Tuesday, March 9, 2010

හාල් ගැන පුළුවන්-බිත්තර ගැන බෑ


යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
වන විට සහල් අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළෙඳපොළේ පවතින බවත්,සහල් ආනයනය මේ වන විට නතර කර ඇති බවත්, එසේ කරනු ලැබුවේ දේශීය සහල් ගොවියා ආරක්ෂා කිරීමට බවත් ඇමතිවරයා කියා සිටියේය.
2012 වන තෙක් සහල් සම්බන්ධයෙන් තමා වග කියන වගද ඔහු පැවසීය. ‍වෙළෙඳපොළේ සහල් මිල අත්තනෝමතික ලෙස වැඩි කරන අයට හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බවත්,පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කුකුල් මස් කිලෝවක උපරිම මිල රු.350 ක් විය යුතු බවත්,බිත්තර සම්බන්ධයෙන් තමන්ට වග කිව නොහැකි බවත් ඇමතිවරයා පැවසීය. බිත්තර මිල පිළිබඳ වගකීම දරනු ඇත්තේ පශු සම්පත් අමාත්‍යංශය බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ada

ත්‍රස්තවාදය නැතත් ආරක්ෂාව ඕනෑ


ත්‍රස්තවාදය නැති නිසා හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැතැයි එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
‍ හදිසි නීතියේ මුවාවෙන් ආණ්ඩුව සිය පටු දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන නිසාම අද හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පියවර ගත් බව ද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ත්‍රස්තවාදය තුරන් වී ඇත්නම් හා හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැත්නම් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නඟින්නේ නැතිනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගත්තේ ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරක්ෂාව ලබා දිය යුතු බවය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම පැවසීය. 19 දින සිට මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත්,ප්‍රථම රැළිය යාපනයේ පවත්වන බවත් මහ ලේකම්වරයා පැවසීය.ada

ෆොන්සේකාට වරප්‍රසාද දෙන්න බැඳී නෑ


අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විවිධ පහසුකම් ඉල්ලා සිටියද එකී පහසුකම් ලබා දෙන්නට රජය හෝ හමුදාව හෝ බැඳී නැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
හමුදා අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ට පහසුකම් ඉල්ලීමේ වරප්‍රසාදය හිමි නොවන බව හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකින් පසු අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමිනි.සරත් ෆොන්සේකා මහතා යම් සැකයක් මත අත්අඩංගුවට ගෙන මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවෙකු බවත්,එවැනි සැකකරුවෙකු සම්බන්ධයෙන් වරප්‍රසාද ලබා දිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටියදී යුද අධිකරණයට පමුණුවන ලද හමුදා නිලධාරීන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් තමන්ට කෙතරම් අකටයුතු කම්වලට ලක්වීමට සිදුවූවාද යන්න පිළිබඳ ප්‍රකාශ කර ඇති වග හුළුගල්ල මහතා පෙන්වා දුන්නේය. ada

හදිසිය"හදිසියේ සම්මතයි


අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක්ද විපක්ෂව ඡන්ද 24 ක්ද ලැබීමෙන් වැඩි ඡන්ද 69 න් සම්මත විය.
ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය,මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත..
පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී යළි කැඳවීමට ජනාධිපතිවරයාට හිමි බලතල උපයෝගී කර ගනිමින් හදිසි නීතිය යළි මසකින් දීර්ඝ කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා අද දින පාර්ලිමේන්තුව යළි රැස් කෙරිණි.
එසේම අප්‍රේල් මස 06 වන දින හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී මේ අයුරින් පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා හදිසියේ කැඳවූ දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.
2001 සැප්තැම්බර් මස 14 වන දින එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සමයේදීද මේ අයුරින්ම පාර්ලිමේන්තුව හදිසයේ කැඳවා තිබේ. ada

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් මරුට


කුරුණෑගල බඩගමුව රක්ෂිතයේදී සිදුවු වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි පොලිසිය ‍විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇත. මීනිමැරුම් 28 කට සහ කොල්ලකෑම් 15 කට සම්බන්ධ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වි තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.br>
පසුගියදා පන්නල පොලිසිය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ රාත්‍රියේදී පොලිස් අත්අඩංගුවෙන් පැන ගොස් තිබේ.
මෙම පාතාල සාමාජිකයන් දෙදෙ‍නා බඩගමුව රක්ෂිතයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදි පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් ජිවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පාතාල සාමාජිකයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහේස්ත්‍රාත් නිමල් රණවක මහතා විසින් අද‍ පෙරවරුවේ සිදුකරන ලදී.

