Sunday, May 23, 2010

ගංගා ජල අවදානම අඩුවෙයි


අධික වර්ෂාපතනය තරමක් අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානම මේ වන විට පහවයමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් ගංගාවල ජල මට්ටම් අධීක්ෂණය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියේය. කැළණි ගඟේ ඊයේ දිනයේ දී ඉහළ ගිය අඩි 4 . 4 ජල මට්ටම මේ වන විටත් පවතින බව ඔහු සඳහන් කළේය.
කළු ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ද ජල මට්ටම් ඉහළ යාමේ තත්ත්වයක් මේ වන විට දක්නට නොලැ‍ෙබන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ගංගා පෝෂක ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංගාවල ජලමට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය. අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යුද හමුදාව තවදුරටත් සූදානමින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. ජලගැලීම් හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා තවදුරටත් හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ඔහු පෙන්වාදෙයි.
මේ වන විට එම ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වය පහවයමින් පවතින බැවින් එම ප්‍රදේශවලින් තම සාමාජිකයින් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇති බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය මත හදිසි සහනසේවා කටයුතු සඳහා යුද හමුදාව සූදානමින් සිටින බව සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

0 comments:

Post a Comment