Sunday, March 7, 2010

අපි බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරනවා ව‍ගේම ජාතීන් අතර සහජීවනය තදින් වැළඳ ගන්නවා - සෝමවංශ අමරසිංහ


යාපනය, වන්නි, මඩකලපුව, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලට තරග වදින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (06) වව්නියාවේදී පැවැත් විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු නායකයින් පිරිසක් ඊට සහභාගි වූ අතර ඉහත දිස්ත‍්‍රික්කවලට තරග වදින අපේක්‍ෂකයෝද සහභාගි වූහ. එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ පැවසීය.
"අපේක්‍ෂිකාවන් පිරිසකුත් මේ අවස්ථාවට සහභාගි විය යුතුව තිබෙනවා. නමුත් ඔවුන් අද මෙතැනට ඇවිත් නැහැ. ඔවුන් ඉන්නේ සරණාගත කඳවුරුවල. අපේ රටේ තාමත් කඳවුරු තිබෙනවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
මම වව්නියාවට මුලින්ම ආවේ 1954 අවුරුද්දේ. එතකොට මට අවුරුදු 11යි. ඒ ආවේ දේශපාලනය කරන්න නොවෙයි. අපේ තාත්තා වැඩ කළේ පදවියේ. ඔහු බලන්න යන කොට වව්නියාවේ බැහැලා යන්න ඕන. එතකොට මම දැකපු දෙයක් තිබුණා. මේ ප‍්‍රදේශයේ,වව්නියාවේ සිංහල,දෙමළ,මුස්ලිම් සියලූ දෙනාම එකට සහයෝගයෙන් ජීවත් වුණා. ඊට පස්සේ තත්වයන් වෙනස් වුණා. අවුරුදු 11 ඉඳලා මේ වෙන කොට මේ ප‍්‍රදේශය ගැන මතකයන් ගොඩක් තිබෙනවා. ඒවා අතර සතුටු විය හැකි මතකයනුත් තිබෙනවා. නමුත් වැඩිපුරම තිබෙන්නේ කණගාටුදායක මතකයන්.
මම ඉතිහාසය ගැන කතා කරන්නේ අපට අලූත් දෙයක් කරන්න සිදු වී තිබෙන නිසා. 1953 අවුරුද්දේ, නිදහසින් අවුරුදු පහකට පස්සේ පාලක පංතිය තමන්ගේ බැරිකම පෙන්නුවා. එදා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනා එකට එක්ව විරෝධය පළ කළා. ඒකට කිව්වේ හර්තාලය කියලා. පාලක පංතිය දක්‍ෂ නම් මේ රටේ ජනතාව එහෙම නැගිටින්නේ නැහැ. ඊළඟට නිදහස ලබා ගෙන අවුරුදු 23කට පස්සේ, 1971 නැගිටීමක් සිද්ධ වුණා. ඒක ගැන පාලක පංතිය මොන කතා කිව්වත්, ඒකත් සිද්ධ වුණේ පාලක පංතියේ බැරිකම, අදක්‍ෂකම නිසා. එහෙම නැතිව නැගී සිටි අයගේ වරදක් නිසා නොවෙයි. ඊළඟට 1975 වන විට උතුරු නැගෙනහිර පළාත්වල තවත් නැගිටීමක් ආරම්භ වුණා. ඒ නැගිටීම සමග අපේ එකඟතාවක් ඇත්තේම නැති වුණත් අපි දකින්නේ ඒකත් පාලක පංතියේ බැරිකම. ඒ නැගිටීම අවුරුදු 30ක් පුරාවට ගියා. ඒ අතර තුර 1983 අපේ පක්‍ෂය තහනම්කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කර තිබූ තත්වයක් තුළ, ඉන්දියානු හමුදාව පැමිණ සිටි තත්වයක් තුළ අපටත් 87-89 කාලයේ නැගී සිටින්න සිද්ධ වුණා. පාලක පංතිය ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප‍්‍රශ්න විසඳන්න සමත් වුණා නම් මේ වගේ සිදුවීම් ඇති වෙන්නේ නැහැ.
දැන් රටේ අලූත් තත්වයක් තිබෙන්නේ. ඒ තත්වය තේරුම් ගත් පක්‍ෂ සහ පුද්ගිලයින් එකතු වෙලා, සරත් ෆොන්සේකා මහතාත් එකතු වෙලා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගොඩ නැගුවේ. අලූත් තත්වයට මුහුණ දෙන්න, රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා දෙන්න. ඔබ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයින්. අපි දිස්ත‍්‍රික්ක 22ටම තරග කරනවා. අද මෙතැනට වැල්වැටිතුරේ, මන්නාරමේ, වව්නියාවේ, ත‍්‍රිකුණාමලයේ, මඩකලපුවේ සිට අපේක්‍ෂකයින් ඇවිත් තිබෙනවා. ඒක විශාල ජයග‍්‍රහණයක්.
