Tuesday, February 9, 2010

ඇමති මහින්ද අද එ.ජා මහ කොමසාරිස් හමුවෙයි


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස්වරයා හමුවීමට නියමිතව තිබේ.
උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල අවතැන් ව සිටි ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගු‍ටායිනෝ මහතා සමඟ සමරසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මානූෂීය මෙහෙයුමෙන් පසු අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ දී ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය මෙහි දී සමරසිංහ මහතා විසින් පැහැදිලි කරනු ඇතැයි සඳහන් වේ.
මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ජිනීවා බලා පිටත් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමේ අරමුණින් බව අමාත්‍යංශ ආරංචි මාර්ග දක්වයි.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ සරත් ෆොන්සේකා මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය එක්සත් ජාතීන්‍ වෙත දැන්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

සැමියා ගැන තොරතුරක් දෙන්නැයි අ‍නෝමා ඉල්ලයි


ඊයේ රාත්‍රී 9.30 ට පමණ පැමිණි හමුදා නිලධාරීන් විසින් තම සැමියා බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, මේ වනතුරුත් ඔහු රඳවා සිටින තැනක් පිළිබඳවවත් තමා නොදන්නා බවත්, සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
කොළඹ, ක්වීන්ස් පාරේ පිහිටි ඔවුන්ගේ නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහත්මිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම දිවි පරදුවට තබා වසර 30ක කාලයක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළ තම සැමියා කළ මෙහෙවර වෙනුවෙන් ඔහුට කෘතගුණ සලකන්නේ මෙසේ දැයි ඒ මහත්මිය විමසා සිටියාය. යුධ හමුදාව යනු නීති ගරුක පිරිසක් බව තමා විශ්වාස කළ බවත්, නමුත් මෙම සිදුවීම නිසා එය පිළිගත නොහැකි බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
තම සැමියා පිළිබඳ තොරතුරක් දැනගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි ඇය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ඇතිවූ අසනීප තත්ත්වයට ෆොන්සේකා මහතා තවමත් ප්‍රතිකාර ලබාගන්නා බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළබඳව සොයාබැලීමට නොහැකිවීම නිසා තමා කණගාටුවට පත්වන බවත් කියා සිටියාය.

නාමල් මහ මැතිවරණයට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සඳහා අද එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සැකසීමේ කමිටු මේ වන විටත් පත් කර අවසන් බව සඳහන් වේ.. එම කමිටු මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම අපේක්ෂකයින් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර මෙම නාම යෝජනා කමිටු වල සභාපතීත්වය දරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසිනි. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ බෙහෝ දුරට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින බව තොරතුරු වාර්තා වේ.

මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවයි


අද මධ්‍යම රාත්‍රීයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව රජයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
තෙදින නිල සංචාරය නිම කරමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණය ගනු ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුව‍ා හැරීම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කරනු ඇති බව ද රජයේ ආරංචි මාර්ග දක්වයි.
2004 අප්‍රේල් 02 වන දින පැවති මහමැතිවරණයෙන් පසුව අප්‍රේල් මස 22 වන දින පාර්ලිමේන්තුව රැස්විය. ඒ අනුව දැනට පවතින පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන අප්‍රේල් මස 22 වන දායින් අවසන් වේ.

ෆොන්සේකා ගැන අමෙරිකාව සෙවිල්ලෙන්


ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම යුද්ධයෙන් මුදාගත් රට තුළ යළි බෙදුම්වාදී තත්ත්වයක් ඇතිකිරීමට අහිතකර අන්දමින් බලපෑ හැකි යැයි අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලාංකීය නීතියට අනුගතවේද යන්න පිළිබඳව තම දැඩි අවධානය යොමුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රොව්ලි මහතා AFP වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත. එමෙන්ම එම ක්‍රියා මාර්ග ගතයුත්තේ ශ්‍රි ලංකාවේ ජන සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිනොවන අන්දමට බව ද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

