Sunday, May 2, 2010

කිරිඇල්ල එජාපයෙන් ඉවත්වන්න යයි


(ලංකා ඊ නිව්ස් 2010 මැයි 01, ප.ව.4.55) මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ලක‍ෂ්මන් කිරිඇල්ල මහතා එජාපයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ඉදිරියේ කටයුතු කිරීමට සූදානම් වෙයි.
විපක‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය කිරිඇල්ල මහතාට ලබාදෙන බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වූ පොරොන්දුව කඩකිරීම නිසා දේශපාලන වශයෙන් කිරිඇල්ල මහතා කලකිරී සිටින බව වාර්තා වේ.
එජාප පාර්ලිමේන්තු කණ්ඩායම කිරිඇල්ල මහතා විපක‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කිරීමට නිර්දේශ කිරීමට සූදානමින් සිටි අතර එම නිර්දේශයට පෙර ජෝන් අමරතුංග මහතා එම ධුරයට පත් කිරීමට එජාප නායකත්වය ගත් තීරණයට පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩිදෙනකුට නොසතුට පළකොට තිබේ.
ජෝන් අමරතුංග මහතාට එම ධුරය ලබාදුන්නේ කතෝලිකයකුට තනතුරක් දිය යුතු නිසා බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබේ. එජාපයේ සමහර මන්ත්‍රීවරුන් පවසන්නේ අමරතුංග මහතා පිල් මාරු කරන්නට සිටි සූදානම වළක්වා ගන්නට මේ තනතුර ඔහුට දුන් බවයි.

ජය වේ සොයුරනි...!


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නගරසභා පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළියට සහභාගී වෙමින් ජනතාවට ආචාර කළ අයුරු.රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. adaderana

විය පැහැදම් විධිවිධාන වලට අනුවයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සෑම ක්‍රියාවලියක්ම සිදුකරන බව ඔහු සඳහන් කරයි.
මේ වසරේ මුල් මාස හතර අතුරු සම්මත ගිණුමක් මගින් ද , තවත් මාස තුනක් ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මුදල් වෙන්කිරීමක් මගින් ද , සෙසු මාස පහ සඳහා කෙටි කාලීන අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීම මගින් ද , රජයේ කටයුතු සැළසුම් කර ඇතැයි කබ්රාල් මහතා සඳහන් කළේය.
විපක්ෂය එල්ල කරන පරිදි රජය මුල්‍ය අර්බුදයකට මුහුණ දී නොමැති බව මහ බැංකු අධිපතිවරයා"අද දෙරණ"කළ විමසීමකදී ප්‍රකාශ කළේය. adaderana

තනිව තරග කළේ ගැටුම් වළකන්නයි


පසුගිය මැතිවරණයේදී ටී.එම්.වී.පීය තනිව තරග කරනු ලැබුවේ නැඟෙනහිර පළාතේ යළි ද්‍රවිඩ-මුස්ලිම් අරගලයක් මතුවන්නට ඉඩ දිය යුතු නැති නිසා බව නැඟෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.
මඩකළපුව බස් නැවතුම්පළේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයටකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ටී.එම්.වී.පී ය හැටියට තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තනිව තරග කළ නිසා එක් ආසනයක් දිනා ගැනීමට හැකි වූ බවත්,අනෙක් පක්ෂ සමග එක්ව තරග කළා නම් ආසන තුනක් දිනා ගැනීමට හැකියාව තිබූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අයුරින් තමන්ට ආසන තුනක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේනම් එය ද්‍රවිඩ-මුස්ලිම් මතභේදයකට තුඩුදිය හැකිව තිබුණු බව ඔහු පැහැදිලි කළේය.
එක්ව තරග කළානම් පළාත් අමාත්‍ය හිස්බුල්ලා මහතාත්,හිටපු අමාත්‍ය අමීර් අලී සහ අලි සහීර් මව්ලානා යන තිදෙනාටම ජය ගැනීමට හැකියාව තිබූ බවත්,එසේ වන විට එක්සත් ජාතික පක්ෂයෙනුත් මුස්ලිම් ජාතිකයෙක් තරග වදින නිසාවෙන් මඩකළපුව දිස්ත්‍රීක්කයෙන් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට පාර්ලිමේන්තුවට තේරි පත්වන්නට අවස්ථාව සැලසෙන බවත් චන්ද්‍රකාන්තන් මහතා පෙන්වා දෙයි.
ඒසේ වූයේ නම් මඩකළපු දිස්ත්‍රීක්කයේ ජනගහනයෙන් 25% ක් පමණ වන මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මුස්ලිම්වරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්වෙද්දී මඩකළපු දිස්ත්‍රීක්කයේ 75% ක් වන බහුතර ද්‍රවිඩ ජනයා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නියමිතව සිටියේ එක් නියෝජිතයෙක් පමණක් බවත්,එය අනිවාර්යයෙන්ම ද්‍රවිඩ-මුස්ලිම් ගැටුමක් ඇතිවීමට තුඩුදෙන කරුණක්වීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
එබැවින් දුරදිග බලා තනිව තරග කිරීමට කටයුතු කළ බව නැඟෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