අප්‍රේල් වනවිට රනිල්ව අගමැති කරනවා


ලබන අප්‍රේල් මාසය වන විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජය කිරීමෙන් අනතුරුව විපක්ෂය බලය තහවුරු කරගන්නා බවය. වත්තල පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජයලත් ජයවර්ධන මහතා මේ අදහස් පළ කළේය. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයද මෙවර පරාජය කරන බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා සඳහන් කළේය. ada

නොරොච්චෝලේ හදිසි ගින්නක්


කල්පිටිය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාර‍යේ පිහිටි බඩු ගබඩාංගනයක හදිසි ගින්නක් ඇති වී තිබේ.
අද අළුයම මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා නොමැති අතර එහි තිබූ බට සහ නල තොගයකට අලාභ හානී සිදුවී ඇති බව සඳහන්ය. පලාවිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ වැඩ බිමෙහි කම්කරුවන් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. ada

මත්පැන්හල් සඳහා අවසර නොදිය යුතුයි


මත්පැන්හල් විවෘත කිරීම සදහා අවසර ලබානොදෙන බවට සියලුම අපේක්ෂකයින්ගෙන් ප්‍රතිඥාවක් ලබාගත යුතු බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
තම පාලන කාලය තුළ මත්පැන්හල් ආරම්භ කිරීම සඳහා අවසරයක් හෝ අනුබලයක් ලබාදී නොමැති බව එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. එබැවින් මෙවැනි ඉල්ලීමක් කිරීමට සදාචාරාත්මක අයිතියක් තමාට ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හරගම, පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. අප රට ත්‍රස්තවාදීන්‍ට ගොදුරු කිරීමට උත්සාහ දැරූ විදේශීය බලවේග, ඉදිරියේදී ද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළ හැකි බව දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. ada

බලය බෙදීමේ ක්‍රමයක් අවශ්‍යයි


සියලු ජනකොටස් වල ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා බලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
යුද්ධය නිමා වීමෙන් පසුව රජය මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි. මුස්ලිම් නියෝජිත පිරිසක් සමග කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මිලින්ද මො‍රගොඩ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ වාසය කරන මුස්ලිම් ජනතාවට පවතින ප්‍රශ්න ඉදිරි කාලසීමාව තුළ විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. ada

Monday, March 8, 2010

ජෙනරාල්ගේ අරගලය ජය ගනී


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට යන අවස්ථාවේ ජංගම දුරකථනය රැගෙන යාම සදහා අනෝමා ෆොන්සේකා මහත්මියට යුද හමුදාපතිවරයා යළි අවසරදුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රසාද් සමරසිංහ මහතා "ඒක වරප්‍රසාදයක් විතරයි, උසාවි නියෝගයක් නොවෙයි. ඒ වරප්‍රසාදය අපි එයාට කලින් ලබාදීපු එකක්. යුද හමුදාපතිවරයා අද තීරණය කර තිබෙනවා එතුමාට ඒ වරප්‍රසාදය නැවත ලබා දෙන්න. හැබැයි ඒ ඔහුගේ දියණියන් දෙදෙනාට කතා කිරීමට පමණයි." යැයි පැවසීය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර ති‍බියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරතවූ අතර අද දහවල්වන විට එයට පැය 24ක්ද ඉක්මවා තිබිණි.
මේ අතර යුද හමුදාපතිවරයා ලබා දුන්නා යැයි කියන නියෝගය මේවන තෙක් තමන් වෙත ලැබී නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. truth

කාන්තා දායකත්වය වැඩියෙන් ලබා ගන්නවා


ශ්‍රී ලාංකේය කාන්තා පරපුර වෙනුවෙන් වත්මන් රජය ලබාදුන් ඉහළම ත්‍යාගය ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දශක තුනක් පුරා මෙරට කාන්තාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදය කෙටි කලක් තුළ පරාජය කිරීමට රජයට හැකි වූ බවයි.
මත් උවදුරට ද තිත තබමින් කාන්තාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකිරීමට පසුගිය සිව් වසර තුළ තම රජයට හැකි වු බව ජනාධිපතිවරයා කියා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කරනු ලැබුවේ ජගත් කාන්තා දිනය නිමිත්තෙන් හම්බන්තොට සිරිබෝපුර පැවති උත්සවයට සහභාගි වෙමිනි.
පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ නංවමින් රට සංවර්ධනයටත් , සදාචාරවත් රටක් ගොඩනැගීමේ කාර්යයටත් කාන්තා දායකත්වය වැඩි වශයෙන් ලබාගන්නා බව ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.ada

රට දියුණු කරන්නට දුර්වල විපක්ෂයක් ඕනෑ


රට දියුණු කරන්න නම් ප්‍රබල ආණ්ඩු පක්ෂයක් මෙන්ම දුර්වල විපක්ෂයක් අත්‍යවශ්‍ය බව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ප්‍රබල විපක්ෂයක් පැවතිය යුතු බවට මතයක් ඇතිකරමින් තිබුණත් එහි කිසිදු සත්‍යතාවයක් නැති බවත්,තුන්වෙනි ලෝකයේ කිසිදු රටක එවැනි ප්‍රබල විපක්ෂයක් දැකිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එබැවින් රටේ දුර්වල විපක්ෂයක් තහවුරු කරන්නට ඉතා සුදුසු දුර්වල විපක්ෂ නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වඩා සුදුසු බව ද හෙතෙම අවධාරණය කළේය. ada

පැමිණිලිවලට ප්‍රතිචාර නැති නිසා පොලීසියට එරෙහිවමංගල අධිකරණයට


ජනාධිපතිවරණ සමයේ තම දේශපාලන කාර්යාල වලට සහ නිවසට අවස්ථා ගණනාවකදී එල්ලවූ පහරදීම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී තමන්ටත් තම පාර්ශවකරුවන්ටත් සිදුවු හිරි හැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී පොලිසිය ක්‍රියා කළ ආකාර‍ය හේතුවෙන් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් මංගල සමරවීර මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමින් පොලිස්පතිවරයා , දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පොලීසියේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසටත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියි.truth

