Friday, May 21, 2010

රත්නපුර තවත් යටවෙයි


රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයගම, කිරිඇල්ල, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් මෙලෙස ජලයෙන් යටවී ඇති බව එහි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක කර්නල් අබේරත්න මහතා සඳහන් කළේය. මීට අමතරව රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට, ඇලපාත, බලංගොඩ, කොලොන්න සහ කලවාන යන ප්‍රදේශ නාය යෑමේ අවදානමකට ලක්ව තිබේ.

එම අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පිළිබඳ ‍අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා පියවර ගෙන ඇති බව ද අබේරත්න මහතා සඳහන් කළේය. කැළණි ග‍‍ඟේ ජල මට්ටම ඊයේ දිනයට වඩා පහළ බැස තිබුණ ද තවදුරටත් එය පිටාර ගැලීමේ අවදානම පවතින බව වාර්තා වේ.

ගංවතුරෙන් පීඩාවට පත්වන පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමතරව යුද හමුදාව සහ නාවික හමුදාව යොදවා තිබේ. මීට අමතරව අවතැන් කඳවුරු දෙකක් ද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. විපතට පත්වුවන්ගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අවදානම් සහගත ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් එම පාසල් වල විදුහල්පතිවරුන්ට බලය පවරා දී ඇති බව ද සඳහන්ය.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් දහසකට අයත් පුද්ගලයන් 2500ක් පමණ අවතැන්ව ඇති බව වාර්තා වේ. මේ අතර පොතුපිටිය ප්‍රදේශයේ දියේ ගිලීමෙන් ඊයේ දිනයේ තරුණයෙකු මියගොස් ඇත. ඔහුගේ මළ සිරුර සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් මේ වන විටත් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. adaderana

0 comments:

Post a Comment