Sunday, March 7, 2010

අපේක්‍ෂක ලැයිස්තුව අවලංගු කරන්න - තිස්සගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්


එක්සත් ජාතික පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසත්, එසේ නොහැකි නම් නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා තිස්ස කුට්ටිආරච්චි මහතා හෙට (08)ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට මුලින්ම තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුළත්ව තිබූ අතර, පසුව නාම යෝජනා භාර දීමේදී තිස්ස කු‍ට්ටිආරච්චිගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිය අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ටිපෙක්ස් යොදා තිස්ස කුට්ටිආරච්චිගේ නම ඉවත් කර ඇති බවයි.
තමාගේ නම ඇතුළත් කිරීමෙන් පසු එම යෝජනා පත‍්‍රයට තමාගේ අත්සනද යෙදූබවත්, නාමයෝජනා පත‍්‍රය භාර දෙන අවස්ථාවේ තමාගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බවත්, බාර දුන් නාමයෝජනා පත‍්‍රයේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නාමයෝජනා පත‍්‍රය වෙනස් කර තිබෙන බවත් අදාල පෙත්සමේ දක්වා ඇත.
මේ අනුව සිය නම මොනරාගල දිස්ත්‍රික් අ‍පේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කරන ලෙස නියෝග කරන ලෙසත්, එසේ නැතහොත් මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ලැයිස්තුව අවලංගු කරන ලෙසන් මෙම පෙත්සමෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා ඉල්ලා ඇත. තිස්ස කුට්ටිආරච්චි මහතා මංගල සමරවීර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 'ම' පාර්ශවයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේක්ෂකයාය.
දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරියකු විසින් පිළිගන්නා ලද නාමයෝජනා ලැයිස්තුවකට අලූත් නමක් ඇතුළත් කිරීම හෝ එවැනි නාමයෝජනා ලැයිස්තුවක් අවලංගු කිරීම සිදු කළ හැක්කේ අධිකරණ තීන්දුවකට පමණක් බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය එජාප මහ ලේකම්වරයාට දැනුම්දී තිබෙන අතර, ඒ අනුව තමාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිඥ නිලන්ති පීරිස් මහත්මිය මගින් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන බව තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.truth

0 comments:

Post a Comment