Sunday, March 7, 2010

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි


ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ සිටින ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අද උදෑසන සිට සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත. අධිකරණය විසින් සහතික කරන ලද තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කර තිබේ. මේ බව අද හෙළිදරව් වූයේ අද දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
සරත් ‍ෆොන්සේකා මහතා බැලීමට යන ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියට සිර මැදිරිය වෙත ජංගම දුරකතනය ගෙන යාමට අවසර ලබා දී තිබිණි. සරත් ෆොන්සේකා මහතා සිය දරුවන් සමග අදහස් හුවමාරු කර ගන්නේ එම ජංගම දුරකතනය භාවිත කරමිනි. එහෙත් ඊයේ සවස හදිසියේම එම අවසරය අවලංගු කරල සිය දරුවන්ගේ දුක සැප සොයා බැලීමට ජෙනරාල්වරයා ඇති අයිතිය අහිමි කර තිබේ. ඊට විරෝධය පළ කරමින් ෆොන්සේකා මහතා අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කරනු ලැබීය. අද පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය.
"මම මගේ ස්වාමිපුරුෂයා බලන්න යන සෑම අවස්ථාවකදීම මගේ ජංගම දුරකතනය අරගෙනයි යන්නේ. ඒක විදේශීය ඇමතුම් ලබා ගත හැකි දුරකතනයක්. මම ‍මගේ ස්වාමිපුරුෂයා බලන්න යන අවස්ථාවේදී ගෙනියන මගේ ජංගම දුරකථනයෙන් තමයි මගේ ස්වාමි පුරුෂයා මගේ දියණියන් දෙදෙනාට කතා කරන්නේ.
මම ඊයේ මගේ ස්වාමි පුරුෂයාට රාත්‍රී ආහාරය ගෙන ගිය අවස්ථාවේදී මාත් එක්ක ගිය නිලධාරියා මට කිව්ව මට දුරකතන ඇතුළට ගෙන යාමට නොහැකියි කියල. ඒක මගේ හදවතට වැදුණු අකුණු පහරක් හා සමාන වුණා. මොකද මුළු ලෝකෙම කොයි ආකාරයට කිව්වත් මම දන්නව මගේ ස්වාමි පුරුෂයා කොයි තරම් හොඳ තාත්ත කෙනෙක්ද, එයාගෙ දරු සෙනෙහස කොයි තරම්ද කියල.
අපේ දියණියන් දෙදෙනා හැමදාම මග බලාගෙන ඉන්නව එයාගෙන් ඇමතුමක් ලබා දෙනකම්. මොකද ඒගොල්ලො සැතපුම් දහස් ගණනක් දුර ඈත ඉන්නෙ. ඒ වගේමයි ඔහුත් මග බලාගෙන ඉන්නව මම දුරකතනය අරන් එනකම් දරුවන්ට කතා කරන්න. ඒක ඔහුට ලබන ලොකු සහනයක්.
මේක අධිකරණයෙන් පවා අවසර ලබා දුන් දෙයක්. නමුත් මේ අධිකරණ නියෝගය පවා උල්ලංඝනය කරමින් මට ඊයේ රාත්‍රී සිට ජංගම දුරකතනය ගෙනියන්න ඉඩ ලබා දුන්නේ නැහැ. මම ඇහුව ඇයි මෙහෙම කරන්නෙ කියල. ඒ අවස්ථාවේදී එම නිලධාරීන් කිව්වෙ ආරක්ෂක අමාත්‍යංශයෙන් තමයි මෙම නියෝගය ඔවුන්ට ලැබුණෙ කියල.
මේ වෙලාවෙදි මගේ ස්වාමි පුරුෂයා කියා සිටියා ඔහුගේ මෙම අවස්ථාව නැවත ලබා දෙන තුරු ඔහු නිරාහාරව සිටීමට තීරණය කළා කියල. ඒ අනුව ඔහු අද උදෑසන සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරත වෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය අධිකරණයත් ඉහළින් තියෙන්නෙ කියල මම ඊයෙ දැන ගත්ත. ඇත්තෙන්ම මේක පළිගැනීමක් ලෙසයි මම දකින්නෙ. හදවතක් නැති මිනිසෙකුට, පිය සෙනෙහසක් දන්නෙ නැති කෙනෙකුට පුළුවන් මේ වගේ තීරණයක් ගන්න.truth

ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා නිදහස් කරනු - ජනතා රැලිය හයිඩ් පිටියේදී


කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.truth

අපේක්‍ෂක ලැයිස්තුව අවලංගු කරන්න - තිස්සගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්