මන්නාරමින් පුපුරන ද්‍රව්‍ය තොගයක්


මන්නාරම පොලිස් වසමේ මූර්වීදීය , කාර්ටු පල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු ‍බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුපුරණ දුව්‍ය සොයා ගෙන මන්නාරම පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 27, ග්‍රෑම් 741 ක් අඩංගු පාර්සල් 6 ක් , කිලෝග්‍රෑම් 02, ග්‍රෑම් 850 ක් බර පැති බෝම්බයක් සහ කිලෝග්‍රෑම් 1, ග්‍රෑම් 580 ක් බර පැති බෝම්බයක් සෙ‍ායා ගෙන තිබේ.
මේ අතර මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් දේවපුරම් ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ දුව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගෙන ති‍බේ. විශේෂ ‍පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම උපකරණ සොයා ගෙන ඇති බව වාර්තා වේ. එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2046 ක් , මිලිමීටර 14 . 5 උණ්ඩ 400 ක් මිලි මීටර 60 වර්ගයේ ෂෙල් උණ්ඩ 105 ක් , ස්වයංක්‍රීය පතරොම් තුවක්කුවක් ඇතුළු යුධ උපකරණ රැසක් සොයාගෙන ඇත.

Monday, February 8, 2010

සරත් ෆොන්සේකා අත්අඩංගුවට

ෆොන්සේකා යුද අධිකරණයට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ෆොන්සේකා ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
ජෙනරාල් ෆොන්සේකා එරෙහිව හමුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්,එහිදී ඔහු‍ට එරෙහි චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ බී.බී.සී මාධ්‍යයට අද පවසා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශයන් හා නිර්මාණය කරන ලද තත්ත්වයන් නිසා ශ්‍රීලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය අබියසට කැඳවන තත්ත්වයක් උදාවූ බවද ඔහු කියා සිටියේය.

සරත් ෆොන්සේකා අත්අඩංගුවට


යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
යුද රහස් හෙළිදරව් කරමින් හමුදා නීති උල්ලංඝණය කිරීම නිසාත්, ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාත් මෙසේ අත්අඩංගුවට ගත් බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

LTTE Leader !!

ෆොන්සේකා වෙනුවෙන් උත්තර බඳින්න මහින්ද ජිනීවා යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
නීතිපති මොහාන් පීරිස් මහතා සමග අමාත්‍යවරයා අද පෙරවරුවේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය බලා පිටත් වූ බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය සඳහන් කරයි.
ඉකුත් මැතිවරණ සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයන් දෙකක් සම්බන්ධයෙන් මෙම කරුණු දැන්වීම කිරීමට සිදුව ඇති බව කියැවේ.
ඒ අනුව යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයත්,ජනාධිපතිවරණයේ දී සිදුවී යයි කියනු ලබන අක්‍රමිකතා පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීම නිසා මෙසේ කරුණු දැක්වීමට සිදුව ඇති බව සඳහන් වේ.
එසේ වුවද යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයන් ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග කළ බවට තමා ප්‍රකාශයක් නොකළ බවත්,එය තමා කළ ප්‍රකාශයක් වැරදි ලෙස කළ උපුටා දැක්වීමක් බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් පසුව කරුණු දක්වන ලදී.

බ්‍ර්ගේඩයර් ප්‍රසාද් මේජර් ජෙනරාල් වෙයි


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍ර්ගේඩයර් ප්‍රසාද් සමරසිංහ මහතා මේජර් ජෙනරාල් ධූරයට උසස් කරමින් සංඥා බලකා ප්‍රධානී ලෙස පත් කළ බව සඳහන් වේ.

