Monday, March 29, 2010

විපක්ෂයෙන් පලිගන්න මෙහෙව් ආණ්ඩුවක් තිබුණේ නෑ


විපක්ෂයෙන් මෙතරම් පලිගන්නා ආණ්ඩුවක් ඉතිහාසයේ කිසිදිනක නොතිබු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පවසයි.
විපක්ෂයට උදව් කළ සෑම දේශපාලන පක්ෂයකම පාක්ෂිකයන්ටද වත්මන් ආණ්ඩුව විසින් හිරිහැර කරන බව ඔහු පෙන්වා දෙයි.
මාතර ප්‍රදේ‍ශයේ පැවති ජනරැලියකට එක්වෙමින් සමරවීර මහතා මේ අදහස් පළ කරන ලදී. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ආණ්ඩුව පෙරළා දමා රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු බවයි.
ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සමස්ත විපක්ෂයම සුදානමින් සිටින බව ද මංගල සමරවීර මහතා පැවසීය. adaderana

නීති හදන්නට හොරුන්ට තැන දෙන්න එපා


පාර්ලිමේන්තුවේ නීති සාදන පුද්ගලයන් සත්‍ය වශයෙන්ම නීති රකින පුද්ගලයන්දැයි ජනතාව අ‍වබෝධ කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
නීති සෑදීමේ කාර්යයට එක්ව ඇත්තේ සොරුන් , වංචාකරුවන් සහ දාමරිකයන් ඇතුළු පිරිස් බව ඔහු සඳහන් කරයි.
එබැවින් යළිත් වරක් එවැනි පුද්ගලයන්ට ජනතාව වෙනුවෙන් නීති සෑදීම සඳහා පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාව ලබාදීම පිළිබඳ සලකා බැලිය යුතු බව අමරසිංහ මහතා පෙන්වා දෙයි.
අකුරැස්ස ප්‍රදේ‍ශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. adaderana

යුද්ධයට දැන් හොඳ වෙළෙඳපොළක් නෑ


යුද්ධය ගෙන්ගෙට ගොස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආණ්ඩු පක්ෂය විසින් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා පවසයි.
වර්තමානයේ යුද්ධයට වෙළඳපළක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ යුද්ධ‍ය ගැන කථා කිරීම නොව ජනතාවට ජිවත් වීමේ මගක් සලසා දීම පිළිබඳ අවධානය යොමු විය යුතු බවයි.
මැතිවරණයෙන් පසු ජනතාව තවදුරටත් පීඩාවට පත්වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.. adaderana

කටවුට් ගලවන්නැයි ආයෙමත් නියෝගයක්


සියලුම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් , කටවුට් සහ බැනර් අප්‍රේල් පස් වන දිනට පෙර ගලවා ඉවත් කරන ‍ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පොලිස්පති මහින්ද බාලසුරිය මහතා වෙත නැවතත් නියෝග කර තිබේ.
අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කාර්යාලවල සහ එම භූමිවල ඇති ප්‍රචාරක පුවරු ද වහා ගලවා ඉවත් කළ යුතු බවට නියෝග කර ඇති බව සඳහන් වේ. මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම නියෝගය දී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් ‍කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රචාරක පුවරු ඉවත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි. මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් ආර්.ජයසුරිය මහත්මියගේ සේවය අත්හිටුවීම වහාම අවලංගු කරන‍ ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම අධිකාරියේ සභාපතිවරයා වෙත නියෝග කර තිබේ.
ජයසුරිය මහත්මිය කළ පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මෙම නියෝගය කර ඇති බව මැතිවරණ ම‍හලේකම් කාර්යාලය සඳහන් කරයි.
මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය සේවයේ ස්ථාන මාරු කිරීම් , පත්කිරීම් හා උසස් කිරීම් ඇතුළු කටයුතු සිදුකිරීම නීති විරෝධි බැවින් මැතිවරණයෙන් පසු අදාළ තීරණය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇත. adaderana

Sunday, March 28, 2010

රනිල්ගෙන් ඉල්ලීමක්


එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් වෙනුවට නම් කළ නියෝජිතයන්ට ලබන 6 වැනිදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියක් මගින් කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ. ඔහු එමගින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන‍්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ජනවාරි 18 වන දිනෙන් පසු අහෝසි වී ඇති බවය. එබැවින් අදාළ කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මත විමසීමක් අවශ්‍ය නොවන බව විපක්ෂ නායකවරයා පවසයි.
අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. නීතිපතිවරයාගේ මතය සැළකිල්ලට ගනිමින් අදාළ පුද්ගලයන්ගේ මන්ත්‍රීධුරයන් තවදුරටත් වලංගු වන බව රජය කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපිය මගින් පෙන්වා දෙයි. adaderana

