Thursday, December 30, 2010

වව්නියාව බන්ධනාගාර සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්


වව්නියාව බන්ධනාගාර රැඳවියන් අතර ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවු බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කළ බව ද වී. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියෙකු වහා ගෙන්වන ලෙස බල කරමින් රැඳවියන් පිරිසක් මෙසේ කලහාකාරී ලෙස හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු අදාළ රැඳවියා කිසිදු හේතුවක් මත යළි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් නොකරන බව වී. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ළමා අපචාරයකට සම්බන්ධ බවට චෝදනා මත මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් කෙ‍රුණු පූජකවරයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුමේ මූලාරම්භය පසුගියදා ඇතිවිය.

ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු අතර එම සිද්ධියට මුල් වු ප්‍රධාන රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.adaderana.lk

0 comments:

Post a Comment