එක්සත් ජාතික පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසත්, එසේ නොහැකි නම් නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා තිස්ස කුට්ටිආරච්චි මහතා හෙට (08)ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට මුලින්ම තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුළත්ව තිබූ අතර, පසුව නාම යෝජනා භාර දීමේදී තිස්ස කු‍ට්ටිආරච්චිගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිය අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ටිපෙක්ස් යොදා තිස්ස කුට්ටිආරච්චිගේ නම ඉවත් කර ඇති බවයි.
තමාගේ නම ඇතුළත් කිරීමෙන් පසු එම යෝජනා පත‍්‍රයට තමාගේ අත්සනද යෙදූබවත්, නාමයෝජනා පත‍්‍රය භාර දෙන අවස්ථාවේ තමාගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බවත්, බාර දුන් නාමයෝජනා පත‍්‍රයේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නාමයෝජනා පත‍්‍රය වෙනස් කර තිබෙන බවත් අදාල පෙත්සමේ දක්වා ඇත.
මේ අනුව සිය නම මොනරාගල දිස්ත්‍රික් අ‍පේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කරන ලෙස නියෝග කරන ලෙසත්, එසේ නැතහොත් මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ලැයිස්තුව අවලංගු කරන ලෙසන් මෙම පෙත්සමෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා ඉල්ලා ඇත. තිස්ස කුට්ටිආරච්චි මහතා මංගල සමරවීර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 'ම' පාර්ශවයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේක්ෂකයාය.
දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරියකු විසින් පිළිගන්නා ලද නාමයෝජනා ලැයිස්තුවකට අලූත් නමක් ඇතුළත් කිරීම හෝ එවැනි නාමයෝජනා ලැයිස්තුවක් අවලංගු කිරීම සිදු කළ හැක්කේ අධිකරණ තීන්දුවකට පමණක් බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය එජාප මහ ලේකම්වරයාට දැනුම්දී තිබෙන අතර, ඒ අනුව තමාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිඥ නිලන්ති පීරිස් මහත්මිය මගින් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන බව තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.truth

අපි බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරනවා ව‍ගේම ජාතීන් අතර සහජීවනය තදින් වැළඳ ගන්නවා - සෝමවංශ අමරසිංහ