මහ මැතිවරණය අ‍ප්‍රේල් 08


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියානු සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි පසු පාර්ලිමේන්තුව විසිරවීමට බලාපොරොත්තුවන බවත්, එමෙන්ම අ‍ප්‍රේල් 08 වන දින මහ මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි

අමරකිත්ති හිමියන් හෙළ උරුමය හැර යයි


ජාතික හෙළ උරුමයේ සභාපති,කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ සභාපති ධූරයෙන් මෙන්ම පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ.
ජාතික හෙළ උරුමය ගොඩ නඟන විට ර‍ටේ ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබුණේ උතුරු-නැඟෙනහිර ත්‍රස්තවාදය බැවින් ත්‍රස්තවාදයට එරහිව දකුණේ ජන මතය බල ගැන්වීමටත්,නායකත්වය ශක්තිමත් කිරීමටත් තමන් දේශපාලනයට පිවිසුණු බව උන්වහන්සේ කියා සිටියි.
තමන් කැපවූ එකී අරමුණ මේ වන විට දිනා ගෙන ඇති බැවින් තව දුරටත් දේශපාලනයේ නියැළීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බැවින් හා ශාසන කටයුතු වෙනුවෙන් කැපවීමට අදහස් කරගෙන සිටින බැවින් පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බව අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කොටපොල අමරකිත්ති හිමියන් පැවසීය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයෙන් මේ පිළිබඳ විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඉවත් වී මාස 6 ක් පමණ වන බවයි.
එහෙත් අප කළ විමසීමේදී උන්වහන්සේ කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධූරයෙන් හා සාමාජිකත්වයෙන් ඉවත් වී සති දෙකක් පමණ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මාධ්‍යයට නිවේදනය කර සිටියේ අද බවයි.
ඉදිරියේදී කිසිදු දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවෙකු වන්නට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද,ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමනට තමන් ආශිර්වාද කරන බවද පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

අනූෂ පැල්පිට අලුත් පුටුවේ වාඩිවෙයි


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අනුෂ පැල්පිට මහතා කොළඹ නාරාහේන්පිට පිහිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා කාර්යාලයේදී අද වැඩ බාරගෙන තිබේ.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ පැල්පිට මහතා කියා සිටියේ සමබර හා සාධාරණ සේවාවක් මහජනතාවට ලබාදීම‍ වෙනුවෙන් තමා කැපවන බවයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් වීමෙන් පසු එකී පුරප්පාඩුව වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණි

Sunday, February 7, 2010

ජනපතිට ආචාර්ය උපාධියක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මොස්කව් මිත්‍රත්ව ලුලුම්බා සරසවියෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයාට ඊයේ පස්වරුවේ මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදා කිරීම හේතුවෙන් සාමය සඳහා පිරිනැමෙන ආචාර්ය උපාධියක් මෙසේ පිරිනමා තිබේ. 1995 වසරේ පළමු වරට ලුලුම්බා සරසවියෙන් රාජ්‍ය නායකයින් වෙත මෙම ආචාර්ය උපාධිය පිරිනැමීම ආරම්භ කරනු ලැබිණි.
ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ආචාර්ය උපාධිය ලබා ගත් 6 වන ජනාධිපතිවරයා ලෙස වාර්තා වේ. මේ අතර අද දිනය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාව සමඟ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂ ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිත බව ද සඳහන් වේ.
ලෝකයේ විශාලතම ගෑස් නිපදවන සමාගමේ සභාපතිවරයා සමඟ ද අද දිනයේ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

ලකුණ ගැන තීරණය 11වනදා


අලියා ලකුණ යටතේ තරඟකිරීම පිළිබඳව තීරණය ලබන පෙබරවාරි 11වන දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සමඟ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. එසේ ජවිපය ඇතුළු අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කිරීමෙන් පසු මැතිවරණයට තරඟවැදීම පිළිබඳව තීරණය කරන බව ද අත්තනායක මහතා පැවසීය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව සෞඛ්‍ය ඇමති සීරුවෙන්