යහපත් හෙටක් වෙනුවෙන් එක්වන්න


මහින්ද චින්තනය සියයට සියයක් ක්‍රියාත්මක කර රටේ අනාගත පරපුරට යහපත් හෙටක් ගොඩනැගීම සඳහා එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහින්ද චින්තන වැඩපිළිවෙළ රටේ ආර්ථිකයට මෙන්ම සමාජීය තත්ත්වයට නැවුම් මාවතක් ලබාදුන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අද පෙරවරුවේ පැල්මඩුල්ල මහජන ක්‍රිඩාංගණයේ පැවති ජනරැලියක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය. මේ වන විට ගුවන් තොටුපල, වරා‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රවල නව ප්‍රබෝධයක් උදා වී ඇති බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.adaderana

වැව ඉදිකළත් තවමත් වතුර නෑ


මාළිගාවිල සද්ධාතිස්ස වැව ඉදිකර වසර 12ක පමණ කාලයක් ගත වුවද මෙතෙක් එහි ජලය ගොවිතැන් කටයුතු සදහා නිකුත් කර නැතැයි ගොවීන් චෝදනා කරයි.
මේ හේතුවෙන් ගොවීන් විශාල සංඛ්‍යාවක් දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන්ය. මේ අතර අදාළ වැව් සොරොව්ව බලහත්කාරයෙන් විවෘත කිරීමට ඊයේ ගොවීන් උත්සාහ ගෙන තිබේ. කෙසේ වුවද ඉදිරි මැතිවරණයෙන් අනතුරුව වැව විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව බලධාරීන් ප්‍රකාශ කර ඇත. adaderana

ව්‍යවස්ථා සංශෝධනයට රජය විරුද්ධ නෑ


17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ අරමුණ පිළිබඳ කිසිදු විරෝධයක් ආණ්ඩුවට නැති බව පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම සංශෝධනය සඳහා අනුගමනය කර ඇති ක්‍රම‍වේදයේ ගැටලු පවතින බව ඔහු සඳහන් කරයි. එබැවින් අදාළ ගැටලු වලට විසඳුම් සොයන ආකාරයේ වෙනස්කම් සිදුකළ යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය. adaderana

අද එජාපයක් නෑ


වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයක් නැති බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එම පක්ෂයේ නායකයන් විසින්ම ඇතැම් අයට මනාප ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. වියලුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. ඌව පළාතේ තමා ආරම්භ කළ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. adaderana

ෆොන්සේකා දැඩි අසනීපයෙන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
මේ වන විට සරත් ෆොන්සේකා මහතා දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බව ඇය පෙන්වාදෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මේ බව සඳහන් කළේය. සරත් ෆොන්සේකා මහතාට ආහාර ගෙන යාම සම්බන්ධයෙන් ඥාතීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කළද ඊට ද මෙතෙක් අවසර ලැබී නැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. adaderana

විපක්ෂයේ වැඩි පිරිසක් අද රජය සමගයි


විපක්ෂයේ සියයට 15 කට වඩා වැඩි පිරිසක් අද රජය සමග එක්ව සිටින බව කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.
ඉදිරි දින කිහිපය තුළ දී මෙම තත්ත්වය තවත් සතුටුදායක වී හැකි බව ඔහු සඳහන් කරයි. අද රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් මහින්ද චින්ත ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීම බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ වන විට රජයට හුදකලා සටනක නිරත වීමට සිදු වී ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana

මුස්ලිම් ජනතාව බේරාගත්තේ මමයි -ජනපති


වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මුස්ලිම් ජනතාව සිය ගම්බිම් වලින් පන්නා දැමූ අවස්ථාවේ දී ඔවුන් බේරා ගැනීමට කටයුතු කළේ තමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට මනාව හිමිකම් ගැන කතා කරන විපක්ෂය සහ ජාත්‍යන්තර සංවිධාන මුස්ලිම් ජනතාවගේ එම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි බව ඔහු සඳහන් කරයි. ඊයේ රාත්‍රී මැද කොළඹ ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. අනාගත දරු පරපුර ගැන සිතා කටයුතු කිරීමට හොඳම කාලය මේ වන විට එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.adadearana