යාපනය, වන්නි, මඩකලපුව, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලට තරග වදින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (06) වව්නියාවේදී පැවැත් විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු නායකයින් පිරිසක් ඊට සහභාගි වූ අතර ඉහත දිස්ත‍්‍රික්කවලට තරග වදින අපේක්‍ෂකයෝද සහභාගි වූහ. එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ පැවසීය.
"අපේක්‍ෂිකාවන් පිරිසකුත් මේ අවස්ථාවට සහභාගි විය යුතුව තිබෙනවා. නමුත් ඔවුන් අද මෙතැනට ඇවිත් නැහැ. ඔවුන් ඉන්නේ සරණාගත කඳවුරුවල. අපේ රටේ තාමත් කඳවුරු තිබෙනවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
මම වව්නියාවට මුලින්ම ආවේ 1954 අවුරුද්දේ. එතකොට මට අවුරුදු 11යි. ඒ ආවේ දේශපාලනය කරන්න නොවෙයි. අපේ තාත්තා වැඩ කළේ පදවියේ. ඔහු බලන්න යන කොට වව්නියාවේ බැහැලා යන්න ඕන. එතකොට මම දැකපු දෙයක් තිබුණා. මේ ප‍්‍රදේශයේ,වව්නියාවේ සිංහල,දෙමළ,මුස්ලිම් සියලූ දෙනාම එකට සහයෝගයෙන් ජීවත් වුණා. ඊට පස්සේ තත්වයන් වෙනස් වුණා. අවුරුදු 11 ඉඳලා මේ වෙන කොට මේ ප‍්‍රදේශය ගැන මතකයන් ගොඩක් තිබෙනවා. ඒවා අතර සතුටු විය හැකි මතකයනුත් තිබෙනවා. නමුත් වැඩිපුරම තිබෙන්නේ කණගාටුදායක මතකයන්.
මම ඉතිහාසය ගැන කතා කරන්නේ අපට අලූත් දෙයක් කරන්න සිදු වී තිබෙන නිසා. 1953 අවුරුද්දේ, නිදහසින් අවුරුදු පහකට පස්සේ පාලක පංතිය තමන්ගේ බැරිකම පෙන්නුවා. එදා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනා එකට එක්ව විරෝධය පළ කළා. ඒකට කිව්වේ හර්තාලය කියලා. පාලක පංතිය දක්‍ෂ නම් මේ රටේ ජනතාව එහෙම නැගිටින්නේ නැහැ. ඊළඟට නිදහස ලබා ගෙන අවුරුදු 23කට පස්සේ, 1971 නැගිටීමක් සිද්ධ වුණා. ඒක ගැන පාලක පංතිය මොන කතා කිව්වත්, ඒකත් සිද්ධ වුණේ පාලක පංතියේ බැරිකම, අදක්‍ෂකම නිසා. එහෙම නැතිව නැගී සිටි අයගේ වරදක් නිසා නොවෙයි. ඊළඟට 1975 වන විට උතුරු නැගෙනහිර පළාත්වල තවත් නැගිටීමක් ආරම්භ වුණා. ඒ නැගිටීම සමග අපේ එකඟතාවක් ඇත්තේම නැති වුණත් අපි දකින්නේ ඒකත් පාලක පංතියේ බැරිකම. ඒ නැගිටීම අවුරුදු 30ක් පුරාවට ගියා. ඒ අතර තුර 1983 අපේ පක්‍ෂය තහනම්කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කර තිබූ තත්වයක් තුළ, ඉන්දියානු හමුදාව පැමිණ සිටි තත්වයක් තුළ අපටත් 87-89 කාලයේ නැගී සිටින්න සිද්ධ වුණා. පාලක පංතිය ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප‍්‍රශ්න විසඳන්න සමත් වුණා නම් මේ වගේ සිදුවීම් ඇති වෙන්නේ නැහැ.
දැන් රටේ අලූත් තත්වයක් තිබෙන්නේ. ඒ තත්වය තේරුම් ගත් පක්‍ෂ සහ පුද්ගිලයින් එකතු වෙලා, සරත් ෆොන්සේකා මහතාත් එකතු වෙලා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගොඩ නැගුවේ. අලූත් තත්වයට මුහුණ දෙන්න, රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා දෙන්න. ඔබ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයින්. අපි දිස්ත‍්‍රික්ක 22ටම තරග කරනවා. අද මෙතැනට වැල්වැටිතුරේ, මන්නාරමේ, වව්නියාවේ, ත‍්‍රිකුණාමලයේ, මඩකලපුවේ සිට අපේක්‍ෂකයින් ඇවිත් තිබෙනවා. ඒක විශාල ජයග‍්‍රහණයක්.
බෙදුම්වාදය ගැන කතා කරනවා නම්, අපි ඊට විරුද්ධ වුණේ අද ඊයේ නොවෙයි. වෙනම රාජ්‍යයක් පිළිබඳ සංවාදය ආරම්භ වූ මොහොතේම අපි ඒ සම්බන්ධ අපේ විරෝධය පළ කළා. එය අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. අපි බෙදුම්වාදයට විරෝධය පළ කරන්නේ නිකම්ම නොවෙයි. අපි බෙදුම්වාදයට විරුද්ධයි වගේම සියලූ දෙනාට එකම නීතියක් ඇති කිරීම, ඕනෑම අයකුට ඕනෑම තැනක පදිංචිවීමට ඇති අයිතිය පිළිගැනීම, තමන්ගේ මව්බසින් කටයුතු කිරීමට තිබෙන අයිතිය පිළිගැනීම ඇතුළුව ජාතික සමගිය, ජාතික සංවර්ධනය, ජාතීන් අතර සහජීවනය තදින් වැළඳ ගන්නවා. සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනම රටේ ඕනෑම තැනක කටයුතු කළ හැකි භාෂා ලෙස පිළිගත යුතු යැයි මුලින්ම පිළිගත්තේ අපි. තවමත් වෙනත් කිසිම පක්‍ෂයක් ඒ ප‍්‍රතිපත්තිය පිළිගෙන නැහැ.
අපි සරත් ෆොන්සේකා මහතා සමග එක් වූයේ, මැයි 18 වැනිදායින් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාට මේ රටට දෙන්න බැරි වුණු දේ දිනා දෙන්න. මැයි 18 වැනිදායින් පසු අපේ බලාපොරොත්තුව වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සංහිඳියාව, සමාන අවස්ථා ඇති කිරීම. ඒ තත්වය ඇති කරන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. අවශ්‍යතාවය තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතාට ඒක කරන්න තිබුණා.
සුගිය ජනවාරි 26 වැනිදායින් පසුව, ජනාධිපතිවරණයෙන් පසුව ගෙවී ගිය ඉතාම කෙටි කාලය තුළ මහින්ද රාජපක්‍ෂ පෙන්වා තිබෙනවා මේ රටේ ඇති වෙන්න යන්නේ මොන වගේ පාලනයක්ද කියලා.මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේන්න කැමැත්තක් තිබෙන කෙනෙක්, කිසිම දවසක විරුද්ධ මත දරන පක්‍ෂවලට තර්ජනය කිරීම් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ නැහැ. ජාතික සමගිය බලාපොරොත්තු වන ජනාධිපතිවරයෙක් කිසිම දවසක ජාතිවාදය අවුස්සන්නේ නැහැ. ජනාධිපතිවරණය වෙලාවේ සිංහල ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ඇවිස්සුවා. මේ පාලනය ඉතාම නරක, ෆැසිස්ට් ජාතිවාදී පාලනයක්. මේ රටට ඕන දේශපේ‍්‍රමී ජාත්‍යන්තරවාදී පාලනයක්. කිසිවකුගේ දේශභක්තිය සිංහල විරෝධී හෝ දෙමළ විරෝධී හෝ මුස්ලිම් විරෝධී හෝ වෙන්න බැහැ. මේක සියලූ දෙනාගේම රට.
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නිසා, ජාත්‍යන්තරය සමග ගනු දෙනු කරන්න දන්නේ නැති නිසා ඒක අපේ රටේ ආර්ථිකයට බල පානවා. ජී එස්. පී ප්ලස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මේ සියල්ල ගැට ගැසී තිබෙන්නේ අපේ රට ජාත්‍යන්තරය සමග ඇති කර ගත් ගිවිසුම් සමගයි. නිදහස, මාධ්‍ය නිදහස,සාධාරණ මැතිවරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති විය යුතුයි. ඒ ගිවිසුම් කඩ කළ විට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ අහිමි වන ඩොලර් කෝටි ගණන් නැවත ලබා ගන්න මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා අපි ගොඩනැගූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට තිබෙන ඉඩ විශාලයි, වැඩ විශාලයි. ඒ ඉඩ හා වැඩ අපේ අතට ගනිමු. කුසලානය දිනවමු."truth

