Thursday, February 11, 2010

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගෙන් පොලීසියට ඓතිහාසික දේශණයක්

මුළු රටම රූපවාහිනී නාලිකාවලින් බලා සිටි මෙම සිදුවීමේදී පොලීසිය කි්‍රයා කළ ආකාරය ලැජ්ජා සහගත ලෙස යයිද, සැබැවින්ම මෙහි පළමුවන සැකකරු විය යුත්තේ පොලීසිය යයිද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය අලූත්කඩේ ඊයේ (10) පැවැති විපක‍ෂ සත්‍යග්‍රහයේදී කලහකාරී ලෙස හැසිරුණේ යයි කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අංක 01 අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් නව දෙනකු ඇප මත මුදාහරිමින් අද (11) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.
ජනාධිපතිවරණයේ පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පොදු විපක‍ෂය ඊයේ (10) කැඳවා තිබූ මෙම සත්‍යග්‍රහයට පොලීසියේ ආරක‍ෂාව ලබමින් එල්ල කළ මැර ප්‍රහාර වැලැක්වීමට සත්‍යග්‍රහයට එක්වූ ජනතාව ද කි්‍රයා කළෙන් දෙපාර්ශවය අතර පැය හතරක් පුරා ඇවිලී ගිය දරුණු ගැටුම අලූත් කඩේ උසාවි සංකීර්ණය අසල පෙදෙස යුද පිටියක් බවට පත් කළේය. මෙහිදී පොලීසිය සත්‍යග්‍රහයට එක්වූ 9 දෙනකු කලහකාරී ලෙස හැසුරුණේ යයි අත්අඩංගුවට ගෙන තිබුණේය.
කල කෝලාහල කිරීම, පොදු දේපළ විනාශ කිරීම, කලහකාරී ලෙස හැසිරීම යනාදි චෝදනා මත කෙසෙල්වත්ත පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පනහකට අධික නීතිවේදීන් පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමින් අධිකරණයට කියා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු මැරයන් මොවුන් නොවන බවත් එම මැරයන් පොලීසිය ආරක‍ෂා කළ බවත්ය. තම ප්‍රකාශය සනාථ කිරීමට පොලීසිය විසින් මැරයන් ආරක‍ෂා කරනු ලබන අයුරු පෙන්නුම් කරන ඡායාරූප ද ඔවුහු ඉදිරිපත් කළහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ මේ සිද්ධිය රූපවාහිනියෙන් මුළු රටම දුටු මුළු රටම දන්නා කරුණක් බවත්, අධිකරණය යනු එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට වුවමනා ලෙස කි්‍රයා කරන ආයතනයක් නොව ජනතාවගේ කොටසක් බවත්ය.
අධිකරණ තීන්දුව දෙස ජනතාව බලා සිටින බව අවධාරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැබෑ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම ගැන පොලීසියට දෝෂාරෝපණය කරමින් මෙසේ අවවාද කළාය.
අහිංසක ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලීසිය සේවය කළ යුත්තේ ජනතාවටය. පොලීසිය යම් දේශපාලන කණ්ඩායමකට හෝ යම් පුද්ගලයකුට පක‍ෂපාතී නොවිය යුතුය. පොලීසිය එලෙස පක‍ෂග්‍රාහිව කටයුතු කරන්නේ නම් ලැජ්ජා සහගතය. කනගාටුදායකය.

එක් එක් අය සතුටු කිරීමට වැඩ නොකොට සැබෑ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප මත සැකකරුවන් 9 දෙනාම මුදා හැරීමට නියම කළාය. ඉදිරියේ පවතින්නේ මිනිසුන් පීඩනයට පත් කරවන ප්‍රවණතාවයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය
සැකකරුවන්ට ද අවවාද කළාය.
නීතිඥ ගුරණරත්න වන්නිනායක, මංජුල පතිරාජ, පියරංජන ජයසිංහ, අජිත් ජයසේකර, සඳුන් කෝන්ගලගේ, මංජුල සේනානායක, සිසිර සේනාරත්න, සහ කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරුන් ඇතුළු 50 කට අධික නීතිවේදීහු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. enews

0 comments:

Post a Comment