දුම්රිය තුළ සිඟමනට තහනමක්


දුම්රිය මැදිරි තුළ සිඟමනේ යෙදීම අප්‍රේල් 01 වනදා සිට තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
යාචකයින් මගින් මගී ජනතාවට සිදු වන විවිධ කරදර හා හිරිහැර වළක්වා ලීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. දුම්රිය තුළ සිඟමනේ යෙදීම මේ දින වල බහුලව දක්නට ලැබෙන ඇති අතර ව්‍යාපාරයක් ලෙස‍ මෙය කරගෙන යන පුද්ගලයින් ද සිටින බව දුම්රිය ‍දෙපාර්තමේන්තු පවසයි.
මෙමගින් බොහෝ දූෂණ සහ වංචාවන් දුම්රිය තුළ සිදුවන බවට ද සිදු කළ සමීක්ෂණ වල දී හෙළී වී ඇත. එම නිසා අප්‍රේල් මස 01 වන දින සිට දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් වන අතර දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහය මේ සඳහා යොදා ගන්නා බව විජය සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.adaderana

මෙරට ආයෝජනයට මැලේසියාවේ දැඩි උනන්දුව


මෙරට ආයෝජනය කිරීම සඳහා මැලේසියානු ආයෝජකයින්ගේ දැඩි උනන්දුවක් ඇති බව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් රසේලි ඉස්මයිල් මහතා පවසයි.
එවැනි ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ව්‍යාපාරික කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව ඔහු සඳහන් කරයි. මෙරට ප්‍රධාන විදේශ ආයෝජකයෙකු ලෙස මේ වන විට මැලේසියාව ප්‍රමුඛස්ථානයේ සිටියි.
විශේෂයෙන්ම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ආයෝජන රැසක් සිදු කර ඇති අතර සංචාරක, මාර්ග, නිවාස, යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍ර වල ද ආයෝජන කිරීමට මැලේසියානු අයෝජකයන්ගේ උනන්දුවක් ඇති බව ඉස්මයිල් මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් ඉස්මයිල් මහතා වැඩි දුරටත් ප්‍රකාශ ‍ කළේ දෙරට අතර ව්‍යාපාරික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ද අවධානය යොමු වී ඇති බවය. adaderana

දුම්රිය අනතුරකින් සිව් දෙනකුට තුවාලයි


උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී දුම්රිය හරස් මාර්ගයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ පස්වරුවේ බදුල්ල සිට ‍කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියට ඌරාපොළ දුම්රිය හරස් මාර්ගයේ දී ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. අනතුරින් ලොරියේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

ළමුන්ගේ රැකවරණයට නව වැඩපිළිවෙළක්


බරපතල හා අවදානම් තත්ත්වයන්ට මුහුණපාන ළමුන්ගේ නිසි ආරක්ෂාව සහ රැකවරණය සඳහා පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මව, පියා දෙදෙනාම සිටිය ද සමහර ළමුන්ට නිසි ආරක්ෂාව සහ රැකවරණයක් නොලැබෙන අවස්ථා වර්තමානයේ දී වාර්තා වේ. එවන් ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය සැලසීම සඳහා පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත. මේ අතර ළමුන්ට නිසි ආරක්ෂාවක් සහ රැකවරණයක් ලබා දීමට නොහැකි නම් දරුවන් විනාශ නොකර ඔවුන් පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.adaderana

Saturday, March 27, 2010

හම්බන්තොට‍ වරායේ පළමු අදියර අගෝස්තු මාසයේ අවසන්


හම්බන්තොට‍ වරායේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ අගෝස්තු මාසය වන විට අවසන් කළ හැකි බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 360 ක මුදලක් වැය වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. පළමු අදියර අවසන් වීමත් සමග එම වරාය සඳහා පැමිණෙන පළමු නෞකාව නොවැම්බර් මාසය වන විට යාත්‍රා කරනු ඇති බවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. එම නෞකාව මගින් රබර්, සීනී ඇතුළු මෙරට නිෂ්පාදිත අපනයනය කිරීමට හැකි වන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. adaderana

