Saturday, March 6, 2010

දිගුකාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගන්න: ජෙනරාල් අත්අකුරින් ලියූ ලිපියකින් රනිල්ට දැනුම් දෙයි


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැකීමට සූදානම් වන බැවින් ඊට මුහුණ දීමට විපක‍ෂයේ සියලූ බලවේග ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව මහා මැතිවරණයට නාම යෝජනා කැඳවූ සතියේ හමුදා අත්අඩංගුවේ සිටිමින් ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තම අත්අකුරෙන් ලියූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා

රනිල් වික්‍රමසිංහ මැතිතුමා
නායක, එක්සත් ජාතික පක‍ෂය

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි,

රටේ උද්ගතවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණය වෙනස් කිරීම සඳහා මැදිහත්වීම
---------------------------------------------------------------------------------------

මේ වන විට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉතාම බරපතළ අනතුරකට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම්වලින් පෙනේ. විශේෂයෙන්ම මේ වන විට කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කර ඇත. තවමත් මට එරෙහිව චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කර නැති අතර මෙය පෞද්ගලික පළිගැනීමක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් බව ඕනැම අයෙකුට පැහැදිලිව පෙනේ.
මෙම ප්‍රශ්නයට ගොදුරු වී ඇත්තේ මා සහ මට ආධාර උපකාර කළ අය පමණක් නොවේ. පසුගියදා zලංකාZ පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු නිදහස් කරන අවස්ථාවේදී අධිකරණය ප්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා නැති බවයි. ලංකා පුවත්පත තහනම් කිරීමට ද ආණ්ඩුව උත්සාහ දරන ලදී. ප්‍රකට පුවත් වෙබ් අඩවියක් වන zලංකා ඊ නිව්ස්Z වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඇති අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආණ්ඩුව දරන මතයට වඩා වෙනස් මතයක් දැරූ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත්වීමත් සමඟම ආණ්ඩුවේ පළි ගැනීමේ හස්තයට ගොදුරුවීමට සිදුවී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපා හැර ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ආණ්ඩුවට වඩා වෙනස් මත දරන පුද්ගලයන්ට ජනාධිපතිවරණයෙන් පසුව හිරිහැර කිරීම් වාර්තා විය. මේ වනතුරුත් තමන්ගේ සේවා ස්ථානවලට යා නොහැකි තරමට විශාල පිරිසකට තර්ජන එල්ලවී ඇත. තවමත් මෙම තත්ත්වය යහපත් අතට හැරී නැත. මෙම සිදුවීම් විසින් පෙන්වනුයේ ආණ්ඩුවේ මර්දනය කෙතරම් වර්ධනය වන්නේද යන බවයි. එමෙන්ම එය කොතැනට ගමන් කරන්නේද යන බවයි.
මේ අතර හදිසි නීති විධිවිධාන උපයෝගී කර ගනිමින් නව රැඳවුම් කඳවුරු අටක් ප්‍රකශයට පත් කර ඇත. මෙම නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ අංක 1639/19, 1640/01, 1640/02 දරන ගැසට් නිවේදන මඟිනි. තිස් වසරක් පුරා අපේ රට තුළ පැවැති යුද්ධය නිමවී ඇති තත්ත්වයක් යටතේ නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කිරීමේ කිසිදු පිළිගත හැකි හේතුවක් නැත. මෙමඟින් පෙනී යන එකම කරුණ නම් ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට සූදානම් බවය. තමන්ට විරුද්ධ මත දරන සියලූ පුද්ගලයන්ට, සංවිධානවලට හා දේශපාලන පක‍ෂවලට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරා දැමීමට හා ඒවාට බාධා කිරීමට කටයුතු කරන බවයි. රාජපක‍ෂ මහතාගේ දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට මුහුණ පා ඇත. මේ තත්ත්වය ඔබතුමාගේ අවධානයට යොමු වී ඇතැයි සිතමි.
උද්ගත වී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට මුහුණ දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ බලවේග එක්විය යුතුව තිබේ. ඒ සඳහා ඇති සුදුසුම ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී ඇතිවූ එක්සත්භාවය ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීමයි. එසේ එක්සත් භාවය වර්ධනය කර නොගෙන ඉදිරියේදී මතුවන තත්ත්වයන්ට හුදකලා වී මුහුණදිය නොහැකි අතර තනි හුදකලා කි්‍රයාමාර්ගවලින් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම ද කළ නොහැක. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියල්ලන් එක් අරමුණක් වෙනුවෙන් සමඟි විය යුතුව තිබේ. එය කළ යුත්තේ මා වෙනුවෙන් නොව රට මුහුණ පා ඇති අනතුරෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහායි. මෙහිදී පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායකයා ලෙස ඔබතුමාට සුවිශේෂී කාර්යභාරයක් පැවැරී තිඛෙන බව පැහැදිලිය. පාට, පක‍ෂ හා පටු වුවමනාවන් ප්‍රමුඛ කොට නොසලකා රටේ පොදු වුවමනාවන් ප්‍රමුඛත්වයේ ලා සලකමින් කි්‍රයාත්මක විය යුතු අවස්ථාව දැන් එළඹ ඇතැයි මම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබේ පරිණත හා දිගුකාලීන අත්දැකීම් උපකාරී කරගනිමින් මැදිහත් වනු ඇතැයි මම අපේක‍ෂා කරමි. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය කි්‍රයාත්මක කිරීම යන ඉල්ලීම් හරහා ගොඩ නැගී පසුව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු දක්වා වර්ධනය වන ලෙස පක‍ෂ හා සංවිධාන අතර ඇති වූ එක්සත්භාවය තවත් සංවිධාන හා පුද්ගලයන් එක් කරගනිමින් පුළුල් කිරීමට ඔබතුමා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. මේ මොහොතේදි අප ගන්නා තීරණ හෙට දවසේ රටේ ජනතාවගේ අයිතීන් හා නිදහස දිනාගැනීම පිළිබඳව තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කරනු ඇත. එබැවින් කෙටිකාලීන අවශ්‍යතා මත නොව දිගු කාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගැනීමට ඔබතුමා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඔබට ශක්තිය හා ජය
ස්තූතියි,
මෙයට විශ්වාසී

ජෙනරාල් සරත් ෆොන්සේකා
(ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය අත්අකුරින් ලියූ ලිපියේ ඡායා පිටපත් දෙකක් පහත දැක්වේ)

විශේෂ ස්තූතිය: ලංකා පුවත්පතට lankaen

සන්ධාන මැරයෝ කෑගල්ලේ වැඩ අරඹති - කුසලානයට මැර ප්‍රහාරයක්


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයට තරග වදින,අපේක්ෂක නීතිඥ රංජිත් අබේසිංහ මහතාගේ නිවසට ඊයේ (05)රාත‍්‍රි 12.30 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේ සන්ධානයේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් වූ මැර පිරිසක් විසිනි. ත‍්‍රීරෝද රථයකින් පැමිණ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලලිත් දිසානායකගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස විසින් අදාල පහරදීම සිදු කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසයි. මෙම පහරදීමෙන් විජේසිංහ මහතාගේ නිවසට සහ වාහනයටද අලාභානි සිදුවී තිබේ.
මීට පෙර නාමයෝජනා භාර දුන් දින සවස (පෙබරවාරි 26)ලලිත් දිසානායකගේ මැර පිරිසක් අබේසිංහ මහතාගේ නිවසට පැමිණ තර්ජනය කොට,පසු දින රාත‍්‍රියේ ඔහුගේ නිවසට ගල් මුල් ප‍්‍රහාරයක් ද එල්ල කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් අරණායක පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් මේ වන තුරු මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ අතර ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන්ද අබේසිංහ මහතා අරණායක පොලිසියට පැමිණිලි කොට ඇත.truth

සැමියා වෙනුවෙන් රට පුරා රැස්‌වීම්වලට මා යනවා - අනෝමා ෆොන්සේකා


මහ මැතිවරණ ප්‍රචාරක රැලි ඇමතීම සඳහා සිය සැමියා වෙනුවෙන් තමන් උතුර නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකටම ගමන් කිරීමට තීරණය කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා වන්නේ තම සැමියා බවත්, එහෙත් සිරගත කර ඇති නිසා ඔහුට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ක්‍රියාකාරීව සහභාගිවීමට නොහැකිවී ඇති බවත් පැවසූ ෆොන්සේකා මහත්මිය සිරගතව සිටියද ඔහු නිතර රටේත්, ජනතාවගේත් යහපත උදෙසා කටයුතු කරන බව දන්වන්නැයි තමන්ට පැවැසු බවද වැඩිදුරටත් පැවසුවාය.
යුක්‌තිය, සාධාරණත්වය සහ සත්‍ය රට තුළ ස්‌ථාපිත කිරීම සඳහා රට පුරා සෑම දිස්‌ත්‍රික්‌කයකටම ගොස්‌ ජනතාව දැනුවත් කිරීමට සැමියා වෙනුවෙන් තමන් තීරණයක්‌ ගත් බවද ඇය ප්‍රකාශ කළාය.truth

ලංකාවේ ජනමාධ්‍යව්දීන් ගැන අමෙරිකාවේ අවධානයෙන්


ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වර්තමානයේ මුහුණ දෙමින් පවතින අභියෝග පිළිබඳ අමෙරිකවේ දැඩි අවධානය යොමු ව ඇත. අමෙරිකාවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන තානාපති කාර්යාලය පවසන්නේ අවාසනාවන්ත ලෙස ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් අභියෝගයන්ට මුහුණ දී ඇති බවයි
"ජනතාව සත්‍ය වාර්තා කිරීමට බියට පත් ව සිටිනවා. දෙයක් ලියන්න සහ ප‍්‍රකාශයට පත් කරන්න ඔවුන් පසුබට වෙනවා. ඒ නිසා ම ස්වයං වාරණය දැඩි ලෙස දක්නට ලැබෙන කාරනාවක්. ජනමාධ්‍යවේදීන් වටා සිදු වන දේ නිසා ඔවුන් කිසියම් මානසික ගැටලූවකට පත් වී තිබෙනවා." ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දූත සේවය සඳහා වන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී 'වැලරි ෆ්ලවර්' මෙසේ අදහස් දක්වා ඇත.truth

මහ රජු‍ගේ (අ)වෛරී දේශපාලනය හෂාන් පසුපසත් පන්නයි


එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතාට නවාතැන් දුන්නේය යන චෝදනාව එල්ල කිරීමට හැකිදැයි සොයා බලමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට හැකි දැයි සොයා බලන ලෙස රහස් පොලිසිය නීතිපතිගෙන් උපදෙස් පතා ඇත. මේ සම්බන්ධයෙන් අදාල චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපති උපදෙස් පතන රහස් පොලිසිය නීතිපතිවරයාට දන්වා ඇත්තේ ධනුන තිලකරත්න මහතා පෙබරවාරි මස 19 හා 20 යන දිනයන්හි හෂාන් තිලකරත්න මහතාගේ නිවසේ නවාතැන් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මීට පෙර ද රහස් පොලිසිය විසින් හදිසියේම හෂාන් තිලකරත්න මහතාගේ පිළියන්දල පිහිටි නිවස සෝදිසි කර ඇති අතර, ධනුන තිලකරත්න මහතා සම්බන්ධයෙන් හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියගෙන් හා හෂාන් තිලකරත්නගේ මෑණියන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, පසුව හෂාන් තිලකරත්නගෙන්ද ප්‍රශ්න කිරීමක් කර ඇත.truth

පන්නිපිටියේ ඝාතනයක්


පන්නිපිටිය, දුම්රිය මාර්ග‍යේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. ඇය පොත්දෙණිය, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනා‍ගෙන ඇත. තරුණිය ඝාතනය කළ සැකකරු සිය දිවි හානි කිරීමට තැත් කර ඇති අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.ada

තවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක්


කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂක නීතීඥ රංජිත් විජේසිංහ මහතාගේ නිවසට ඊයේ රාත්‍රීයේ කිසියම් පිරිසක් පහර දී තිබේ.
මෙලෙස පහර දී ඇත්තේ ත්‍රී රෝද රථයකින් පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලලිත් දිසානායක මහතාගේ මැරවරයින් පිරිසක් බව වාර්තා වේ. පහර දීමෙන් රංජිත් වීජේසිංහ මහතාගේ නිවසට හා පුද්ගලික රථයට අලාභහානී සිදු වී ඇත.
ප්‍රහාරයෙන් සුලු මොහොතකට පසු අරණායක පොලිසිය මෙම ස්ථානයට වාර්තා කර ඇති බව සඳහන්ය. පහර දීමට අමතරව රංජිත් විජේසිංහ මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල වී තිබේ.ada

ෆොන්සේකාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩනය අවසන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා පිළියෙළ කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
චෝදනා වලට අදාළ තාක්ෂණික වාර්තාවක් ද පිළියෙළ කර ඇති අතර ඉදිරි සතිය තුළ එම වාර්තා යුද හමුදාපතිවරයාට භාර දෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම ෆොන්සේකා මහතා සම්බන්ධ නඩුවට අදාළ සාක්ෂි පුද්ගලයන් 31 දෙනෙකුගෙන් ලබා ගෙන ඇති බව ද ප්‍රසාද් සමරසිංහ මහතා අවධාරණය කළේය.
එමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන බවට අද පුවත්පතක පළවූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙවැනි අසත්‍ය ප්‍රකාශයන්ගෙන් වලකින ‍ලෙස ද ඒ මහතා මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 17දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් කළ බව ද, එම නිලධාරීන් අතරින් 11දෙනෙකු මේ වනවිට ප්‍රශ්න කිරීම් වලින් පසුව නැවත හමුදා සේවයට මුදාහැර ඇති බව ද හුළුගල්ල මහතා සඳහන් කළේය. එමෙන්ම සෙසු හමුදා නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බවත් පැවසීය. ada

ධනුන සහ මවගේ බැංකු ගිණුම් තහනම් කිරීමට පියවර


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න, ඔහුගේ මව සහ ඔවුන්ගේ හිතවතුන් දෙදෙනෙකුට අයත් බැංකු ගිණුම් 28ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රහස් පොලිසිය විසින් ගල්කිස්ස ම‍හේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ පුද්ගලික බැංකුවක ආරක්ෂක සේප්පුවක තිබී ෆොන්සේකා මහතාට අයත් බව කියන රුපියල් කෝටි 7කට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති බව සඳහන්ය. ඒ අනුව අදාළ ගිණුම්වල මුදල් ලැබුණු ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය අධිකරණයට පවසා ඇත.
මේ යටතේ අදාළ ගිණුම් පවත්වාගෙන යන බැංකුවල කළමනාකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමට ද රහස් පොලිසිය පියවර ගෙන ඇති අතර එහිදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ada

නැවත යුද්ධයකට ඉඩනොදිය යුතුයි


නැවත උතුරේ යුද්ධයක් ඇති නොවීමට පියවර ගත යුතු බව එස්.බී. දිසානායක මහතා පවසයි.
ඒ සඳහා උතුරේ ගැටලු විසඳන දිසාවට රට‍ මෙහෙයවන සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවිය යුතු බව ඔහු සඳහන් කරයි. රටේ තරුණ පරපුර විරැ‍කියාවෙන් මුදවාගෙන ඔවුන්ට බලාපොරොත්තු සහගතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම සියලුදෙනාගේ වගකීම බව හෙතෙම පෙන්වාදෙයි.
දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ඊට මූලික අඩිතාලම සකස් කර ඇති බව එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. එළඹෙන මහ මැතිවරණයේ දී බහුතර බලයකින් යුත් පාර්ලිමේන්තුවක් ලබාදීමේ වගකීම ජනතාව සතු වන බව ද හෙතෙම ‍කියා සිටියි. ada

සුමන හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට


අත්අඩංගුවට ගෙන රඳවා සිටින ශ්‍රි ලංකා නිදහස් භික්ෂු සම්මේලනයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ඌවේ සුමන හිමි ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මාසයකට අධික කාලයක් රඳවාගෙන ප්‍රශ්න කළ මෙම සැකකරුවන් පිරිස ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වු කරුණු සළකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා මෙම නියෝගය ලබාදුන්නේය. අතිරේක මහසේත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ පුජ්‍ය ඌවේ සුමන හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසය.
ඊට අමතරව ඌවේ සුමන හිමියන් ඇප මත මුදා හැරීමට ඇති හැකියාව නීතිපතිවරයාගෙන් විමසා, ලබන 15 වැනිදා අධිකරණයට දැනුම් දෙ‍න ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එම ස්වාමීන් වහන්සේ ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරණ සමයේ රජයට එරෙහි අපරාධයක් සිදුකිරීම සඳහා ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය මාලිගාවත්ත බෝධිරුක්ඛාරාමය තුළ සඟවා තබා ගැනීමේ චෝදනාව මතය. ada

නිරූපමා රා‍ඕ ලංකාවට


ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රා‍ඕ මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.
ඇය මෙරට රැඳී සිටින කාලය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරටට පොදු වූ කරුණු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වනු ඇත. මේ අතර ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කරන්නේ දෙරටේ නායකයින් මීට පෙර එකගතාවට එළඹි කරුණුවල ප්‍රගතිය පිළිබඳ නිරූපමා රාඕ මහත්මියගේ සංචාරයේ දී අවධානය යොමු වනු ඇති බවය.
මීට අමතරව ඉන්දීය රජයේ සහය ඇතිව පේරාදෙණියේ ස්ථාපිත කෙ‍රුණු ඉංග්‍රීසි භාෂා පුහුණු මධ්‍යස්ථානය නිරූපමා රාඕ මහත්මිය අතින් විවෘත කිරීමට නියමිතය. දැනට ඉන්දීය රජයේ විදේශ ලේකම් ධූරය දරන නිරූපමා රාඕ මහත්මිය 2004 සිට 2006 වසර දක්වා මෙරට ඉන්දීය මහකොමසාරිස් ලෙස ද කටයුතු කළේය. ada

Friday, March 5, 2010

නාමල් බලකායේ 10කට ඇමැති පදවි


ලබන මහා මැතිවරණයෙන් ආණ්ඩු පක‍ෂය ජයග්‍රහණය කළහොත් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ඇමැති මණ්ඩලයේ තනතුරු දහයක් ලැඛෙන්නේ නාමල් රාජපක‍ෂ මහතා නායකත්වය දරණ නිල් බලකායේ තරුණ කණ්ඩායමට බව වාර්තාවේ.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඇමැති මණ්ඩලයේ සාමාජිකත්වය 35 කට සීමාවනු ඇති බවත්, මෙයින් හිටපු ඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයිනට හිමිවන ඇමැති තනතුරු සංඛ්‍යාව 25 කට සීමාවනු ඇති බවත්ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නාමල් රාජපක‍ෂ මහතාගේ කණ්ඩායමක්, දකුණු පළාතේ ඔහුගේ කණ්ඩායමක්, ඉලක්ක කර ගනිමින්, නිල් බලකායේ ආශිර්වාදය ලබන පිරිස ඊළඟ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ ප්‍රබලයන් වන බවට දැනටමත් ඉඟි පළවීමත් සමඟ සන්ධාන අපේක‍ෂකයින්ට ලැඛෙන මනාප ඡන්දය ඒ අනුව වෙනස් වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රාජ්‍ය සංස්ථාව හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක‍ෂ මණ්ඩල සාමාජිකයිනට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ දැනුම් දීම අනුව, සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කළත්, අවසාන මොහොතේ එය අත්හිටුවා මහා මැතිවරණය දක්වා ඔවුනට එම තනතුරු දැරීමට අවස්ථාව සලසා දෙන ලදී. එසේ කර තිඛෙන්නේ වර්තමාන ආණ්ඩුව නැවත බලයට පත්වුවහොත්, එම තනතුරු නාමල් රාජපක‍ෂ මහතාට අවශ්‍ය පුද්ගලයිනට ලබාදීමට අවස්ථාව සලසාදීමට බව පැවැසේ.මේ දිනවල රාජ්‍ය සංස්ථාවල බොහෝ සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් ගම්පහ දිස්ත්‍රික් සන්ධාන නායක බැසිල් රාජපක‍ෂ මහතාට සහාය ලබාදෙමින් ගෙන යන ප්‍රචාරක කටයුතු නාමල් රාජපක‍ෂ මහතාගේ දැඩි අවධානයට ලක්ව තිඛෙන බවද වාර්තාවේ. lankae

විල්පත්තුව ජාතික වනෝද්‍යානය උතුරු සංවර්ධනයට බිලි දෙයි


වසර තිහක කාලයක් පැවති රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අද වන විට සම්පූර්ණයෙන් ම තුරන් කර ඇත. රටේ සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් ජන ජීවිතය නැවත ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට ඒ ඔස්සේ හොඳ අවස්ථාවක් උදා වී තිබේ. නිවැරදි ලෙස සැළසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම තුළින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට වර්තමානය හොඳ අවස්ථාවක් සපයයි. මානුෂීය මෙහෙයුමෙන් දිනා ගත් නිදහස, යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ද මෙවන් නිසි සැළසුමක් තුළිනි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ රුදුරු කොටි ත්‍රස්තවාදීන් සංවර්ධනයටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත්, රටේ ස්වෛරීභාවයටත්, සිවිල් ජන ජීවිතයටත් එල්ල කළ මරු පහර එලෙසම ඉදිරියට ගෙන යාමකි.
වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යන්නේ රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයේ නාමයෙන් කෙලෙසන බවකි. සංවර්ධනය යන්න හරි හැටි වටහා නොගත් රජය, වනාන්තර එළි කිරීම සංවර්ධනය සේ දකිමින් උතුරු හා නැගෙනහිර වනාන්තර සියල්ල පියවරෙන් පියවර කෙලෙසමින් සිටිති. මෙය දරුණු ඛේදවාචකයකි. ඒකාබද්ධ සැළසුමකින් තොරව එක් එක් රාජ්‍ය ආයතන තමන්ගේ හිතුමනාපයට උතුරු හා නැගෙනහිර සංවර්ධනය යැයි කියාගන්නා ඊනියා ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. මෙහි අවසාන ප්‍රතිඵලය මනුෂ්‍ය වාසයට නුසුදුසු පරිසරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ගොඩනැඟීමට දැයි දැනට සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලු විට පෙනී යයි.
රුදුරු කොටි ත්‍රස්තවාදීන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පාලනය කළ සමයෙහි සිවිල් නීති රීති සහ පරිසර නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් ගෙන ගිය ඒකාධිපති වියරු පාලනය අද වන විට ද එම ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එම ප්‍රදේශ මුදාගත් පසුව සිවිල් නීතිය ක්‍රියාත්මක වීමට තිබුණ ද අද සිදුවන්නේ ද පෙර පැවති තත්ත්වයම ය. රටේ පවතින නීති රීති සියල්ලම උල්ලංඝනය කරමින් එක් පක්ෂයකට රිසි සේ ඊනියා සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සමහර අංශ ද යොමු වී සිටීම ඉතාම කණගාටුදායක ය. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් දේශයේ සිවිල් පාලනය වෙනුවට තවත් මුහුණුවරක සිවිල් නීති නොතකන ත්‍රස්ත පාලනයක් ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණකි.
මෙම අටුවා, ටීකා සියල්ල සඳහන් කළේ පරිසර නීති සියල්ල අභිබවමින් හා තුට්ටුවකට මායිම් නොකරමින් ලංකාවේ පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය නැතහොත් වන සත්ත්ව අභයස්ථානය විල්පත්තුව ජාතික වනෝද්‍යානය කෙලෙසීම පිළිබඳ ව පූර්විකාවක් සැපයීමට ය.
පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා පමණක් කිලෝමීටර 35 ක දිගින් යුත් දැවැන්ත මාර්ගයක් නාවික හමුදාව විසින් ඉදි කරමින් පවතී. පාළන් තුනකින් සමන්විත මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භ වන අතර උප්පුආරු (මෝදරගම්ආරු), පූකුලම් ප්‍රදේශය දක්වා (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) විහිදේ. කලා ඔයේ සිට කරුවලකුඩා,
පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලූ, පෙරිය විල්ලූ, සින්න ඔප්පුවිල්ලූ, මොල්ලිකුලම, මයිල විල්ලූ, කාලි විල්ලූ හරහා පූකුලම් දක්වා ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ගය ඉදි වේ. මෙම මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලූ ඉතා විශාල ප්‍රමාණයක් වැනසීම සිදු කර ඇත. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලූ පරිසරවල විශාල වලවල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම සිදු කර තිබේ. මෙම වලවල් අලි ඇතුන්ගේ මර උගුල් වීමට අනාගතයේ දී බොහෝ ඉඩ ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර කොල්ලය මෙතෙකින් නතර වී නොමැත. වර්තමානය වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරමේ සිට පුත්තලම දක්වා අළුතින් තවත් මාර්ගයක් ඉදි කරමින් පවතී. එය ජාතික වනෝද්‍යානය තුළ කරුවලකුඩා වෙරළ තීරයේ සිට මොල්ලිකුලම දක්වා මේ වන විට ඉදි කරමින් පවතී. එහි බොහෝ කොටසක් මේ වන විට සකසා අවසන් කර ඇත. මාර්ගය හා මුහුදු වෙරළ අතර තීරය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට ද සුදානමක් ඇත. ඒ සඳහා සියලූ සැළසුම් සකස් කර අවසන් ව ඇත. තව නොබෝ දිනකින් ම හොර රහසේ එම ක්‍රියාමාර්ග ද ආරම්භ වනු ඇත.
විල්පත්තුවේ වනාන්තර විනාශය හා නීති විරෝධී ක්‍රියා මින් නැවතී නැත. වනෝද්‍යානය තුළ පූකුලම් හා මෝදරගංආරු හරහා ඉදි කරන මොල්ලිකුලම් පාලම අතර සීමාවේ කිලෝමීටරයක් පමණ දිගින් යුත් විශාල වනාන්තර ප්‍රදේශයක් කම්බි කණු යොදා වෙන් කර ඇත. ජාතික වනෝද්‍යානයක ඉඩම් මේ ආකාරයෙන් වෙන් කර ගත හැක්කේ කුමන නීතියක් යටතේ ද? මෙම වනාන්තරය රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගෙන් මුදා ගෙන සිවිල් පාලනයට නතු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ දැවැන්ත හානියට වඩා වැඩි හානියක් පරිසරයට සිදු කිරීමට දැයි අපට නොවැටහේ.
ඳු සැළසුමකින් හෝ පරිසර හා වනජීවී ආරක්ෂණ උපාය මාර්ගවලින් තොරව ඉතා අවිධිමත් ලෙස මෙම මාර්ගය ඉදිකරමින් පවතී. ඒ සඳහා විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිඳු අවසරයක් හෝ විශේෂඥ උපදෙස් හෝ ලබා ගෙන නොමැත. එපමණක් නොව වනජීවී නිලධාරීන්ගෙන් වසං කරමින් ඔවුන්ට වනෝද්‍යානය තුළට ඇතුළු වීමට ඇති අයිතිය පවා නොතකමින් මෙම සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කරමින් තිබේ.
අක්‍රමවත් පස් කැණීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ්‍රිත ව පිහිටි විල්ලූමය තෙත් බිම් සියල්ල ගොඩ වීමට ලක් විය හැකිය. මෙපමණක් නොව වනෝද්‍යානය දෙකඩ කරමින් ගමන් ගන්නා මෙම මාර්ගය හේතුවෙන් සමස්ත විල්පත්තු වනජීවී වාසස්ථානය සම්පූර්ණයෙන් ම දෙකඩ වීම සිදු වී ඇත. ඉන් සිදුවන ජෛව විවිධත්ව හානිය සුළු පටු නොවේ. 2010 ජනවාරි මස 24 වන දින මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම මෙම මාර්ගයේ වාහන ගමනා ගමනය ඉතා අධික විය. මෙය ජනාකීර්ණ මාර්ගයක් බවට අද වන විට පත් ව ඇත. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත්වන සත්ත්ව ප්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වී ඇත. අලි ඇතුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වී ඇත. කොටින්ගේ ගොදුරු බිම් 3 ඛණ්ඩනය වීම හේතුවෙන් එම සතුන්ගේ ගහන ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප්‍රජාව අධික වී ඇත. පසුගිය දින කිහිපය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසුවී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දීමකින් හෝ තොරව වල දමා ඇත. මීට අමතරව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහන අනතුරුවලට ලක් වීමෙන් මිය යමින් සිටිති. මෙවන් තත්ත්වයන් දෙස බැලීමේ දී පෙනී යන්නේ නීති විරෝධී ලෙස කිසිඳු සැළසුමකින් තොරව ඉදිකළ මෙම මාර්ගය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව ප්‍රජාවගේ පැවැත්මට මරු පහර වී ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 05 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු ආරක්ෂාව මෙම මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත.
විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ. විල්පත්තුවේ වාර්තා වන සත්ත්ව විශේෂ විවිධත්වය සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
සමනළුන් 41 01
මිරිදිය මත්ස්‍යයින් 23 02
උභයජීවීන් 17 03
උරගයින් 57 08
පක්ෂීන් 149 03
ක්ෂීරපායින් 41 04
එකතුව 328 21
සමනළුන්, මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ. එපමණක් නොව විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නොව අති දැවැන්ත පුරාවස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි.
ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපණ්ණිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය.
විජය රජු සමඟ පැමිණි 700 ක් සේනාවේ බ්‍රාහ්මන වංශික කුමාරවරුන්ගෙන් සමහරෙක් තම ග්‍රාමයන් පිහිටුවා ගත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. උරුවේල විසින් පිහිටුවා ගත් උරුවේල ග්‍රාමය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළම ය. මෙම ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර පොසිල් සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළ හමුවේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3½ ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමුවන බිම් ය. මේවා ඩෝසර් කර මාර්ග ඉදි කිරීමට ප්‍රථම ඒ පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කිරීම කළ යුතුව තිබුණි. මාර්ග ඉදි කිරීමේ දී මතු වූ මෙවන් සාධක සහිත මැටි වළං මේවායේ වටිනාකම නොදන්නා මාර්ග තනන්නන් විසින් මාර්ගයට යට කර දමා ඇත.
මෙම අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නොවැටහේ.
පරිසර අමාත්‍යතුමන් ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇස් කන් නැත්තවුන් සේ ඒ දෙස සාවදානව බලා සිටිති. මීට විරුද්ධ වන පරිසරවේදීන් ඊනියා පරිසරකාරයින් ලෙස හැඳින්වීමට ඔවුහු මාන බලමින් සිටිති. පරිසරය ගැන හෝ වනජීවීන් ගැන නොදන්නා පිරිසක් වනෝද්‍යාන කළමනාකරණය කරද්දී තමන් යටතේ පාලනය වන ඉතා පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය වැනසීමට ඉඩ දී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මුනිවත රැකීම පිළිබඳව අප කණගාටු වෙමු.
2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරින් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, ස්ථීර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වලවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියළු ක්‍රියාකාරකම් සිදු කරති. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
වස්ගමුව හා ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානවල නීති විරෝධී ලෙස වැලි කැණීමට ඉඩ දීම, මහපිටිය හෙවත් ඇළකොටලිය අලිමංකඩ බඩ ඉරිඟ= වගා කිරීමට ඉඩ ලබාදීම, යාල හෙවත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ ඉතා අක්‍රමවත් ලෙස මාර්ග පද්ධති සකස් කිරීමට ඉඩ දීම, ඉදිකඩ මූකලාන රක්ෂිතයේ කොළඹ කැලි කසළ රැඳවීම සඳහා එය රක්ෂිත භාවයෙන් ඉවත් කිරීම, ඛෙල්ලන්විල - අත්තිඩිය අභය භූමිය ගොඩකර සංවර්ධනය කිරීමේ සැළසුම් සකස් කිරීම හා කිරිඳිවැල වනාන්තරය කොළඹ කසළ ගොඩ ගැසීම සඳහා එළි පෙහෙළි කිරීම වැනි වනාන්තරවලට දැවැන්ත තර්ජන එල්ල කළ අලි - මිනිස් ගැටළුව වර්ධනය වන ආකාරයේ තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළ වත්මන් පරිසර අමාත්‍යතුමා මෙම අවස්ථාවේ තම ඇමතිධූරය තවදුරටත් රැක ගැනීමටත් ඉදිරි මැතිවරණයෙන් පසුව පරිසර අමාත්‍යධූරය නැවත ලබා ගැනීමටත් මේ වන විනාශයන් නොදැක්කා සේ සිටිති.රක්ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද් දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය මෙසේ නිහ~ව සිටින්නේ මක් නිසාදැයි විශාල ප්‍රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියළු හානිකර ක්‍රියා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස අප අදාළ වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිමු. එසේ නොමැති වුවහොත් අවසානයේ ඉතිරි වන්නේ ඛණ්ඩනය වූ හා වනජීවීන්ගෙන් තොර කුඩා විල්පත්තු වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මෙම තත්ත්වය ඇති නොවන්නට අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අනවසර කි්‍රයාකාරකම් දැක්වෙන ඡායාරූප

ඇමැති අමුණුගමගේ නීති වි‍රෝධී රැස්වීම අවලංගු කරන්නැයි NEM IHR මැකොගෙන් ඉල්ලයි


රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සිය මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් කැඳවා නීති විරෝධී රැස්වීමක් පවත්වන බවත්, වහාම මේ පිළිබඳ අවධානය යොමු කොට මෙම නීති විරෝධී රැස්වීම අවලංගු කරන ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ සිදු වූවාක් මෙන් රජයේ නිලධාරීන් කැඳවා ඔවුන්ට සංග‍්‍රහ කොට මැතිවරණ ජයග‍්‍රහණය සඳහා මන්ත‍්‍රී ධූරාපේක්‍ෂකයන් කටයුතු කිරීම මැතිවරණ නීති-රීති උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහස බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙසත් එම නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුත් එම ලිපියේ වැඩිදුරටත් දන්වා ඇත.
මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය මෙසේය.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වෛද්‍යවරුන් කැඳවීම
ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් 2010 මහ මැතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා සහාය ලබා ගැනීම පිණිස වූ රැස්වීමකට ආරාධනා කරමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් වෙත ලිපියක් යවා ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM IHR) වෙත පැමිණිලි ලැබී ඇත.
අදාල ලිපියේ ඡායා පිටපතක් මේ සමග එවන අතර ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කොට රජයේ නිළධාරීන් මැතිවරණ අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය සඳහා යොදා ගැනීම නීතිවිරෝධී බැවින් අදාල රැස්වීම අවලංගු කිරීම සඳහා පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.truth

සමුදුර තතු දැනගන්න


මෙරට ප්‍රථම සමුද්‍ර පුරා විද්‍යා කෞතුකාගාරය ඊයේ ගාල්ලේ දී විවෘත කෙරුණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යාධාර සපයා ඇත්තේ නෙදර්ලන්ත රජය විසිනි. මෙම ජායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමාරම්භක උත්සවයට සහභාගි වූ අයුරුය.

ආඩම්බරකාර තාත්තා ගැබිණී මව්වරුන්ගෙනුත් පළිගන්නවා - සුනිල් හඳුන්නෙත්ති


දැයේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා යැයි කියා ගන්නා වත්මන් ආණ්ඩුව ගැබිණී මව්වරුන්ගෙනුත් පළිගන්නා මට්ටමේ පහත් තත්ත්වයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමු‍ණේ විමධ්‍යගත අරමුදලින් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දී‍මේ අවස්ථාවේදී අදහස් දක්වමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ විමධ්‍යගත අරමුදලින් ගැබිණී මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් සූදානම් කර තිබූ නමුක් රජයේ ඉහළ නිලධාරියෙකුගේ බලපැම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දිය නොහැකි බව ප්‍රකාශ විය.
මේ අවස්ථාවේදී හඳන්නෙත්ති මන්ත්‍රීවරයා විමසා සිටියේ ගිය වසරේ වෙන්වූ ප්‍රතිපාදනවලින් ගිය වසරේ සංවිධානය කළ වැඩසටහන මෙසේ හදිසියේම නතර කිරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ ඉහළින් ලැබුණු නියෝගයක් යටතේ මෙම වැඩසටහන අවලංගු කිරීමට සිදු වූ බවයි. කෙසේ වෙතත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉබි යතුරු දමා වසා තිබු‍‍ණේ කාර්යාලයීය වේලාවන් ලෙස සතියේ දින උදෑසන 8 සිට සවස 3.30 දක්වා බවට සටහන් වූ පුවරුවක් ද ප්‍රදර්ශනය කරමින් තිබියදීය.
මේ සම්බන්ධයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය විසින් රජයේ ඉහළ පුද්ගලයින් ලවා මෙම බලපෑම සිදු කළ බවයි.
කෙසේ වෙතත් අදාල පෝෂණ ආහාර ද්‍රව්‍ය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එය පැමිණ සිටි ගැබිණි මව්වරුන් 134 දෙනෙකුට ලබා දුන් අතර, ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
"අද දින ජනතා විමුක්ති පෙරමුණේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මට ලැබුණු මුදල්වලින් ගැබිණි මව්වරුන්ට ‍පෝෂණ ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ මැදිහත්වීමෙන් තමයි මේ සියලු කටයුතු සංවිධානය කළේ. නමුත් මට අද උදේ දැනුම් දුන්නා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පිළිගන්න බැරි නිසා මේ උත්සවයට ඉඩ දෙන්න බෑ කියල. මම මෙතෙනට එකකොට මේ කාර්යාලයට ඉබ්බ දාල.
නමුත් අපිට 09 වෙනිදා හදිසි නීතියට පාර්ලිමේන්තුවට එන්න කියනව. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයි නම් සිප්පි කටුද කියල මම දැනගන්න කැමතියි. මේක දේශපාලන වශයෙන් ඉතාමත් පහත් වැඩක්. අද මේ ආණ්ඩුව දැයේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා කියන ගමන්ම බඩදරු අම්මලගෙනුත් පළිගන්න මට්ටමට පත් වෙලා තියෙනව.
මේ අම්මලට පෝෂණ මල්ලක් ලබා දෙන්න අපි සැලසුම් කළේ පාර්ලිමේන්තු ඡන්දයක් එනව කියල හිතාගෙන නෙමෙයි. මේකට අපි මුදල් වෙන් කළේ ගිය අවුරුද්දෙයි. අපේ ප්‍රතිපාදන අපි වෙන් කළේ ගිය අවුරුද්දෙ. මේක සූදානම් කළෞ මම නෙමෙයි. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සූදානම් කරපු දෙයක්. මේ නිලධාරීවරුන් එක්කෝ දේශපාලන බලපෑමට යට වෙලා. නැත්නම් තමන්ගේ දේශපාලනය මෙතෙන්දි ක්‍රියාත්මක කරල.
අද වෙනකොට මේ ගැබිණි මව්වරුන්ට ලැබිය යුතු අයිතියත් ලබා නොදී කටයුතු කරන මට්ටමට මේ ආණ්ඩුවේ නිලධාරීන් හා දේශපාලනඥයො පත් වෙලා තියෙනව. මේක ඉතාම අවාසනාවන්ත, පහත් තත්ත්වයක්." truth

එජාප නායක රනිල් මද්දුමබණ්ඩාරගේ ගෙළ සිඳී


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සභාපති ධුරය නොදීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට මොණරාගල එක්සත් ජාතික පක්ෂ නාම යෝජනාවලින් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීමේ සිද්ධිය මත මෙම තීරණය ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීම සදහා ලිපිය ද සකස් කර තිබූ නමුත් නාම යෝජනා සකස් කිරීමේදී ඔහු සිදු කළ ක්‍රියාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මහා මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමට පෙර එජාප සියලූම දිස්ත‍්‍රික් නායකයින් ඔවුන්ගේ තනතුරට යළි පත් කෙරෙන ලිපි පක්‍ෂ මූලස්ථානයෙන් ලබාගෙන ඇති අතර,මද්දුම බණ්ඩාර මහතා එය පක්‍ෂ මූලස්ථානයට පැමිණ ලබාගෙන නැත. ඔහු යළි දිස්ත‍්‍රික් නායකයා ලෙස පත් කළ බවට පක්‍ෂ මූලස්ථානයෙන් ලිපියක් සකස් කර තිබී ඇතත්, එම ලිපිය ඔහුට නොදෙන ලෙසට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.
මොණරාගල එජාප නාමයෝජනා ලැයිස්තුවට පක්‍ෂ නායකත්වය විසින් ඇතුලත් කරනු ලැබූ පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ නම "ටිපෙට්ස්" යොදා මකා දමා, ඒ වෙනුවට වෙනත් නමක් ඇතුලත් කොට එය ඉදිරියේ එජාප මහලේකම්වරයාගේ ව්‍යාජ අත්සන යොදා මොණරාගල තේරීම්භාර නිලධාරියාට භාරදී ඇතැයි සඳහන් කරමින් එජාප මහලේකම්වරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක්ද කර තිබේ.ada

ශ්‍රීපතිගේ බිරිඳ ලෝක වාර්තාවක් පිහිටුවයි


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වයේ හිටපු නියෝජ්‍ය නායක අභාවප‍්‍රාප්ත ශ‍්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ පැය 48ක් තුල ශ‍්‍රී ලංකාවේ පක්‍ෂ 3ක සාමාජිකත්වය ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
ඇය පෙරේදා (02) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශ්වයට දොස් නගමින් සිය සැමියාගේ දේශපාලනය විනාශ කළේ මංගල සමරවීර බව කියමින් එම පක්‍ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන එම පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරියක් ලෙස කටයුතු කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ අතර ඊයේ (04)ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවී ඔහුට සහාය පළකරමින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියට දුරකථනයෙන් කතා කොට තමා එක්සත් ජාතික පක්‍ෂයේ සහ සියලූ තනතුරුවලින් ඉවත්වන බව පවසා ඇත.
මේ අනුව දේශපාලන ඉතිහාසයේ පැය 48 ක් තුළ දේශපාලන පක්ෂ 3 ක සාමාජිකත්වය ලබා ගනිමින් ඇය තැබූ වාර්තාව මෙතෙක් කිසිදු දේශපාලන නායකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු සිදු කර ඇති බවට වාර්තා වී නොමැති අතර, මේ වන විට දිල්රුක්ෂි සූරියආරචිචි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටී.truth

කුකුළු මස් - බිත්තර මිල ගණන් ඉහළ යයි


මේ දිනවල වෙළදපොළේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. සාමාන්‍ය වෙළදපොළේ බිත්තරයක මිල රුපියල් 16 - 18 මට්ටමක පවතින අතර කුකුළු මස් කිලෝවක මිල පවතින්නේ 350 - 385 අතර මිලකය.
කුකුළු ව්‍යාපාරිකයින් පවසන්නේ නිෂ්පාදනවල පවතින හිඟය නිසා ඒවායේ මිල මෙළෙස ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පසුගියදා රජය කුකුළු මස් සදහා පැනවූ රුපියල් 350 සීමාවද ඉක්මවා වෙළද පොලේ කුකුළු මස් මිල ඉහළ ගොස් තිබේ.truth

බී.ටී.අයි. යොදා නොගැනීමට තීරණයක් නෑ


කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව මෙරට ඩෙංගු මර්දනය සඳහා යොදා නොගැනීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අදාළ බැක්ටීරියාව ශ්‍රි ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා යොදා නොගැනීමට තීරණය කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ වන විට කියුබානු තානාපති කාර්යාලය හරහා අදාළ බැක්ටීරියාව කඩිනමින් ලංකාවට ලබාදෙන ලෙස කියුබානු රජයෙන් ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
බී.ටී.අයි.බැක්ටීරියාව ලංකාවට ලැබුණ වහාම එය ඩෙංගු වාහක මදුරුවන් බෝවීම වැළැක්වීමට යොදා ගන්නා බව එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම බැක්ටීරියාව මෙම වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු මර්දනය සඳහා යොදා ගැනීමට මුලින් තීරණය කර තිබුණි. ශ්‍රි ලංකා රජය අදාළ බී.ටී.අයි.බැක්ටීරියාව කෘමිනාශක රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු කාර්යන් සිදුකර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.ada

කම්කරු විනිශ්චය සභා, රජයේ ගොඩනැගිලිවලට


කුලී ගෙවා පවත්වාගෙන යන කම්කරු විනිශ්චය සභා, රජයේ ගොඩනැගිලිවලට ගෙන ඒමට අධිකරණය හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම විනිශ්චය සභා පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාම සහ තැනින් තැනට මාරු කිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම මෙම තීරණයට හේතුව බව එම අමාත්‍යාංශය පවසයි. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් මේ වන විටත් කුලී පදනම මත පවත්වාගෙන යන කම්කරු විනිශ්චය සභා ගොඩනැගිලි ගණන 12 කි. ඊට අමතරව තවත් ගොඩනැගිලි 05 ක් බදු පදනම මත පවත්වාගෙන යන බව වාර්තා වේ.
නව තීරණයත් සමග තලවාකැලේ හා හැටන්හි කම්කරු විනිශ්චය සභාවල ඉදිකිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කරන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කරයි. ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 12 ක මුදලක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීමට වැඩපිළිවෙළක්


මෙරටින් ත්‍රස්තවාදය තුරන් කළා සේම ආසියානු කලාපයෙන් මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත ‍බෝගොල්ලාගම මහතා පවසයි.
එම වැඩපිළිවෙළ ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට ද සුදානම් බව බොගොල්ලාගම අමාත්‍යවරයා සඳහන් කරයි. මේ වන විට සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු නෞකා අතරට ශ්‍රි ලාංකික සේවකයින් රැඳි සිටි නෞකා දෙකක්ද ඇතුළත්ය. අදාළ පිරිස් මුදා ගැනීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් රෝහිත බෝගොල්ලාගම මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර පසුගිය සඳුදා මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු සෞදි ආරාබි නෞකාවක ශ්‍රි ලාංකිකයින් පිරිසක් සිටින බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් සොයා ‍බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා අදාළ අංශ වලට දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ada

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක්


පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 10 ක් මේ වන විට වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අතර බරපතල සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩි.එම්.දිසානායක මහතා පැවසුවේය. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල උණුසුම් බවක් මේ වන විට දක්නට නොලැබෙන බව ද හෙතෙම කියා සිටියේය. එක් පක්ෂයක් පමණක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියලී සිටින අකාරය නීරීක්ෂණය කළ හැකි බව ඩි.එම්.දිසානායක මහතා සඳහන් කරයි. ada

වීසා ගැටළුවක් මත මහලු මව හා පුතු ලංකාවට


ඕස්ට්‍රේලියාවේ වෙසෙන අනූ දෙහැවිරිදි ශ්‍රී ලාංකික මහලු කාන්තාවක රැකබලා ගත් ඇයගේ පුතු වන 69 හැවිරිදි පුද්ගලයෙකුට වීසා පිළිබඳව ඇතිවූ ගැටළුවක් නිසා තම මව අතහැර අද සවස 5ට(ඕස්ට්‍රේලියානු වේලාවෙන්) පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුව ඇති පුවතක් පිළබඳව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් වාර්තා වේ. නමුත් මෙම මහලු කාන්තාව රැකබලා ගැනීමට වෙනත් කිසිදු පුද්ගලයෙකු නොමැති බැවින් ඇය ද සිය පුතු සමග ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටී.
එඩ්වඩ් ජෝශප් නැමති මෙම පුද්ගලයාට ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට කිසිදු නෛතික අවසරයක් නොමැති බව ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව පවසා ඇත. එමෙන්ම ඔහු ඉදිරිපත් කරන ලද සියළුම අභියාචනා ප්‍රතික්ෂේප කර තිබේ.
ජෝශප් මහත්මිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකාරියක වන අතර ඇයගේ පුතු ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 1996දීය. ඔහු එසේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ සංචාරකයකු ලෙස බවත්, එමෙන්ම ඔහු ආරක්ෂක වීසා පත්‍රයක් සඳහා අයදුම් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. නමුත් කෙසේ හෝ ඔහුගේ මෙම අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර නැවතත් වාර අටකදී රජයෙන් කරන ලද ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වී තිබේ.
එඩ්වඩ් ජෝශප් විසින් වාර ගණනාවකදීම මහාධිකරණයට පවා ඉදිරිපත් කරන ලද නෛතික අභියාචනා ද පිළිගෙන නැත. ඔහු අද සවස 5වන විට සිය මව ද සමග ඕස්ට්‍රේලියාවෙන් පිටවයාමට එකගව ඇති බව ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා AAP වෙත සඳහන් කර තිබේ. ada

කුරුණෑගල ළඳු කැළෑවක මළ සිරුරක්


කුරුණෑගල පුත්තලම පාරේ කඳුගොඩවත්ත ප්‍රදේශ‍යේ ළඳු කැළෑ ප්‍රදේශයක තිබී විනාශ වී ගිය මෘත ශරීරයක කොටස් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
එම මෘත ශරීරය වයස අවරුදු 13 ක් පමණ වූ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ada

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න


වියළි කාළගුණ තත්වයක් පැවතුන ද කිසිදු ප්‍රදේශයක ජල සැපයුම අඩු කර නොමැති බව ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ දින වල පවතින වියළි කාළගුණය හේතුවෙන් ජලාශ වල සහ ගංගා වල ජල මට්ටම අඩු වී ඇති අතර එම තත්වය තවදුරටත් පැවතිය හොත් ජලය සැපයීමේ ගැටලු ඇතිවිය හැකි බව ඔහු පෙන්‍ව‍ා දෙයි. අධික උණුසුම් තත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කරන ලෙසත්, ජලය නාස්ති නොකරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි. ada

Thursday, March 4, 2010

ලසන්ත වෙනුවෙන් සී.අයි.ඩී ය තාමත් දුරකතන මෙහෙයුමේ

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ගමන් ගනිමින් සිටි ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන පණිවුඩ සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති‍බේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකර‍ණයේ අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී රහස් ‍පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.
වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එහිදී ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන ඇමතුම් 5 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි
. මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව රහස් පොලිසිය අධිකරණය දැනුම් දී තිබේ. ada

ජනපති දිවුරුම් දීම නොවැම්බර් 18


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18වන දින නිල වශයෙන් සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙන බව අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීම සිදුවන විට රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලුම නීති, විධිවිධාන සම්පාදනය කොට අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අප්‍රේල් 22 වැනිදා සිට නොවැම්බර් 18 වැනිදා දක්වා කාලය තුළ මේ සඳහා ක්‍රියාත්මක වන බව අද‍ පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජී.එල්.පීරිස් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ ‍කළේය. ඊට අදාළ මූලික කටයුතු දැනටමත් සිදුකෙරෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ada

උතුරේ පුස්තකාලවලට නොමිලේ පොත්


යුද සමයේ දී උතුරේ විනාශ වී ගිය සියලුම පුස්තකාලවලට නොමිලේ පොත් බෙදා දී‍මේ වැඩසටහනක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
වව්නියාව, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පුස්තකාලවලට මෙම පොත් බෙදාදීමට නියමිතය. ඒ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.කේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ දිනවල එම ප්‍රදේශවල සංචාරයක ද නිරත වී සිටියි.
මේ වන විටත් වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පුස්තකාලවලට පොත් බෙදාදීම ආරම්භ කර ඇති අතර යාපනය පුස්තකාලයට පමණක් විවිධ වර්ගවලට අයත් පොත් 4,000 ක් පමණ ලබා දී ඇති බව සඳහන්ය. ada