Thursday, April 22, 2010

7වන පාර්ලිමේන්තුව අද රැස්වේ


හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද ආරම්භ වේ. නව පාර්ලිමේන්තුව උදෑසන 8.45 ට ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා පවසයි. පාර්ලිමේන්තුව කැඳවීම පිළිබද ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවනු ලැබීමෙන් අනතුරුව අද පාර්ලිමේන්තුවේ දී සිදුවන ප්‍රධානතම කාර්යය වන්නේ කථානායකවරය‍ා පත්කර ගැනීමය.
කථානායක ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර රහස් ඡන්දයක් පැවැත්වෙනු ඇත. එසේ නොමැතිව කථානායක ධුරය සඳහා එක් පුද්ගලයෙකුගේ පමණක් නාමයෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් ඔහු නිතරගයෙන් කථානායකධුරයට පත්කිරීම ස්ථාවර නියෝග අනුව සිදුවේ.
කෙසේවුවද මෙවර කථානායක ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්ය. ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ ද අනුමැතිය ලැබී තිබේ. අවසන් පාර්ලිමේන්තු තුනේදීම කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිනැමීම මෙවර ආණ්ඩු පක්ෂයෙන් පුද්ගලයෙකු පත්කිරීමට හේතුවී ඇත. අද දිනයේ කථානායකවරයා දිවුරුම් දීමෙන් පසු සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රී ධුරවල නිල වශයෙන් දිවුරුම් දීම සිදුකෙරේ. නියෝජ්‍ය කථානායක ධුරය හා නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරවලට තෝරාපත් කර ගැනීම සිදුකෙරෙන්නේ ඉන් අනතුරුවය.
මේ අතර මැතිසබයට තේරීපත්ව දැනට යුද හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ද පාර්ලිමේන්තු මංගල සැසිවාරයට සහභාගී වීමට නියමිතය. ඒ සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව අවශ්‍ය පහසුකම් සලසා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනර‍ාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. මේ අතර අද දිනයේ මැතිසබයට පැමි‍ණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව සීමා කර ඇති අතර එක් මන්ත්‍රීවරයෙකු සමග පැමිණිය හැක්කේ තවත් එක් පුද්ගලයෙකුට පමණක් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේය.adaderaana

0 comments:

Post a Comment