සජිත්ට නායකත්වය දිය යුතුයි


සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ජෝන් අමරතුංග මහතා පවසයි.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් ක‍රයි.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 17 වැනි ගුණසමරුව වෙනුවෙන් රද්දොළුගම ප්‍රදේශයේ පැවැති සමරු උත්සවයකට එක්වෙමින් ජෝන් අමරතුංග මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වත්මන් රජය නව යෝජනා ක්‍රම කිසිවක් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවයි.adaderana

අයවැයක් නොගෙනාවොත් ව්‍යවස්ථාවට පටහැණියි


රට තුළ බරපතල මූල්‍ය අර්බුදයක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රජය අයවැයක් ඉදිරිපත් නොකර අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළහොත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.
අයවැයක් ගෙන ඒමට තරම් සැලැස්මක් නොතිබීම තුළින් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

නාවලපිටිය වාර්තාව සූදානම්


මහනුවර, නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශ‍යේ සිදුවූ දූෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන විනය කමිටු වාර්තාව හෙට දිනය තුළ සකස් කර අවසන් කරන බව එම කමිටුවේ ප්‍රධානී ඩබ්ලිව්.ජේ. කරුණාජීව මහතා පවසයි.
මේ වන විට ඒ සඳහා වූ සියලු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව කරුණාජීව මහතා අද දෙරණට සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් 8 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිදු වූ ඡන්ද අක්‍රමිකතා හේතුවෙන් එම ඡන්ද කොට්ඨාසයේ ඡන්දය ශුන්‍ය කරනු ලැබිණි.
එම ඡන්ද අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ කණ්ඩායමක් පත් කළ අතර ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ.
ඒ වාර්තාව හෙට දිනය තුළ සකස් කර අවසන් කරන බවත් ජනාධිපතිවරයා දැනුම් දෙන දිනක එය භාර දීමට සූදානම් බවත් කරණාජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. adaderana

නිමල් සිරිපාලට දිනේෂ්ට තනතුරු


පාර්ලිමේන්තු සභානායක ධුරය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබෙන අතර ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් පිරිනමා ඇති බව සඳහන් වේ.adaderana

බදුල්ල ජලයෙන් යටවෙයි


බදුල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ. ඊයේ රාත්‍රීයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වලව්වත්ත , පිලිපොතගම , අතගොල්ල , නඩුකාරකන්ද , පිංඅරාව යන ප්‍රදේශ කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබේ.
ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ප්‍රදේශයේ නි‍වාස කිහිපයක් සහ බදුල්ල මහ රෝහල ද ජලයෙන් යට වී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
ජලයෙන් යට වූ මාර්ග පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වැඩිදුරටත් පවසා සිටියේය.. adaderana

පිහි ඇනුමකින් අයෙක් මරුට


සීදූව , ලියනගේමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.. ඊයේ රාත්‍රී 9.30 ට පමණ මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් මාධය ප්‍රකාශ ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු ව ඇති බව පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිතය.
ඝාතනය සිදු කළ පුද්ගලයා පිළිබඳ ‍තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