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට


ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට දිනයේ ද සිදුකෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය නිවාඩු දිනයක් වුව ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය ලෙස හෙට දිනය ක්‍රියාත්මක වන බව සඳහන්ය. මෙම කටයුතු සදහා තැපැල්කරුවන් 8,000 ක පිරිසක් යොදවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වතු ආශ්‍රිත ප්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් පමණක් තැපැල්කරුවන් 400 දෙනෙකුට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබේ. ලබන 31 වැනිදා දක්වා මෙම කටයුතු සිදුකෙරෙන අතර එම පත්‍රිකා නොලැබුණු අයෙකු වෙතොත් ඉන් පසුව ද තම අනන්‍යතාව තහවුරු කර ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් අදාළ පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. adaderana

ජවිපෙ ප්‍රධානතම සතුරා මමයි- ලක්ෂ්මන්


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානතම සතුරා බවට තමන් පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් තරග කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රබල මතවාදයක් ගෙනයාම ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවී තරග කළේ නම් එක්සත් ජාතික පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසනවලින් 30 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුවන බව ඒ මහතා අවධාරණය කරයි. හාලිඇල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මේ අදහස් පළ කළේය. adaderana

වී මිල තීරණය කිරීමේ අයිතිය ගොවි ජනතාවට


එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ‍වී මිල තීරණය කිරීමේ අයිතිය ගොවි ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජනතාව අමතක කර කටයුතු කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ගබඩා පහසුකම් සහ ගොවි ජනතාව සතු මුදල් ඇත්නම් ඔවුන්ට අඩු මිලට වී විකිණීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බව ඒ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මහතා මේ අදහස් පළ කළේ පොළොන්නරු‍වේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි. adaderana

කාන්තාවන්ගේ දුක නිවීමට ජනපති සමත් වී තිබෙනවා


මෙරට කාන්තාවන්ගේ දුක් ගිනි නිවීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇති බව අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා පවසයි.
දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත් වූයේ කාන්තාවන් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. හම්බන්තොට පැවති කාන්තා හමුවක් අමතමින් ඩලස් අලහස්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. adaderana

මාතලේ නිවාස රැසකට සුළඟින් හානි


මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා හඹා ගිය සුළඟක් හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනයේ බලපෑ මෙම සුළං තත්ත්වය හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇතාබැදිවැව සහ ‍පන්නම්පිටිය යන ප්‍රදේශවල නිවාස 16 ක් හානියට පත්ව ඇති බව වාර්තා වේ. ඉන් නිවාස 4 ක් මුළුමනින්ම විනාශ වී ඇති බව මා‍‍තලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් පවුල් 22 ක් පමණ අවතැන්ව ඇති අතර එම පවුල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර අකුණු සැර වැදීමක් හේතුවෙන් නාවුල, අරංගලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. adaderana

රත්නපුර රිය අනතුරකින් කාන්තාවක් මියයයි


රත්නපුර, පානදුර මාර්ගයේ ඉංගිරිය රෝහල අසල සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද දහවල් 1ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලොරි රථය අසල සිටි කාන්තාවක බව සඳහන්ය.
මෙම සිද්ධියත් සමග කුපිත වූ ප්‍රදේශවාසීන් බස්රථයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව අප වාර්තාකරු පැවසුවේය. මේ හේතුවෙන් මේ වන විට රත්නපුර හා පානදුර අතර පෞද්ගලික බස්රථ ධාවනය තාවකාලිකව ඇණ හිට තිබේ.adaderana

බන්ධනාගාර රැඳවියන්ට නව පුනරුත්ථාපන කලාපයක්


මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් දඩුවම් නියම වූ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ආරක්ෂිත පුනරුත්ථාපන කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
එවැනි නව ආරක්ෂිත පුනරුත්ථාපන කලාප 3 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. මහනුවර, පල්ලෙකැලේ හා බදුල්ල, තල්දෙන යන ප්‍රදේශවල එවැනි බන්ධනාගාර ස්ථාපිත කර ඇති අතර හම්බන්තොට වීරවිල ප්‍ර‍දේශයේ තවත් එවැනිම බන්ධනාගාරයක් ස්ථාපිත කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රැඳවියන් සමාජගත කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධානවල සහය ලබාගන්නා බව ද අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දඩුවම් නියමවූ පුද්ගලයින් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් එකම බන්ධනාගාරයක් තුළ රැඳවීමෙන් සිදුවිය හැකි අයහපත සලකා බලා මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි. adaderana