මට ප්‍රසිද්ධිය දුන්නේ හෙළ උරුමය - මනෝ ගනේෂන් මල්වතු මහ නාමියන්ට කියයි


තම පියාගේ උරුමයෙන් මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කොට දේශපාලනය කරන තමන්ට මෙවර මහ මැතිවරණයේ ප්‍රසිද්ධිය ලබා දුන්නේ ජාතික හෙළ උරුමය පක්ෂය බව මනෝ ගනේෂන් මහතා මල්වතු මහ නාහිමියන් සමඟ පැවසීය. මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟවදින තමන්ට මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන ලෙද ජාතික හෙළ උරුමය උද්ඝෝෂණය කළ බවත්, මේ රටේ ජාතිවාදය පිළිබඳ හෙඳම නිදර්ශනය මෙය බවත් ගනේෂන් මහතා මෙහිදී පවසා ඇත.
මේ අවස්ථාවේදී ගනේෂන් මහතාට අවවාද කරමින් මල්වතු මහ නාහිමියෝ පවසා ඇත්තේ ගනේෂන් මහතාටත් මහනුවරින් ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බවත්, මේ රටේ සුළු ජාතීන් නොවන බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති බවත්, යම් යම් පුද්ගලයින්ගේ උද්ඝෝෂණවලට නොසැලී කටයුතු කරන ලෙසයි. truth

එ.ජා.ප-ජ.වි.පෙ ‍බෝඩ් ලෑලි විතරයි


එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ බෝඩ් ලෑලි වලට පමණක් සීමා වී ඇති බව සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා පවසයි.
ඔහු පවසන පරිදි මහ මැතිවරණයට පෙර සිටම එම පක්ෂ දෙකට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පක්ෂ හැර යාම හේතුවෙන් මෙම ඉරණමට මුහුණ දීමට සිදු ව ඇති බව මහ ඇමතිවරයා පෙන්වා දෙයි.
රඹුක්කන , මඩවල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වෙමින් සිටින බවයි.ada

පත්‍රිකා බෙදීම 23 දා ඇරඹෙයි


මෙවර මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව තැපැල්පති එම්.කේ.බී දිසානායක මහතා පවසයි.
ඔහු සඳහන් කරන පරිදි ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
28 වන දා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති අතර ලබන 31 වනදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරන පරිදි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 22 වන දින තැපෑලට භාර දීමට නියමිත ව තිබේ. ada

දියේ ගිලී තිදෙනෙක් මරු දකිති


දඹුල්ල , ඉබ්බන්කටුව වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් ‍තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇත. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් පස්යාල , දොම්පේ සහ පැපිලියවල ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. මිය ගොස් ඇත්තේ කොළඹ , මරදානේ පිහිටි පෞද්ගලික සමාගමක සේවක පිරිසකි.
මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

කුඩුත් එක්ක බඩු මාට්ටු


හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල පොලිසිය පවසන පරිදි හෙරොයින් ග්‍රෑම් 24 යි මිලි ග්‍රෑම් 500 ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර 34 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වන බව සඳහන් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.ada

මහ මැතිවරණයටත් විදෙස් නිරීක්ෂකයින් සූදානම්


එළඹෙන මහ මැතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් ගෙන්වීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි ඒ අනුව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිලධාරීන් 50 දෙනෙකු පමණ ගෙන් වීමට මූලික කටයුතු අවසන් කර තිබේ.
ඔවුන් මේ මස 25 දින පමණ වන විට මෙරටට පැමිණෙනු ඇති බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
මැතිවරණයට අදාළ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමේ දී පොලිසියේ කාර්යභාරයේ දුර්වලතා පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

ගායක අබේවර්ධන බාලසූරිය දැඩි සත්කාර ඒකකයේ


ප්‍රවීණ ගායන ශිල්පි අබේවර්ධන බාලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින වග වාර්තා වේ.හදිසියේ බරපතල ලෙස රෝගාතුරු වූ ඒ මහතා මේ අයුරින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව කියැවේ. ada

Saturday, March 6, 2010

දිගුකාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගන්න: ජෙනරාල් අත්අකුරින් ලියූ ලිපියකින් රනිල්ට දැනුම් දෙයි


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැකීමට සූදානම් වන බැවින් ඊට මුහුණ දීමට විපක‍ෂයේ සියලූ බලවේග ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව මහා මැතිවරණයට නාම යෝජනා කැඳවූ සතියේ හමුදා අත්අඩංගුවේ සිටිමින් ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තම අත්අකුරෙන් ලියූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා

රනිල් වික්‍රමසිංහ මැතිතුමා
නායක, එක්සත් ජාතික පක‍ෂය

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි,

රටේ උද්ගතවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණය වෙනස් කිරීම සඳහා මැදිහත්වීම
---------------------------------------------------------------------------------------