වීදි ළමුන් 32 ක් පරිවාස භාරයේ


වීදී ළමුන් සමාජ ගත කිරී‍මේ වැඩසටහනට සමගාමීව මේ වන විට වීදී ළමුන් තිස් දෙදෙනෙකු පරිවාස භාරයේ රඳවා ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
කොළඹ නගරය අවට සිටි වීදි ළමුන් තිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට පත් කොට ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට වීදී ළමුන් සමාජ ගත කිරීමේ මෙම වැඩ පිළිවෙළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබිණි.. ඒ අනුව වීදී ළමුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර ඇති බව වාර්තා වේ.
මෙම වැඩසටහන ඉදිරියට විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

පුරා වස්තු සොරුන් පහක් කොටුවෙයි


උප්පුවේලි , විල්ගම්වෙහෙර කැලෑ ප්‍රදේශයක පුරා වස්තු සොරකම් කිරීමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු උප්පුවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ..
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම පුද්ගලයින් නටබුන් වූ වැවක කැණීම් කටයුතු සිදු කරමින් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් හය දෙනෙකු පළා‍ ගොස් ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබූ මෝටර් රථයක් සහ කැණීම් කටයුතු සඳහා යොදා ගත් උපකරණ රැසක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මීට අමතරව සොරකම් කරන ලද පුරාවස්තු රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ නියෝගයක් මත රඳවා තබා ගෙන පරීක්ෂණ සිදු කරන බව උප්පුවේලී පොලිසිය පවසයි.. adasderana

පාන් රුපියලකින් නඟියි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක පාන් රාත්තලක මිල රුපියලකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
තිරිඟු පිටි මිල වැඩි වීම හේතුවෙන් පාන් මිල මෙසේ රුපියලකින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු පවසන්නේ පසුගිය දා සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති බවයි. ඊයේ රාත්‍රීයේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ විසින් මෙම තීරණය ගත් බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පාන් රාත්තලක මිල වැඩි වුවද අනෙක් බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.. adaderana

බස් රථ වල හිඟමනට තහංචි


පෞද්ගලික බස් රථ වල වෙළඳාම් කිරීම සහ සිඟමන් යැදීම තහනම් කරමින් පනවා තිබෙන නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මෝටර් රථ ආඥා පනත යටතේ සහ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ බලපත්‍ර ‍කොන්දේසි යටතේ පනවා ඇති මෙම නීති අද සිට බලාත්මක කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
පසුගිය කාලය පුරා අනවසර වෙළෙන්දන් සහ යාචකයින් හේතුවෙන් මගී ජනතාවට විඳින්නට සිදු වූ පීඩා ඉහළ යාම හේතුවෙන් නීතී බලාත්මක කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ බව විජේරත්න මහතා අවධාරණය කරයි. ඔහු සඳහන් කළේ නීතී ක්‍රියාත්මක කිරීම සඳහා මගී ජනතාවගේ සහය ද අත්‍යවශ්‍ය බවය. මෙම නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් බස් රථ සේවකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

රට ගැන හිතා වැඩ කළ යුතුයි -සජිත්


යල් පැන ගිය රාමු වලට සිර නොවී රට ගැන සිතා කටයුතු කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතෘ භූ‍මියේ ජනතාවට ජයග්‍රහණ අත් පත් කර දිය හැක්කේ එවැනි ක්‍රියාමාර්ග තුළින් පමණක් බව සජිත්‍ ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පිහිටි දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි. ජනතාවට ජයග්‍රහණ අත් කර දීම සඳහා හිටපු ‍ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා ගෙන ගිය වැඩපිළිවෙල ආදර්ශයට ගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදු‍රටත් ප්‍රකාශ කළේය. adaderana

Saturday, May 1, 2010

කට්ටඹුවාව ගල්තලාවක පිපිරීමක්


මහව, කට්ටඹුවාව ප්‍රදේශයේ විශාල ගල්තලාවක පිපිරීමක් හටගෙන තිබේ. විශාල හඩක් නංවමින් මෙම පිපිරීම් සිදුවන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. කිලෝමීටර් 15 ක පමණ පුරා පිහිටි මෙම ගල්තලාවේ ස්ථාන රැසක මේ වන විට පිපිරීම් හටගෙන ඇත.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කාර්යාංශය ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ කේ.ඒ.ඩී.එල්. විජේනායක මහතා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත. ගල්තලාව අවට නිවාසවල‍ වෙසෙන ප්‍රදේශවාසීන්ට ඉන් ඉවත් වන ලෙස ද භූ විද්‍යා හා පතල් කාර්යාංශය දැනුම් දී තිබේ. adaderana

