Thursday, December 2, 2010

රටට කුමන්ත්‍රණ කරන අයට නීතිමය පියවර ගන්නවා


ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික වශයෙන් කුමන්ත්‍රණ සිදුකිරීමට පියවර ගත් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින්ට එරෙහිව නිසි ලෙස කරුණු අනාවරණය වීමෙන් පසු නීතිමය පියවර ගන්නා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

පසුගිය කාලයේ විදෙස් සංචාරයන්ට සහභාගී වූ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් එහිදී කරන ලද ප්‍රකාශයන් හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිසා යළි හිස ඔසවමින් සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාවට මහත් තල්ලුවක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව යළි හිස ඔසවමින් සිටින බවත්,ඔවුන්ට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ඇතැම් සංවිධාන හා කණ්ඩායම් වල සහයද ලැබෙමින් පවතින බව පෙනෙන්නට ඇතැයි හුළුගල්ල මහතා අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේය.

2009 මැයි මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයට පත්කරන ලද චැනල්-04 වීඩියෝව ව්‍යාජ එකක් බව සාක්ෂි සහිතව ඔප්පු කර තිබියදී එම වීඩියෝවම යළි දිගු වීඩියෝ පටයක් ලෙස ප්‍රසිද්ධ කිරීමට පියවර ගැනීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කරමින් සිටින කුමන්ත්‍රණ යළි යළිත් තහවුරු වෙමින් පවතින බවද හෙතෙම කියා සිටියේය.

මෙවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට විශාල මුදලක් වෙන් කර ඇති බවත්,මේ වන විට යුද්ධයක් නොපවතින බැවින් මේ සා මුදලක් වෙන්කිරීම නොකළ යුත්තක් බවටත් විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරන බවත්,එමගින් මෙරට ජනතාව තුළ ආදරය දිනා සිටින ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් මවන්නට උත්සාහ දරන බවත් හුළුගල්ල මහතා කියා සිටියේය.

යුද්ධය පැවති කාලයේ ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවතියේ ආයතන 16 පමණක් බවත්,මේ වන විට එකී ආයතන සංඛයාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත්,පොදුවේ සියලු අමාත්‍යංශ වලට මුදල් වෙන් කරනා පරිදිම ආරක්ෂක අමාත්‍යංශයේ විෂය ක්ෂේත්‍රය සලකා මෙම මුදල් වෙන් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය. adaderana.lk

0 comments:

Post a Comment