මේ වන විට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉතාම බරපතළ අනතුරකට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම්වලින් පෙනේ. විශේෂයෙන්ම මේ වන විට කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කර ඇත. තවමත් මට එරෙහිව චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කර නැති අතර මෙය පෞද්ගලික පළිගැනීමක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් බව ඕනැම අයෙකුට පැහැදිලිව පෙනේ.
මෙම ප්‍රශ්නයට ගොදුරු වී ඇත්තේ මා සහ මට ආධාර උපකාර කළ අය පමණක් නොවේ. පසුගියදා zලංකාZ පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු නිදහස් කරන අවස්ථාවේදී අධිකරණය ප්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා නැති බවයි. ලංකා පුවත්පත තහනම් කිරීමට ද ආණ්ඩුව උත්සාහ දරන ලදී. ප්‍රකට පුවත් වෙබ් අඩවියක් වන zලංකා ඊ නිව්ස්Z වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඇති අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආණ්ඩුව දරන මතයට වඩා වෙනස් මතයක් දැරූ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත්වීමත් සමඟම ආණ්ඩුවේ පළි ගැනීමේ හස්තයට ගොදුරුවීමට සිදුවී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපා හැර ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ආණ්ඩුවට වඩා වෙනස් මත දරන පුද්ගලයන්ට ජනාධිපතිවරණයෙන් පසුව හිරිහැර කිරීම් වාර්තා විය. මේ වනතුරුත් තමන්ගේ සේවා ස්ථානවලට යා නොහැකි තරමට විශාල පිරිසකට තර්ජන එල්ලවී ඇත. තවමත් මෙම තත්ත්වය යහපත් අතට හැරී නැත. මෙම සිදුවීම් විසින් පෙන්වනුයේ ආණ්ඩුවේ මර්දනය කෙතරම් වර්ධනය වන්නේද යන බවයි. එමෙන්ම එය කොතැනට ගමන් කරන්නේද යන බවයි.
මේ අතර හදිසි නීති විධිවිධාන උපයෝගී කර ගනිමින් නව රැඳවුම් කඳවුරු අටක් ප්‍රකශයට පත් කර ඇත. මෙම නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ අංක 1639/19, 1640/01, 1640/02 දරන ගැසට් නිවේදන මඟිනි. තිස් වසරක් පුරා අපේ රට තුළ පැවැති යුද්ධය නිමවී ඇති තත්ත්වයක් යටතේ නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කිරීමේ කිසිදු පිළිගත හැකි හේතුවක් නැත. මෙමඟින් පෙනී යන එකම කරුණ නම් ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට සූදානම් බවය. තමන්ට විරුද්ධ මත දරන සියලූ පුද්ගලයන්ට, සංවිධානවලට හා දේශපාලන පක‍ෂවලට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරා දැමීමට හා ඒවාට බාධා කිරීමට කටයුතු කරන බවයි. රාජපක‍ෂ මහතාගේ දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට මුහුණ පා ඇත. මේ තත්ත්වය ඔබතුමාගේ අවධානයට යොමු වී ඇතැයි සිතමි.
උද්ගත වී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට මුහුණ දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ බලවේග එක්විය යුතුව තිබේ. ඒ සඳහා ඇති සුදුසුම ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී ඇතිවූ එක්සත්භාවය ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීමයි. එසේ එක්සත් භාවය වර්ධනය කර නොගෙන ඉදිරියේදී මතුවන තත්ත්වයන්ට හුදකලා වී මුහුණදිය නොහැකි අතර තනි හුදකලා කි්‍රයාමාර්ගවලින් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම ද කළ නොහැක. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියල්ලන් එක් අරමුණක් වෙනුවෙන් සමඟි විය යුතුව තිබේ. එය කළ යුත්තේ මා වෙනුවෙන් නොව රට මුහුණ පා ඇති අනතුරෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහායි. මෙහිදී පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායකයා ලෙස ඔබතුමාට සුවිශේෂී කාර්යභාරයක් පැවැරී තිඛෙන බව පැහැදිලිය. පාට, පක‍ෂ හා පටු වුවමනාවන් ප්‍රමුඛ කොට නොසලකා රටේ පොදු වුවමනාවන් ප්‍රමුඛත්වයේ ලා සලකමින් කි්‍රයාත්මක විය යුතු අවස්ථාව දැන් එළඹ ඇතැයි මම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබේ පරිණත හා දිගුකාලීන අත්දැකීම් උපකාරී කරගනිමින් මැදිහත් වනු ඇතැයි මම අපේක‍ෂා කරමි. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය කි්‍රයාත්මක කිරීම යන ඉල්ලීම් හරහා ගොඩ නැගී පසුව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු දක්වා වර්ධනය වන ලෙස පක‍ෂ හා සංවිධාන අතර ඇති වූ එක්සත්භාවය තවත් සංවිධාන හා පුද්ගලයන් එක් කරගනිමින් පුළුල් කිරීමට ඔබතුමා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. මේ මොහොතේදි අප ගන්නා තීරණ හෙට දවසේ රටේ ජනතාවගේ අයිතීන් හා නිදහස දිනාගැනීම පිළිබඳව තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කරනු ඇත. එබැවින් කෙටිකාලීන අවශ්‍යතා මත නොව දිගු කාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගැනීමට ඔබතුමා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඔබට ශක්තිය හා ජය
ස්තූතියි,
මෙයට විශ්වාසී

ජෙනරාල් සරත් ෆොන්සේකා
(ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය අත්අකුරින් ලියූ ලිපියේ ඡායා පිටපත් දෙකක් පහත දැක්වේ)