රජය විසින් ක්‍රියාත්මක කරන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති බාධක ඉවත් කිරිමට පියවර ගත යුතු බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.පසුගිය කාලය තුළ ඇතැම් කණ්ඩායම් සෞඛ්‍ය සේවය කඩාකප්පල් කිරීම සදහා විවිධ උත්සාහයන් දැරූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවාව අඩාල කිරිමට උත්සාහ දැරූ කුමන්ත්‍රණකරුවන්ට එ‍රෙහිව අනිවාර්යයෙන්ම කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි..
බදුල්ල මහා‍ රෝහලේ ආදේශක සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් ස්ථීර කිරීම වෙනුවෙන් බදුල්ල ‍ ‍හෙද අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රන් හොරෙකුට වැඩ වරදියි


අම්බලන්තොට නගරයේ රන් භාණ්ඩ වෙළෙඳසලකින් රුපියල් හාරලක්ෂ 20,000 ක් පමණ වටිනා රන් මාල කිහිපයක් පැහැ‍රගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද පස්වරු 1.30 ට පමණ අදාල වෙළෙඳසලින් රන් මාලයක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරු මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.
සැකකරු පළායමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ‍එම අවස්ථාවේ ඔහු සතුව රන් මාල 17 ක් තිබු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අම්බලන්තොට අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

එදා හොර ඡන්ද ලක්ෂ දෙකකට වැඩිය දැම්මා-එස්.බී


කිසිදු හෝ දේශපාලන මංකොල්ලයක් සිදු නොවු එකම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව එස්.බී.දිසානායක මහතා පවසයි. පසුගිය සෑම මැතිවරණයකදීම විවිධ ඡන්ද දුෂණ, වංචා සිදුවු බව ඔහු පවසයි.
යටිනුවර ඌරාපොල විහාරස්ථාන ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලදී.
චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණයේදී විදේශගත වුවන්ගේ හා මියගිය අයගේ ඡන්දය පවා භාවිතා කරමින් හොර ඡන්ද ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් දැමුවේ තමාගේ මෙහෙය වීමෙන් බවද එස්.බී. දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Saturday, February 6, 2010

Renuka Balasuriya


හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රසාද් සමරසිංහට


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා පත්කර තිබේ.
ලබන සඳුදා සිට බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා එම ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. මෙ‍තෙක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා හමුදා මාධ්‍ය ක්ෂේත්‍ර ඉංජිනේරු ධුරයේ වැඩ බාරගැනෙනු ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආධුනිකයින් බඳවාග‍ැනීමේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙතෙක් නම් කර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී අයි.එම්.කරුණාරත්න මහතා පැවසීය.

දැයට කිරුළෙන් පෙළපොත් සහන මිලට


පෙළපොත් සහ අතිරේක කියවීම් පොත් දැයට කිරුළ ප්‍රදර්ශ‍න‍ භූමියෙන් සහන මිලට ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එම ප්‍රදර්ශන භූමියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියෙන් ලබාගත හැකිය. එමෙන්ම ලබන වසරේ දී පාසල් සිසුන්ට හඳුන්වා දීමට නියමිත නව පාසල් බෑගය පිළිබඳව ද මෙහිදී ජනතාව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අළුතින් හඳුන්වා දෙන පාසල් බෑගය පරිහරණය කරන ආකාරය වෛද්‍යවරයෙකු විසින් මෙහිදී පැහැදිලි කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාවෙන් ලංකාවට ණය මුදලක්


රුසියාව, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබාදීමට පියවර ගෙන තිබේ.
මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ආයුධ මිලදී ගැනීම සඳහා ලබාදෙන බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුසියානු සංචාරයට සමගාමීව මෙම ණය මුදල ලබාදෙන බව සඳහන් වේ.
මීට අමතරව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

Friday, February 5, 2010

ලකුණ තවම තීරණය කරල නෑ


ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරඟ වදින්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා අද දෙරණට පැවසීය.
පක්ෂ කිහිපයකින්ම සන්ධානයක් යටතේ තරඟ වැදීම සඳහා ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවත්, නමුත් එසේ තාවකාලික හෝ පොදු සන්ධානයක් යට‍තේ තරඟවැදීම පිළිබඳව තවමත් තීරණයකට එළඹ නොමැති බවත්, ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම පෙබරවාරි 11වන දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධව තීරණයකට එළඹෙන බව ද ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එස්.බීට ආසන සංවිධායක ධූරයක්


