Monday, January 3, 2011

සංවර්ධනයත් අපේ අතේ-විනාශයත් අපේ අතේ


රටක් සංවර්ධනය කරා යන්නේත්, විනාශය කරා යන්නේත්, ඒ රටේ දේශපාලනඥයන් විසින් ගන්නා තීන්දු තීරණ නිසා බවත්, ඒවා මොන පාටින් සිදුවෙනවාද? යන්න වැදගත් නොවන බවත්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (03) පෙරවරුවේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතා හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියා කළ යුත්තේ ප‍්‍රශ්න හා ගැටලු වෙනුවෙන් නොව විසදුම් වෙනුවෙන් බවත්, ජනාධිපතිතුමා විසින් පවරන ලද වගකීම ඉටු කිරීම සඳහා වේගවත් ගමනක් යා යුතු බවත් අලහප්පෙරුම මහතා පෙන්වාදුන්නේය.

එකී වේගවත් ගමන යාමේදී යන වාහනයේ මලකඩ කාපු, කැරකෙන්නේ නැති ඇණ මුරිච්චි කිසිවක් පෙනෙන්නට නොමැති බවත්, එසේ පෙනෙන්නට ඇත්නම් පෙනෙන පළමු පැයේදීම ඒවා ඉවත් කරන බවත්, අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමත්‍යාංශය පිහිටුවා වසර 32 ක් හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිහිටුවා වසර 16 ක් ගතවී තිබෙන බව පැවසූ අලහප්පෙරුම මහතා, එදා මෙදාතුර අමාත්‍යාංශය ආමන්ත‍්‍රණය කර ඇත්තේ සමස්ථ යෞවනයන්ගෙන් 3% ට පමණ සුළු ප්‍රතිශතයකට පමණක් බවද ප‍්‍රකාශ කළේය.

සෑම වසරකම ජනවාරි මාසයේ පළමු ශ්‍රේණිය සඳහා 3,30,000 ක් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට බාර දෙන බවත්, එයින් 21,000 ක් සෑම වසරකම දෙසැම්බර් මාසයේ එස්.බී. දිසානායක අමාත්‍යතුමා බාරගන්නා බවත්, ඉතිරි 3,09,000 වගකීම තමා මත පැවරෙන බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කළේය.

එයින් පසුගිය වසරේ සිය වගකීම ඉටුකිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙන්නේ 68,000 ක් පමණක් වෙනුවෙන් බව සිහිපත් කළ අමාත්‍යවරයා 2011 වසරේ සිය වගකීම ලක්ෂයක් දක්වා ඉටු කිරීමට කැපවී ක‍්‍රියා කළ යුතු බවද, ප‍්‍රකාශ කළේය.

ගිය වසරේ අමාත්‍යාංශය විසින් එක් ළමයෙකු වෙනුවෙන් රු. 1,21,421/= වැය කර තිබූ අතර, මේ වසරේ ලක්ෂයක් පුහුණු කළහොත් එම මුදල රු. 85,000/= දක්වා අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. adaderana.lk

0 comments:

Post a Comment