ජනතාව ජීවත්වීමේ අභියෝගයක -රනිල්


උපයන වැටුපට සාපේක්ෂව දිවි ගැට ගසා ගැනීමේ අභියෝගයකට ජනතාව මුහුණ දී සිටින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුද්ධය පැවති සමයට වඩා ජනතාව මේ වන විට අසීරු තත්ත්වයකට පත්ව ඇති බව හෙතෙම පෙන්වා දෙයි. රට තුළ කර්මාන්තශාලා වැසී යමින් විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බව විපක්ෂ නායකවරයා ‍අවධාරණය කරයි.
ජී.එස්.පී ප්ලස් බදු සහනය මෙරටට අහිමි කිරීම නිසා අපනයනය මත පදනම් වූ කර්මාන්ත හා ව්‍යාපාර බිඳ වැටෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දෙයි. මානව හිමිකම් හා ජනමාධ්‍ය නිදහස සුරැකීමට ආණ්ඩුව මේ වන තෙක් ධනාත්මක පියවරක් ගෙන නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. adaderana

රට ගැඹුරු අර්බුදයක -ජවිපෙ


ශ්‍රී ලංකාව ගැඹුරු සමාජ ආර්ථික අර්බුදයකට අවතීර්ණ වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මගින් එය පැහැදිලි වන බව එම පක්ෂය කියා සිටියි. රාජ්‍ය ණය බර පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඊට ආණ්ඩුවේ නාස්තිය, වංචාව, දූෂණය ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම පක්ෂය පවසයි. එමෙන්ම මෙම වසර තුළ රජයේ සේවකයින්ට පොරොන්දු වූ රුපියල් 2,500 ක වැටුප් වැඩිවීම ඇතුළු පොරොන්දු ගණනාවක් ඉටුකිරීම ආණ්ඩුව මඟහරිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නික්තු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. adaderana

ජනපති ප්‍රේමදාස දැයට අහිමිව වසර 17යි


හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17 ක් සපිරෙයි. 1993 මැයි මස පළමුවැනිදා කොළඹ ආමර්වීදියේ දී එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ මැයි දින පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම ඉරණමට මුහුණ දුන්නේය. මෙරට තෙවන විධායක ජනාධිපති ධුරයට 1989 වර්ෂයේ දී පත්වූ හෙතෙම 1978 වසරේ සිට 1989 දක්වා අගමැති ධුරය හෙබවීය. adaderana

පිට‍කොටුව බස් නැවතුම නවීකරණයට පියවර


පිට‍කොටුව මධ්‍යම බස් නැවතු‍ම්පොල නවීකරණය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. මධ්‍යම බස් නැවතුම්පොලේ ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
බස් නැවතුම්පොලට යාබදව ඇති ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ විවේක කාමර ද කඩිනමින් පිළිසකර කරන ලෙස ද කුමාර වෙල්ගම අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. බස් රථ අඩුවෙන් යොදවා ඇති මාර්ග සඳහා අලුතින් බස් රථ යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.adaderana