විශේෂ ස්තූතිය: ලංකා පුවත්පතට lankaen

සන්ධාන මැරයෝ කෑගල්ලේ වැඩ අරඹති - කුසලානයට මැර ප්‍රහාරයක්


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයට තරග වදින,අපේක්ෂක නීතිඥ රංජිත් අබේසිංහ මහතාගේ නිවසට ඊයේ (05)රාත‍්‍රි 12.30 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේ සන්ධානයේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් වූ මැර පිරිසක් විසිනි. ත‍්‍රීරෝද රථයකින් පැමිණ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලලිත් දිසානායකගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස විසින් අදාල පහරදීම සිදු කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසයි. මෙම පහරදීමෙන් විජේසිංහ මහතාගේ නිවසට සහ වාහනයටද අලාභානි සිදුවී තිබේ.
මීට පෙර නාමයෝජනා භාර දුන් දින සවස (පෙබරවාරි 26)ලලිත් දිසානායකගේ මැර පිරිසක් අබේසිංහ මහතාගේ නිවසට පැමිණ තර්ජනය කොට,පසු දින රාත‍්‍රියේ ඔහුගේ නිවසට ගල් මුල් ප‍්‍රහාරයක් ද එල්ල කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් අරණායක පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් මේ වන තුරු මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ අතර ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන්ද අබේසිංහ මහතා අරණායක පොලිසියට පැමිණිලි කොට ඇත.truth

සැමියා වෙනුවෙන් රට පුරා රැස්‌වීම්වලට මා යනවා - අනෝමා ෆොන්සේකා


මහ මැතිවරණ ප්‍රචාරක රැලි ඇමතීම සඳහා සිය සැමියා වෙනුවෙන් තමන් උතුර නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකටම ගමන් කිරීමට තීරණය කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා වන්නේ තම සැමියා බවත්, එහෙත් සිරගත කර ඇති නිසා ඔහුට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ක්‍රියාකාරීව සහභාගිවීමට නොහැකිවී ඇති බවත් පැවසූ ෆොන්සේකා මහත්මිය සිරගතව සිටියද ඔහු නිතර රටේත්, ජනතාවගේත් යහපත උදෙසා කටයුතු කරන බව දන්වන්නැයි තමන්ට පැවැසු බවද වැඩිදුරටත් පැවසුවාය.
යුක්‌තිය, සාධාරණත්වය සහ සත්‍ය රට තුළ ස්‌ථාපිත කිරීම සඳහා රට පුරා සෑම දිස්‌ත්‍රික්‌කයකටම ගොස්‌ ජනතාව දැනුවත් කිරීමට සැමියා වෙනුවෙන් තමන් තීරණයක්‌ ගත් බවද ඇය ප්‍රකාශ කළාය.truth

ලංකාවේ ජනමාධ්‍යව්දීන් ගැන අමෙරිකාවේ අවධානයෙන්


ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වර්තමානයේ මුහුණ දෙමින් පවතින අභියෝග පිළිබඳ අමෙරිකවේ දැඩි අවධානය යොමු ව ඇත. අමෙරිකාවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන තානාපති කාර්යාලය පවසන්නේ අවාසනාවන්ත ලෙස ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් අභියෝගයන්ට මුහුණ දී ඇති බවයි
"ජනතාව සත්‍ය වාර්තා කිරීමට බියට පත් ව සිටිනවා. දෙයක් ලියන්න සහ ප‍්‍රකාශයට පත් කරන්න ඔවුන් පසුබට වෙනවා. ඒ නිසා ම ස්වයං වාරණය දැඩි ලෙස දක්නට ලැබෙන කාරනාවක්. ජනමාධ්‍යවේදීන් වටා සිදු වන දේ නිසා ඔවුන් කිසියම් මානසික ගැටලූවකට පත් වී තිබෙනවා." ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දූත සේවය සඳහා වන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී 'වැලරි ෆ්ලවර්' මෙසේ අදහස් දක්වා ඇත.truth

මහ රජු‍ගේ (අ)වෛරී දේශපාලනය හෂාන් පසුපසත් පන්නයි


එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතාට නවාතැන් දුන්නේය යන චෝදනාව එල්ල කිරීමට හැකිදැයි සොයා බලමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට හැකි දැයි සොයා බලන ලෙස රහස් පොලිසිය නීතිපතිගෙන් උපදෙස් පතා ඇත. මේ සම්බන්ධයෙන් අදාල චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපති උපදෙස් පතන රහස් පොලිසිය නීතිපතිවරයාට දන්වා ඇත්තේ ධනුන තිලකරත්න මහතා පෙබරවාරි මස 19 හා 20 යන දිනයන්හි හෂාන් තිලකරත්න මහතාගේ නිවසේ නවාතැන් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මීට පෙර ද රහස් පොලිසිය විසින් හදිසියේම හෂාන් තිලකරත්න මහතාගේ පිළියන්දල පිහිටි නිවස සෝදිසි කර ඇති අතර, ධනුන තිලකරත්න මහතා සම්බන්ධයෙන් හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියගෙන් හා හෂාන් තිලකරත්නගේ මෑණියන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, පසුව හෂාන් තිලකරත්නගෙන්ද ප්‍රශ්න කිරීමක් කර ඇත.truth

පන්නිපිටියේ ඝාතනයක්


පන්නිපිටිය, දුම්රිය මාර්ග‍යේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. ඇය පොත්දෙණිය, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනා‍ගෙන ඇත. තරුණිය ඝාතනය කළ සැකකරු සිය දිවි හානි කිරීමට තැත් කර ඇති අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.ada