![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxYtUcbP0N9Dw3BOLqETaBeMBRq7047FEVcfYKwcZmQbUlnQw1lKbRBXktzx6LIv2gMy2YR-AZqgmLOUd7olXow1Vz2BfaVX0f2ElaVBV9kyAvF-L1lPUq2lGsKndFIfwdyNn6ESp0PXjm/s320/en.jpg)
හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් වෙනුවට ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් නම් කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන්ගේ නම් මේ වන විට දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාලයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලැබී තිබේ.
ඒ අනුව එකී නම් වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබුණු වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නම් කෙරුණු ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් නීත්‍යනුකූල ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය වෙනුවට කිසිවෙකුත් අභිනව මන්ත්‍රීවරුන් ලෙස නම් නොකළ බවත්,කුරුණෑගල දිස්ත්‍රීක් එ.ජා.ප ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාට පහළින් මීළඟට පිළිවෙළට ඇති දෙදෙනා නිරායාසයෙන් ම මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීම සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
එබැවින් මැතිවරණ ආඥා පනතට අනුව ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම කිසිසේත්ම නොවැළැක්විය හැක්කක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය..
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ..
ඉන්පසු එ.ජා.පයෙන් නෙරපා හැරීමෙන් පසු පක්ෂ නායකත්වයේ හා මහ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර ඒසේ වූ හෙයින් මොවුන් දෙදෙනා සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී..
හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීමට යළි අවස්ථාව උදා කර ගත යුතු හෙයින් ජනාධිපතිවරයාට පැවරුණු බලතල ප්‍රයෝජනයට ගෙන යළි පාර්ලිමේන්තුයව කැඳවන ලද නමුත් එය නියෝජනය කිරීමට මොවුන් දෙදෙනාටම හැකියාවක් නොවුණේ ඒ වන විටත් පක්ෂ මහ ලේකම් වෙත පැවරුණු බලය ප්‍රයෝජනයට ගෙන මොවුන් පක්ෂයෙන් නෙරපා හැර සිටීමත්,එකී තීරණය අභියෝගයට ලක් කරමින් නීතිමය තීන්දුයක් ප්‍රකාශයට පත් නොවී තිබීමත් නිසාය..
ඒ අනුව නුදුරු දින අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ලෙස ප්‍රකාශයට පත් වන ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් එළඹෙන මහ මැතිවරණයෙන් අභිනව පාර්ලිමේන්තු සැසි වාරය අප්‍රේල් මස 22 වන දින පැවැත්වෙන තෙක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කරනු ඇත.adaderana
0 comments:
Post a Comment