කම්කරුවන්ගේ දිනය අදයි


ජාත්‍යන්තර මැයි දිනය අදට යෙදී තිබේ. මෙවර සැමරෙන්නේ 124 වැනි මැයි දිනයයි. 1886 මැයි පළමුවැනිදා පැය අටක වැඩ දිනයක් ඉල්ලා අමෙරිකාවේ වැඩකරන ජනතාව සිදුකළ ජයග්‍රාහී අරගලය ‍සැමරීම මෙදින සිදුවේ. අමෙරිකාවේ චිකාගෝහි සිදුකළ උද්ඝෝෂණයට පොලිසිය දියත් කළ මර්දනය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
පසුව ලොවපුරා වැඩකරන ජනතාව පැය 8ක වැඩ දිනයක් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ අතර 1904 දී එය නීත්‍යානුකූල ලෙස ප්‍රකාශයට පත්කෙරුණි. මෙවර මැයි දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යත් ජනතා විමුක්ති පෙරමුණත් සුපුරුදු පරිදි මැයි රැළි පවත්වයි. එක්සත් ජාතික පක්ෂය අද දිනයේ දී ආගමික වතාවත්වල නියැලෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ මහනගර සභා පිටියේ දීය.
වැඩ බිමට බලය, කම්හලට ජවය, මව්බිමට සාමය යන්න මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියේ තේමාව වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය හේතුවෙන් කොළඹ මහ නගර සභා පිටිය අසලින් දිවෙන එෆ්.ආර්. සේනානායක මාවත අද උදෑසන 6 සිට රැළිය අවසන් වන ‍තෙක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි රැළිය‍ බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වේ. "ප්‍රජාතන්ත්‍රවාදය, සැබෑ ජාතික සාමය සහ පොදුජන අයිතිය උදෙසා සටන් වදින රතු මැයි රැළිය" යන්න එහි තේමාවයි.
එක්සත් ජාතික පක්ෂය අද දිනය තුළ පෙළපාලියක් හෝ මැයි රැළි වෙනුවට රටපුරා සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට තීරණය කර තිබේ. එහි ප්‍රධාන ආගමික වැඩසටහන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙනේදී පැවැත්වීමට නියමිතය. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේ මැයි දිනය වෙනුවෙන් පෙළ පාලි 6 ක් සහ රැස්වීම් 11ක් පැවැත්වෙන බවය.adaderana

බඩු මිල ඉහළ දැමීමේ උත්සාහයක්


ඉදිරි මාස කිහිපය තුළ මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් වි‍ජේවර්ධන මහතා පවසයි. මේ හේතුවෙන් යළි භාණ්ඩ මිල ඉහළ නැංවීමට රජය උත්සහ කරන බව ඔහු පෙන්වා දෙයි.
නව රජයේ අමාත්‍යවරුන් මේ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය. රජය අනුගමනය කරන සැබෑ වැඩපිළිවෙල ජනතාවට ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇති බව ඔ‍හු වැඩිදුරටත් පැවසුවේය. adaderana

Thursday, April 29, 2010

මාධ්‍ය නිදහස සුරැකීමට බිරිඳගෙන් වෙන්ව නිදා ගැනීමට සිදුවී ඇති බව මර්වින් කියයි


තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නිවැරදි බව ඔප්පු වුවහොත් සිය නව ධුරයෙන් ඉල්ලා අස් වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. "මම මාධ්‍යට එරෙහිව කුමන හෝ වරදක් කළ බව ඔප්පු වුණොත් අමාත්‍යංශයෙන් ඉල්ලා අස් වෙනවා" නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ ක‍ළේ නව නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ සංවිධානය කර තිබූ උත්සවයකදීය.
සියලු දුක්ගැනවිලි තමන්ට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා මෙහිදී ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කළේය. මාධ්‍යවේදීන්ගේ පැමිණිලි හා යෝජනා සටහන් කිරීමට විශේෂ කවුළුවක් මාධ්‍ය අමාත්‍යංශයේ විවෘත කිරීමට ද ඔහු ‍පොරොන්දු විය. නමුත් විශාල වැරදි ප්‍රමාණයක් කරන බව කියමින් ඔහු සිය කතාවේදී සිරස මාධ්‍ය ආයතනයට ‍චෝදනා කළේය.
එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදීන්ට ජංගම දුරකතනය හරහා රාත්‍රියේදී වුවත් තමන් සම්බන්ධ කර ගැනීමට පහසු වනු පිණිස සිය බිරිඳගෙන් වෙන්ව නිදාගැනීමට පවා තමා තීරණය කර ඇති බවයි. lankatruth