අධික වර්ෂාවෙන් නිවාස කිහිපයකට හානි


නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය වනරාජා වතු යායේ නිවාස කිහිපයකට හානි සිදුවී තිබේ.
වතු නිවාස 5 ක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මේ වන විට අවතැන්ව සිටින බව අප වාර්තාකරු පැවසුවේය. තේ දළු එකතු කිරීමේ මධ්‍යස්ථානයක එම පිරිස තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. එම පිරිසට අවශ්‍ය වියළි ආහාර සලාක දින 14 ක් පුරා ලබාදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා‍, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී ඇත. adaderana

එල්.ටී.ටී.ඊ.යට සහය දැක්වූ අයෙක් අත්අඩංගුවට


එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වීමේ චෝදනාව මත පුද්ගලයෙකු ජර්මනියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුල්‍යාධාර සපයා ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්ය. ටී.එම්. නම් අනුවර්ත නාමයකින් හැදින්වෙන මෙම පුද්ගලයා දෙමළ සම්බන්ධීකරණ නම් කමිටුවේ ජර්මන් ශාඛාවේ ප්‍රධානත්ව‍ය දරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සපයා ඇති බවට අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා ජර්මනියේ සිටින දෙමළ ජාතිකයින් බියවද්දා ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවටද ජර්මන් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.adaderana

හිතුමනාපයට ජාතික පාසල් හදන්න බෑ


පාසලක්, ජාතික පාසලක් කිරීම හිතුමනාපයට කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
ජාතික පාසලක් වීමට නම් නිසි ප්‍රමිතීන් තිබිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශිෂ්‍ය සංඛ්‍යාවක් වැඩිවූ පමණින් පාසලක් ජාතික පාසලක් බවට පත්කළ නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශිෂ්‍ය සංඛ්‍යාව සමග අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප්‍රතිශතය සියයට 80 ට වඩා ඉහළ යාම ජාතික පාසලක් කිරීමට මූලික වශයෙන් හේතු වන බව හෙතෙම අවධාරණය කරයි. කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව ජල ටැංකිය ඉදිකිරීම සඳහා මුල්ගල තබමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. adaderana

ජපානයෙන් බිලියන 46 ක ණය මුදලක්


ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 46 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය තීරණය කර ති‍බේ.
ව්‍යාපෘති කිහිපයක් සඳහා මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන බව ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලය පවසයි. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, නැගෙනහිර පළාතේ ජල සම්පාදන සංවර්ධන ව්‍යාපෘති, මහනුවර නගරයේ අපවිත්‍ර ජල කළමනාකරණ ව්‍යාපෘතිය සහ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා මෙම ණය මුදල යෙ‍දවෙන බව සඳහන්ය. මීට අමතරව රුපියල් බිලියන 3 ක ආධාර මුදලක් ද ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත. adaderana

"මිහිකත හෝරාව" අද


හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මිහිකත හෝරාවක් අද පැවැත්වේ.
ශ්‍රී ලංකාව ද මෙම ‍මිහිකත හෝරාවට සම්බන්ධ වන බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද රාත්‍රී 8 සිට 9 දක්වා මිහිකත ‍හෝරාව පැවැත්වෙන බව සඳහන්ය. මෙම හෝරාව තුළ හරිතාගාර වායු විමෝචනයේ ශීඝ්‍රතාව අඩුකිරීම පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මිහිකත හෝරාව තුළ දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවල විදුලි පහන් නිවා දමා ඊට දායක වන ලෙස චක්‍රලේඛයක් අදාළ ආයතන වෙත නිකුත් කර ඇති බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. adaderana

රටට වැඩ කරන අයට නිසිතැන


රටට වැඩ කරන අයට නිසිතැන ලබාදීමට තමා පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පක්ෂ, පාට, ජාති ආගම් වශයෙන් බෙදී නොසිට රටට වැඩ කළ යුතු කාලය එළඹ ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ඊයේ පස්වරුවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රට ගොඩනැගීමේ පරම බලය පැවරී ඇත්තේ ‍ජනතාවට බව එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම නිසි පරිදි ඉටුකළ හැකි නායකයින් පාර්ලිමේන්තුවට පත්කරලීම ජනතාවගේ වගකීම බව ද හෙතෙම අවධාරණය කරයි. adaderana