Monday, March 1, 2010

ආරක්ෂාව සොයා බලන්නැයි නීතිපතිට නියෝගයක්


විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ඔවුන්ට තර්ජනයක් තිබුණු හෙයින් බවත්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ පමණින් එකී තර්ජනය පහව ගොස් නැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද අධිකරණයේදී පෙන්වා දෙන ලදී.
එහෙත් රජයේ නීතිඥයින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම නීත්‍යනුකූල දෙයක් නොව එය වරප්‍රසාදයක් පමණක් බවයි. එසේ වුවද පක්ෂ මහ ලේකම්වරුන්ට හා පක්ෂ නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කරන ලදී.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන්ට සහ නායකයින්ට ලබා දී ඇති තරමින් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

0 comments:

Post a Comment