අධ්‍යාපන කෙත පුරන් කළ බව ආණ්ඩුවම පිළිගනී


පසුගිය රජයේ අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත් මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කරමින් නව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සුභ පතමින් ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසින් අද පැලවත්ත, ඉසුරුපායේ විශාල බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.
මෙම බැනරයේ ප්‍රධාන වැකිය ලෙස දක්වා තිබුණේ "පුරන් වූ අධ්‍යාපන කෙත යලි අස්වැද්දෙන වගයි...!" යනුවෙනි. මෙම බැනරයට අනුව පසුගිය කාලය පුරාවටම නගා සිටවූවා යැයි කියන අධ්‍යාපනය ආණ්ඩුව විසින්ම පුරන් කළ බව පිළිගෙන ඇත. මෙහි විශේෂය වන්නේ මෙම හෙළිකිරීම සිදු කර ඇත්තේ ආණ්ඩු විරෝධී කල්ලියක් නොව, පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිකරවීමටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ගුරු වෘත්තීය සමිතිය වන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය විසිනි.
මෙහි ඇති අනෙක් විශේෂය වන්නේ මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශය වන ඉසුරුපාය පරිශ්‍රය තුළ වීමයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අධයාපන අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවට හිටපු අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද පැමිණ සිටි අතර, මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ ඔහුද පැමිණි උත්සවයදීවීම තවත් විශේෂයකි.adaderana

රනිල්ගේ පත් කිරීමට එරෙහිව මධ්‍යම පළාතේ එජාප මන්ත්‍රීවරු කැරලි ගසති


මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයාව සිටි වසන්ත අලුවිහාරේ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව කේ.කේ.පියදාස මහතාව එම තනතුරට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ඊයේ රාත්‍රී මහනුවර සංචාරක හෝටලයකදී පැවැති රහසිගත සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලකී ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ගේ ගැත්තන්ට තනතුරු ලබාදීමේ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ පියවර තමන් අනුමත නොකරන බවයි. මේ අතර මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත්, එමෙන්ම විපක්ෂ නායකයා තෝරා පත් කිරීමේ අයිතිය මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමට ලබා දෙන ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කර ගත් බව ද ඔහු පවසයි. මේ අතර මාධ්‍ය‍‍ වෙත අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතා පවසා තිබෙන්නේ තමන්ට හැමදාමත් විපක්ෂයේ සිටිය නොහැකි බවත්, විපක්ෂ නායකයා පත් කිරීමට පෙර මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමේ වගකීමක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවත්ය.lankatruth

දේශපාලනයට ගෙනාවේ නැතිනම් තාමත් අල-ලූණු විකුණනවා


රාජපක්ෂ පරම්පරාව විසින් තමා දේශපාලනයට ගෙන ආවේ නැතිනම් තමා මේ වන විටත් තාත්තගේ කඩේ අල,ලූණු විකුණනමින් සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමා ජනාධිපතිවරයාගේ දෙකකුල් ළඟ වැටී සිටින ඡායා රූපයක් මාධ්‍යවල පළ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය පදවියේ වැඩ භාර ගනිමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මැදමුලන වලව්වට තමන් ඒ කාලයේ යන විට වලව්වේ බංකුවල මිස පුටුවල වාඩි නොවන ලෙස මව්පියන් උගන්වා තිබුණු බවත්,තමන් එකී උපදෙස් අකුරටම පිළිගන්නා බවත්,එසේ කරනුයේ ආගම, දහම හා සදාචාරය පිළිබඳ ගරු කරන බවත් ඔහු කියා සිටියේය. ජනාධිපතිවරයාගේ ළඟ දණින් වැටී නොමැතිව තමන් ඔහුගේ ඔඩොක්කුවේ ඉඳ ගත්තානම් තමන් පිස්සෙක් ලෙස සලකා අංගොඩ යවනු ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.
තමාගේ ජීවිතය නොසලකා මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව ද ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේය. එසේ හෙයින් රාත්‍රී 12.00 ට වුව තමාගේ ජංගම දුරකතනයට මාධ්‍යවේදීන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි බවත්,තමන් මාධ්‍යවේදීන් වෙනුවෙන් කෙතරම් කැප කිරීම් කරනවාද යත් මාධ්‍යවේදීන්ට රාත්‍රීයේ පවා තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකිවන පරිදි තමන් සහ තම බිරිඳ එකම කාමරයේ නිදා නොගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ තුළ කුඩා දරුවකුගේ උපතේ සිට සුසානය දක්වාම සියලු පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ට අභූත චෝදනා එල්ල කරනු ලැබූවද එකී චෝදනා කිසිවෙකුට හෝ ඔප්පු කිරීමට හැකිනම් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය. adaderana

විපක්ෂයේ ප්‍රධාන කතාව ෆොන්සේකාටයි


මීළඟ පාර්මේන්තු සැසියේදී හදිසි අවස්ථාව සම්බන්ධයෙන් ගෙන එන විවාදයේදී විපක්ෂයේ ප්‍රධාන අදහස් දැක්වීම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා පවසයි. එහිදී මානව හිමිකම් කඩවීම්,තමන්ට සිදුවුණු අසාධාරණකම් මෙන්ම ආණ්ඩුවේ අක්‍රමකතාවන් පිළිබඳවද දීර්ඝ වශයෙන් ෆොන්සේකා විසින් කරුණු දක්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.
මැයි මස 04-05-06 යන තෙදින තුළ හදිසි අවස්ථාව පිළිබඳ විවාදය සිදු කෙරේ.. ඉදිරියටත් කුසලානය ලකුණෙන් තරඟ කිරීමට ජ.වි.පෙ සූදානම් බවද විජිත හෙරත් මහතා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනු ලැබූවද බහුතර ඡන්ද දායක පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ ආණ්ඩුවට දැක්වූ අකමැත්ත නිසා බවද හෙතෙම සඳහන් කළේය.
මේ වසරෙත් අයවැයක් ගෙන එන්නට ආණ්ඩුව විසින් කටයුතු කර නොමැති බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වියදම් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ආදායම් වියදම් පිළිබඳ හෝ නිසි අවබෝධයක් ආණ්ඩුවට නොමැති නිසා බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

ප්‍රභාකරන්ගේ නිවස කැඩූ බවට ආණ්ඩුවට චෝදනා


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිර්මාතෘවරයා වූ වී.ප්‍රභාකරන් ගේ යාපනයේ පිහිටි මහ ගෙදර රජයේ ආරක්ෂක අංශ විසින් බිමට සමතලා කර ඇති බවට ද්‍රවිඩ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබේ.
මෙම නිවස යාපනයට පැමිණෙන සංචාරකයින්ගේ දැඩි අවධානයට ලක්වීම හේතුවෙන් මේ අයුරින් විනාශ කර දමා ඇති බව ද හෙතෙම පවසා ඇත‍.
මෙම ක්‍රියාවෙන් රජය විනාශ කරමින් සිටින්නේ ඉතිහාසයේ කොටස් බවත්,එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවසන් සිහිවටන ද මෙමගින් විනාශ කරන බවත්, ද්‍රවිඩ ජාතික විමුක්ති සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ශිවාජිලිංගම් කියා සිටියි‍. මේ පිළිබඳ විමසන ලදුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාත්,පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාත් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

අයිෆා වෙනුවෙන් කොළඹ ලස්සන කරයි


කොළඹ නගරය අලංකරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඕමාර් කාමීල් මහතා‍ පවසයි.
ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දියානු අයිෆා සිනමා උළෙල වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම කියා සිටියි.
මෙම උළෙල සඳහා ඉන්දියානු සිනමා කර්මාන්තයේ නියැළී සිටින ආරාධිතයින් 600 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය..
එමෙන්ම ඉන්දීය සුපිරි නළු නිළියන් රැසක් ද සුගතදාස ක්‍රීඩාංග‍ණයේ පැවැත්වීමට නියමිත මෙම සිනමා ‍උළෙලට සහභාගී වන බව සඳහන් වේ. ‍ adadberana

රටට එක නීතියක් ඕනෑ


මෙරට තුළ එක් නීතියක් ස්ථාපිත කිරීමට තමා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.
නිදහස් රටක් වන ශ්‍රී ලංකාවට එක් නීතියක අවශ්‍යතාවය මේ වන විට මතු වී ඇති බවත්,විවිධ නීති ක්‍රියාත්මක වීම තුළින් ගැටලු රැසක් හට ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අධිකරණ අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම වැඩපිළිවෙළ සඳහා වි‍ශේෂ කමිටුවක් පත් කරන බව ආතාවුද සෙනෙවිරත්ත අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේය. adaderana