරතා මඟහැරවීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.. adader

හොර නෝට්ටු ගසා රිමාන්ඩ්


ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාතර පොලිසීයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුණි. වෙළඳසැළකින් ‍ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
එහි දී ඔහු සතුව තිබූ ව්‍යාජ රුපියල් දෙදහසේ , දහසේ සහ රුපියල් සිය‍යේ නෝට්ටු කිහිපයක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ..
වැලිගම , වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සිය නිවසේ දී පරිඝනකයක් උපයෝගී කර ගනිමින් මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ..

ජෝර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක්


ජොර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක් මතුව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ජෝර්දානයේ ගෘහ සේවිකාවන්ට යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවන් හි ඒවා විසඳීම සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් නොමැති වීම මෙයට හේතු වී ඇතැයි කාර්යාංශය පෙන්වාදෙයි.
මේ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස ජෝර්දානයේ එජන්සි සංගමයට මේ වන විටත් දැනුම් දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
ඒ අනුව අවශ්‍ය විසඳුම් ලබා දීමට ජොර්දානයේ ඒජන්සි සංගමයට සති 3 ක කාලයක් ලබා දී ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එම කාලය තුළ පිළිගත හැකි විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වුවහොත් ජෝර්දානයට ගෘහසේවිකාවන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය..