Sunday, February 27, 2011

එදා රාත්‍රං,මිල මුදල් කොල්ලකරුවෝ අද අල,පරිප්පු කොල්ල කනවාFebruary 27, 2011 03:06 pm

අලුතෙන් මුද්‍රණය වූ 5000 නෝට්ටුවේ මීට පෙර මුදල් නෝට්ටුවල දක්නට ලැබුණු සිංහයා ලකුණ නැත්තේ ආණ්ඩුවේ වත්මන් භාවිතයට සිංහයා නොගැලපෙන බව ආණ්ඩුව කල්පනා කරන නිසා විය හැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මුදලේ වටිනාකම අද හෑල්ලූ වී ඇති නිසා රුපියල් පන්දහසේ නෝට්ටු මුද්‍රණය කරන්නට සිදුව ඇති බවත්,රුපියල් දහසකින් ගත් භාණ්ඩ මිලදී ගන්න අද රුපියල් පන්දහසකට වඩා වැය වන බවත් ජ.වි.පෙ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ වත්මන් භාවිතාවට අනුව නම් ගැලපෙන්නේ සිංහයෙකු නොව නරියෙකු බවත්,අද නාගරික ජනතාව විශාල අසීරුතාවකට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(27)පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

"අද වන විට ජනතාවට දරා ගන්න බැරි තරමට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්. ආණ්ඩුව පනවන අධික බදු නිසා බඩු මිල ඉහළ යනවා. ඒ විතරක් නොවෙයි, ඒකක 120ට වඩා පරිභෝජනය කරන නිවාසවලට, කර්මාන්ත ශාලාවලට, වෙනත් ආයතනවලට විදුලිය බිල 8%කින් ඉහළ නංවා තිබෙනවා. කර්මාන්ත ශාලාවල විදුලිය බිල ඉහළ ගියාම එහි නිෂ්පාදනය කරන භාණ්ඩවල මිලත් ඉහළ යනවා. අද වැඩි දෙනාගේ අවධානයට ලක් වෙන්නේ එළවළු මිල ඉහළ යාම පමණයි. නමුත් විදුලිය ගාස්තු ඉහළ යාම නිසා මදුරු කොයිල් එකේ සිට, සබන් කැටේ, දත් බෙහෙත් එකේ සිට මිල ඉහළ යමින් තිබෙනවා. ඒ විතරක් නොවෙයි. පාසල්වල මූලික අවශ්‍යතා ඉටු කරන්න සිදු වී තිබෙන්නේත් දෙමාපියන්ට. ඩෙස්පුටු, කළු ලෑල්ල පමණක් නොවෙයි චෝක් කෑල්ල පවා අරගෙන දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ දෙමාපියන්ට. පොත් බෑගයට සල්ලි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.

ආශ්චර්යවත් සෞඛ්‍ය සේවාවක් තිබෙනවා කියා ඇමතිවරයා කිව්වාට රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් තිබෙනවා. දඹුල්ල, කුරුණෑගල ඇතුළු රෝහල් ගණනාවක මී උණ රෝගීන්ට දෙන බෙහෙත් නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පමණක් පසුගිය දිනවලදී මී උණ රෝගීන් 119ක් වාර්තා වුණා. ඔවුන්ගෙන් 12 දෙනකු මරණයට පත්ව තිබෙනවා.

මේ අතරේ ආණ්ඩුව ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල ඉහළ නංවන්න ඉඩ දුන්නා. අපට තිබෙන ආරංචිවලට අනුව ඡන්දය අවසන් වූ ගමන්ම නැවතත් ඉන්ධන මිල ඉහළ යාමට නියමිතයි. එවිට බස් ගාස්තු, ත‍්‍රී වීල් ගාස්තු ඇතුළු ප‍්‍රවාහන සේවාවල මිල ඉහළ යනවා. එවිට නැවතත් බඩු මිල ඉහළ යනවා. කිරි පිටි මිල ඉහළ යාම ආණ්ඩුව දැන් තාවකාලිකව නතර කර තිබෙනවා. ඡන්දය ඉවර වූ විගස කිරිපිටි වගේම ගෑස් මිලත් ඉහළ යාමට නියමිතයි.

භාණ්ඩ මිල ඒ ආකාරයට ඉහළ ගොස් තිබෙන අතරේ ආණ්ඩුව අය කරන විවිධ ගාස්තු ඉහළ දමා තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ගාස්තු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, විදේශ ගමන් බලපත් ගාස්තු, සියලූම විභාගවල විභාග ගාස්තු ඉහළ නංවා තිබෙනවා. රුපියල් 200ක් වූ විභාග ගාස්තු රුපියල් දහසක් දක්වා වැඩි කර තිබෙනවා.

මේ නිසා අද පාරිභෝගිකයා පමණක් නොවෙයි සිල්ලර වෙළෙන්දා පවා අසරණ වෙලා ඉන්නවා. සිල්ලර වෙළෙන්දා අද බඩු විකුණා ගන්න බැරිව සිටිනවා. වෙනදා පොළට ආපු වෙළෙන්දා අද එන්නේ නැහැ. ඒ වගේම, ආණ්ඩුවට බදු ප‍්‍රතිපත්තියක් නැති නිසා තොග වෙළෙන්දාත් අපහසුතාවට පත්ව තිබෙනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුවට විසඳුම් නැහැ. ඒ නිසා පැලැස්තර අලවමින් සිටිනවා.

එළවළු ප‍්‍රවාහනයේදී පෙබරවාරි පළමුවැනිදා සිට ප්ලාස්ටික් බකට් අනිවාර්යය බවට නීතියත් ගෙනාවා. එවැනි තීරණයක් ගන්නා විට ගොවීන්ට, වෙළෙන්දන්ට බකට් හඳුන්වා දී තිබුණේ නැහැ. ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛනවලට අනුව ප්ලාස්ටික් බකට් ලක්ෂ හතක් අවශ්‍යයි. දැන් මාර්තු පළමු වැනිදා සිට නැවත ප්ලාස්ටික් බකට් අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ වන තුරුත් ඊට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිකුත් කර නැහැ. ක‍්‍රියාත්මක කරන්න හදන පැලැස්තර විසඳුමක්වත් හරියට කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ.

මේ තත්වය නිසා අද රට පුරා තැන් තැන්වල හොරකම්, මංකොල්ලකෑම් සිදු වෙනවා. කප්පම් ඉල්ලීම් වැඩි වී තිබෙනවා. ඉස්සර කොල්ලකෑවේ රත‍්‍රං හෝ මුදල්. නමුත් දැන් චින්තන ආශ්චර්යේ බලමහිමයෙන් වැඩිපුර කොල්ල කන්නේ අල, පරිප්පු වැනි අතශ්‍යවශ්‍ය ආහාර. පසුගියදා රත්මලානේ සිට අකුරැස්ස බලා අල, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ ලොරියක් කොල්ලකෑමට ලක් වුණා.

මේ අතරේ ආණ්ඩුව උත්සවවලට කෝටි ප‍්‍රකෝටි ගණන් නාස්ති කරනවා. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අමාත්‍යාංශයෙන් පමණක් රුපියන් තුන් කෝටි පනස් ලක්ෂයක් වැය කර තිබෙනවා. ඉන් එක් කෝටි අසූ දෙලක්ෂයක් වැය කර තිබෙන්නේ සංස්කෘතිකාංගයක් සඳහා. ඒ විතරක් නොවෙයි, හෙජිං ගනු දෙනුව නිසා කෝටි 700ක් විතර රටට අහිමි වී තිබෙනවා. මේ තරම් රටේ ප‍්‍රශ්න තිබෙන්නේ ඇමති මණ්ඩලයක් 95ක් පත් කළා. ඒ 95න් 10ක්ම කිසිම වගකීමක් නැති කාර්ය භාරයක් නැති ඇමතිවරු. ඒ බරත් අද දරන්න සිදු වී තිබෙන්නේ ජනතාවට. ආණ්ඩුවේ මේ නාස්තිකාරී වැඩ නිසා එහි බර ජනතාවට දරන්න සිදු වී තිබෙනවා. අද වාහන බලපත‍්‍ර ගාස්තු, විභාග ලියාපදිංචි වීමේ ගාස්තු වැඩි කරන්න සිදු වී තිබෙන්නේ මේ නාස්තිය නිසා. ඇමතිකම් නැති මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රාඩෝ ගන්න කෝටි 148ක් වැය කළා.

රජයේ ආයතනවල සිදු වන දූෂණ, වංචා වළක්වන්න වැඩපිළිවෙළක් නැහැ කියා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාම පිළිගෙන තිබෙනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අක‍්‍රිය කොට තිබෙනවා. ඒ නිසා කෝප් කමිටුව කිසියම් දූෂණයක්, අක‍්‍රමිකතාවක් සොයා ගත්තත් ඊට දඬුවම් කරන්න යාන්ත‍්‍රණයක් නැහැ." යයි කීවේය. මේ අයුරින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ මන්ත්‍රීවරයා ඉහළ යන බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවත්,මාර්තු මස පළමුවැනිදා ප.ව. 3.00ට කැම්බල් පිටියෙන් එකී පාගමන ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා ගමන් කරන බවත් අවසාන වශයෙන් කියා සිටියේය.

0 comments:

Post a Comment