බෙදුම්වාදය ගැන කතා කරනවා නම්, අපි ඊට විරුද්ධ වුණේ අද ඊයේ නොවෙයි. වෙනම රාජ්‍යයක් පිළිබඳ සංවාදය ආරම්භ වූ මොහොතේම අපි ඒ සම්බන්ධ අපේ විරෝධය පළ කළා. එය අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. අපි බෙදුම්වාදයට විරෝධය පළ කරන්නේ නිකම්ම නොවෙයි. අපි බෙදුම්වාදයට විරුද්ධයි වගේම සියලූ දෙනාට එකම නීතියක් ඇති කිරීම, ඕනෑම අයකුට ඕනෑම තැනක පදිංචිවීමට ඇති අයිතිය පිළිගැනීම, තමන්ගේ මව්බසින් කටයුතු කිරීමට තිබෙන අයිතිය පිළිගැනීම ඇතුළුව ජාතික සමගිය, ජාතික සංවර්ධනය, ජාතීන් අතර සහජීවනය තදින් වැළඳ ගන්නවා. සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනම රටේ ඕනෑම තැනක කටයුතු කළ හැකි භාෂා ලෙස පිළිගත යුතු යැයි මුලින්ම පිළිගත්තේ අපි. තවමත් වෙනත් කිසිම පක්‍ෂයක් ඒ ප‍්‍රතිපත්තිය පිළිගෙන නැහැ.
අපි සරත් ෆොන්සේකා මහතා සමග එක් වූයේ, මැයි 18 වැනිදායින් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාට මේ රටට දෙන්න බැරි වුණු දේ දිනා දෙන්න. මැයි 18 වැනිදායින් පසු අපේ බලාපොරොත්තුව වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සංහිඳියාව, සමාන අවස්ථා ඇති කිරීම. ඒ තත්වය ඇති කරන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. අවශ්‍යතාවය තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතාට ඒක කරන්න තිබුණා.
සුගිය ජනවාරි 26 වැනිදායින් පසුව, ජනාධිපතිවරණයෙන් පසුව ගෙවී ගිය ඉතාම කෙටි කාලය තුළ මහින්ද රාජපක්‍ෂ පෙන්වා තිබෙනවා මේ රටේ ඇති වෙන්න යන්නේ මොන වගේ පාලනයක්ද කියලා.මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේන්න කැමැත්තක් තිබෙන කෙනෙක්, කිසිම දවසක විරුද්ධ මත දරන පක්‍ෂවලට තර්ජනය කිරීම් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ නැහැ. ජාතික සමගිය බලාපොරොත්තු වන ජනාධිපතිවරයෙක් කිසිම දවසක ජාතිවාදය අවුස්සන්නේ නැහැ. ජනාධිපතිවරණය වෙලාවේ සිංහල ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ඇවිස්සුවා. මේ පාලනය ඉතාම නරක, ෆැසිස්ට් ජාතිවාදී පාලනයක්. මේ රටට ඕන දේශපේ‍්‍රමී ජාත්‍යන්තරවාදී පාලනයක්. කිසිවකුගේ දේශභක්තිය සිංහල විරෝධී හෝ දෙමළ විරෝධී හෝ මුස්ලිම් විරෝධී හෝ වෙන්න බැහැ. මේක සියලූ දෙනාගේම රට.
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නිසා, ජාත්‍යන්තරය සමග ගනු දෙනු කරන්න දන්නේ නැති නිසා ඒක අපේ රටේ ආර්ථිකයට බල පානවා. ජී එස්. පී ප්ලස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මේ සියල්ල ගැට ගැසී තිබෙන්නේ අපේ රට ජාත්‍යන්තරය සමග ඇති කර ගත් ගිවිසුම් සමගයි. නිදහස, මාධ්‍ය නිදහස,සාධාරණ මැතිවරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති විය යුතුයි. ඒ ගිවිසුම් කඩ කළ විට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ අහිමි වන ඩොලර් කෝටි ගණන් නැවත ලබා ගන්න මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා අපි ගොඩනැගූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට තිබෙන ඉඩ විශාලයි, වැඩ විශාලයි. ඒ ඉඩ හා වැඩ අපේ අතට ගනිමු. කුසලානය දිනවමු."truth

0 comments:

Post a Comment