එස්.බී දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පූර්ණ නිදහස ලබා දීමෙන් අනතුරුව මෙම තනතුර ලබා දුන් බව එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් එස්.බී දිසානයක මහතාට වසර 02 සිර දඬුවමක් සහ වසර 07 ක ඡන්ද අයිතිය අහෝසි කිරීමට නියෝග කර තිබුණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව නිදහස් වූ එස්.බී දිසානායක මහතා අධිකරණයට ගොස් ඡන්ද අයිතිය ලබා ගනු ලැබීය. එහෙත් ඔහුට පූර්ණ නිදහස හිමි වී තිබුණේ නැත. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එස්.බී දිසානායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේ දී තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ආසන සංවාධියකවරයා වශයෙන් කටයුතු කරන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.

එච්.ඒ පෙරේරා අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීන රංගන ශිල්පී එච්.ඒ පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු පිළිකා රෝගයක් හේතුවෙන් මාසයක පමණ කාලයක පමණ සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
1950 මැයි මස 10 වන දින කොළඹ දී උපත ලද එච්.ඒ පෙරේරා මහතා මිය යන විට 59 වන වියෙහි පසුවිය. වේදිකා‍ , ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත් චරිත ගණනාවක්ම රඟ දක්වනු ලැබීය.
සුමිත්‍රා පීරිස්ගේ "සාගර ජලය මදි හැඬුවා" ඔබ හින්දා චිත්‍රපටයේ එච්.ඒ පෙරේරා මහතා රඟ පෑ චරිතය විශාල ජනාදරයට පාත්‍ර වූ චරිතයකි. ඊට අමතරව දූ දරුවෝ සහ නෑදෑයෝ යන ටෙලි නාට්‍ය වලද ඔහු ප්‍රධාන චරිත නිරූපනය කරමින් ප්‍රේක්ෂකයිනගේ ආදරයට පාත්‍රවිය.

උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්


රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට ස්ථීර ගුරු පත්වීම් ලබා දිමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ති‍බේ.
පත්වීම් ලබාදීම පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරින් 70 දෙනෙකු මෙසේ ස්ථීර පත්වීම් ලබා ඇති බව සදහන් වේ. සබරගමු පළාතේ දුෂ්කර පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් වශයෙන් බදවාගත් මෙම උපාධිධාරීන් පිරිස එම පාසල් වලට අනුයුක්ත කිරීමට නියමිතය.

අරුල්සාමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි


කඳුරට ජනතා පෙරමුණේ නායක පී.චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා එම පක්ෂයේ එස්. අරුල්සාමි මහතා දිවුරුම් දී තිබේ.
අද පෙරවරුවේ කථානායක වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ අරුල්සාමි මහතා දිව්රුම් දුන් බව පාර්ලිමේන්තුවේ සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කඳුරට ජනතා පෙරමුණේ නායක පී.චන්ද්‍රසේකරන් මහතා පසුගිය දා හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් මියගියේය..

යුධ උපකරණ තොගයක් සොයාගැනේ


මුලතිව් කරයාමුල්ලිවයික්කාල් සහ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වල දී යුධ උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.
උතුරු පළාත් භාර විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ දිනයේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
එහි දී ජොනි බට්ටන් 7000 ක් , මිලි මීටර 7 දශම හයයි දෙක උණ්ඩ 700 ක් , සී එම් 76 වර්ගයේ යුධ ටැංකි නාශක උණ්ඩයක් , ආර්.පී.ජී ෂෙල් 01 ක් , ගැලුම් 45 වර්ගයේ ඔයිල් බැරල් 8 ක් , ගැලුම් 45 වර්ගයේ ග්‍රීස් බැරල් 3 ක් සොයා ගෙන තිබේ. තවදුරටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.